නියම විදියට තවත් කෙනෙක් එක්ක කතාබහේ යෙදෙන්නේ මෙහෙමයි!

ටෝක්ස් දෙන එක හැමෝටම කරන්න පුලුවන්! හැබැයි හරියට ටෝක්ස් දෙන එක තමයි කරන්න අමාරු. ජෙන්ට්ල්මන් කෙනෙක්, ලේඩි කෙනෙක් කතා බහ කරන විදියේ තියෙනවා අමුතු දෙයක්. ආකර්ෂණීය විදියට, පැහැදිලිව, පෞරුෂත්වයකින් කතා කරන්න පුලුවන් මනුස්සයෙක් ගැන මිනිස්සු ක්ෂණයකින් පැහැදෙනවා. ඇත්තටම නිවැරදි සන්නිවේදන කුසලතා, නැතිනම් හරි හැටි කතා කරන්න දන්නා කම කියන්නේ මනුස්සයෙක්ට වෘත්තිමය ජීවිතේදී වගේම සමාජයීය ජීවිතේදීත් තියෙන්න ඕන හැකියාවක්. ආන්න ඒ හැකියාව හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ කියලා දෙන්න යන්නේ. සීරියස් කරුණු කාරණා වලට නොගිහින් අපි සරල, හැමකෙනෙක්ටම එදිනෙදා ජීවිතේදී පිළිපදින්න පුලුවන් කරුණු වලින් පටන් ගමු.

 

1. කියැවීම මිනිසා සම්පූර්ණ කරයිද?

Image Source – flashbak.com

මේක අපි ඉස්කෝලේ කාලේ ඉඳන් අහපු කතන්දරයක්නේ. හැබැයි දැන් කාලේ ගොඩක් දෙනෙක් කියවන්නේ නෑ. ඒ වෙනුවට ස්මාට්ෆෝනය, රූපවාහිනිය වගේ උපාංග එක්ක කාලය ගත කරන්න ගොඩක් දෙනෙක් කැමතියි. හැබැයි අවාසනාවකට, හොඳින් කතා කිරීමේ හැකියාව කියන දේට හොඳ වාග් කෝෂයක් අවශ්‍ය වෙනවා. ඒ කිව්වේ මලලසේකර ඩික්ෂනරිය ගැන නෙවෙයි. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට ප්‍රමාණවත් වචන තමන් සතුව තියෙන්න ඕන. මේ වචන ඉපදෙනකොට අරගෙන එන්නෙ නෑ. මේ වචන අපි ඉගෙනගන්න ඕන. අපිට මේ විදියට වාග් කෝෂය පුළුල් කරගන්න, වචන ඉගෙනගන්න අවශ්‍ය නම් කියැවීම හොඳ ක්‍රමයක්. හැබැයි අනිවාර්ය නෑ. පොත් කියවන්න හොරයි නම් පත්තර කියවන්න. ඒකත් බෑ නම් ටීවී එක බලන්න, රේඩියෝ අහන්න, ඉන්ටර්නෙට් යන්න. හැබැයි මේ එක තැනකවත් කාලය නාස්ති නොකරන්න. ටීවී එකේ වුනත්, රේඩියෝ එකේ වුනත්, ඉන්ටර්නෙට් එකේ වුනත් තමන්ව දියුණු කරන්න පුලුවන් වැඩසටහන් තියෙනවා. මෙන්න මේ විදියේ වාග් කෝෂය දියුණු කර ගැනීම ජෙන්ට්ල්මන් කෙනෙක්/ලේඩි කෙනෙක් විදියට කතා කරන්න අත්‍යාවශ්‍ය දෙයක්.

 

2. ආත්ම විශ්වාසය සහ අනික් ආකල්ප

Image Source – skysports.com

කතා කරන්න මෙව්වත් ඕනැද? අනිවාර්යයෙන්ම ඔව්. උදාහරණයක් විදියට කොයි තරම් දක්ෂ කථිකයෙක් වුනත්, අනෙක් මනුස්සයාව පහත දාලා, තුච්ඡ කරලා කතාකරන, තමන්ගේ මහන්තත්තයම පෙන්නන කෙනෙක් නම් අසාර්ථකයි. අනෙක් කෙනාට බැගෑපත් වෙලා, යාප්පු වෙලා කතා කරන කෙනෙක් නම් ඒත් අසාර්ථකයි.

ආකල්ප ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. උඩඟු කම්, අහංකාර කම්, ලොකු කම් වගේම හීන නිහීන කම් වුනත් තමන්ගෙන් අයින් කරගන්න. ඒ වෙනුවට ආත්ම විශ්වාසය, කරුණාව වගේ දේවල් එකතු කරගන්න. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ ගෞරවය, ආකර්ෂණය ලැබෙන විදියට කතා කරන්න නම් ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න වෙනවා. තමන් ගැන තමන්ගේම හිතේ තියෙන අනාරක්ෂිත භාවයන්, අඩුලුහුඬු කම් ගැන තියෙන බය සැක නැතිකරගන්න වෙනවා. ඒකට යම් තරමකට ඇත්තටම තමන්ගේ අඩුලුහුඬුකම් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා.

මෙහෙම ආත්ම විශ්වාසය වර්ධනය කරගත්තහම බොහොම අභිමානයකින්, ස්ථිරසාරත්වයකින් කතාබහට යන්න පුලුවන්.

 

3. තමන්ගේ ශරීර ඉරියව්

Image Source – rd.com

කොයි තරම් දක්ෂව කතා කරන්න පුලුවන් මනුස්සයෙක් වුනත් කෙනෙක්ගේ මූණ දිහා කෙලින් බලාගෙන කතා කරන්නෙ නැතිනම් අසාර්ථකයි. මෙන්න මේ කාරණාවට බලපාන ප්‍රධාන තවත් කාරණාවක් තමයි උඩින් කියපු විදියට ආත්ම විශ්වාසය. මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට කතා කරන්න යනකොට සෘජුව හිටගන්න පුරුදු වෙන්න ඕනා. මූණ දිහා, ඇස් දිහා කෙලින් බලන්න පුරුදු වෙන්න ඕන. කතාවේ ආකාරයට අත් හසුරවන්න ඉගෙන ගන්න ඕනා. ඒ වගේම ප්‍රසන්න ඉරියවු වලින්, ප්‍රසන්න මුහුණින්, ප්‍රසන්න සිනහවෙන් කතා බහ කරන්න පුරුදු වෙන්නට ඕනා.

මේ සංවාදයේ යෙදෙනකොට තමන්ගේ ශරීර ඉරියව් පුරුදු වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් පුහුණු වෙන එක.

 

4. ආචාරශීලී කම

Image Source – youworkforthem.com

මෙන්න මේකත් අර උඩින් කියපු ආකල්පත් එක්ක බැඳිලා තියෙන අනිවාර්ය කාරණයක්. යම් කෙනෙක් එක්ක සංවාදයේ යෙදෙනකොට තමන්ට දෙයක් අවශ්‍ය නම් ‘කරුණාකරලා’, නැතිනම් ‘ප්ලීස්’ වගේ වචන පාවිච්චිය, එතකොට කෙනෙක් තමන්ට දෙයක් කරලා දුන්නොත් ‘ස්තුතියි’, නැතිනම් ‘තෑන්ක්ස්’ කියන එක දුර්වලයෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. ඒවා තමයි ශිෂ්ටත්වයේ ගතිගුණ. මහත්මයෙක්, මහත්මියක් කතාබහ කරනකොට මේ වචන පාවිච්චි කරනවා. එතකොට ඕනෑම මනුස්සයෙක්ට ඔයා, මෙයා, ඔහේ වගේ වචන පාවිච්චි නොකර ‘මහත්මයා’,  ‘නෝනා’, ‘මිස්ටර්’, ‘මිස්’ වගේ වචන පාවිච්චිය හොඳ දෙයක්. නම දන්නවා නම් නමෙන් ආමන්ත්‍රණය කරන්න පුලුවන්. ඕනෑ නම් අපේ දේශීය ක්‍රමයට වඩාත් සුහදශීලී අවස්ථාවක නම් ‘නැන්දේ’, ‘මාමේ’, ‘අම්මේ’, ‘තාත්තේ’ වගේ වයස අනුව නෑකමකින් කතා කරත් අවුලක් නෑ. හැබැයි එතනින් එහාට නොදන්න මිනිස්සුන්ට අක්කෙ, අයියෙ කියන්න යන එක නම් ඒ තරම් සුදුසු නෑ.

විශේෂම කාරණාව, මනුස්සයෙක් තව මනුස්සයෙක්ට ආචාරශීලීව කතා කරන්න සමාජ මට්ටම, ධනවත්කම වගේ දේවල් බලපාන්නේ නැහැ කියන එකත් ඔලුවේ තියාගන්න ඕන.

 

5. නරක වචන!

Image Source – youtube.com

මොනවද හැබෑටම නරක වචන කියන්නේ? මේක බොහොම මතභේදාත්මකයි. සමහරු තර්ක කරනවා වැඩිහිටි සමාජයක් මැද කුණුහරුපයක් දෙකක් කිවුවහම මක් වෙනවද කියලා. ඒ අයගේ තර්කය වෙන්නේ නිකං ‘මහත්තුරු’ වගේ, ‘ලේඩීස්ලා’ වගේ “රඟන්න” දඟලනවට වඩා කුණුහරුපයක් දෙකක් කියාගෙන ඉන්න එක මාරම අව්‍යාජයි කියලා. ආන්න ඒක මෝඩ ගොබ්බ මතයක්. තමන්ගේ බොක්කේ යාලුවෝ එක්ක කදේ දාගෙන ඉන්නකොට මොකක් කියාගත්තත් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන් නොදන්න අය මැද්දේ ඉන්නකොට අර වගේ “අව්‍යාජ” වෙන්න යන එක අශිෂ්ටකමේ ලක්ෂණයක් විතරයි. කුණුහරුප විතරක්ම නෙවෙයි, අතිශයින්ම ග්‍රාම්‍ය වචන, පරුෂ වචන, දිවිරීම් වචන යොදන එකත් කැතයි. ඒකට සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද, දෙමළෙන්ද කියන එක අදාළ වෙන්නෙ නෑ.

 

6. එයා ආවෙ නෑ “සෝ” මම ගියා එයා බලන්න!

Image Source – share.america.gov

දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් කැඩි කැඩී හරි ඉංග්‍රීසි කතාකරන්න කියලා හැමෝම කියනවනේ. ඒ කතාවේ වැ‍රැද්දක් නෑ. භාෂාවක් පුරුදු පුහුණු වෙන්න නම් කතා කරන්නම වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි කියන්නේ අනිවාර්යයෙන්ම හැමෝම දැනකියාගන්න ඕන ජාත්‍යන්තර භාෂාවක්ය කියන එකත් වැරදි නෑ. හැබැයි ඉතින් ඉංගිරිසි ඉගෙන ගන්නවා කියන්නේ, ඉංගිරිසි වචන තුන හතරක් ඉගෙන ගෙන සිංහල මැද්දට ඒවා ඔබන එක නෙවෙයි. ඒක වස කැතයි.

ගොඩක් වෙලාවට ඔය වගේ ඈයෝ කතා කරන කොට ‘ඒ නිසා’, ‘ඉතින්’ වගේ වචන වෙනුවට පාවිච්චි කරන වචනයක් තමයි “සෝ”! ඔය වගේ වචන කීපයක්ම තියෙනවා දෙපැත්තටම නැති. කතා කරනවා නම් සිංහලෙන්, පිරිසිදු සිංහලෙන් කතා කරන්න. කැඩි කැඩී වුනත් කමක් නෑ. ඉංග්‍රීසියෙන් කතා කලත් කැඩි කැඩී හෝ ඉංග්‍රීසියෙන්ම කතා කරන්න උත්සාහ කරන්න. භාෂා දෙක අතර මාරු වෙන්න ඕනෑ නම් වාක්‍යයක් ප්‍රකාශ කලාට පස්සේ භාෂාව මාරු කරන්න. එහෙම නැතුව “සෝ” කෑලි දාන්න යන්න එපා!

 

7. තැනට සුදුසු බව, හාස්‍යජනක බව සහ නිර්ව්‍යාජ බව!

Image Source – theleading.co

මොනවද මේ කියන්නේ? හරි, එකින් එක පැහැදිලි කරගමු. ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක් කතාබහ කරනකොට මුලින්ම තමන් කතාබහ කරන්නේ කාත් එක්කද, මොන සමාජයක් මැදද කියන එක තේරුම් ගන්නවා. එතැනින් එහාට කතාබහ කරන දේවල් ගැන සැලකිලිමත් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් හොඳම යාලුවත් එක්ක ඔය ගොසිප් එකක් දෙකක් කියලා කැකිරි පලන එක වෙනම කතාවක්. හැබැයි කොක්ටේල් පාටි එකකට ගිහින් එහෙම හැසිරෙන එක කැතයි. එතනදී තමන් කතා කරන්නේ මොනවද කියන එක අනුව තමන්ගේ චරිතයත් නිර්වචනය වෙනවා.

දෙවෙනියට හාස්‍යය. හැබැයි හාස්‍යය කියන්නේ මෙතනදී විහිළුවක් තේරෙන එක, යම් දේක ජොලි පැත්තක් පේන එක මිසක් දිවුරන එක, ඩබල් මීනින් කතා කියන එක හෝ අපහාසය නෙවෙයි.

නිර්ව්‍යාජ බව කියන්නේ තමන් අර අහුලාගත්ත ඇක්සන්ට් එකකින්, අහුලාගත්ත බරසාර බවකින් හරි අහුලාගත්ත ජොලි බවකින් කතා නොකරන එක. එහෙම ඒවා පටස් ගාලා තේරෙනවා. තමන් තමන් විදියට කතා කරන්න. තමන් විදියට කතා කරන එක අප්සට් නම්, ගෙදරදී කතා කරන්න පුරුදු වෙන්න. එච්චරයි.

 

8. ස්මාට් වීම

මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක්ට ලබාගන්න අසීරුම කාරණාව. දැන් ඔය උඩින් කියපු හැම දෙයක්ම හදාගත්තා කියමුකෝ. යාලුවොත් එක්ක කතාබහකදී නම් ඔය විහිළුවක් දෙකක් කරලා හිනාවෙන්න පුලුවන්. හැබැයි වෙනත් තැනකදී කතා බහ කරන්න තමන්ගේ ඔලුවේ මොනවා හරි තියෙන්නත් ඕන. එහෙම නැතිනම් ඔය සංවාදෙකදී දේශපාලනේ ඇදුනත්, ආර්ථිකේ ඇදුනත්, විද්‍යාව ඇදුනත්, සංගීතේ ඇදුනත් තමන්ගේ ඔලුව හිස් කියලා ඔප්පු වෙන එකයි වෙන්නේ. එහෙම නොවෙන්න නම් මොනවද කරන්න ඕන? අත්දැකීම් ලබාගන්න ඕන. කියවන්න ඕන. කියවන්න බැරි නම් අහන්න, විඳින්න, බලන්න හරි ඕන. ආන්න ඒක තමයි අපි අර පළමුවෙනි කාරණාවේම කියලා තියෙන්නේ.

ජෙන්ට්ල්මන් කෙනෙක් වගේ, ලේඩි කෙනෙක් වගේ සංවාදෙකට එන්ටර් වෙන්න නම් ස්මාට් වීම අත්‍යාවශ්‍යයි.

zvr
Your Reaction

Comments