නූල කඩාගන්න කලින් කියවන්න

ආටිකල් එක කියවන්න කලින් ඔන්න කියන්නේ මේ ආටිකල් එක කොල්ලන්ට විතරක් අදාළ වෙන ආටිකල් එකක්. කෙල්ලන්ට කියෙව්වා කියලා දැනුම් පොතට මක්කවත් එකතු වෙන්නේ නෑ කියලා නෙමෙයි අපි කියන්නේ මෙයා. මේ ආටිකල් එකෙන් අපි කතා කරන්නේ කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් ගැන. හැබැයි ඉතින් කෙල්ලෙක් වුණත් කොල්ලන්ට තියෙන ප්‍රශ්න දැනගත්තා කියලා අවුලක් වෙන්නේ නෑ. ඒ නිසා ලිංග භේද, ජාති භේද, කුල භේද අදාළ නෑ මේ ආටිකල් එක කියවන්න. කියවලා අදහසුත් කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදාගන්න. ෆේස්බුක් එකේ ප්‍රසිද්ධියේ මේ වගේ ලිංගික අධ්‍යාපන පෝස්ට් ෂෙයාර් කිරීමේ භීතිකාවකින් ඔයා පෙළෙනවා නම් කිසි අවුලක් නෑ, ඔයාට වට්ස්ඇප්වලින් දන්න කියන නූල කඩාගත්ත, නූල කඩාගන්න ළඟ අයට මේ ආටිකල් එක ෂෙයාර් කරන්න පුළුවන්.

 

1. නූලේ වතගොත

Image Source – quora.com

මේ ආටිකල් එක කියවන කොල්ලන්ට නම් නූල කියන්නෙ මොකද්ද කියන එක ආපහු කියලා දෙන්න ඕන නෑ (එහෙම තමයි හිතන් ඉන්නේ). ඒත් ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ කොල්ලෝ විතරක්ම නෙමෙයි මෙව්වා කියවන්නේ (මොකෝ කියවන්න එපා කිව්වා කියලා නතර කරන එකක්යෑ). නූල කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදි පාවිච්චි කරන්නේ පුරුෂ ලිංගයේ ශිෂ්ණයේ සංවේදී කොටස සහ ශිෂ්ණයේ පෙර සමේ පහළ දාරය සම්බන්ධ කරමින් තියෙන පටලයට. බැලූ බැල්මට මේක නූලක් වගේ නිසා තමයි නූල කියන ව්‍යවහාරය ඇතිවෙලා තියෙන්නේ.

ලංකාවේ තාම ලිංගික අධ්‍යාපනය කියන දේ නිසි විදියට වෙන්නේ නෑ. මේ නිසාම සමහර කොල්ලන්ට පවා තමන්ට තියෙන පුරුෂ ලිංගයේ ව්‍යුහය ගැනවත් හරි අවබෝධයක් නෑ. ඒ නිසාම සමහරු හිතන් ඉන්නවා පෙරසමම තමයි නූල කියන්නේ කියලා. නමුත් මේ කොටස් දෙක දෙකක්. මේකට එක හේතුවක් වෙන්න පුළුවන් Phimosis කියන රෝග තත්ත්වය ගැන හරි අවබෝධයක් නොතිබීම. පෙර සම, ශිෂ්ණ මුණ්ඩයෙන් පසුපසට ගැනීමේ හැකියාව නොමැතිවීම තමයි මේ විදිහට හඳුන්වන්නේ (මේ වගේ තත්ත්වයක් ඔයාටත් තියෙනවා නම්  වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න පැකිලෙන්න එපා).

 

2. වැදගත් විදිහට නූල ගැන කතා කරමු

Image Source – bornrealist.com

නූල කියන වචනේ අපි ඔය කටවහරට හදාගත්ත වචනයක්. හැබැයි වැදගත් තැන්වල හැදිච්ච ළමයි නූල අඳුනන්නේ නෑ, එයාලා දන්නේ “ශිෂ්ණ වාගිකාව”. එතකොට ඉංග්‍රීසි පන්නයට හැදුණු අය දන්නේ  “Frenulum of prepuce of penis” විදිහට.

 

3. ශිෂ්ණ වාගිකාවෙන් (හැදිච්ච ළමෙක් වුණා) කරන්නේ මොකද්ද?

Image Source – twitter.com

මේ ගැන තේරුම් ගන්න නම් ලිංගික එක්වීමකදී හරි ශිෂ්ණය ප්‍රාණවත් වීමකදී හරි පෙරසමේ (Foreskin) ස්වභාවය කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනාවට ගන්න ඕන. ඒ වෙලේට පෙරසමට වෙන්නේ මොකද්ද කියලා මතකද? නෑනේ (ඒ වෙලේට ඕක දිහා බල බල ඉන්න මතක් වෙන්නේ නෑනේ) ලිංගය ප්‍රාණවත් වීමකදි පෙරසම පසුපසට යනවා, වාගිකාවෙන් කරන්නේ පෙරසම නැවතත් තිබ්බ තැනට ගෙන ඒම පහසු කරන එක.

 

4. නූල කැඩුන එක ගැන කියන කතා ඇත්තද?

Image Source – thestar.com

සමහර කොල්ලෝ සහ අපේ සමාජය අතර තියෙන ජනකාන්ත මිථ්‍යා මතයක් තමයි නූල පළවෙනි ලිංගික සංසර්ගයේදි කැඩිලා යනවා, ඒ නිසා ඒකෙන් කෙල්ලන්ගේ කන්‍යා පටලය වගේ කොල්ලන්ගෙත් චරිතේ ගැන කියන දෙයක් දෙවියන්වහන්සේ මවලා කියලා. මේ කතාවත් ඉතින් කන්‍යා පටලය වගේම විකාර කතාවක්. නූල කැඩෙන එක ලිංගික එක්වීමකදී වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සමහරු මේ ගැන අත්දැකීමෙන්ම දැන ගෙන හිටියත් ඒ ගැන ඇත්ත කියන්න හිතන්නේ නෑ තමන්ගේ සෙක්ෂුවල් පර්සනැලිටි එකට මදිකමක් කියලා. මොකද නිල් චිත්‍රපටිවල නළුවෝ සේරටම වගේ නූල නෑනෙ. නිල් චිත්‍රපටිවලින් ලිංගික අධ්‍යාපනය ගන්න ගියාම ඔය වගේ මෝඩ අදහස් ඔළුවට එනවා. පොඩ්ඩක් නෙට් සර්ච් කළොත් ඔයාටම තේරෙයි නිල් චිත්‍රපටි නළුවෝ නූල සැත්කම්වලින් ඉවත් කරගන්නවා කියලා.

 

5. නූල කැඩෙන්නේ එතකොට මොන වගේ අවස්ථාවලද?

Image Source – boulderweekly.com

ආවේගකාරී ලිංගික ක්‍රියාවලදී, හාර්ඩ් සෙක්ස්වලදි, ගුද සංසර්ගය වගේ දේකදි නූල කැඩෙන්න පුළුවන්. සමහර කොල්ලෝ හිතන් ඉන්නවා අහිංසක වින්දනය ස්වයංවින්දනයේදි නූල කැඩෙනවා කියලා. ඒ වේදනාව දරා ගන්න බැරි වෙයි කියන හුඹස් බය නිසා ස්වයං වින්දනයේ යෙදෙන එකත් හරියට කරන්නේ නෑ. මෙහෙම හිතන් හිටියට එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාව සෑහෙන්න අඩුයි.

 

6. නූල කැඩුණම රිදෙනවද?

Image Source – giphy.com

මොනවද දෙයියනේ මේ අහන්නේ, නූල තියෙන්නේ කොල්ලෙක්ගේ ශරීරයේ සංවේදීම කොටසක. නූල කැඩී යාම එක්කම දරුණු වේදනාවක් සහ ලේ වහනයක් වෙනවා. ගොඩක් පිරිමි මේ දුක තද කරන්, ලැජ්ජාවට බයට වේදනාව තද කරන් ඉන්නවා. ටික දවසකින් තුවාලේ හොඳ වෙන්න පුළුවන්. ඒත් සමහර විට ලිංගික එක්වීමේදි වේදනාවක් දැනීම, නිසි පරිදි ප්‍රාණවත් නොවීම වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා නිසි ප්‍රතිකාර ගැනීම. මතක තියාගන්න ඕන දේ තමයි ඔයාගේ ලැජ්ජාව නිසා ඔයා නැති කරගන්නේ ඔයාගේ ජීවිතයේ ඔයාට විඳින්න තියෙන අවස්ථාවක් කියලා. සෙක්ස් දන්නවා කියන ඔස්තාර්ලගෙන් උපදෙස් ගන්න යන්නේ නැතුව වෛද්‍යවරයෙක් ගාවටම යන්න කියන්නේ අපි ඒකයි.

 

7. නූල කොට වුණොත්?

Image Source – boulderweekly.com

නූල නිසා ඇතිවෙන්න පුළුවන් සුලභම අවුල තමයි Frenulum Breve තත්ත්වය, දන්න සිංහලෙන් කිව්වොත්, අනු මාතෘකාවේ කියලා තියෙනවා වගේ නූල කොට වීම. මේ නිසා සංසර්ගෙකදි වගේම ප්‍රාණවත් වීමකදී වේදනාවක් දැනෙන්න පුළුවන්. මේ වගේ අය අතර නූල කැඩීයාමේ ගැටලුව ඇති වෙනවා. සම්පූර්ණයෙන් කැඩී නොගියත්, අර්ධ හානි වුණත් වෙන්න පුළුවන් මේ වගේ තත්ත්වෙකදි හොඳම දේ වෛද්‍යවරයෙක් මුණගැහෙන එක. සුළු සැත්කමකින් හෝ ස්වයං ව්‍යායාමවලින් මේ තත්ත්වය මග ඇරගන්න පුළුවන්.

දැන් ඉතින් ඔයා නූල කැඩෙන එක ගැන දැනගත්තනේ. දැන් ඉතින් දන්න කියන අයගෙන් නූල කඩාගත්තද කියලා අහලා මේ ආටිකල් එක එයාලට කියවන්න යවන්න. නූල කඩා ගන්න උදව්වක් දෙන්න බැරිද කියලා කෙල්ලන්ට එහෙම යවලා ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධවලට Lifie එකෙන් වගකීමක් ගන්න නම් බෑ හොඳේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *