නූඩ්ල්ස් සහ පාස්තා වලින් හදාගන්න පුළුවන් වෙනස්ම කෑම වර්ග කීපයක්

කලින් දවසක අපි ඉතුරු උන බත් වලින් හදාගන්න පුළුවන් රෙසිපි ගෙනාවනෙ. මේ කියන්නෙ ගෙදර හදල ඉතුරු වෙන නූඩ්ල්ස්, පාස්තා වගේ දේවල් වලින් හදන්න පුළුවන් රස කෑම ටිකක් ගැන. ආයෙ ගෙදර ඉතුරු වෙන කිසිම දෙයක් ඔයාල අහක දාන එකක් නම් නෑ.

 

1. ෆ්‍රිටාටා

Image Source – cookinglight.com

නූඩ්ල්ස්, පාස්තා, ස්පැගති වගේ ඕනම එකක් මෙහෙම හදන්න පුළුවන්. උදෑසන ආහාරයකට වගේම රෑකටත් ගැලපෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිසගත් නූඩ්ල්ස් කප් 2
  2. බිත්තර 2
  3. චීස් වෙජස් 2
  4. ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
  5. පාමසන් චීස්

 

  • බිත්තර වලට චීස් වෙජස් සහ ෆ්‍රෙශ් මිල්ක් එක් කර බ්ලෙන්ඩ් කරගන්න. නූඩ්ල්ස් ටික නන්ස්ටික් පෑන් එකක හෝ බේක් කළ හැකි ට්‍රේ එකක දමා තුනී කරගන්න.
  • බ්ලෙන්ඩ් කරගත් බිත්තර මිශ්‍රණය නූඩ්ල්ස් උඩින් වත් කර එයට උඩින් පාමසන් චීස් ඉස ගන්න.
  • බේක් කරනවා නම් සෙල්සියස් 180ට විනාඩි 15-20ක් හෝ පෑන් එකේ දමා ලිපේ පිස ගන්නවා නම් හොඳින් රත් වෙන පියනකින් වසා අඩු ගින්දරේ විනාඩි 20ක් පමණ වේලා පිසගන්න.

 

2. නූඩ්ල්ස් පුඩින්

Image Source – wisconsincheese.com

එළවළු දාල තෙම්පරාදු නොකරපු, තැම්බුවට පස්සෙ වැඩියි කියල හිතුන නූඩ්ල්ස් වලින් මේ පුඩින් එක හදන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. නූඩ්ල්ස් කප් 3
  2. බිත්තර 6
  3. ෆ්‍රෙශ් මිල්ක් කප් 2
  4. සීනි රස අනුව
  5. කැරමල් කරගැනීමට වෙනම සීනි ටිකක්
  6. වැනිලා ස්වල්පයක්

 

  • නූඩ්ල්ස් ටික පොඩියට කපාගන්න. බිත්තර සහ සීනි වලට ෆ්‍රෙශ් මිල්ක් එකතු කරන් හොඳින් බීට් හෝ බ්ලෙන්ඩ් කරගන්න.
  • බ්ලෙන්ඩ් කරගත් බිත්තර මිශ්‍රණයට නූඩ්ල්ස් සහ වැනිලා එක් කරගන්න. සීනි ටිකක් වතුර ස්වල්පයක් එක් කර කැරමල් කරගෙන බේක් හෝ ස්ටීම් කළ හැකි භාජනයක අඩියට දමා ගන්න.
  • එයට සාදාගත් මිශ්‍රණය එක් කර ෆොයිල් එකකින් කවර් කර ස්ටීම් හෝ බේක් කරගන්න. බේක් කරනවා නම් සෙල්සියස් 200ට විනාඩි 40-50ක් අතර කාලයක් ගත වෙනව.

 

3. ෆ්‍රයිඩ් නූඩ්ල්ස් බෝල්ස්

Image Source – foodtolove.co.nz

ස්නැක් එකකට නියමයි. හවසකට තේ බොන්න වගේම පොඩි බඩගින්නක් නිවාගන්න රසවත් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිසගත් නූඩ්ල්ස් කප් එකක්
  2. තම්බා පොඩි කරගත් අල ගෙඩි 2
  3. මොසරැල්ලා චීස් ටිකක් (අවශ්‍යම නෑ)
  4. රස අනුව ලුණු ගම්මිරිස්
  5. බිත්තරයක්
  6. පාන් පිටි මේස හැන්දක්

 

  • සියල්ලම එකට දමා හොඳින් අනාගන්න. කුඩා බෝල සාදාගෙන පැයක් පමණ ශීතකරණයේ තියාගන්න.
  • ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.

 

4. නූඩ්ල්ස් කැසරෝල්

Image Source – skinnerpasta.com

රෑ කෑමකට කියාපු ඩිශ් එකක්. හදලම බලන්නකො රස.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිසගත් නූඩ්ල්ස්
  2. වතුර ඉවත් කරගත් ටූනා හෝ සැමන් පොඩි ටින් එකක්
  3. ෆ්‍රෙශ් ක්‍රීම් කප් එකක්
  4. කැමති චීස් වර්ගයක්

 

  • නූඩ්ල්ස්, ටූනා සහ ෆ්‍රෙශ් ක්‍රීම් එකට මිශ්‍ර කරගන්න. එය බේක් කළ හැකි භාජනයකට දමා උඩින් චීස් ඉස සෙල්සියස් 180ට විනාඩි 20ක් බේක් කරන්න.

 

5. නූඩ්ල්ස් නෙස්ට්ස්

Image Source – worldmarket.com

පොඩි බඩගින්නට වගෙම පාටියකට උනත් මේක තියන්න බැරිකමක් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිසගත් නූඩ්ල්ස් කප් 1
  2. බිත්තරයක්
  3. තක්කාලි සෝස් මේස හැඳි 3ක්
  4. මැදට පිරවීමට චීස් හෝ කැමති පිරවුමක් (කට්ලට් පිරවුම උනත් පුළුවන්)
  • නූඩ්ල්ස් වලට පිරවුම හැර අනික් සියල්ල එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • මෆින් ට්‍රේ එකකට බටර් තවරා නූඩ්ල්ස් මිශ්‍රණය එයට දමා කප් එක වටේට අතින් සකසා ගන්න. විනාඩි 10ක් සෙල්සියස් 200ට බේක් කර එළියට ගන්න. පිරවුම එක් කර නැවත විනාඩි 15ක් බේක් කරගන්න.

 

6. නූඩ්ල්ස් සුප්

Image Source – chowhound.com

ඉතුරු උන නූඩ්ල්ස් එක් කරල රසවත් සුප් එකක් හදාගන්නත් පුළුවන්. තමන් කැමති විදියට සැරට උකුවට පොඩ්ඩක් දේවල් එහෙ මෙහෙ කරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිස ගත් නූඩ්ල්ස් කප් 1
  2. ඉඟුරු අඟලක කෑල්ලක්
  3. සුදුළූණු බික් 2ක්
  4. සැල්දිරි ඉත්තක්
  5. චිකන් ස්ටොක් කප් 3
  6. බිත්තර 2ක්
  7. ස්වීට් කෝන් කප් 1/2
  8. කොටු කපාගත් කැරට් ටිකක්
  9. කෝන් ෆ්ලා ස්වල්පයක්
  • බටර් ස්වල්පයක් රත් වෙන්න හැර එයට ඉඟුරු, සුදුළූණු සහ කැරට් එක් කරගන්න. මදක් තෙම්පරාදු වෙන්න හැර ස්වීට් කෝන් සහ චිකන් ස්ටොක් එක් කරගන්න.
  • වැඩි ගින්දරේ උතුරවා ගන්න. උතුරන විට නූඩ්ල්ස්, සැල්දිරි සහ බිත්තර එක් කර වේගයෙන් මිශ්‍ර කරගන්න. බිත්තර තරමක් කැදලි වූ පසු ගින්දර අඩු කර කෝන් ෆ්ලා ස්වල්පයක් එක් කර කැමති ප්‍රමාණයට උකු බව සකසා ගන්න.
  • පිසගත් නූඩ්ල්ස් එක් කරන නිසා ලුණු අවශ්‍ය පරිදි එක් කර උණුවෙන්ම රස බලන්න.

Cover Image Source – chowhound.com/ pinchofyum.com

 

zvr
Your Reaction

Comments