පෙට්ටි කඩෙන් අපේ බඩට රෝල් වෙන සිරා කෑම වර්ග ටිකක්

පෙට්ටි කඩ කියන්නෙ ලංකාවෙ උප සංස්කෘතියක් තරමට දියුණු වෙච්ච දෙයක්. මේ දේට මිනිස්සු ඇබ්බැහි වෙච්ච හේතු කිහිපයක්ම තියෙනවා. ඉන් ප්‍රධානම දේ වෙන්නෙ මිල පහසුව. පෙට්ටි කඩවල කෑම අතිශය ගණං අඩුයි. අනිත් දේ තමයි ඒ කෑමවල රස. ඒ කෑම අලුත්. මොකද පෙට්ටි කඩ උදේට ඕපන් කරාට පස්සෙයි කෑම එන්නෙ. දහයාමාර වෙද්දි උදේ කෑම ඉවරයි. දෙක වෙද්දි දවල් කෑම ඉවරයි. ඉතිං හැම තිස්සෙම තියෙන්නෙ අලුත් කෑම. අනිත් කාරණේ තමයි කඩවල මිනිස්සුන්ට වඩා පෙට්ටි කඩවල මිනිස්සු අතිශය හිතවන්ත වීම. අනික ඉතිං නැති දෙයක් නෑ. ප්ලේන්ටී, ටී, බීම ජාති, කෝපි, දැවිල්ල කෑම, පැණිරස කෑම, පරිප්පු පාන්, සැමන් පාන්, පොල් සම්බෝල පාන්, බත් පැකට්, නූඩ්ල්ස්, කඩල, සිගරට්, මඤ්ඤොක්කා, බිරියානි, ෆ්‍රයිඩ් රයිස්, ටෝස්ට් පාන් වගේ හැමදේම එතන තියෙනවා. ඒ වගේම එතන හිටගෙන කන්නත් පුළුවන්. බත් කනවනං අත හෝදන්න වතුර වීදුරුවක් වගේම කන්න පිඟානකුත් ලැබෙනවා. තව වෙන මොනවද මහත්තයො බඩගිනිකාරයෙකුට?

 

1. පරිප්පු වඩේ

පරිප්පු වඩේ කියන්නෙ ජාතික ආහාරයක්. උදේට අඩුවෙන් කෑවොත් යන එන ගමන් පරිප්පු වඩයක් කෑවම ඒක කවර් වෙනවා. උදේ ටිකක් නින්ද ගියපු වයිෆ්ට උයන්න පුළුවන් වුනේ එළවළු ජාති දෙකයි නං බත් එක දෙද්දි එයා කියනව කඩෙන් වඩේ එකකුත් අරගෙනම ඔෆිස් එකට යන්න කියල. සමහරු පපඩම්වලට ආදේශකයක් විදියටත් පරිප්පු වඩේ කනවා. හවසට ප්ලේන්ටියක් ගහනවනං, කෝක් එකක් ගහනවනං ඒ වෙලාවටත් පරිප්පු වඩේ එකක් කනව කටේ දැවිල්ල නැතිවෙන්න. සමහරු සෙට් වෙද්දි බයිට් එකට මොකුත් නැති වුනොත් පරිප්පු වඩේ එක්ක වැඩේ ගොඩදාගන්නව. පරිප්පු වඩේ කියන්නෙ නියම වර්සටයිල් කෑමක්. අනිවාර්යෙන්ම පෙට්ටි කඩේක කරත්තෙක නොවරදින කෑමක්. ප්‍රමාණයෙන් ලොකු වඩයක් වුනත් රුපියල් විස්සකට වඩා වැඩිවෙන්නෙ නෑ.

2. පැටිස්

හරි විදියටනං කියන්න ඕන පැටී කියලා තමයි. හැබැයි ගමේ ස්ටයිල් එකට දැවිල්ලට අල දාලා ඉර අවුව වැදිලා කොච්චර වේලුම් කෑවත් කඩල රසින් අනූන පැටිස් කවරෙ රස අඩුවෙන්නෙ නෑ. අනික මේ පැටිස්වල රස නිසා මනුස්සයෙක් එක පැටිසක් කාලා නිකං ඉන්නෙත් නෑ. ඒ වගේම තව කාපං… තවත් කාපං… කියල හැඟීම වැඩි කරන මිලක් වෙන රුපියල් 25කට වගේ පැටිසක් ගන්න පුළුවන් නිසා පැටිස් තුනක් කාලා ඒකෙ දැවිල්ල අඩු කරගන්න කෝක් එකක් බිවුවම නියම කූල් එකක් තියෙන්නෙ. අනික කඩේ කෝක්වලට වඩා රිජිෆෝම් පෙට්ටියෙ අයිස් කැට අතරෙ කූල් වෙන කෝක් එකක රසත් නියමයි.

 

3. සීනි සම්බෝල බන්

සාමාන්‍යයෙන් බේකරිවල තියෙන සීනි සම්බෝල බන් එකක තියෙන ඝන කවර ගතිය පෙට්ටි කඩේක නෑ. පෙට්ටි කඩේ පාන් බනිස් වර්ග හරිම සොෆ්ට්. එහෙම වෙන්නෙ කොහොමද කියල නොදන්නව වුනත් කාලා තියෙන ප්‍රධාන පෙට්ටි කඩ හැම එකකම වගේම බේකරි නිෂ්පාදන සාමාන්‍ය ළඟ පාත බේකරිවලට වඩා කොලිටියක තියෙන බව කියන්න පුළුවන්. අනික සීනි සම්බෝල බන් කියන්නෙ දැවිල්ල, බඩ පිරෙන, ගාණත් අඩු කෑමක්නෙ.

 

4. ගමේ පීසා

පීට්සා කියලා ලොකු පොෂ් තැන්වලින් කන එවුවට වඩා රස ගමේ පීසා රුපියල් 40කට කන එක වාසියි. මාළු මිරිස්, තක්කාලි සෝස්, සොසේජස්, බිත්තර එක්ක නියම ෆ්ලෆී ඩෝ එකක් උඩට වැටුණු මේ කියන ගමේ පීසාවක් දෙකක් කෑවම බඩ පිරෙනව හිතාගන්න බැරි තරමට. චීස්, බෙල්පෙපර් හෝ මස් නැති වුනාට මේ පීසාවල තියෙනව ගමේ ගතිය. සමහර ඒවයෙ බිත්තරේ මික්ස් වෙලා. සමහර ඒවයෙ බිත්තරයක් නෑ. සමහර ඒවයෙ බිත්තරේ බුල්ස්අයි එක වගේ කෙලින්ම උඩින් කඩලා දාලා. රස සාගරයක්.

 

5. සමෝසා

පෙට්ටි කඩේක තියෙන රස දෙන නියමම කෑමක් තමයි ස​මෝසා කියන්නෙ. ​තෝරාගන්න කියලා ෆිලින් එකේ ජාති නෑ. අනිවාර්යෙන්ම තියෙන්නෙ අල දාපු නියම සමෝසා එකක්. ගොඩක් අය සමෝසා කන්න කැමති සිහින් රැප් එකක ඔතලා තියෙද්දියි. ඒත් මේ සමෝසා එක බිස්කට් දවටනයක් වගේ ඝනකමට සෙට් වෙන ඔතපු කර වෙන්න බැදපු නියම කෑමක්. කටටත් දැවිල්ලයි. බඩත් පිරෙනවා. ඒ වගේම ගාණ උපරිමම වුනොත් වෙන්නෙ තිස්පහක් විතර. සමෝසා දෙකයි කෝක් එකයි කියන්නෙ දවල් කෑම වේල මිස් වුණු කෙනෙකුට රෑ වෙනකං ඇදගන්න පුළුවන් කම්බිනේෂන් එකක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *