2019 අවුරුද්දට පාටි දාන්න පාටි තීම්ස් 7ක්!

පාටියක් දාමුද? එහෙම අහපු ගමන් ඉතින් ඕනම කෙනෙක් පැනලා හා කියනවනේ. හැබැයි ඇත්තම කතාව තමයි පාටියක් එන්ජෝයි කරන එක ආතල් වුනාට, පාටියක් ඕගනයිස් කරන එක ලේසි නෑ. හැබැයි මොකක් හරි තීම් එකක් ‍තෝරගත්තොත් පාටි එක ඕගනයිස් කරන එක වඩාත් ලේසි වෙනවා. ඒ වගේම එහෙම තීම් එකක් තියෙනකොට පාටි එකේත් තියෙනවා වෙනමම ෆන් එකක්. ආන්න ඒ නිසා 2019 දී තීම් එකකට පාටි එකක් ඕර්ගනයිස් කරන්න ලේසි වෙන්න පාටි තීම් ටිකක් තමයි අපි අරගෙන ඇවිත් තියෙන්නේ. මේ පාටි තීම්ස් අලුත් ඒවාම නෙවෙයි. හැබැයි පහසුවෙන් ඕර්ගනයිස් කරන්න පුලුවන් ඒවා.

1. බයිලා පාටි!

Image Source – youtube.com

මේ පාටියේදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ සංගීතය. ඕනෑ නම් හොඳ බයිලා මියුසික් වලට සෙට් වෙන ගෘප් එකක් සෙට් කරන්න පුලුවන්. එහෙම නැතිනම් සරලවම පැරණි බයිලා රසාංග ප්ලේ ලිස්ට් එකක් හදලා දැම්මත් අවුලක් නෑ. මේකත් නයිට් පාටියකට සෙට් වෙන තීම් එකක්. ඕනෑ නම් අපිට ඩ්‍රෙස් කෝඩ් එකත් හැත්තෑව දශකයේ තියන්න පුලුවන්. ගෑණු ළමයින්ට එක්කෝ ඒ කාලේ වගේ කොට ගවුම් අඳින්න පුලුවන්, නැතිනම් සාරි අඳින්න පුලුවන්. කොල්ලන්ටත් ඒ කාලේ විදියට අඳින්නයි තියෙන්නේ. මේ වගේ පාටියකට වුනත් කොත්තු, ආප්ප, ඉඳිආප්ප වගේ දේවල් සෙට් වෙනවා. ඩ්‍රින්ක්ස් වලට නම් ඉතින් පරණ විදියේ කොක්ටේල් කීපයක් එක්ක බාර් එකක් අරින එක වටිනවා.

 

2. කොත්තු පාටි!

Image Source – colombogazette.com

මේ තීම් එකත් නයිට් පාටියකට ගැලපෙන්නේ. මේකට ගැලපෙන්නේ එළිමහන් තැනක්. ඩ්‍රෙස් කෝඩ් ගැන වදවෙන්න දෙයක් නෑ. ඩෙකරේෂන් වලටත් ඔය ලයිට් ටිකක් දැම්මහම ඇති. එළියේ හැබැයි කන්න බොන්න හට් ගහලා, පු‍ටු මේස දාලා තියෙන්න ඕන. හැබැයි මේ පාටි තීම් එකේ ප්‍රධානතම ආකර්ෂණය වෙන්නේ කොත්තු බුෆේ එක!

කොත්තු බුෆේ එක කරන්නේ මෙහෙමයි. බුෆේ මේසේ උඩ තියෙන්නේ කොත්තු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය. හීනියට කපපු කැරට්, ලීක්ස්, බෝංචි, ලූණු වගේ එළවළු වර්ග වෙන වෙනම තියෙනවා. චිකන්, මට්න්, බීෆ්, පෝක්, සී ෆුඩ් කෑලි කපලා වෙන වෙනම තියෙනවා. ඕනෑ නම් මේවත් කරි චිකන්, රෝස්ට් චිකන් වෙන වෙනම වර්ග කරලා තියන්න පුලුවන්. සී ෆුඩ් වුනත් තම තමන්ට කැමති විදියට ‍තෝරගන්න ඉස්සෝ, දැල්ලෝ, මාලු අනං මනං වෙන වෙනම තියන්න පුලුවන්. එතකොට කෑලි කපපු රොටී, ඉඳි ආප්ප විතරක් නෙවෙයි, ඕනෑ නම් පිට්‍ටු, පාන් වගේ දේවලුත් වෙන වෙනම තියන්න පුලුවන්. දැන් ඔය ජාතිත් කොත්තු වලට ගන්නවනේ. ඉන් පස්සේ ඔය දේවලින් තමන්ට වුවමනා දේවල් බෙදාගෙන යන්න ඕන ඇක්ෂන් සෙන්ටර්ස් වලට. කොත්තු ඇක්ෂන් සෙන්ටර්ස් හතරක්වත් දාන්න වෙනවා ලොකු පාටියකට. දැන් පෝලිමේ ඉඳලා තමන් ‍තෝරගත්ත කොත්තුව තමන්ට ඕන විදියට හදාගන්නයි තියෙන්නේ!

 

3. වයින් ඇන්ඩ් ඩිසර්ට් පාටි!

Image Source – rd.com

මේ පාටියට ඉන්විටේෂන් දෙනකොටම බොහොම පැහැදිලිවම සන්නිවේදනය කරන්න ඕන, පාටියේ වැඩියෙන්ම තියෙන්නේ වයින් සහ අතුරුපස වර්ග කියන එක. මේ පාටියටත් ඩ්‍රෙස් කෝඩ් එක විදියට ස්මාට් කැෂුවල් ‍තෝරාගන්න පුලුවන්. හැබැයි තැන හෝල් එකක් හෝ ගෙදරක් ඇතුළත තමයි ගැලපෙන්නේ. පාටිය ඩෙකරේට් කරන්නත් විසිතුරු පාට වර්ග ගැලපෙනවා.

මේ පාටියේ වැදගත්ම දේ වෙන්නේ කෑම සහ බීම. මිනිස්සුන්ට අතුරුපස කාලා බඩ පුරවා ගන්න බැහැනේ. අන්න ඒ නිසා කොත්තු, ‍ෆින්ගර් ෆුඩ් තියෙන එක මේසයක් වත් දාන්න වෙනවා. හැබැයි ගොඩක් ලොකු විවිධත්වයක් අවශ්‍ය නෑ. ඒක ඕන වෙන්නේ ඩිසර්ට් වලට.

ඩිසර්ට් නැතිනම් අතුරුපස තමයි මේ පාටියේ විශේෂතම ආකර්ෂණය. මෙතනදී අපිට පුලුවන් විවිධාකාරයේ පුඩින් වර්ග, අයිස්ක්‍රීම් වර්ග, පළතුරු වර්ග, කේක් වර්ග එහෙම බුෆේ ටේබල් එකක තියන්න. හැබැයි මේ අතුරුපස වර්ග අපි වර්ග කරන්නේ ඒ ඒ අතුරුපස කාණ්ඩයන් එක්ක යන වයින් වර්ග වලට අනුව. එතකොට අතුරුපස බුෆේ ටේබල් එකේම ඒ ඒ අතුරුපස කාණ්ඩයන්ට යන වයින් බෝතලුත් තියලා තියෙනවා.

දැන් ඉතින් සීනි වැඩිවෙනකල් කන්නයි බොන්නයි තමයි තියෙන්නේ.

 

4. මූවි නයිට් පාටි!

Image Source – girlygatherings.blogspot.com

මේක ගැලපෙන්නේ රෑකට යාලු මිත්‍රයින් කීප දෙනෙක්ට දෙන පාටියකට. පාටියේ තීම් එක තමයි මූවි නයිට් එක!

මේ විදියේ පාටියකට ලස්සනට ඇඳගෙන එන්න ඕන නෑ. ෂෝට් එකක් හරි ඩෙනිමක් හරි දාගෙන ආවත් කමක් නෑ. ෆුල් කැෂුවල්. හැබැයි පාටිය වේලාසන පටන් ගන්න වෙනවා. හවස හයටවත් කට්ටිය එන්න ඕන. එතකොට පාටියේදී කලින් කන්න දෙනවා. කන්න තියෙන්නේ ‍ෆින්ගර් ෆුඩ්ස්. ඉන් පස්සේ ‍ෆිල්ම් එක. ‍ෆිල්ම් එක පටන් ගන්න කලින් ඕනෑ නම් ‍ෆින්ගර් ෆුඩ් ප්ලේට් එකක් එහෙම බෙදාගෙන එන්න පුලුවන්. ඒ වගේම වෙනම පොප්කෝර්න්, පොටෙටෝ චිප්ස්, මයියොක්කා චිප්ස් එහෙමත් තියලා තියන්න ඕන, කැමති කෙනෙක්ට කැමති තරම් බෙදාගන්න. ‍ෆිල්ම් එක පෙන්නන්න ප්‍රොජෙක්ටර් එකක් ඕන කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ පාටිය ගෙවත්තක වගේ තිබ්බත් කමක් නෑ.

දැන් ‍ෆිල්ම් එක බලලා ඉවර වෙනකොට රෑ දහයවත් වෙයිනේ. ආන්න එතකොට තමයි කට්ටිය බොන්න පටන් ගන්නේ. බොන ගමන් ‍ෆිල්ම් එක ගැන කතාබහ කරන්නත් පුලුවන්. මේක වැඩි වියදම් නැතිව යාලුවන්ට දෙන සරල පාටියක්.

 

5. හයි ටී පාටි!

Image Source – michellearbus.com

මේක හොඳයි අඳුනන, නාඳුනන ගොඩක් අය ඉන්න ෆෝමල් පාටියකට. හැබැයි මේ පාටියේ වෙලාව අපිට දෙපැත්තටම නැති අරුම පුදුම වෙලාවකට දාගන්න පුලුවන්. හවස තුනට විතර?

පාටියේ ඩ්‍රෙස් කෝඩ් එක ස්මාට් කැෂුවල්. පාටියේ මියුසික් බැක්ග්‍රවුන්ඩ් එකෙන් හෙමිහිට ඇහෙන පොඩි සිංදුවක් දෙකක් විතරයි. මේ පාටියට ටිකක් ඉඩ කඩ අවශ්‍ය වෙයි. මොකද එක වරට හතර පස් දෙනෙක්ට ඉඳගන්න පුලුවන් විදියේ සාමාන්‍ය ප්‍රමාණයේ මේස පු‍ටු තමයි මේ පාටියට ගැලපෙන්නේ. මේ පාටියේ ප්‍රධානතම ආකර්ෂණය වෙන්නේ කෑම සහ තේ. කෑම වලට සෙට් වෙන්නේ ‍ෆින්ගර් ෆුඩ්ස්. මේවා පොඩි පොඩි සැන්ඩ්විච්, පොඩි පොඩි කට්ලට්, පොඩි පොඩි චිකන් වින්ග්ස් වගේ පොඩි පොඩි විදියට හදපු එව්වා තමයි. ඕනෑ නම් ඒ වෙලේම කට්ලට් අනං මනං බැදලා දෙන ඇක්ෂන් සෙන්ටර් එකක් දෙකක් වුනත් තියන්න පුලුවන්. කේක් වර්ග එහෙම අතුරුපසට දෙන්නත් පුලුවන්. ඊට පස්සේ ප්‍රධානතම දේ වෙන්නේ තේ සහ කෝපි. මේවා වර්ග කීපයකින් තිබ්බත් කමක් නෑ. වතුර බොයිලේරුවෙන් අරගෙන තමන්ට කැමති විදියට කෙනෙක්ට තේ එකක් හරි කෝපි එකක් හරි හදාගන්න පුලුවන්.

මේක අර වැඩියෙන් එකිනෙකා එක්ක කතාබහට ඉඩ තියෙන වැඩි දැඟලිලි නැති පාටියක්!

 

6. ඩිස්කෝ නයිට් පාටි!

Image Source – youtube.com

මෙන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්න නයිට් පාටියකට නියමෙටම සෙට් වෙන තීම් එක! හැබැයි ඉතින් හොඳ ඉඩ කඩ තියෙන හෝල් එකක් මේ වැඩේට වුවමනායි. හෝල් එකක් නැතුව එළිමහනේ පාටිය දානවා නම් කට්ටියට ඩාන්ස් කරන්න ලී වලින් වත් හොඳ ඩාන්ස් ෆ්ලෝ එකක් නිර්මාණය කරන්න වෙනවා.

ඩෙකරේෂන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හොඳ ලයිට් සෙට් එකක් තමයි ඕන කරන්නේ. ඩිස්කෝ ලයිට්ස්! ඉන් පස්සේ හොඳ ඩීජේ කෙනෙක් ඕන වෙනවා. ඩිස්කෝ මියුසික් තමයි පාටියේ යන්නේ. පාටිය කොක්ටේල් පාටියක් විදියට යන නිසා ‍ෆින්ගර් ෆුඩ්ස් තමයි ගැලපෙන්නේ. ඉඳගන්න පු‍ටු ටිකක් අයිනකින් තිබ්බත්, කන්න, බොන්න සහ කතාබහ කරන්න ස්ටෑන්ඩින්ග් ටේබල්ස් තමයි ඇරේන්ජ් කෙරෙන්නේ. හැබැයි මැද තියෙන්නේ ඩාන්සින්ග් ෆ්ලෝ එක. පාටියේ ප්‍රධානතම ආකර්ෂණය ඩිස්කෝ නිසා, හැමෝටම පොඩි ෂොට් එකක් දාගෙන ඇවිත් ඩාන්ස් කරන්න පුලුවන් ඇති වෙනකල්!

 

7. සරම් පාටි

Image Source – youtube.com

සරම කියන්නේ තවදුරටත් කොල්ලන්ට විතරක් වෙන් වුණු ඇඳුමක් නෙවෙයිනේ. කෙල්ලෝ මේ වෙනකොට අපේ සරමටත් විදලා තියෙන්නේ. කොහොම වුනත් සරමේ තියෙන්නේ බොහොම සාම්ප්‍රදායික අපේ කමක්නේ. ආන්න ඒ නිසා සරම් තීම් එකක් එක්ක ක්‍රම දෙකකට පාටියක් ඕගනයිස් කරන්න පුලුවන්. එක්කෝ සරම පාටි එකේ ඩ්‍රෙස් කෝඩ් එක විදියට විතරක් තියනවා. එතනින් එහාට කෑම සහ බීම ඕන විදියකට ගොඩ දා ගන්න පුලුවන්.

එහෙම නැතිනම් ට්‍රැඩිෂනල් තීම් එකකටම යන නයිට් පාටියක් ගන්න පුලුවන්. ගෑණු පිරිමි දෙගොල්ලන්ටම ඩ්‍රෙස් කෝඩ් එක සරම. බුෆේ එකේ තියෙන්නේ කොත්තු, ආප්ප වගේ ඒවා. ඩෙකරේෂන් වලට නම් ලොකු අවුලක් නෑ. ඩ්‍රින්ක්ස් වලටත් තැඹිලි වතුර වගේ සීන් දෙන්න පුලුවන්. රත් වෙන ඩ්‍රින්ක්ස් වලට නම් ඉතින් තමන්ගේ කැමැත්ත අනුවනේ. හැබැයි කොහොමද රා කල දෙකතුනක් පාටියට සෙට් කරලා තිබ්බොත්?

එහෙමනම් දැන් තියෙන්නේ පාටිය ඕගනයිස් කරන්න විතරයිනේ. උඩින් එක තීම් එකක් ‍තෝරගන්නයි තියෙන්නේ. වැඩේ සාර්ථකද කියලා කමෙන්ට් එකක් දාලම කියන්න. සමහර විට අපිටත් පාටියට ආරාධනාවක් එයිනේ!

zvr
Your Reaction

Comments