ලංකාවේ ඉතිහාසය දෙස බලන කල බෞද්ධ ආගමට විශේෂ තැනක් හිමිවේ. වසර 2000කටත් එපිට කාලයේ සිට සිංහලයෝ බුදු දහමින් පෝෂණය වූ ජාතියක් වූහ. සිය ආගම ජාතිය වෙනුවෙන් කළ මහා වෙහෙර විහාර කර්මාන්ත අදටද අපිට ගෙන එන්නේ ආඩම්බරයකි. යටත්විජිත සමයේ පාලනය ඉංග්‍රීසින්ට නතු වුවද සිය දෙස බස ආගම රැකගන්නට බෞද්ධ හිමිවරුන් මූලිකත්වය ගත්හ. එයින් කිහිප නමක් ගැන අපි විස්තර ටිකක් දැනගනිමු.
1. වාරියපොල සුමංගල හාමුදුරුවෝ
ඉංගිරිසින් 1815 දී අත්සන් කළ උඩරට ගිවිසුම් අත්සන් කරන්නට යෙදුනේ කුමකටදැයි උඩරට සිංහල ලේ ඇත්තන්ට සැඟවිය නොහැකි විය. එහෙත් පැවති ශ්‍රී වික්‍රම රාජසිංහ වඩුග රජුගේ දුර්දාන්ත පාලනය හමුවේ අන්තයට කලකිරී සිටි සිංහල නායකයින් ඉංග්‍රීසින් නැමැති පිදුරු ගසේද එල්ලෙන්නට විය. එම අවස්ථාවේ උඩරට ගිවිසුම බලාත්මක වන්නටද මත්තෙන් ඉංගිරිසි කොඩිය ඔසවන්නට වූ අතර එයට එරෙහිව අභීත නද පෑ වාරියපොල හාමුදුරුවෝ ඉංගිරිසි කොඩිය බිම දමා ටික වේලාවකට හෝ සිංහ කොඩිය අහසේ ලෙලවන්නට දායක විය. උන්වහන්සේ ඉන් පසු 1818 දී සිංහල කැරළි නායකයින් වෙනුවෙන් අභීතව පෙනී සිටියේය. දන්ත ධාතුන් වහන්සේ මාලිගාවෙන් ඉවත් කර, නිදහස් සටනේ නායකයින් වෙත යොමු කිරීමේ වරද පිට වාරියපොල සුමංගල හාමුදුරුවන්ට සිරගත වන්නට සිදු විය.
2. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි
කොළඹ පළාතේ පංසලක් නොතිබුණු කාලයක ක්‍රිස්තියානි පල්ලි වලට එදිරිව නැගී සිටි මොහොට්ටිවත්තේ හිමි කොළඹ නගර සීමාවේ මුල්ම පංසල වූ කොටහේන දීපදුත්තාරාමය පිහිටුවන්නට මූලික විය. බුදුදහමේ ඇති තර්කානුකූල බව පෙන්වන්නට ගුණානන්ද හිමි විදෙස් පොත පත පවා පරිශීලනය කළේය. ක්‍රිස්තියානියට එදිරිව උන්වහන්සේ සිදුකළ පංච මහා වාදයෙන් පැහැදුණු හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි දැවැන්ත චරිත ලංකාව සොයා එන්නට විය. ගුණානන්ද හිමි යනු බොදු හඬ යටපත්ව තිබූ කලෙක එය බෞද්ධයින්ට සොයා දෙන්නට ඇප කැප වූ හිමි නමකි.
3. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
ඉංගිරිසි බසත්, සිංහල බසත්, සියම් බසත් ආදී භාෂා කිහිපයක දක්ෂයකු වූ හික්කඩුවේ නාහිමි මුල් කාලයේ දක්ෂ භාෂා ප්‍රවීණයෙකු විය. උන් වහන්සේ විද්‍යෝදය, විද්‍යාලංකාර ආදී පිරිවෙන් පිහිටුවීමටත්, බෞද්ධ පාසැල් ඇති කිරීමටත් පුරෝගාමීව ක්‍රියාකළ චරිතයක් විය. 19වන සියවසේ අග භාගයේදී මෙරට ඇති වූ දේශීය ප්‍රබෝධයේ මූලිකම සලකුණක් ලෙස හික්කඩුවේ සුමංගල නාහිමියෝ දැක්විය හැකිය. උන්වහන්සේ ජාතික නියෝජිතයෙකු ලෙසද, උගතෙකු ලෙසද දෙස බස රැසට මෙන්ම බුදු දහමටද අමිල සේවයක් කළ හිමිපානන්වහන්සේ නමකි.
4. එස්. මහින්ද හිමි
ඉන්දියාවේ හිමාල සීමාවේ පිහිටි සික්කිම් පළාතේ වැසියෙකු වූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි සිකිම් හි කලබල ආදිය නිසා ලංකාවට පැමිණියේය.
“කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දිත් මේ ගැන නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ”
ආදී ලෙස කවි ලියමින් නිදා සිටි සිංහලයින් ජාතික ආලයෙන් ඇහැරවන්නට විය. නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙසද සේවය කළ මහින්ද හිමි, ළමා ගීත සහ කවි ලිවීමේද දක්ෂයෙකු විය. කෙසේ වෙතත් අප රටේ නොඉපදීත් දේශීයකම වෙනුවෙන් පෙනී සිටි එස්. මහින්ද හිමි නිර්භීත චරිතයක් විය.
5. කඩහපොල හිමි
ඉංග්‍රීසි පාලන කාලය තුළ ඉංග්‍රීසින්ගේ තුවක්කුවට එරෙහිව සිංහල රණ ගී ගැයුණු අවස්ථා දෙකකි. 1818 දී සහ 1848 දී එම කැරළි දෙක පැන නැංගේය. 1848 නිදහස් සටනේදී ඉංග්‍රීසි හමුදාව ගොංගාලේ ගොඩ බණ්ඩා සැඟවී සිටි තැන සෙවීමට යෑමේදී කඩහපොල හිමි ද අත්අඩංගුවට පත් විය. සිංහලයින්ගේ සටනට කඩහපොල හිමි දායක වූ බව සත්‍යයකි. එහෙත් කඩහපොල හිමි යුද්ධාධිකරණයෙන් වැරදිකරු කොට ඝාතනය කළේ නිසි පරිදි සාක්ෂි විමසීමකින්ද තොරවය. එවකට ලක් ආණ්ඩුකාර වූ ටොරින්ටන් සාමිවරයා අතින් කඩහපොල හිමිගේ මරණ දඬුවම ස්ථිර විය. 1848 අගෝස්තු 26 වැනිදා ඉංග්‍රීසින්ගේ නීත්‍යානුකූල වෙඩිපහරින් කඩහපොල හිමි ජීවිතක්ෂයට පත් විය. චීවරය පිටින්ම සිටි කඩහපොල හෙවත් කුඩාපොල හිමිගේ චීවරයට වෙඩි තැබීම එකල මහත් ආන්දෝලනයක් ඇතිකළ සිද්ධියක් විය.
6. රත්මලානේ ධර්මාලෝක හිමි
1875 වර්ෂයේ ලංකාවේ බෞද්ධයින්ගේ මූලිකම උසස් අධ්‍යාපන තක්ෂිලාව වූ විද්‍යාලංකාර පිරිවෙන තැනීමේ ගෞරවය හිමිවන්නේ රත්මලානේ ධර්මාලෝක මහ නාහිමියන්ටයි. රත්මලානේ ධර්මාලෝක නාහිමියෝ ගෝලයින් රැසක් බිහි කළ හිමි නමකි. පසුකලෙක සිංහල බසට, සාහිත්‍යයට මහත් සේවයක් කළ රත්මලානේ ධර්මාරාම හිමි ධර්මාලෝක හිමිගේ ගෝල නමක් විය. කෙසේ වෙතත් කෘති පළකරමින්, දම් දෙසමින් සිංහලයා යහමගට ගන්නට උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස වර්ධනය වූ විද්‍යාලංකාර පිරිවෙන බිහිකිරීම රත්මලානේ හිමි අතින් සිදුවූ ශාසනික මෙන්ම සමාජීය අතින්ද වැදගත් වූ මෙහෙවරකි.
7. වැලිතොට ඥාණවිමලතිස්ස
බලපිටියේ හිමිනමක වූ ඥාණවිමලතිස්ස හිමිපාණෝ ඉතිහාසයේ එතරම්ම ජනප්‍රිය හිමිපාණන් වහන්සේ නමක් ලෙස නොදැක්වේ. සියම් නිකායේ ගොවිගම කුලයට පමණක් එකල පැවිදිකම උරුම විය. බුදුදහමට නොගැලපෙන නිකාය නීතිය හමුවේ පාතරට අඩුකුල බෞද්ධයින්ට පැවිදිකම අහිමි වූ විට එය රැකගැනීමට මූලික වූ හිමිනමක් ලෙස ඥාණවිමලතිස්ස හිමිපාණෝ දැක්විය හැකිය. උන්වහන්සේ කුඩා කල පටන් මහනුවර මල්වතු විහාරයේ වැඩ විසූහ. එහෙත් කුලයෙන් ගොවිගම නොවූ නිසා ඥාණවිමලතිස්ස හිමිපාණන්ට උපසම්පදා කර්මය අහිමි විය. ගුරු හාමුදුරුවන්ට මහ නිකායේ නීති සිය ගෝල හිමි වෙනුවෙන් වෙනස් කරන්නට නොහැකි විය. එයින් නොසැලුණු ඥාණවිමලතිස්ස හිමිපාණෝ එවකට පාලකයින්ගෙන් සංදේශයක්ද, ගුරු හිමියන්ගෙන් හසුනක්ද රැගෙන සියම කරා නැව් නගින්නට විය.
ඉන්දියාවට ගොස් එතැනින් සියමට ළඟා වීමට සිතූ උන්වහන්සේගේ ගමන දුෂ්කර විය. අවසානයේ ගමන බුරුමයෙන් හෙවත් නූතන මියන්මාරයේ අමරපුරෙන් කෙළවර විය. අමරපුර දේශයේ වසර දෙකක් පමණ වැඩවාසය කොට එහි බසද, බුදු දහමද, පොත පතද රැගෙන නැවත ලංකාවට පැමිණි ඥාණවිමලතිස්ස හිමිපාණෝ අමරපුර නිකාය බිහිකළේය. ඉන් පසු තවත් හිමිවරුන් කිහිප නමක්ම ඒ ආකාරයට සියමට, අමරපුර දේශයට ගොස් උපසම්පදාව ලබාගත්තේය. අද තරම් ගමනාගමනය පහසු නැති කලෙක සිය ජීවිතයද අවදානමට ලක් කරමින් උන්වහන්සේ නැව් නැග උපසපන් කර්මය සමග නව නිකායක් ඇරඹීමට දායක විය.
ආගම මූලික වූ ලක්දිව
ලක්දිව ඉංග්‍රීසි ජාතිකයින් පාලනය කරන කාලයේ දී ඔවුන් කිහිප අවස්ථාවකදීම සාමකාමී යහපත් ජනතාවක් ලෙස ලාංකිකයින්ව දැක තිබේ. සිංහලයාගේ මෙම කලහකාරී අඩු, සංග්‍රහශීලි ගති පැවතුම් අදද විදෙස් සංචාරකයින් විසින් අගයකොට සලකනු ලැබේ. ජාතියක් ලෙස එම සංග්‍රහශීලී ගතිය අපට පැමිණියේ සියලු සත්වයන්ට මෙත් සිත් පතුරුවන්නට කුඩා කල පටන් අපිට කියාදුන් අපේ බෞද්ධ ආගමෙනි. යටත්විජිත සමයේද භාෂාව, කලාව සහ සාහිත්‍යයෙහි දක්ෂ වූ නැණවත් හිමිවරුන් සිංහලයින්ට නායකත්වය දුන්නේය. යටත්විජිත සමයේ දේශපාලන බලය ඉංග්‍රීසින්ට හිමි වුවද ජනතාව සහ භික්ෂූන් වහන්සේ සහ ආගම අතර තිබූ අන්‍යෝන්‍ය බැඳීම නැතිකිරීමට සුද්දන්ට බැරි විය.
Leave a Reply