විවාහය කියන්නේ දෙන්නෙක්ගේ එකතුවක්. ප්‍රේම සම්බන්ධයක් නිසා හරි යෝජනාවක් විදිහට හරි විවාහයක් සිද්ධ වෙනවා. ඒත් සමහර විවාහවලට තුන්වැන්නෙක් එනවා. ඒ නිසා සමහර විවාහ දික්කසාදවලින් කෙළවර වෙනවා. සමහර විවාහ තුන්වැන්නෙක් එක්කම ඔහේ පවතිනවා. දුහුලු මලක් චිත්‍රපටියේ ගීතයකින් කියන “පෙම් දැහැනෙන් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි” කියන්නේ මේ වගේ තුන්වෙනියෝ ගැන. බොහෝ අවස්ථාවලදී මේ තුන්වැන්නා පිළිබඳව විවාහය ඇතුළේ ඉන්න දෙන්නා රහසිගතව තියාගන්නවා. තුන්වැන්නා නිසා දරුවෙක් ලැබුණත් ඒ දරුවව නිල විවාහයේ දරුවෙක් විදිහට බෞතිස්ම කරනවා. ඒත් අතිශය දුර්ලභ තැන් කීපයකදී කෙනෙක් තමන්ගේ විවාහයේ තුන්වැන්නා සමග පවතින සම්බන්ධතාවය ගැන විතරක් නෙමෙයි, ඒ නිසා ලැබුණු දරුවන් ගැනත් ප්‍රසිද්ධියේ කතා කරන්න නිර්භීත වෙනවා. මේ ඒ වගේ දුර්ලභ අවස්ථා කීපයක් ගැනයි අපි කතා කරන්නේ.
1. ධර්මේන්ද්‍රා

Image Source – dnaindia.com
පරණ ෂෝලේ මූවී එක ඔයා බලලා තියෙනවා නම් ඔයාට මතක ඇතිනේ අමිතාබ් එක්ක රඟපාපු කඩවසම් නළුවා. ඔහු තමයි “ධර්මේන්ද්‍රා”. අපේ පරම්පරාව වැඩිපුර දන්නේ නැතිවුණාට අපේ තාත්තලාගේ පරම්පරාවේ හින්දි සිනමාවේ සුපිරි තරුවක්. ඒ චිත්‍රපටියේම රඟපාපු හේමා මාලිනී තමයි ඒ වෙනකොටත් ධර්මේන්ද්‍රාගේ හිත හොරකන් කරගෙන තිබ්බේ. හැබැයි ධර්මේන්ද්‍රාගේ හිත නීත්‍යානුකූලව අයිති වෙලා තිබ්බේ ප්‍රකාශ් කෞර් කියන තැනැත්තියට. සමහරු කියන විදිහට ධර්මේන්ද්‍රා හේමා මාලිනීව විවාහ කරගන්න ඉස්ලාම් දහම වැළඳ ගත්තලු. නමුත් ධර්මේන්ද්‍රා මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. ඔහු ප්‍රකාශ් කෞර් සමග විවාහය පවත්වාගෙන යන ගමන්ම හේමා මාලිනී සමගත් අඹු සැමියන් විදිහට ජීවත් වෙනවා. සුප්‍රකට බොලිවුඩ් නළුවන් වන බොබී ඩියෝල් සහ සනී ඩියෝල් ධර්මේන්ද්‍රාගේ පළමු විවාහයේ දරුවන්. හේමා මාලිනී සමග පැවති විවාහයෙනුත් ලැබෙන දරුවෙක් පසුකාලයක බොලිවුඩය ජයගන්නවා, ඇයගේ නම ඊෂා ඩියෝල්. දරුවන්ටත් බිරින්දෑවරු දෙන්නාටත් දැන් ඒ විවාහ දෙක ප්‍රශ්නයක් නෑ. බොහෝ උත්සව අවස්ථා සඳහා ඔවුන් සියල්ලන්ම එකට සහභාගී වෙනවා.
2. සලීම් ඛාන්

Image Source – youtube.com
බොලිවුඩ් සිනමාව කියන්නේ දේවාලයක් නම් ඛාන්ලා තුන්දෙනා තමයි ත්‍රීමූර්තිය වගේ ඉන්නේ. ඒ අතරින් වඩාත්ම පුවත් මවපු ඛාන් විදිහට සැලකෙන්නේ සල්මන් ඛාන්. අපේ කතාවට සම්බන්ධ වෙන්නේ හැබැයි සල්මන් ඛාන් නම් නෙමෙයි. සල්මන් ඛාන්ගේ තාත්තා වුණු සලීම් ඛාන්. සලීමුත් බොලිවුඩයේ හිටපු ප්‍රසිද්ධ නළුවෙක්, නිෂ්පාදකවරයෙක් සහ තිරරචකයෙක්. ඔහු පළමු විවාහය සිදු කරගන්නේ සුසිලා චරක් කියන හින්දු ජාතික කාන්තාව සමග. සල්මාන් සහ අර්බාස් ඛාන් ඇතුළු දරුවන් හතරදෙනෙක් ඔහුට ඒ විවාහයෙන් ලැබෙනවා. බොලිවුඩ් සිනමාවේ ගිනි සිළුවක් වුණු හෙලන්, සලීම්ගේ හිතට ඇතුළු වෙන්නේ ඔහුටත් නොදැනීම. හෙලන් සමග පවතින සම්බන්ධතාවයෙන් ඒ දෙපළට දරුවන් නම් ලැබෙන්නේ නෑ. නමුත් ඔවුන් දෙදෙනා අනාථ දරුවෙක් හදාවඩා ගැනීමට ගන්නවා. හෙලන් ගැන සුසිලාවත්, පළමු විවාහයේ දරුවෝවත් අහිතකින් බලන්නේ නෑ. කොටින්ම සල්මාන්ට විවිධ නීතිමය ගැටලු ඇතිවුණු අවස්ථාවල පවා හෙලන් සල්මාන්ගේ සහයට ඉදිරිපත් වෙනවා.
3. උදිත් නාරායන්

Image Source – quirkybyte.com
උදිත් නාරායන් ඉන්දියාවේ විතරක් නෙමෙයි, ලොව පුරා මිලියන ගාණක් වශී කරපු හඬක්. ඒත් උදිත් නාරායන්ගෙ හිත වසඟ කරපු කෙනාගේ නම දීපා නාරායන්. ඔවුන් දෙදෙනා විවාහ වෙනවා 1985දී. ඔවුන්ට ලැබුණු දරුවා ආදිත්‍ය නාරායනුත් දැන් ඉන්දියාව තුළ ජනප්‍රිය ගායකයෙක්. ඒත් උදිත් නාරායන් දීපාව විවාහ කරගෙන තියෙන්නේ රන්ජනා කියන කාන්තාවව විවාහ කරගෙන ඉද්දි කියලා පස්සේ කාලෙක හෙළි වුණා. ඒත් උදිත් ඇයට යම් මුදලක් මාස්පතා ගෙවමින් ඇයගෙන් තමන් ප්‍රිය කරන විවාහය රැකගන්නවා. කුමක් හෝ හේතුවක් නිසා උදිත්, රන්ජනාව දික්කසාද කිරීමට උත්සාහ කරන්නේ නෑ.
4. සීනත් අමාන්

Image Source – imgur.com
ඔයා හින්දි සිනමා ලෝලියෙක් නම් “සත්‍යම් ශිවම් සුන්දරම්” ගීතයයි ඒ සිංදුවේ පෙනී හිටපු දේවදාසියයි අමතක නැතුව ඇති. ඇයගේ නම සීනත් අමාන්. ඇය ඒ චිත්‍රපටියේ දේවදාසියක් ලෙස රඟපෑවට ඒ වෙනකොට ඇය ප්‍රකටව සිටියේ සරාගී නිළියක් විදිහට. මේ නිසාම ඇයට විවිධ විවේචනත් එල්ල වුණා. සීනත් පළමු වර විවාහ වෙන්නේ එවකට හිටපු තවත් නළුවෙක් වුණු සංජේ ඛාන් සමග. ඒත් ඒ වෙනකොටත් සංජේ, සරීන් ඛාන් සමග විවාහ වෙලා හිටියේ. ආලය අන්ධයි නිසාමද මන්දා සංජේ පළමු විවාහය අවලංගු කරනොගෙන ඇති පසුබිමකම සීනත් ඔහු සමග එක්වෙනවා. නමුත් වසරක් වගේ කාලයක් තුළ සීනත් ඔහුගෙන් වෙන්වෙනවා. සංජේ නැවත සරීන් වෙත යනවා. සීනතුත් තවත් විවාහයක් කරගන්නවා. නමුත් එයත් සාර්ථක වෙන්නේ නෑ.
5. මහේෂ් බාත්

Image Source – dnaindia.com
ආලියා බාත්ව අපි හැමෝම දන්නවා. ආලියා බාත්ගේ මව්පියන් වෙන්නේ මහේෂ් බාත් සහ සෝනි රැස්ඩන්. සෝනිට සහ මහේෂ්ට තමන් විවාහ වෙද්දි ඉස්ලාම් දහම වැළඳගන්න සිද්ධ වෙනවා. හේතුව එතකොටත් මහේෂ් බාත් ලොරයින් බ්‍රයිට් කියන කාන්තාව සමග විවාහ වෙලා තිබීම. ඒ විවාහයේ දරුවෙක් තමයි පූජා බාත්.
6. මැඩෝනා

Image Source – ew.com
මැඩෝනාගේ පළමු විවාහය බිඳ වැටෙන්නේ 1989දී. 1985දී ෂෝන් පෙන් සමග ආරම්භ වුණු විවාහය තුළ දෙන්නටම අවශ්‍ය වුණු ආදරය හා රැකවරණය ලැබුණේ නෑ. පස්සේ කාලෙක මැඩෝනාගේ තනිකම මකන්න කාර්ලෝස් ලියෝන් නම් කඩවසම් ශාරීරික යෝග්‍යතා පුහුණුකරු පැමිණෙනවා. ඔවුන් දෙදෙනාට ලුර්ඩ්ස් නමින් දුවක ලැබෙනවා. නමුත් ඔවුන් දෙදෙනා විවාහ වෙන්නෑ. පස්සේ කාලෙක දෙන්නා වෙන්වෙනවා. නමුත් දරුවා ගැන දෙදෙනාම බලනවා. කාර්ලෝස් විවාහයක් කරගන්නවා. මැඩෝනා ගයි රිචී සමග විවාහ වෙනවා. නමුත් ඒ විවාහයත් බිඳ වැටෙනවා.
7. ස්වර්ණා මල්ලවාරච්චි

Image Source – youtube.com
එක්තරා සම්මාන උළෙලකදී සම්මානය ගැනීමට පැමිණෙන නිළියක් සම්මානය ගනිමින් මෙන්න මෙහෙම කියනවා. “මගේ ජීවිතේ මේ සම්මානයත් එක්කම තවත් වටිනා සම්මානයක් මට දුන්නේ ධර්මසිරි, එක සම්මානයක් මේක. අනෙක මගේ දුව”. මෙහෙම කියන්නේ ස්වර්ණා මල්ලවාරච්චි. ධර්මසිරි කියන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක. මේ ගැන තව දුරටත් විස්තර අපි ලියන්නේ නෑ. හැබැයි අපි මේක ලියන්නම්, ස්වර්ණාව අඳුන්වන්නේ සිංහල සිනමාවේ යකඩ ගැහැණිය විදිහට. අපි හිතනවා ඒ ටික ඔබට ප්‍රමාණවත් වෙයි කියලා.
ලිපිය ගැන අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. මල් වගේම ගලුත් අපි සන්තෝසයෙන් බාරගන්නවා.
Leave a Reply