අපි නොදන්න කාම සූත්තරේ

කාම සූත්‍රය තරම් අසාධාරණයට ලක් වුණු පොතක් ලොවෙත් නෑ කියන එක ඔයාටම තේරෙයි මේ ලිපිය අග වෙනකන් කියෙව්වම. ලොව ගැන කතා කරන්න කලින් අපි ලංකාව ගැන කතා කරමුකෝ. වැඩිය ඕනේ නෑ කාගෙන් හරි කාම සූත්‍රය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කියයි සෙක්ස් ගැන තියෙන පොතක් කියලා. පොතකට කියලා බැංකු පොතවත් පෙරලලා බලන්නේ නැති ඩයල් එකක් නම් අහයි Porn එකක් නේද කියලා. තව කියයි ඒ නම තියෙන Porn Films ගොඩක් තියෙනවා කියලා. වයසක අන්කල් කෙනෙක්ගෙන් ඇහුවා නම් කියයි සුමනා ගෝමස් රඟපාපු වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් කියලා. මේ වගේ විකාර අදහස් කියවන්න හේතුව තමයි කවුරුවත් කාම සූත්‍රය හරියට කියවලා නැති එක. ඒක ඇහුවම ඔයාට හිතෙයි කාම සූත්‍රය දැන් කොහෙන්ද කියවගන්න පුළුවන් කියලා. කාම සූත්‍රයේ සිංහල පරිවර්තනවලින් රෙකමන්ඩ් කරන්න පුළුවන් දෙන්නෙක්ගේ පොත් විතරයි. එක් කෙනෙක් මුනිදාස සෙනරත් යාපා. අනිත් කෙනා පුවතිසි අලගියවන්න. පොත් දෙකම හොයාගෙන කියෙව්වත් ඉතින් පාඩුවක් නෑ. හරි ඒ පොත් ඔයා පස්සේ කියවනකම් කාම සූත්‍රය ගැන අපි ඔයාට විස්තර ටිකක් කියන්නම්.

 

1. කාම සූත්‍රයේ තියෙන්නේ සෙක්ස් විතරද?

Image Source – dnaindia.com

අපි කලින් කිව්වා වගේ ගොඩක් අය හිතන් ඉන්නේ කාම සූත්‍රයේ මුල ඉඳන් අගට තියෙන්නේ සෙක්ස් විතරමයි කියලා. ඒත් ඇත්තටම සෙක්ස් පොසිෂන් ගැන කතා කරන්න වෙන් වෙලා තියෙන්නේ කාම සුත්‍රයේ කොටස් හතෙන් එක කොටසක විතරයි. අනිත් කොටස්වලදී සාකච්ඡා වෙන්නේ මිනිසාගේ භෞතික දියුණුවට හේතුවන කාරණා. උදාහරණයක් විදිහට යහපත් ජීවිතයක් ගතකරන්නේ කොහොමද, සල්ලි හම්බකරන්නේ කොහොමද, විවාහය සඳහා බිරිඳක් තෝරා ගැනීමේදි සැලකිල්ලට ලක් කරන්න ඕන කටයුතු වගේ දේවල් සාකච්ඡාවට ලක් කෙරෙනවා. ඊට අමතරව එක් පරිච්ඡේදයකදී විවිධ ඖෂධ, විශේෂයෙන් වාජීකරණ සහ රාගෝත්පාදක ඖෂධ සකස් කරන ආකාරය ගැන කතා කරනවා.

 

2. කාම සූත්‍රයේ තියෙන සෙක්ස් මොනවද එතකොට?

Image Source – scoopnest.com

කාම සූත්‍රය කිව්වොත් සෙක්සුත්, සෙක්ස් කිව්වොත් කාම සූත්‍රයත් මතක් වෙන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි කාම සූත්‍රයේ සෙක්ස් ගැන තියෙන පරිච්ඡේදයේ තියෙන විශිෂ්ටත්වය. ඒ පරිච්ඡේදය ඇතුළේ ලිංගික එක්වීමක් සඳහා මනස සකස් කරගන්නෙ කොහොමද? ඒ සඳහා උත්තේජනය ලබා ගන්නෙ කොහොමද? ඒ සඳහා කුටිය සකස් කරන්නේ කොහොමද? සිපගැනීම සිදු කරන්නේ කොහොමද? ලව් බයිට්ස් ගැන, එතනින් ගියාම අනුරාගී හඬ නැංවීම ගැන කතා කරනවා. අවසාන වශයෙන් විවිධ ලිංගික ඉරියව් ගැන කතා කරනවා. මුඛ සංසර්ගය ගැන නම් කාමසූත්‍රය එච්චර හොඳ හැඟීමකින් කතා කරලා නෑ. මුඛ සංසර්ගය සිදු කරන විවිධ විධි ගැන කතා කරන්න කලින් කාමසූත්‍රය කියන්නෙ මුඛ සංසර්ගය නොකළ යුතු ලිංගික ක්‍රියාවක් විදිහට.

 

3. කාම සූත්‍රය ලිව්වේ කවුද?

Image Source – eduladder.com

කාම සූත්‍රය ලියන්නේ එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි. සෘෂිවරයෙක්. එතුමාගේ නම “වාත්ස්‍යායන”. වාල්මීකී සෘෂිවරයාට රාමායණය රචනා කිරීමෙන් ලැබුණු ගෞරවයට සමාන ගෞරවයක් වාත්ස්‍යායනට “කාම සූත්‍රය” රචනා කිරීම නිසා ලැබෙනවා. හැබැයි වාත්ස්‍යායන ගැන වැඩි විස්තරයක් ඉන්දියානු ජනප්‍රවාදවලවත් හරියට නෑ. ඒත් වාත්ස්‍යායන විශේෂ දෙයක් කියනවා. ඒ තමයි තමන් මේ “කාම සූත්‍රය” රචනා කළේ පුරාණ පොත පත ඇසුරෙන් කියලා. ඔහු ඒ පොත්වල නම් සහ ආචාර්යවරුන් ගැනත් සඳහන් කරනවා. ඒ නිසා අපිට හිතන්න පුළුවන් කාම සූත්‍රය වගේ පොත් පත් ලිවීමේ සම්ප්‍රදායක් ඉන්දියාව තුළ තිබ්බා කියලා.

 

4. කාමයේ ආදීනව ගැන කියන කාම සූත්‍රය

Image Source – glamour.com

කාම සූත්‍රය කියනවා “කාම ශාස්ත්‍රය දන්නා තැනැත්තා සන්සුන් ඉඳුරන් සහිත පුද්ගලයෙක්” කියලා. ඒ වගේම කාම ශාස්ත්‍රය දන්නා කෙනෙක්ට කාන්තාවෝ බොහෝ දෙනෙක් ආශ්‍රය කරන්න ඕන නෑ, එක කාන්තාවකගෙන් වුණත් තෘප්තියට පත් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම කාමයට අධික ලෙස ලොල් වෙන පුද්ගලයෙකු කරා විනාශය පැමිණෙන්න පුළුවන් කියලත් කාම සූත්‍රය කියනවා. එතනදි උදාහරණයට ගන්නේ ජවාධික අශ්වයෙක්ව. හිතන්න, අධික ජවයක් තියෙන අශ්වයෙක් වේගයෙන් දුවද්දි පාරේ තියෙන බාධක ගැන තකන්නේ නෑ. ඒත් මේ බාධා නිසා අශ්වයාට යම් අනතුරක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම කම්සැපත හඹා යන පුද්ගලයෙක්ට ඇතිවෙන්න පුළුවන් ගැටලු ගැන කාමසූත්‍රය කතා කරනවා.

 

5. ලිංගික ඉරියව් 64

Image Source – home.iitk.ac.in

කාම සූත්‍රය ලිංගික ඉරියව් 64ක් ගැන විස්තර අපිට කියනවා. හැබැයි සමහර ඉරියව් වල යෙදෙන්න ශාරීරික යෝග්‍යතාවය අවශ්‍ය බවත්, නොගැලපෙන ඉරියව් උත්සාහ කරන්න ගිහින් කොන්දෙ අමාරු හදාගන්න එපා කියලත් වාත්ස්‍යායන සෘෂිවරයා කියලා තියනවා. ආහ් කාම සූත්‍රය ඇතුළේ සිපගැනීම් විදි 40ක් තියෙනවා. මෙච්චර කල් දැනන් හිටියේ ෆ්‍රෙන්ච් කිස් එක ගැන විතරයි නම් තව විදි 39ක් තියෙනවා කියලා මතක තියාගන්න ඕන.

 

6. කෙම් ක්‍රම සහ වාජීකරණ ඖෂධ

Image Source – wikiwand.com

කාම සූත්‍රය කියවන්න හිතන් ඉන්න කෙනෙක්ට කියන්න ඕන දෙයක් තමයි ඒ පොතේ තියෙන ඕන ලිංගික ඉරියව්වක් කරගන්න, වෙන උපදෙසුත් පිළිගන්න, හැබැයි ඒකේ තියෙන කෙම් ක්‍රම, ඖෂධ නම් උත්සාහ කරලා බලන්න යන්න එපා කියන එක. තේරුමක් නෑ. උදාහරණයක් විදිහට ඔයාට කාන්තාවක් ආකර්ෂණය කරගන්න ඕන නම් මොනරෙක්ගේ අස්ථියක් රත්තරන්වලින් ආවරණය කරලා ළඟ තියාගන්න කියලා තියෙනවා. වාජීකරණවලට සමහර කුරුල්ලන්ගේ බිත්තර භාවිතා කරලා ඖෂධ හදාගන්න කියලා තියෙනවා.

 

7. චැටර්ලී ආර්යාවගේ පෙම්වතා සහ කාම සූත්‍රය

Image Source – youtube.com

කාම සූත්‍රය කියන්නේ කුණුහරුප පොතක් කියලා අපි තාම හිතන් හිටියට එංගලන්තෙත් 1963 වෙනකන් හිතන් හිටියේ එහෙම. 1963දී සුප්‍රකට චැටර්ලී ආර්යාවගෙ පෙම්වතා කෘතිය අසභ්‍ය පොතක් නෙමෙයි කියලා ලැබුණු නඩු තීන්දුව නිසා එච්චර කල් ප්‍රසිද්ධ මුද්‍රණාලවල මුද්‍රණය කිරීම තහනම් වුණු “කාම සූත්‍රයට” පොත් කඩවල පොත් රාක්කවලට එන්න හැකියාව ලැබුණා. නැත්තන් එච්චර කල් කාමසූත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන මුද්‍රණය කළේ පෞද්ගලික මට්ටමෙන්. කාම සූත්‍රය ප්‍රසිද්ධ වෙළඳපොළේ මිලට ගැනීමේ අවස්ථාවක් තිබ්බේ නෑ.

කාම සූත්‍රය ගැන තවත් මොනා හරි දැනගන්න ඕන නම් ඒ කියන්නේ අර ඉරියව් ගැන විස්තරාත්මක ලිපි පෙළක් ඕන නම් කමෙන්ට් එකකින් කියන්න. කමෙන්ට් සීයකින් ඉල්ලීම් ආවොත් Lifie අපි ඒ ඉරියව් ගැනත් විස්තරාත්මක සටහනක් ඔයාලට ගේනවා :D.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *