අපි කලිනුත් කතා කළා “සෙක්සිස්ට්” කියන වචනේ ගැන. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන යම් පුද්ගලයෙක්ට වෙනස්කම් කිරීම, කොන් කිරීම සහ පහත් කරලා සැලකීම ගැන. ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන සමාජය ගත්තොත් මේක සිද්ධ වෙන්නේ පිරිමින් අතින් ගැහැණුන්ට. අපි ඒ ගැන තමයි කලින් කතා කළේ. හැබැයි ඉතින් එහෙම වුනත් ගැහැණුන් හැම කෙනෙක්ම සියේට සීයක් නිවැරදිත් නෑ. සමහර අවස්ථා තියෙනවා සමහර කාන්තාවෝ පිරිමින්ට වැරදි විදියට සලකන සහ තමන්ගේ ගැහැණුකම වරදවා භාවිතා කරන. ආන්න ඒ ගැන තමයි මේ ආටිකල් එක.
1. පිරිමි ඔක්කොම ඌරෝ!
මෙන්න මේක බොහොම ජනප්‍රිය මතයක් සමහර ගැහැණු අතර තියෙන. ඒ කියන්නේ සමහර ගැහැණු උදවිය හිතාගෙන ඉන්නවා හැම පිරිමියෙක්ම බලාගෙන ඉන්නේ තමන්ව ඇඳට උස්සගෙන යන්න නැතිනම් බැද්දට කුදලාගෙන යන්න කියලා. ඇත්ත, වර්තමාන සමාජේ කාන්තාවන්ට පිරිමින් අතින් වෙන ලිංගික අකටයුතුකම්, අපයෝජනයන් සහ අතවර, හිරිහැරයන් අතිශයින්ම ඉහළයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ හැම පිරිමියෙක්ම ඌරෙක් ගාණට දාලා සලකන්න ඕනය කියලා. උදාහරණයක් විදියට ගත්තොත් පොදු ප්‍රවාහන සේවාවක යන හැම පිරිමියෙක්ම බලාගෙන ඉන්නේ කාන්තාවකට ලිංගික හිරිහැරයක් කරන්න නෙවෙයි. ඒත් එහෙම හැම පිරිමියෙක් දිහාම වපරැහෙන් බලන කාන්තාවෝ සෑහෙන්න ඉන්නවා. ඒකෙන් ඇත්තටම මේ ප්‍රශ්නේ විසඳන්න තවත් අමාරු වෙන එකයි වෙන්නේ.
2. කෙල්ලෙක් නිසා ඔෆිස් එකේ වාසි වුවමනායි!
ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන පිරිමි හෝ ගැහැණු කිසිම කෙනෙක්ට අඩු සැලකිල්ලක් සිදුවීම අනුමත කරන්නට බැහැ. හැබැයි සමහර ප්‍රායෝගික කාරණා තියෙනවා කාන්තාවන්ට සහන ලැබිය යුතු. උදාහරණයක් විදියට ගත්තොත්, රෑ දහයෙන් පස්සේ පිරිමි අයට ට්‍රාන්ස්පෝට් දෙන කොම්පැණියක කාන්තාවන්ට ට්‍රාන්ස්පෝට් දෙන්නේ රෑ අටෙන් පස්සේ හෝ හයෙන් පස්සේ වෙන්න පුලුවන්. ඒක සාධාරණයි. කාන්තාවන්ට විශේෂිත මාතෘ නිවාඩු වගේ දේවලුත් අතිශයින්ම සාධාරණයි. හැබැයි අපේ සමහර ඔෆිස් වල වැඩ කරන කාන්තාවෝ ඉන්නවා තමන් කාන්තාවක් නිසා අනෙක් අය කරනවාට වඩා අඩු වැඩ කොටසක් තමන්ට ලැබිය යුතුයි කියලා හිතන. හැබැයි ප්‍රොමෝෂන් ඇතුළු අනෙක් ප්රතිලාභ හැමදෙයක්මත් තමන්ට ලැබිය යුතුයි කියලා තමයි මේ අය හිතන්නේ. දැන් ඕක කොහොමද සාධාරණ වෙන්නේ?
3. බොස්ගෙන් වැඩි සැලකිලි
මේක ඇත්තටම එක පාර්ශවයකට විතරක් වරද පටවන්න බැරි දෙයක්. කාන්තාවෝ ඉන්නවා සමහර වෙලාවට ඔෆිස් එකක වැඩ කරනකොට බොස් පිරිමියෙක් නම් බොස් එක්ක තොඳොල් වෙලා තමන්ගේ වුවමනා එපාකම් ඉෂ්ට කරගන්න. සමහර වෙලාවට ඊට වැඩි දේවලුත් කරලා ඉහළට යන කාන්තාවෝ ගැන අපිට අහන්න ලැබෙනවා. මෙතනදී දෙපාර්ශවයම වැරදියි. දෙපාර්ශවයම වෘත්තිය මට්ටමේ රැකියාවකට ගැලපෙන්නේ නෑ. හැබැයි ඉතින් මේ වගේ අවස්ථාවක බොස් අහිංසක නෑ වගේම, තමන්ගේ ගැහැණු කම රස්සාවේ ඉහළට යන්න පාවිච්චි කරන ගැහැණුන් අහිංසක නෑ.
4. අනී එයා මගේ පස්සෙන් එනවා!
මෙන්න මේක ගොඩක් ගැහැණු උදවිය කරන වැරැද්දක්. දැන් කොල්ලෙක් විෂම ලිංගිකයෙක් නම් කැමති වෙන්නේ කෙල්ලෙක්ටනේ. ඒක ගැටළුවක් නෑ. හැබැයි කොල්ලෙක් කොහොමද කෙල්ලෙක්ට මේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ කියන එක සැලකිල්ලට ගන්න වෙනවා. සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලන්ට පුදුම වාත වෙන. ඒ කියන්නේ එක පාරක් අකමැතියි කිව්වත් අහන්නේ නැතුවම පස්සෙන් යනවා. වද දෙනවා. බලෙන් ඇණ වෙන්න හදනවා. අන්තිමට බැරි වුනහම බලහත්කාරෙන් කැමැත්ත ගන්නත් හදනවා. මේ විදියේ හැසිරීමකට විරුද්ධ වෙන එක වෙන්න ඕන දෙයක්. හැබැයි සමහර ගෑණු ළමයි ඉන්නවා, ඒ අයගෙන් කොල්ලෙක් ඇහුවොත් “ෂැල් වී ගෝ අවුට් සම්ටයිම්ස් ෆෝ අ කොෆී” කියලා, හතර වටේම පතුරුවන්නේ “අනී අර බෝයි මගේ පස්සෙන් එනවා, හරි කරදරේ” කියලා. ඉතින් අර කොල්ලගේ කැරැට්ටුව පතුරු යවනවා. ආන්න ඒක හොඳ වැඩක් නෙවෙයි.
5. ලිස්සනවතී!
මේකටත් හැබැයි වග කියන්න ඕන කාන්තාවෝ විතරක් නෙවෙයි. මේ කියන්න යන කාරණේට සම්බන්ධ වෙන පිරිමිත් හරි හරියට මේකට වග කියන්න ඕන. ඒ තමයි තමන් ගැහැණු කෙනෙක් වීම නිසා තමන්ට යම් යම් වරප්‍රසාද, විශේෂ සැලකිලි සමාජයේදී ලැබෙන්න ඕන කියලා හිතීම. ඒකට ජනප්‍රියම උදාහරණයක් තමයි ඔය පොලිස් මාමලා කොල්ලෙක් කලර් ලයිට් එකක් එහෙම පන්නලා අහුවුනොත් දඩ කොළයක් ලියන්න තියෙන හදිස්සිය, ඒ වැරැද්දම කෙල්ලෙක් කරලා අහුවුනාට නැහැයි කියන එක. අවධාරණයෙන් කියන්න ඕන කාරණාව තමයි මේක හැමෝම කරන දෙයක් නෙවෙයි කියන එක. හැබැයි සමහරු කරනවා. මේ වගේ අවස්ථාවක ඉන්න සමහර කාන්තාවෝත් තමන්ගේ ගැහැණු කම උපරිමයෙන් පාවිච්චි කරනවා. එතකොට අනික් පැත්තේ ඉන්න පොලිස් මාමෙක් හෝ වෙනත් අදාළ පිරිමි කෙනෙකුත් මේ ගැහැණු කමට නැවිලා තමන්ගේ රාජකාරිය පැහැර හරිනවා. මෙතනදී දෙපාර්ශවයම අහිංසක නෑ. වෙන්න ඕන නීතිය නම් කාටත් පොදු වීම. යම් කිසි දෙයක් සිද්ධ වෙන නීති රීති, පටිපාටීන් නම් හැමෝටම පොදු වීම.
6. අවුස්සන ආතල්
දැන් ඔය කොල්ලෝ වුනත් කෙල්ලෝ වුනත් පොඩ්ඩක් අඟර දඟර පාලා හරි වීර ක්‍රියාවක් එහෙම කරලා හරි විරුද්ධ පාර්ශවේ අවධානය තමන්ට ගන්න ආසයිනේ. ඒක අතිශයින්ම සොබාවිකයි. හැබැයි ඔය කිවුව ෆ්ලර්ටින් වල යම් කිසි සීමාවක් තියෙනවා. ඒ කියන්නේ කෙල්ලෙක් තමන්ගේ ආතල් එකට කොල්ලෙක්ව නටවනවා නං, ගඟේ යවනවා නං ඒක කිසිසේත්ම සාධාරණ හැසිරීමක් නෙවෙයි. හරි, මෙතනදීත් පිරිමින්ගේ යම් වැරැද්දක් තියෙනවා තමයි. ඒ තමයි ඥාණවන්ත නොවීම. හැබැයි මෙතනදී කාන්තාව කරන වැරැද්ද ඊට වැඩියි. ගොඩක් වෙලාවට මෙහෙම අඟර දඟර, උකුළු මුකුළු පාලා පිරිමියා ඒවලට ප්‍රතිචාර දක්වනකොට කාන්තාව අර උඩින් කියපු විදියට කොල්ලා තමන්ගේ පස්සෙන් එන බවට රට වටේම අඬ බෙර ගහනවා. සමහර වෙලාවට සමහර කාන්තාවෝ එහෙම දැපනේ වැටෙන පිරිමියෙක්ගෙන් තව වාසි ප්රතිලාභ එහෙම ලබාගෙන, ඌව කඩේ යවලා, දත් ගලෝලා පැත්තකට කරලා දානවා. අන්න ඒවා වැරදි වැඩ.
7. ගැහැණුන්ටම සෙක්සිස්ට් වෙන ගැහැණු!
මෙන්න මේක තමයි භයානකම කාරණාව. අපි කලිනුත් කතා කරානේ සමාජයේ බහුලවම පිරිමි සෙක්සිස්ට් විදියට, ඒ කියන්නේ ගැහැණු පිරිමි භාවය පදනම් කරගෙන ගැහැණුන්ට වෙනස් විදියට සලකන, පහත් කරන, හෙළා දකින අවස්ථා ගැන. හැබැයි සමහර වෙලාවට ගැහැණු ඉන්නවා, තව ගැහැණියක්ව ඒ විදියටම කොන් කරනවා, පහත් කරනවා ඈ ගැහැණියක් වීම උඩ. “ගෑණු තමයි පිරිමින්ව අවුස්සන්නේ”, “ගෑණු ඉන්න ඕන ගෙදර”, “ගෑණුන්ට ගැලපෙන්නේ ටීචින් රස්සාවක් විතරයි”, “ඔය ගෑණු නැවෙන්නේම සල්ලි වලට” වගේ කතා සහ තවත් දහසකුත් එකක් කතා කියලා සමස්ත කාන්තා සංහතියටම අපහාස කරන ගැහැණු උදවිය අද රටේ ඕනෑ තරමට මුණගැහෙනවා. මේ අය මෙහෙම කියනකොට තමන් ඊට වෙනස් විදියේ අමුතුම, උතුම්ම ගැහැණු චරිතයක් විදියට තමයි පෙන්නන්න උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් අපි මේ කිවුව විදියේ ආකල්ප වලට පිරිමින්ට බණින කොට, මේ විදියේ ආකල්ප වලට උඩගෙඩි දෙන ගැහැණු උදවියටත් බණින්න වෙනවා.
මතක තියාගන්න, වැරදි සිද්ධ වෙන්නේ මිනිස්සු අතින්. ඒකට ගැහැණු හෝ පිරිමි භේදයක් නෑ. ආන්න ඒ නිසා කොයි මොහොතකවත් ගැහැණියක් හෝ පිරිමියෙක්ව සමස්ත කුලකයකට දාලා වෙනස් කම් කරන්න, කොන් කරන්න, හෙලා දකින්න යන්න නරකයි. ඒ වගේම තමන්ගේ ගැහැණුකම හෝ පිරිමි කම අවභාවිතා කරන්නත් නරකයි!
Cover Image Source – cezannehr.com/ thebodyisnotanapology.com
Leave a Reply