ලාංකිකයන් වශයෙන් අපට ආහාරයට ගතහැකි පෝෂ්‍යදායී සහල් වර්ග

පෙරදිග ධාන්‍යාගාරය කියලා ඒ දවස්වල මෙව්වා එකක් මේ රටට ලැබුණේ අද වගේ එදා වේල දුවන්න තියෙන නාඩු, සම්බා, බාස්මතී නිසා නම් නෙවෙයි. අපේ මුතුන්මිත්තන් නීරෝගී දිවිපෙවෙතක් ගතකරන්න හේතු වුණෙත් ඒවා කාලා නෙවෙයි. අපිටම අනන්‍ය වුණ, මේ පොළවට උරුමකම් කියන හාලෙන් හදාපු බත නිසයි ඒ දේවල් වුණේ. එහෙම හාලකින් හදපු බත් කන්න තියා ඒ මොනවද කියන්නවත් හාල් සාක්ෂරතාවක් අපටැයි කියලා නැහැ. මේ හාල් විශේෂ නිකන් කෞතුක වස්තු වගේ. තියනවා හැබැයි බොහොම අඩුවෙන්. අන්න ඒ නිසා ගිනි ගණන්. හැබැයි ගණන් හිලව් බලන්නැතුව ළමා ළපටින්ට විතරක් නෙවෙයි වැඩිහිටි කොයිකාටත් කන්න පුළුවන් අපේම සහල් විශේෂ 7ක් තමයි මේ.

 

1. ඕලු හාල්

Image Source – twitter.com

හාල් කිව්වට හාල්මත් නෙවෙයි. හැබැයි වෙන්නේ හාලෙන් වෙන සෙතේම තමයි. ඕලු හාල කියන්නේ ඕලු මල්වල තියෙන ගෙඩියේ ඇති ඇටවලටයි . දියවැඩියාව, ප්‍රජනන රෝග, අක්මා රෝග සහ අර්ශස් රෝග කියන රෝගවලට ආයේ ඉතින් නියම අවුසදේ. ඊට අමතරව ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවනවා. බඩේ ගල් අරහේ මෙහෙ ගල් ගගා ඇඟේ තියෙන තරම් ගල් කෑලි ඔක්කොම සුන්නද්දූලි කරලා දානවා. ශරීරයේ තියෙන ස්වාභාවික ප්‍රතිශක්තීකරණය පවත්වා ගන්නත් උදව් වෙනවා.

 

2. සුවඳැල්

Image Source – youtube.com

නමෙන්ම හිතාගන්න පුළුවන් දේ ඇත්තටමත් එහෙම තමයි. මේ හාලෙන් බතක් හදනකොට අමුතු සුවඳක් දැනෙනවා. ග්ලූකෝස් සංචිතය අඩු නිසා දියවැඩියාව පාලනය කරනවා. හෝමෝන ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ කරන සිරුර වර්ධනය වීම කෙරේ සෘජුවම බලපානවා. තවත් එක විශේෂ කාරණයක් තමයි පසෙහි අයන වර්ග උරාගැනීමට ඇති හැකියාව. මේ හාල මුංඇට, කව්පි, කඩල වගේ අනිකුත් ධාන්‍ය වර්ග එක්ක මිශ්‍රව ආහාරයට ගත්තම ජිම් පප්පා අරිෂ්ට කල්දේරමට වැටුණා වගේ තමයි. හදවතේ ඉඳන් රුධිරය අපේ ඇඟ පුරා ගමන් කරවීම කාර්යක්ෂම කිරීමත් තවත් එක සුවිශේෂ ලක්ෂණයක්. මේ නිසාම අධි රුධිර පීඩනයට ඇති අවදානම නැති වෙනවා.

 

3. කුරුලුතුඩ

Image Source – alibaba.com

කුරුලුතුඩ ප්‍රධාන වශයෙන් සම්බන්ධකම් පවත්වන්නේ අපේ ඇටමිදුළු එක්කයි. කෑවාත් හරි පෝෂ්‍ය පදාර්ථේ ඇටමිදුළු කෙළවරට ම ගිහිල්ලා තමයි නවතින්නේ. හිමොග්ලොබින් උත්පාදනය කරන්න අවශ්‍ය වටපිටාව ඇටමිදුළු තුළ ඇතිකිරීම සිද්ධ කරනවා. ඒ විදියට යකඩ අවශෝෂණයත් එක්ක ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය එන්සයිම නිපදවීමේත් දක්ෂයෙක්. හාලේ තියන තන්තුමය ස්වාභාවය සහ වර්ණක වැටකොළු, වට්ටක්කා වගේ එළවළුවල පොත්තේ වර්ණක එක්ක සංයෝජනය වෙලා මේ එන්සයිම නිපදවනවා. ශරීරයේ උණුසුම පවත්වා ගැනීමට මෙන්ම කාය ශක්තිය වඩවන්නත් සුපිරි ආහාරේ.

 

4. මඩතවාලු

Image Source – youtube.com

අනෙක් හාල් එක්ක බලද්දී විශේෂත්වයක් ඇති හාලක් බවට පත් වෙන්නේ ඔක්තෝබර් මාසයේ පමණක් වගා කෙරෙන එක. එහෙමත් නැත්නම් පැරැන්නන් කිවූ විදියට මහ කන්නයේ පමණයි වගා කෙරෙන්නේ. ඒ කාලෙට පසේ විවිධත්වයෙන් යුතු බැක්ටීරියා වැනි ජීවින් ඉන්නවා. උන් එන්සයිම ශ්‍රාවය කරනවා. මේකත් එක්ක ශාකයේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. බීජයේ කාබෝහයිඩ්‍රේට් අඩු තත්ත්වයක් සහ ප්‍රෝටීන සහ මේද වැඩි ස්වාභාවයක් දකින්න පුළුවන්. මේ නිසාම ඒවා ජීර්ණය පහසු කරවන එන්සයිම ඇති කරවීමට හේතු වෙනවා. සරලව ම කිව්වොතින් ආහාර ජීර්ණය පහසු කරවනවා. ඊට අමතරව පිළිකාකාරක සහ විෂ ශරීරයෙන් ඉවත් කිරීමට හේතු වෙනවා. වාත සෙම් රෝගවලටත් බෙහෙත් බොනවට වඩා හොඳයි.

 

5. පච්චපෙරුමාල්

Image Source – youtube.com

සියපත්ඇල් නාමයෙන් හැඳින්වූවත් වඩාත් ජනප්‍රිය මේ නාමයෙන්.  දිව්‍යමය හාල කියලත් හඳුන්වනවා. ශරීරයට සීනි අවශෝෂණය කරගන්නේ නැති තරම්. කොලොස්ටරෝල් අඩු කරනවා. ඉතින් අධික රුධිර පීඩනයට ඇති අවදානම අඩු වෙනවා. ඒ වගේම පිළිකාකාරක නැසීමේ ශක්තිය තියෙනවා. තන්තුමය ස්වාභාවය නිසා මලබද්ධයටත් සහනයක්. මුත්‍රාරෝග සමනයටත් දක්ෂයා. සර්ප විෂ එක්කත් හැප්පෙන්න පුළුවන්.

 

6. කලුහීනටි

Image Source – youtube.com

ඕනම විෂක් සුනේසුන්. ඉතින් පිළිකා රෝගීන්ට දිව්‍ය අවුසදයක්. ශාකවලට අයන අවශෝෂණය කරගන්නකොටත් ඒක කරන්නේ පෙරීමකට භාජනය කරලා. දියවැඩියා රෝගයට හොඳ වෙන්නේ ඉන්සියුලින් නිපදවීම සම්බන්ධයෙන් විශේෂ වෙන නිසා. ශරීර ශක්තිය ඇති කරවනවා. ඉතින් එකෙන් ම හෘද රෝගීන්ට සුදුසුයි. තන්තුමය ගතිය නිසා අර්ශස් සහ මලබද්ධයට සුදුසුයි. කිරිදෙන මව්වරුන්ට ඉහළින්ම නිර්දේශ කෙරෙන හාලක් තමයි මේ.

 

7. බටපොලැල්

Image Source – ravichandraagro.com

බටපොලැල් විශේෂ වන්නේ ප්‍රධාන වශයෙන්ම අක්මාවේ එන්සයිම ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉටුකරන සේවාව නිසයි. පිළිකාකාරක සහ අනිකුත් විෂ රසායන ඉවත් කරවනවා. දියවැඩියා රෝගීන්ටත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

 

මේ හාල් වර්ග හැමකක් ම වාගේ 1KGක් රුපියල් 165කට වගෙයි අලෙවි වෙන්නේ. සති දෙකකට සැරයක්වත් ආහාරයට ගන්න පුළුවන් නම් වටිනවා.

 

Cover Image Source – sunshinestories.com/ wikiwand.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *