ඔෆිස් එක පල්ලෙහා කඩෙන් කට්ටිය වැඩිපුරම කන්නෙ මේවා තමයි

හවසට එන නිදිමත කියන්නෙ ලේසියෙන් මඩින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔෆිස් එකෙන් තේකක් හම්බුනත් ඒකට මගහැරෙන නිදිමතක් නෙමෙයි හවස තුන තුනහමාර වෙද්දි ඔලුවට ගහන්නෙ. අන්න ඒ වෙලාවට තමයි ඔෆිස් එකේ සෙට් එක ඔලුවෙන් සිග්නල් එකක් දීලා පල්ලෙහාට බහින්නෙ. ඔෆිස් වටේට තියෙන පොඩි කඩවල හොට් කබඩ් ඇතුළෙ කෑම බලාගෙන ඉන්නෙම මෙන්න මේ නිදිමත බඩගිනිකාරයො එනකං තමයි. අන්න ඒ වෙලාවට කටට සැර දෙන දයියා කෑමක් එක්ක ෆ්‍රිජ් එක ඇතුළෙ දිලිසි දිලිසි තියෙන කෝක් එකක් තොල ගගා එදා දවසෙ ඔෆිස් වැඩවල සමාලෝචනයක් දෙන්න අපේ අයියලා හරිම දක්ෂයි.

 

1. බිත්තර රොටි කපලා

බිත්තර රොටි දෙකක් විතර කපලා උණු උණු මස් හොදි ටිකක් ඒක උඩින් වක්කරාම තියෙන කික් එක දන්නෙ නිදිමත හවසක ඒක කාපු දිවක්ම තමයි. ඒ එක්කම රස නහර පිනා යවමින් කෝක් එකකුත් එකතු වුනාම සතුට කියලා වැඩක් නෑ. ආයෙ ගිහිල්ලා රෑ අට වෙනකං වුනත් ඕටී එකක් කරන්න පුළුවන් පුරුදු කික් එකේම. ඒ වගේම ගෙදර යනකං මහන්සියක්වත් නිදිමතක්වත් ඇහැකට ළංවෙන්නෙ නං නෑ. සාමාන්‍යයෙන් කඩවල්වලින් ඔය වෙලාවට මැෂිමෙන් වගේ බිත්තරරොටි පිටවෙන නිසා ගොඩක් වෙලාවට බිත්තරෙත් හාෆ් බොයිල් වෙලා වගේ රසක් තමයි දෙන්නෙ. එකත් එක්ක මස් හොද්ද කවලම් වුනාම නියම ගති.

 

2. පරිප්පු වඩේ

කට්ටියගෙ නිදිමත ගතිය ගැන කඩේ අයියා දැනගෙනම තමයි මේ පරිප්පු වඩේ එක පිරිනමන්නෙ. මේකෙ විශේෂත්වය තමයි මේ පරිප්පු වඩේ එක ඇතුළෙ සැඟවිලා ඉඳලා නොසිතූ මොහොතක හැපිලා මොළේටම සැර දෙන කොච්චි මිරිස් කරල. මේ වෙලාවට කෝක් එකකින් ඒ දැවිල්ල සමනය කරගෙන ආයෙ සුපුරුදු පරිදි පරිප්පු වඩේ එකත් එක්ක දැහැන්ගත වෙන්නයි තියෙන්නෙ. මොකෝ ඉතිං වඩේ එකේ කික් එකට ඔය කියන මිරිස් කරලෙ දැවිල්ල නැතුවත් බෑ. ඔය කියන මිරිස් කරල නැති පරිප්පු වඩේ එකක් කියන්නෙ පරිප්පු නැති හෝටලේ වගේනෙ.

 

3. එළවළු රොටි/ සමෝසා

ඒ ඒ කට්ටිය ආසා කරන්නෙ කටට දැනෙන ඒ ඒ ටෙක්ස්චර් එකට. සමහරු ආසයි උණුම උණු රොටි කෑල්ලක් එක්ක මුව තුළට එන දයියා අල පිරිච්ච ෆිලින් එකට. අනිත් අය ආසා කරන්නෙ ටිකක් විතර බිස්කට් ටයිප් හයිය ටෙක්ස්චර් එකක් එක්ක මුව තුළට එන දයියා අල පිරිච්ච ෆිලින් එකට. මේ වෙනුවෙන් තමයි එළවළු රොටියි සමෝසයි කියල දෙකක් තියෙන්නෙ. කොහෙන් කොහොම වුනත් මේ දෙකම අපි මුලින් සඳහන් කරපු හවස් අතේ නිදිමත හැදිච්ච කොයි කාටත් නිදිමත කොහෙන් ගියාද කියලා නැති කරන කෑම ජාති තමයි.

 

4. ෂවර්මා

අපි කියපු නිදිමත සෙට් එකේ නිදිමත නැති කරගන්නවාට අමතරව වෙනමම අවශ්‍යතාවයක් මුල් කරගත්තු අය ගැනයි මේ කතාව. ඒ තමයි ෂවර්මා කන්න එන අය. ශවර්මා කියන්නෙ හොඳට බඩ පිරෙන කෑමක්. ඒකෙ රොටියත්, ඒක මැද ඇති මස් ප්‍රමාණයත් නිසා අනිත් ඕනම දේකට වඩා ෂවර්මා එකෙන් බඩ පිරෙනවා වගේම රෑ වෙලා ගෙදර යනකංම බඩගින්නක් නොදැනෙන්නත් වග බලාගන්නවා. සමහරු නම් හවසට ෂවර්මා එකක් කාලාම රෑට නොකා නිදාගන්න තරම් හුරු වෙලා ඉන්නවා. ඔෆිස් එක පල්ලෙහා කඩේ රස ෂවර්මා තියෙනවානම්, බඩත් ඕකේනම්, කෝක් එකකුත් මදිපාඩුවට අරගෙන කාලා දාන්නයි තියෙන්නෙ.

 

5. පොල් රොටියයි, ලුණුමිරිසයි

මේක කන අය තමයි ෂවර්මා කන කට්ටියගෙ විරුද්ධ පාර්ශවය. අපි ඇයි එහෙම කියන්නෙ කියලා පුදුම වුනාද? පුදුම වෙන්න දෙයක් නෑ, මේ තමයි නිදිමත යන්න මොනවා හරි කන්න ඕන වුනත්, වැඩිය කාලා මහත්වෙන්න අකමැති කට්ටිය. එහෙමත් නැත්තං රෑට ගෙදර ගිහින් නෝනා හදපු කෑම වැඩිපුර කන්න ඕන නිසා බඩේ ඉඩ තියාගන්න කට්ටිය. එහෙම කට්ටිය වෙනුවෙන්ම තමයි උණු උණු පොල් රොටි එක්ක සැරම සැර ලුණුමිරිසක් තියලා තියෙන්නෙ. ලුණු මිරිස් ටිකක් වැඩි වෙන්න උලාගෙන පොඩි පොල් රොටියක් කාලා, ඒකේ සැර යන්න කෝක් එකක් බීලා ආයෙ ඔෆිස් එකට ගියාම යකා වගේ වැඩකරන්න පුළුවන් වෙන එක පුදුමයක් නෙමෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *