1970 කාලයේ ලංකාව කැළඹූ මැතිව් පීරිස් සිද්ධිය අවසානයේ මැතිව් පීරිස් එල්ලා මරන්නට නියම විය. එවකට සමාජයේ ඉහළ පෙළේ චරිතයක් වූ මැතිව් පීරිස් දේවගැතිවරයා තරුණ යුවලකට සිය නිවසේ නවාතැන් සපයන්නේය. එයින් ඩැල්රින් නැමැති තරුණ කාන්තාවට වියපත් මැතිව්ගේ සිත ඇදී යන්නේය. ඉන් අනතුරුව ඩැල්රින්ගේ සැමියා සහ මැතිව්ගේ බිරියද කෙමෙන් කෙමෙන් ඝාතනය කරන්නට මැතිව් ක්‍රියාකළේ මනුෂ්‍යත්වයට නොගැලපෙන අන්දමිනි. දියවැඩියාවට දෙන බෙහෙත් වැඩිපුර ලබා දී, සිරුරේ සීනි ප්‍රමාණය කෘත්‍රිමව අඩුකර ඒ දෙදෙනා මරණයට පත් කර තිබුණි. මෙම සිදුවීම අළලා චන්ද්‍රන් රත්නම් විසින් චිත්‍රපටයක් කරන්නට වූ අතර එහි මැතිව් වරදකරු යැයි පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් වූ වගක් පෙනෙන්නට නැත. එහෙත් සත්‍යම මැතිව් පීරිස් කතාවේදී සැකයකින් තොරවම මැතිව් පීරිස් ඒ මිනීමැරුම් දෙකට වැරදිකරු වී තිබේ. ඇත්තටම චිත්‍රපටයට මගහැරුණු මැතිව් කතාවේ ඇත්තම දේ මොනවද? අපි බලමු.
1. මැතිව් ගේ හාස්කම්
මැතිව් පීරිස් විවාහ වන්නේ 1944 දීය. දෙවන ලෝක යුද සමයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලටද සම්බන්ධ වීම නිසා මැතිව් පීරිස් ජනප්‍රිය චරිතයක් විය… 1950දී දරුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් එංගලන්තයට ගිය මැතිව් පීරිස් එහිදී ජීවිතය යාන්තමින් ගලවාගැනීමට සමත් විය. එය හාස්කමක් යැයි අවට සිටි අයට විස්තර කළ මැතිව් පීරිස් එවැනි හාස්කම් පෙන්වීමේ බලයක් තමාට ඇතැයි විශ්වාස කළේය. ඔහු 1954දී එංගලන්තයේ නිකායක ක්‍රිස්තියානි පූජකයෙක් ලෙස පැවිදි විය. හාස්කම් මගින් යම් උවදුරු දුරු කරගන්නට මැතිව් පීරිස්ගේ සරණ සොයාගෙන පැමිණි විවිධ කණ්ඩායම්ද එකල විය.
2. සීනි 0 යි
සාමාන්‍යයෙන් රුධිරගත සීනි මට්ටම දියවැඩියා වැනි රෝග තත්ත්වයන් නිසා පහළ යා හැකිය. එහෙත් මෙම අවස්ථාවේ ඩැල්රින්ගේ සැමියා වූ රසල් ඉන්ග්‍රම් රෝහල් ගත කරන විට ඔහුගේ රුධිරගත සීනි මට්ටම 0 දක්වා අඩු වී තිබුණි. එම රසායනාගාර පරික්ෂකගේ වෘත්තීය ඉතිහාසය තුළ මිනිසකුගේ රුධිරයේ සීනි මට්ටම 0 දක්වා පහත වැටුණු පළමු අවස්ථාව ලෙස එය දැක්වී තිබුණි. රසල් ඉන්ග්‍රම් රෝහලට ඇතුළත් කරන්නේ මැතිව් පීරිස්ගේ නිවසේ සිට මැතිව් පීරිස් විසින්මය.
3. දරුවන්
චිත්‍රපටයේ එන ලෙස ඩැල්රින් යනු දරුවන් නොසිටින මවකි. එහෙත් සැබෑ කතාවේ ඩැල්රින්-රසල් යුවලට දරුවන් තුනකි. එසේම මැතිව් පීරිස්ටද දරුවන් දෙදෙනෙකි. දෙවන මිනීමැරුම වන මැතිව් පීරිස්ගේ බිරිඳ ඝාතනයේදී මැතිව් පීරිස් කියන්නේ ඇගේ භාර්යාවට දරුවන් නැති ශෝකය නිසා මානසික ආතතිමය තත්ත්වයක් ඇති වී ඇති බවකි. එහෙත් නඩුවේදී කටඋත්තර ලබාදෙන මැතිව්ගේ දරුවන් එවැනි තත්ත්වයක් තිබූ බවට නොපිලිගත්හ. මැතිව් පීරිස්ගේ තිබූ ඇතැම් කුරිරු සහ අසාමාන්‍ය ගති හේතුවෙන් ඔහුගේ දරුවන් පිටරට වාසයට ගිය බවක්ද ඇතැම් කටකතාවල දැක්වේ.
4. ඔහු හරිම සුමුදු මුදු විදියටද හැසිරුණේ?
මැතිව් පීරිස් කෑම හා බෙහෙත් මාර්ගයෙන් සීනි අඩුවෙන බෙහෙත් ලබාදුන්නා පමණක් නොවේ. සත්‍ය කතාවේදී රසල් ඉන්ග්‍රම් රෝහල්ගතව සිටි අවස්ථාවේ රෝහලෙන් ලබාදෙන සේලයින් ආදිය රෝගී රසල්ගේ සිරුරට ඇතුල් වීම වළකන්නට මැතිව් පීරිස් ක්‍රියා කර තිබේ. විටෙක සවිකර තිබෙන කටු නැමීයන පරිද්දෙන් රෝගී රසල්ගේ අත අඹරවා තිබුණි. තවත් අවස්ථාවක රසල්ට සේලයින් සැපයුම අවහිර කර තිබුණි. රසල් වෙනුවෙන් යාඥා කරන්න යැයි කියමින් රෝහලේ ඇඳ අසල රැඳුන මැතිව් කළ කීදෑ ඩැල්රින් නොදැන සිටින්නට විදියක් නැත. එහෙත් භක්තිය නිසා හෝ තහනම් ප්‍රේමය නිසා ඩැල්රින්ට තම පැරණි පෙම්වතා, සෙනෙහෙබර සැමියා ඇස් පනාපිටම මියැදෙණු පෙනුනේ නැත.
5. මිනීමැරුම් 3ක්?
සුගතපාල ද සිල්වාගේ තිර පිටපතක් අනුව 1990 ගණන් වලදී ජනක මල්ලිමාරච්චි මැතිව් පීරිස් ගැන චිත්‍රපටයක් කරන්නට ගියේය. එහෙත් එවකට ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා එය වළක්වා තිබේ. එහිදී මැතිව් පීරිස්ගෙන් තොරතුරු ගන්නට ජනක මල්ලිමාරච්චි සිරගෙදරට ගොස් තිබේ. එවිට “තමුසෙ කවුද මගෙන් විස්තර ගන්න“ යැයි බැනවැදී ඇති මැතිව් පීරිස් ඒ පිරිස එලවාගෙන ඇත්තේ ඔහු සිරමැදිරියක සිටින බවද අමතක කරලමිනි. සිරගෙදර සිටි මැරයින් මාර්ගයෙන් සිරකරුවන්ට තේරෙන බසින් මැතිව්ට පාඩමක් ඉගැන්වූ පසු ඊළඟ දවසේ හීලෑ වූ බලුපැටියෙකු ලෙස සිය කතාව ජනක සහ පිරිස වෙත කියන්නට මැතිව් පීරිස් අවනත වී තිබේ. ඒ හෙලිකළ සත්‍ය කතාව අනුව මිනීමැරුම් දෙකක් නොව සැබැවින්ම 3ක් සිදුකර ඇතැයි කියවේ. සුගතපාල ද සිල්වා වැනි කලාකරුවෙකු අතින් නිමවී, රවීන්ද්‍ර රන්දෙනිය වැනි එවකට තරුණ කලාකරුවෙකුගේ රඟපෑමෙන් ඔපවත් වූ මැතිව් පීරිස් කතාව එදා තිරයට නැගුණි නම් එය අති සාර්ථක චිත්‍රපටයක් වන්නට ඉඩ තිබුනි.
6. මැතිව් නිදහස් වීම
මැතිව් පීරිස් දඬුවම නියම වී වසර 12ක් ඇතුළතදී නිදහස් විය. මරණ දඬුවමට නියම වූ අයෙකු එසේ නිදහස් වීම මහත් පුදුම සහගත සිද්ධියකි. එසේ නිදහස් වූ පසු ඩැල්රින් සමග විවාහ වී කෙටි කලක් ගතකල පසු මැතිව් පීරිස් මොරටුව රාවතාවත්තේදී මිය ගියේය. මැතිව් පීරිස්ගේ යහපත් කල් ක්‍රියාව හේතුවෙන් ඔහු නිදහස් කළ බවක් සඳහන්ව තිබුණත් සිරකුටියේදී මැතිව්ට හමුවූ අයට පවා තර්ජන ගර්ජන කළ මැතිව්ගේ කල්ක්‍රියාව හොඳ යැයි තීරණය කිරීම සැබැවින්ම පුදුම සහගත ක්‍රියාවකි.
7. මැතිව්ට හිරගෙදර අලුත්ද?
මැතිව් පීරිස් යනු චිත්‍රපටයේ සඳහන් ආකාරයටද සිරගෙදර එල්ලා මරණ අය වෙනුවෙන් යාතිකා පවැත්වීමට යන පූජකයෙකි. එකල වැලිකඩ සිරගෙදරට ආසන්නයෙන්ම බොරැල්ලේ මැතිව්ගේ දේවස්ථානය පිහිටීම ඔහුට ඒ කාර්යය පහසු කරන්නට හේතු විය. බණ්ඩාරනායක මහතා ඝාතනයට වරදකරු වූ තල්දූවේ සෝමාරාම එල්ලා මරන්නට නියම වූයේ 1962 ජූලි 6 වැනිදාය. මරණයට නියම වූවන් සඳහා යාඥා කිරීමට පැමිණෙන මැතිව් පීරිස් ක්‍රිස්තියානි ආගමට හැරුනොත් දඬුවම ලිහිල් කරගන්නට හැකි වේයැයි සෝමාරාමට කියා තිබුණි. දැඩි බෞද්ධ ආගමිකයෙක් ලෙස ආගම නොඇදහුවත් සෝමාරාම එය ප්‍රතික්ෂේප කර තිබුණි. එහෙත් අවසාන මොහොතේ සෝමාරාම මිය යන්නේ ක්‍රිස්තියානි නාමයකිනි. මැතිව්ට ඒ අවස්ථාවේදී ඔහු නිදහස් කිරීමේ හැකියාවක් තිබුණිදැයි යම් සැකයක් ඇති වේ. එහෙත් මැතිව් යනු එකල ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට පවා දායක වූ පූජකවරයෙකි.
මැතිව් පීරිස් වසර 79ක් ජීවත් වී තිබේ. එයින් මේ මිනීමැරුම සහ ඒ ආසන්න සිදුවීමක් පමණක් එකෝඩින් ටු මැතිව් සිනමාපටයේ ඇතුළත් වේ. ප්‍රායෝගිකව පෑ එකහමාරක චිත්‍රපටියකින් මිනිසකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්නට බැරිය. මැතිව් පීරිස්ගේ නඩුවට සාක්ෂිකරුවන් සිය ගණනකි. ඒ අතර දොස්තරවරුම 25 දෙනෙකි. නීතීඥ මණ්ඩල ක්‍රියාත්මක වූ එම නඩුවේ නඩු වාර්තාව පිටු තුන්සිය ගණනකි. නියම වූ මරණ දඬුවම පසුකලෙක ඉදිරිපත් වූ අභියාචනයෙන් පසුවද සනාථ කරනු ලැබීය. රටම කැළඹූ ඉතාම පහත් පෙළේ මිනීමැරුම් දෙකක් වූ මේ මිනීමැරුම් ගැන ජනතාව දැනගැනීම වැදගත්ය. කොතරම් සූක්ෂම ලෙස අපරාධ සිදු කළද කොතරම් බලවත් හස්තයන්ගේ ආශිර්වාද ලැබුනද නීතියෙන් සෑම විටම ගැලවී පලායන්නට හැකිවන්නේ නැති බව මැතිව් පීරිස් කථාවෙන් පෙනේ.
Cover Image Source – roar.media.net
Leave a Reply