හැමදාම එකම රසට කිරට, තෙලට කන ඉස්සන්ට රස වෙනසක්

ඉස්සො කිව්වම එක එක සයිස් ඉස්සො ඉන්නව. වඩාම රස කිරි ඉස්සො කියල ඉස්සො කන්න පෙරේත අය නම් දන්නව ඇති. ඔය මොන ඉස්ස උනත් අපේ අය හැමදාම කන්නෙ එක්කො කිරට උයල නැත්නම් තෙල් දාල. වෙනස් රසකට ඉස්සො කන්න කැමති ඔයාලටමයි මේ රෙසිපි ටික.

 

1. ඉස්සො කළු පොල්

Image Source – islandsmile.org

ඉස්සො කළුපොලට උයල තියෙනවද? හදලම බලන්නකො ඒකෙ රස.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිරිසිදු කරගත් ඉස්සො 500g
  2. දුඹුරු පැහැවන තෙක් බැද කුඩු කරගත් හාල්, පොල් මිශ්‍රණයෙන් මේස හැඳි 4ක්
  3. බැදපු පහේ මේස හැඳි 2
  4. මිරිස් කුඩු මේස හැඳි 2
  5. ලුණු
  6. ගම්මිරිස් කුඩු තේ හැඳි 2
  7. ළූණු
  8. තලාගත් ඉඟුරු, සුදු ළූණු
  9. රම්පෙ, කරපිංචා, සේර
  10. කපාගත් තක්කාලි මේස හැඳි 4
  11. කුරුඳු පොතු කෑල්ලක්
  12. කරදමුංගු 4
  13. කරාබුනැටි 8
  14. මිටි කිරි කප් 1
  15. වතුර කප් 1

 

  • තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට මිරිස් කුඩු, ලුණු දාල මිරිස් ටික යන්තම් තෙලේ බැදගන්න. ඒකට ඉස්සො, කිරි, හාල් පොල් මිශ්‍රණය සහ වතුර හැර අනෙක් සියල්ල එකතු කර සුවඳ එනතුරු හොඳින් තෙම්පරාදු කරගන්න.
  • මේ තෙම්පරාදුවට හාල් පොල් මිශ්‍රණය එකතු කරල කලවම් කරගන්න. හාල් පොල් එක් කළාම තෙම්පරාදුවේ තෙල් ගතිය නැති වෙලා යනව. ඒත් නැවත තෙල් එක් කරගන්න අවශ්‍ය නෑ.
  • ඒකට ඉස්සො ටික එකතු කරගෙන විනාඩි දෙක තුනක් කලවම් කරන්න. ඊට පස්සෙ වතුර සහ මිටි කිරි එකතු කරල කලවම් කරන් අඩු ගින්දරේ හින්දගන්න.

 

2. කොකනට් ක්‍රම්බ්ඩ් ප්‍රෝන්ස්

Image Source – salina.sarcasmogerdes.com

මේක බයිට් එහෙකට වගේම ස්ටාටර් එකක් විදියටත් හොඳින්ම ගැලපෙන කෑමක්. හදන්නත් හරිම ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොතු හැර පිරිසිදු කරගත් ලොකු ඉස්සන් දහයක්
  2. පාන් පිටි කප් 1/4
  3. බිත්තරයක්
  4. ගාගත් පොල් කප් 1/2
  5. පාන් කුඩු කප් 1/2
  6. බැදගැනීමට තෙල්
  7. සෝස් එක සඳහා
  8. මයෝනේස් සෝස් කප් 1/2
  9. තලාගත් සුදු ළූණු බික් එකක්
  10. ගාගත් දෙහි ලෙල්ලෙන් තේ හැඳි 1/2
  11. දෙහි යුශ මේස හැන්දක්
  • ඉස්සන් අතින් හොඳින් පැතලි කර දිග හැරගෙන පාන් පිටි වල දවටාගන්න.
  • පොල් සහ පාන් කුඩු එකට මිශ්‍ර කරගෙන පසෙකින් තියාගන්න. බිත්තරයට කූල් වතුර මේස හැඳි 2ක් එක් කර මදක් ගසාගන්න.
  • ඉස්සන් බිත්තර මිශ්‍රණයේ සහ පොල් මිශ්‍රණයේ දවටා ගන්න.
  • ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගෙන තෙල් බේරෙන්නට තියන්න.
  • සෝස් එක සඳහා අවශ්‍ය සියළු දේ එකට මිශ්‍ර කර ඉස්සන් සමඟ පිලිගන්වන්න.

 

3. බ්ලැක් පෙපර් ප්‍රෝන්ස් කරි

වෙනස්ම රසකට ඉස්සො කන්න නම් මේ විදියට හදල බලන්න. බ්ලැක් පෙපර් ප්‍රෝන්ස් එකයි මේකයි පටල ගන්න එපා ඔන්න. මේක කරියක් බත් කන්න හදන.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිරිසිදු කරගත් ඉස්සො 500g
  2. කපාගත්ත ලොකු ළූණු ගෙඩි 2
  3. කරපිංචා ඉති 2
  4. නැවුම් ගම්මිරිස් කුඩු මේස හැඳි 3
  5. බැදපු තුනපහ කුඩු මේස හැඳි 2
  6. කහ තේ හැන්දක්
  7. සීනි තේ හැඳි 3
  8. ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 2
  9. විනාකිරි මේස හැඳි 2
  10. රස අනුව ලුණු
  11. උකු පොල් කිරි කප් 1/2
  • ඉස්සො ටික විනාකිරි සහ ලුණු ටිකක් එකතු කරල හොඳින් කලවම් කරල මැරිනේට් වෙන්න තියන්න විනාඩි 15ක් 20ක්.
  • තෙල් ටිකක් ලිපේ තියල ඒකට ළූණු සහ කරපිංචා එක් කරගෙන තෙම්පරාදු කරගන්න. ළූණු ටික ටිකක් තෙම්පරාදු උනාම ඒකට ඉඟුරු, සුදුළූණු පේස්ට් එක එකතු කරන් කලවම් කරගෙන ඒකට පොල් කිරි සහ ඉස්සො ටික හැර ඉතිරි පහේ සියල්ලම එකතු කරගන්න.
  • විටින් විට හැඳි ගාමින් අඩු ගින්දරේ තෙම්පරාදු කරගන්න. ළූණු වලින් තෙල් වෙන් වෙලා පේන ගාණට තෙම්පරාදු උනාම ඒකට පොල් කිරි ටික එකතු කරගෙන කලවම් කරන් ඉස්සො ටිකත් එක් කරගන්න.
  • පියනකින් වසා මද ගින්නේ හිඳෙන තුරු පිසගන්න. අවසානයේ රස බලා ලුණු එක් කරගන්න.

 

4. පම්ප්කින් ඇන්ඩ් ප්‍රෝන්ස් මික්ස්ඩ් කරි

Image Source – thegastronomicbong.com

මේක විතරකුත් ඇති උණුවෙන් බත් එක්ක. වෙනස්ම රසකට වෙනස්ම කරියක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. නැට්ට හිටින්න සුද්ද කරගත් ඉස්සො 400g
  2. වට්ටක්කා 250g
  3. ලපටි බෝංචි කරල් දහයක් විතර
  4. චොප් කරගත් බී ළූණු ගෙඩියක්
  5. චොප් කරගත් සුදුළූණු බික් හතරක් පහක්
  6. කරපිංචා ටිකක්
  7. ගරම් මසාලා තේ හැඳි 3/4
  8. මිරිස් කුඩු තේ හැඳි 1/2
  9. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
  10. කහ කුඩු තේ හැඳි 1/2
  11. අබ තේ හැඳි 1/2
  12. සූදුරු තේ හැඳි 1/4
  13. කපාගත් වියලි මිරිස් කරල් තුන හතරක්
  14. අමු මිරිස් කරල් දෙකක්
  15. ලුණු රස අනුව
  16. මිටි කිරි කප් 1ක් හෝ කරිය අවශ්‍ය නම් අවශ්‍ය පමණට
  • ඉස්සන්ට කහ සහ ලුණු ටිකක් අතගාල ගැඹුරු තෙලේ බැදගන්න. වට්ටක්කා ටිකත් පොඩි කොටු කපල ගැඹුරු තෙලේ බැදගන්න.
  • තෙල් ටිකක් අඩු ගින්දරේ රත් වෙන්න තියල ඒකට අබ එකතු කරන් පුපුරන කොටම සූදුරු, වියලි මිරිස්, කරපිංචා, ළූණු, සුදුළූණු, අමුමිරිස් ටික විනාඩි 1/2ක පරතරයක් තියමින් පිලිවෙලින් එකතු කරගන්න.
  • මේ ටික තෙම්පරාදු වෙලා ළූණු රන්වන් පාට වෙනකොටම මිරිස්, ගම්මිරිස්, ගරම් මසාලා, ලුණු සහ කහ එකතු කරන් කලවම් කරගන්න.
  • මේකට බෝංචි ටික එකතු කරන් ඒ එක්කම කිරි ටික දාගන්න. කිරි ටික උතුරනකොට බැදගත්ත වට්ටක්කා සහ ඉස්සො එකතු කරන් කලවම් කරගෙන මද ගින්නේ හින්දගන්න. වැඩිය හැඳි නොගා විටින් විට කලවම් කරගන්න.

 

5. ක්‍රීමි ගාලික් ප්‍රෝන්ස්

Image Source – cafedelites.com

පාස්ටා එක්ක, නූඩ්ල්ස් එකක් එක්ක රසට ගැලපෙන ඩිශ් එකක් මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොතු හැර පිරිසිදු කරගත් ඉස්සො 750g
  2. බටර් 25g
  3. තෙල් මේස හැන්දක්
  4. තලාගත් සුදු ළූණු බික් 3
  5. පාන්පිටි මේස හැන්දක්
  6. චිකන් ස්ටොක් හෝ සුප් කැටයක් දියකරගත් වතුර 250ml
  7. ෆ්‍රෙශ් ක්‍රීම් කප් 1/2
  8. අබ කුඩු තේ හැඳි 2
  9. චොප් කරගත් පාස්ලි ටිකක්
  10. ලුණු
  11. ගම්මිරිස්
  • තෙල්, බටර් සහ සුදු ළූණු එකට එක් කර පෑන් එකක දමා රත් කරගන්න. බටර් ටික උණු වන විටම පිටි එක් කරගන්න.
  • එහි බුබුළු දමන විට ස්ටොක් වතුර ටිකෙන් ටික එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයටම ෆ්‍රෙශ් ක්‍රීම් ටිකත් එක් කරගන්න.
  • මිශ්‍රණය ඝණවීගෙන එන විට එයට ලුණු, ගම්මිරිස් සහ අබ එක් කර මිශ්‍ර කරගන්න.
  • අවසානයේ ඉස්සන් එක් කර මද ගින්නේ ඉස්සන් හොඳින් තැම්බෙන තුරු හැඳිගාමින් පිස ගන්න. ලිප නිවා පාස්ලි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *