පරණ පෙම්වතා හෝ පරණ පෙම්වතිය එක්ක ආයෙමත් ආදර සම්බන්ධතාවයකට යන්න හිතනවා නම් මේ කරුණු දැනගෙන ඉමු!

දැන් අපි බොක්කෙන් හරි ජොලියට හරි කරන ආදරයක් කැඩිලා යන වෙලාවක් තියෙනවනේ. ගොඩක් වෙලාවට අපිට තියෙන අත්දැකීම තමයි ඔය ආදරේ කසාද බඳින්නම හිතාගෙන කළත්, එහෙම දීර්ඝ බලාපොරොත්තු නැතුව කළත් සිරාවට කරපු එකක් නම් ඒ හාට්බ්‍රේක් එක දරන්න අමාරුයි. සමහර වෙලාවට අවුරුදු ගණන් විඳවන්න වෙනවා. එයාව ආයෙමත් ලැබෙනවා නම් වෙන මොනවත් එපා කියලා හිතෙනවා. හැබැයි ඇත්තටම එයාත් එක්ක ආයෙමත් ආදරයක් පටන් ගන්න අවස්ථාව ලැබුණොත්? පැනලා කැමති වෙනවද? ආන්න ඒක හරියන්නෙ නෑ. කොයි තරම් පෙළඹවීම ප්‍රබල වුනත් මේ මොහොත තමයි සිහිමොළේ ඇතුව කල්පනා කරන්න ඕන කරන්නේ. ඇයි? දෙන්නා වෙන් වුනේ යම් කිසි හේතුවක් නිසානේ. දැන් දෙන්නටම ආයෙමත් එකතු වෙන්න ඕන ඇති. හැබැයි ඊට කලින් දෙන්නම හිතන්න ඕන දේවල් සෑහෙන්න තියෙනවා. ආන්න ඒ දේවල් වලින් කීපයක් ගැන දැනුවත් කරන්න තමයි අපේ සූදානම. එතකොට මේ වගේ තීරණයක් හැඟීම් වලින් ගන්නේ නැතුව පොඩ්ඩක් බුද්ධියෙන් හිතලා ගන්න අවස්ථාව ලැබෙයි. එහෙම ගන්න තීරණයක් දෙපැත්තටම සුබවාදී වෙයි. දිගුකල් පවතියි!

 

1. බ්‍රෑන්ඩ් නිව් එකක්!

Image Source – telegraph.co.uk

දැන් පරණ කෙනා එක්ක ලව් එකක් පටන් ගන්නවා කියන්නේ පරණ ලව් එකම නවත්තපු තැනින් ආයෙමත් පටන් ගන්නවා කියන එකද? ආන්න එහෙම හිතනවා නම් අලුත් ලව් එක ගැන අදහස අතෑර ගන්න එක හොඳයි. ඒක වැරදියි. මේ ලව් කරන්නේ පරණ කෙනාට වුනත් එයා අලුත් මනුස්සයෙක්. මේක අලුත් ආදරයක්. විශේෂයෙන්ම පරණ ආදරේ ඔය දෙන්නා අතරේ වැඩ කළේ නැත්තේ හේතුවකටනේ. ආන්න ඒ නිසා මේක අලුත් ආදරයක් විදියට දකින එකෙන් ඒක පවත්වාගෙන යන්න පුලුවන් වඩාත් සාර්ථකව.

 

2. ඒ නිසා හරියට කලින් සම්බන්ධතාවය අවසාන කිරීම වැදගත්!

Image Source – wikihow.com

ගොඩක් වෙලාවට කලින් ආදර සම්බන්ධතාවයෙන් දෙන්නා වෙන් වෙලා තියෙන්නේ ගේම කෝල් කරගෙන වෙන්න පුලුවන්. ඒ කියන්නේ කලින් සම්බන්ධතාවය අවසාන වුනේ ඇයි, ඒකට එකිනෙකාගෙන් ලැබුණු දායකත්වය මොකද්ද, ඒ කිව්වේ දෙන්නට දෙන්නා කරපු වැරදි මොනවද වගේ දේවල් කතාබහ කරගෙන නෑ. හැබැයි දෙන්නට දෙන්නා ඕන නිසා ආයෙමත් සෙට් වෙන්න හිතනවා. අන්න ඒක වැරදියි. මුලින් දෙන්නා වාඩි වෙලා අවංකව කතා කරන්න දෙන්නා අතින්ම සිද්ධ වෙච්ච වැරදි. සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක් කැඩෙන්නේ තනිකරම එක් පාර්ශවයක් නිසා නෙවෙයි. අන්තිමට කෙළ වෙලා යන තැනට එන්නේ එක්කෙනෙක් නිසා වෙන්න පුලුවන්, ඒත් එතනට එන්න ගොඩක් දුරට දෙන්නගේම දායකත්වයක් තියෙනවා. අන්න ඒ නිසා මෙතන “මම හොඳ මිනිහා/මම හොඳ ගෑණි” වෙන්න යන්නෙ නැතුව අවංකවම තමන් අතින් වුණු වැරදි පිළිගන්න. ඒ වගේම අනික් කෙනා නිසා තමන්ට වුණු අප්සෙට්, හිත් රිදීම් තියෙනවා නම් ඒවත් අවංකව කියන්න. හැබැයි මේ කියන්නේ චෝදනා කරන්න නෙවෙයි. ඒකත් මතක තියාගන්න. එහෙම නැතුව එකිනෙකාට චෝදනා කරගන්න ගියොත් එහෙම, පටන් ගන්න යන අලුත් එකත් හබක් තමා!

 

3. හැබැයි අවසාන කරපු දේවල් ආයෙමත් ඉස්සරහට ගේන්න බෑ!

Image Source – wikihow.com

දැන් කලින් කියපු විදියට දෙන්නා අතර තිබුණු පැරණි සම්බන්ධතාවය හරි විදියට ඉවර කරගත්තා කියමුකෝ. දැන් දෙන්නම දන්නවා වැරදුණේ කොතනද, වැරදුණේ කා අතින්ද කියලා. ඒ වැරදීම් වලට දෙන්නා අවංකව කතා කරලා, තම තමන්ගේ වැරදි පිළිඅරගෙනත් ඉවරයි. ඒ වැරදි වෙනුවෙන් දෙන්නට දෙන්නා හරි එක්කෙනෙක් අනිකාට හරි සමාව දීලත් ඉවරයි. දැන් එතනින් ඒ දේවල් අවසාන කරන්න ඕන. ඒවා ආයෙමත් කරේ තියාගෙන යන්න බෑ. විශේෂයෙන්ම පරණ කුණු ඇදිලා එන්නේ ආයෙමත් ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවට. මෙන්න මේක දෙන්නම තරයේ පිළිපදින්න ඕන කාරණාවක්. පරණ පෙම්වතා හෝ පෙම්වතී එක්ක පටන් ගත්තු අලුත් ආදරේ ඇතුළේ ප්‍රශ්නයක් ඇතිවුණු මොහොතකදී පරණ කුණු කන්දල් ඇදලා ගන්න එක, ඒ කියන්නේ පරණ ආදරේ ඇතුලේ සිද්ධ වුණු අවුල් ඇදලා ගන්න එක කැතයි. ඒක අලුත් ආදරේත් ඉවර වෙන පොටක්. ආන්න ඒ නිසා අලුත් ආදරේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක එතනදී විසඳගන්න. ඒකට අර අවසාන කරපු දේවල් ආයෙමත් ඇදලා ගන්න එපා!

 

4. ආදරේ නිසා වැරදි පුද්ගලයාව ‍ආයෙමත් තෝරා නොගන්න!

Image Source – obsever.com

අපි පටන් ගන්නකොටම කිවුවා වගේ ආදරයක් අමතක කරන එක ලේසි නැහැ. ඒ නිසාම කලින් සම්බන්ධතාවය අවසන් කළේ අපිම වුනත්, පරණ පෙම්වතා හෝ පෙම්වතී ආයෙමත් අවස්ථාවක් ඉල්ලා හිටියොත් අපි ඒ අවස්ථාව දෙන්න ඉඩ තියෙනවා. කලින් සම්බන්ධතාවය තියෙනකොට හිටියේ කොයි තරම් පීඩනයක වුනත්, ඒ හැමදේම අමතක කරලා ආයෙමත් එකතු වෙමු කියන තැනට අපිත් යන්න ඉඩ තියෙනවා. ආන්න ඒක වැරදියි. සමහර වෙලාවට අපි කොයි තරම් ආදරෙන් හිටියත්, විසකුරු මනුස්සයෝ එක්ක අපිට ඉන්න අමාරු නිසාම වෙන් වුනා වෙන්න පුලුවන්. ඉතින් එහෙම මොහොතක ‘එයා දැන් හැදිලා ඇති’ කියලා නිදහසට කරුණකුත් දීලා ආයෙමත් එකතු වෙන එක අවදානම්. මොකද විසකුරු පුරුදු, ගතිගුණ තියෙන මනුස්සයෙක් එහෙම එක ‍රැයින් වෙනස් වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. ඒ නිසා හොඳම දේ තමයි ආයෙමත් එකතු වෙන්න කලින් දෙන්නා එක්ක යාලුවෝ විදියට ජීවත් වෙලා බලන එක. ඒ්ක වඩාත් නුවණට හුරුයි.

 

5. වෙනසක් වුවමනායි!

Image Source – entwinedlifestyle.com

මේක උඩින් කියපු කාරණාවකටත් සම්බන්ධයි. දැන් ආදර සම්බන්ධතාවය කලින් හරි නොගියේ යම් කිසි කාරණාවක් නිසානේ. ඒ කාරණාව කාර්යබහුල රස්සාව වෙන්න පුලුවන්. ගෙදර වගකීම් වෙන්න පුලුවන්. ඔය වගේ දෙයක් නිසා වැඩේ හරි නොගියා නම්, මේ වෙනකොට පරණ පෙම්වතා හෝ පෙම්වතී එක්ක අලුතෙන් ආයෙමත් ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න යන්නේ කලින් ආදරේ හරි නොගියපු කරුණු කාරණා මේ වෙනකොට ප්‍රශ්න නෙවෙයි කියලා ෂුවර් පිටනේ. හැබැයි ඉතින් අපි කලිනුත් කිව්වා වගේ මේක බ්‍රෑන්ඩ් නිව් ආදරයක් වෙන්න ඕන. ආන්න ඒ නිසා පුලුවන් තරම් තමන්ගේ අලුත් ආදරය වටා තියෙන දේවලුත් අලුත් වෙන්න වුවමනායි කියන එක හිතේ තියෙන්න ඕන. ඒ කියන්නේ පරණ දේවල්ම ආයෙ ආයෙත් ඇසුරු කරන්න වෙනවා නම් ඒ ආදරේ ආයුෂ අඩු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම පරණ ආදරේ කැඩෙන්න සෘජුව හෝ වක්‍රව හේතු වුණු දේවල් ආයෙ ආයෙත් ඇසුරු කරන්න වෙනවා නම් ඒ ආදරේ ආයුෂ අනිවාර්යයෙන්ම අඩු වෙන්න පුලුවන්!

 

6. ඉස්සරටත් වඩා සන්නිවේදනය වැදගත්!

Image Source – entwinedlifestyle.com

ගොඩක් වෙලාවට ගොඩක් සම්බන්ධතා වලට තිත තියන්න වෙන්නේ සන්නිවේදනය අප්සෙට් නිසා. ඒ කියන්නේ වෙන වෙන වැරදි නිසා සම්බන්ධතාවය නවතින්න පුලුවන්. හැබැයි වෙනස් කරන්න බැරි විදියේ විසකුරු පුරුදු නිසා ආදරේ අවසාන නොවුණොත්, ගොඩක් වෙලාවට වෙන්නේ සිද්ධ වෙන වැරදි වුනත් නිවැරදි කරගන්න ප්‍රමාණවත් සන්නිවේදනය නැති නිසා ආදරයක් නවතින එක. සමහර විට ඔය සන්නිවේදනය නැතිකම එන්නේ මාන්නයක ස්වරූපයෙන් වෙන්න පුලුවන්. තමන්ගේ වැ‍රැද්දක් පිළිගන්න නොපෙළඹීම කියන්නෙත් සන්නිවේදන ප්‍රශ්නයකට ආසන්න දෙයක්නේ.

හැබැයි කොහොම හරි පරණ ලව් එකට තිත තියන්න වුනත්, අලුත් ලව් එකක් පරණ කෙනා එක්කම පටන් ගත්තට පස්සේ මේ සන්නිවේදනය කියන එක ටිප් ටොප් එකට තියෙන්න ඕන. උඩ කියලා තියෙන සමහර දේවල් වල විදියට, මේක බ්‍රෑන්ඩ් නිව් ලව් එකක් විදියට පටන් ගත්තත් දෙන්නගේ තියෙන ඉතිහාසය නිසා පොඩ්ඩක් එක්ස්ට්‍රා පරිස්සම් වෙන්නත් සිද්ධ වෙන්න පුලුවන්. අන්න ඒකටත් සන්නිවේදනය වැදගත්!

 

7. ආදරේද නැතිනම් සෙක්ස්ද?

Image Source – bustle.com

මේ කාරණාව ඇත්තටම එන්න ඕන මුලටමයි. ඒ කියන්නේ දැන් පරණ ලව් එකක් ඉවර වෙන්න මොන හේතු තිබුණත්, පරණ ලව් එකේ හිටපු දෙන්නා අතරේ හොඳ ලිංගික ජීවිතයක් තිබුණා නම්, ලව් එක නැතත් සෙක්ස් අමතක කරන්න අමාරු වෙන්න පුලුවන්. අන්න එතකොට දෙන්නම තමන්ගේ ඒ සෙක්ස් ලයිෆ් එක අමතක කරන්න බැරි නිසාම ආයෙමත් එකතු වෙන්න ඕන. හැබැයි දෙන්නම හිතනවා ඒක ආදරේ තමයි කියලා. හැබැයි ඒක ආදරේ නොවෙන්න, එතන තියෙන්නේ සෙක්ස් විතරක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. ආන්න එතකොට මේ ආදරයයි කියලා හිතාගෙන අලුතෙන් පරණ කෙනා එක්ක පටන් ගන්න යන සම්බන්ධතාවය ආයෙමත් හිත් වේදනා වලින් කෙළවර වෙන්න පුලුවන්.

ඒ නිසා මුලින්ම හිතලා බලන්න තමන්ට ඕන මොනවද කියලා. තමන්ට වුවමනා වෙන්නේ පරණ කෙනත් එක්ක තිබුණු සෙක්ස් ලයිෆ් එක ආයෙමත් රස බලන්න නම්, දෙන්නටම ඒක වුවමනා නම්, දෙන්නම තමන්ට වුවමනා දේ ගැන අවංක වෙලා සෙක්ස් ලයිෆ් එක පුලුවන් තරම් කාලයක් ගෙනියන්න. හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක් හරි මෙතනදී වංක වෙනවා කියන්නේ, ගොඩක් දුරට අනික් කෙනාට විඳවන්න වෙනවා කියන එකයි. අන්න ඒක හොඳ දෙයක් නෙවෙයි!

Cover Image Source – united21resortkanha.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *