YouTube එකේ වැඩිම දෙනෙක් ඩිස්ලයික් කරපු වීඩියෝස්

අමුතු කතා කියන්න ඕන නැහැ, YouTube කියන්නෙ මේ වෙද්දි ලෝකයේ අතිවිශාල පිරිසක් එකතු වෙන වෙබ් අඩවියක්. මිනිස්සු කොයිතරම් ඩේටා වියදම ගැන හිතුවත්, යූටියුබ් වෙත මේ තරම් පිරිසක් එකතු වීමම ඒ සියල්ලට වඩා යූටියුබ් තුළින් ලැබෙන දේ ගැන පැහැදිලි චිත්‍රයක් පෙන්වනවා. යූටියුබ් තුළින් නරඹන්නෙකු ලෙසින් ඔබට ලැබෙන දේට අමතරව ඔබේ හැකියාවන් හෝ ප්‍රකාශනයන් පෙන්වීමේ ඉඩක් විදියටත් භාවිතා කරන්නට හැකි වේදිකාවක් නිසා යූටියුබ් කියන්නෙ ප්‍රයෝජනවත් වෙබ් අඩවියක්. මෙන්න මේ වෙබ් අඩවියේ වැඩිම දෙනෙක් අකමැත්ත දක්වපු වීඩියෝ මොනවද කියන කතාව කියන්නයි මේ යන්නෙ. මේ කතාව මෙහෙම ලියන්න හේතුවෙන්නෙම මේ දර්ශකයේ ඉහළම තැනට මේ ළඟදි නිර්මාණයක් එකතු වීම සහ එහි නිර්මාපකයා වන්නේ යූටියුබ්ම වීමේ අරුමය නිසායි.

 

7. Friday – Rebecca Black – ඩිස්ලයික්ස් මිලියන 3.38

Image Source – knowyourmeme.com

අපේ ලැයිස්තුවෙ හත් වැනි තැන තියෙන්නෙ 2011 වසරේ නිකුත් වුණු වීඩියෝවක්. මිනිස්සු රියැක්ට් කරපු ප්‍රතිශතය අනුව 78%ක්ම අන්ලයික් කරපු මේ වීඩියෝවේ මේ සටහන ලියැවෙන විට තියෙන ඩිස්ලයික්ස් ප්‍රමාණය මිලියන 3.38ක්. නීතිමය ප්‍රශ්නයක් නිසා ඔරිජිනල් වීඩියෝව 2011දි යූටියුබ් තුළින් ඉවත් කළත්, රෙබෙකා බ්ලැක් ගයන මේ ගීතය මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමුවීම නිසාම නැවතත් යූටියුබ් වෙත එක් කරනවා. මේ වෙනුවෙන් පැරඩි වීඩියෝ බොහෝමයක් මේ වෙද්දි නිකුත් වෙලා තියෙනවා. කෙල්ලෙක් සිකුරාදාව දකින්නෙ කොහොමද කියලා කියන මේ සින්දුව තරමක් දුරට ගොංපාට් එකක් කියලා බැලූ බැල්මට පෙනුනත් මේ තරම් ඩිස්ලයික්ස් ඒවි කියලා හිතන්නත් අමාරු වීඩියෝවක්.

 

6. Despacito – Luis Fonsi featuring Daddy Yankee – ඩිස්ලයික්ස් මිලියන 3.69

Image Source – youtube.com

කවුරුත් හිතනවද ලංකාවෙ ඈයො වගේම ලොව පුරා මිනිස්සු මේ තරම් ආදරයෙන් වැළඳගත්තු 2017දි නිකුත් වුණු ඩෙස්පසීටෝ වගේ ගීතයක් වැඩිම යූටියුබ් ඩිස්ලයික්ස් ලැයිස්තුවෙ හයවැනි තැන ඉඳීවි කියලා. හැබැයි ප්‍රතිශතයක් වශයෙන් ගත්තම නං ඩිස්ලයික්ස් තියෙන්නෙ සියයට 10ක් විතර වුනත් මේ වීඩියෝවෙ අතිවිශාල ප්‍රසිද්ධිය නිසාම ඒ පරතරය ඇතිවුණු වග හිතාගන්න හැකියාව තියෙනවා. කොහොමවුනත් මේ ලැයිස්තුවේ නොතිබේවි කියා විශ්වාස කරන වීඩියෝවක් විදියට ඩෙස්පසීටෝ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පොඩි දරුවන් අතරේ ප්‍රසිද්ධ මාෂා ඇන්ඩ් ද බෙයා වීඩියෝවක්, ජොනී ජොනී යස් පපා ගීතයේ වීඩියෝවක් වගේම ගංග්නම් ස්ටයිල් ගීතයත් මේ විදියේ අපේක්ෂා නොකරන වීඩි​යෝ විදියට ලැයිස්තුවේ තවත් පහළට යද්දි මුණගැහෙනවා.

 

5. Call of Duty: Infinite Warfare Reveal Trailer – Call of Duty – ඩිස්ලයික්ස් මිලියන 3.78

Image Source – gamesradar.com

ගේමින්ග් ලෝලීන් අතරේ කොඩ් කියන කෙටි නමෙන් ප්‍රසිද්ධ කෝල් ඔෆ් ඩියුටි කියන්නෙ අතිප්‍රසිද්ධ සහ වැඩිම අවධානයක් දිනාගත්තු වීඩියෝ ක්‍රීඩාවක්. මෙහි Infinite Warfare Reveal හඳුන්වාදීම වෙනුවෙන් නිකුත් කරපු ට්‍රේලර් එක ඒ ජනප්‍රියත්වය අතිකරගත්තෙ නෑ කියන්න සාක්ෂියක් විදියට සියයට 85කට වැඩිය ඩිස්ලයික් ප්‍රතිශතයක් ගත්තු මේ ට්‍රේලර් එක දක්වන්න පුළුවන්. 2016 අවුරුද්දෙ මැයි මාසයේ නිකුත් කරපු මේ වීඩියෝව මිලියන 41ක් වතාවක් නරඹලා තිබුනත්, බො​හෝදෙනෙක් ඊට කැමැත්තක් දක්වලා නැහැ.

 

4. Can this video get 1 million dislikes? – PewDiePie – ඩිස්ලයික්ස් මිලියන 3.79

Image Source – youtube.com

මේක නම් විහිළුවක්. කවුද කැමති තමුන්ගේ චැනල් එකේ තියෙන වීඩියෝවකට වැඩි ඩිස්ලයික්ස් ප්‍රමාණයක් එනවට. යූටියුබ් වෙබ් අඩවියේ වැඩිම සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් හිමි PewDiePie කියන්නෙ එහෙම වෙනස් අදහස් තියෙන මනුස්සයෙක් විත්තිය ඒ යූටියුබ් චැනල් එක එක් වතාවක් හෝ නරඹපු ඕනම කෙනෙක් දන්න දෙයක්. ඒ නිසා ඔහුගේ ඉල්ලීමට ඔහුගේ ප්‍රජාව දක්වපු සහයෝගයක් තමයි අපේ ලැයිස්තුවේ සිවුවැනි තැන තියෙන්නෙ. මුළු රියැක්ෂන්ස් ප්‍රමාණයෙන් සියටට 94.07ක් තරම් ඉහළ ඩිස්ලයික්ස් ප්‍රතිශතයක් ගත්තු මේ වීඩියෝව PewDiePieගෙ හිත හදන්න කරපු දෙයක්. මෙවැන්නක් ඇත්තටම මිනිසුන්ගේ අකමැත්තක් උඩ මේ ලැයිස්තුවට ඇතුළත් වෙන දෙයක් නොව, ඒ අදාළ ෆිල්ටරයන් ඇතුළෙ තියෙන නිසාම මෙතැනට එකතු වූවක් ලෙසින් සළකන්න.

 

3. It’s Everyday Bro – Jake Paul featuring Team 10 – ඩිස්ලයික්ස් මිලියන 4.07

Image Source – youtube.com

ජේක් පෝල් කියන්නෙ තවත් ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙක් වුණු ලෝගන් පෝල්ගෙ සහෝදරයා. සියදිවි නසාගන්න කැලයකට ගිහින් දැඩි අප්‍රසාදයක් හිමිකරගත්තු ලෝගන් පෝල්ට දෙවැනි නොවෙන්න ඔහුගේ සහෝදරයාත් නිර්මාණ සිද්ධ කරලා තියෙනවා. තරමක් ලොකු කම කියවන රැප් එකක මියුසික් වීඩියෝවක් විදියට 2017 වසරේ නිකුත් වුණු මේ වීඩියෝවට ඩිස්ලයික් කරපු ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට සියයට 60 ඉක්මවනවා. ඒ වගේම මේ වීඩියෝව මිලියන 224 වතාවකටත් වැඩිය නරඹලා තියෙන බවත් මේ එක්කම සඳහන් කළ යුතුමයි.

 

2. Baby – Justin Bieber featuring Ludacris – ඩිස්ලයික්ස් මිලියන 10.04

Image Source – thesource.com

පසුගිය මාසයේ නිකුත් කරපු වීඩියෝවක් පළමු තැන අරගන්නකංම 2010 අවුරුද්දේ සිට නොකඩවා ඩිස්ලයික්ස් අතින් මුල් තැන තිබුණු වීඩියෝව වෙන්නෙ බෙයිබෙ බෙයිබෙ කියල බෙරිහං දෙන පොඩි එකාගෙ වීඩියෝව. මේ වෙද්දි පොඩි එකෙක් නොවුනත්, ඒ වෙද්දි පොඩි එකෙක් වුණු ජස්ටින් බීබර්ට පෞද්ගලිකව ගොඩක් දෙනෙකුගෙ අප්‍රසාදයක් තිබීම මේ ඩිස්ලයික් කිරීමට හේතුව වෙන්න පුළුවන්. මේ ගීතයේ මිනුම් දර්ශක අගයන් ඉතාමත් ජුගුප්සාජනකයි. මේ වීඩියෝවට මේ වෙද්දි මිලියන 9.9ක් ඩිස්ලයික් කරලා තියෙනවා. ඒ වගේම මිලියන 10ක් ලයික් කරලා තියෙනවා. එය ඩිස්ලයික් ප්‍රතිශතයක් විදියට ගත්තොත් සියයට 48 ඉක්මවනවා. එහෙත් මේ වීඩියෝවේ වීවුස් ප්‍රමාණය බිලියන දෙක ඉක්මවනවා. මියන්න නෙමෙයි බියන්න.

 

1. YouTube Rewind 2018: Everyone Controls Rewind – YouTube Spotlight – ඩිස්ලයික්ස් මිලියන 13.16

Image Source – youtube.com

මේක නිසාමයි අපි මේ සටහන ලියන්නෙත්. මොකද මේක නිසායි මෙහෙම දෙයක් ගැන අපිට මතක් වුනෙත්. යූටියුබ් වෙතින් වසරකට වතාවක් වසර අගදී ඒ වසරේ තමන්ගේ අඩවියේ ප්‍රකට නිර්මාපකයෝ කිහිප දෙනෙක් කැඳවලා ඔවුන් එක්ක වීඩියෝවක් නිර්මාණය කරනවා. මේකෙ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. ඒ තමයි යූටියුබ් කමියුනිටිය දියුණු කරන්න සහ වඩා වැඩි පිරිසක් එක්කහු කරගන්න කරන ප්‍රචාරණයක් සහ ඇඩ්වටයිසර්ස්ලට තමන්ට ආයෝජනය කරන්නට හැකි කදිම වේදිකාවක් ඇති බව පෙන්වන අරමුණ. මේ වෙනුවෙන් පසුගිය කාලය පුරාම සිදු කරපු නිර්මාණ අතරේ ලංකාවෙ අපිට නං හිතේ රැඳෙන්නෙ අපෙනුත් කොල්ලෙක් යූටියුබ් රිවයින්ඩ් එකට ගිය 2012 අවුරුද්ද. ඒ තමයි ජෙහාන්. ජෙහාන්ගෙන් පස්සෙ ඒ තැනට තාම කවුරුත් ගියේ නෑ. කොහොමවුනත් අතිප්‍රකට යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා යොදාගෙන කරපු මේ වීඩියෝවට මේ තරම් ඩිස්ලයික්ස් වැටෙන්නෙ එහි තිබුණු ඇඩ්වටයිසින් බලාපොරොත්තුවේ යටිපෙළ නිසා කියලයි කට්ටිය කියන්නෙ. නිකුත් කළේ පසුගිය දෙසැම්බර් 06 වැනිදා වුනාට මේ සටහන ලියැවෙන මොහොත වෙද්දි මිලියන 13ක් ඩිස්ලයික්ස් ලබාගෙන තියෙන මේ වීඩියෝව මිලියන 140ක් නරඹලා තියෙනවා. අන්න ඒ විදියටයි අපේ ලැයිස්තුවේ පළමු තැනට තියෙන වීඩියෝව එතැනට එන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *