ප්‍රකට තරු සම්මාන ප්‍රතික්ෂේප කළ අවස්ථා

සම්මාන ලබන්නට බොහෝ දෙනා ආසයි. සම්මාන උළෙලකින් පසු විවිධ කසු කුසු ඇතිවෙනවා. සම්මාන දුන්න විදිය, ලැබෙන්න තිබුණ අය, ලැබුන අය, තේරීම් ගැන කතාබහ ඇතිවෙනවා. ඒ අතර සම්මානයට යෝජනා වෙලා සම්මානය ලැබුනත් අනේ මට එපා කියලා සම්මානය එපා කියපු අයත් ඉන්නවා. ඇත්තටම එහෙම කරන්න එයාලට ප්‍රබල හේතුත් තිබිලා තියෙනවා. සම්මානයක් වගේ වටින දෙයක් ඇයි එයාල ප්‍රතික්ෂේප කළේ? අපි ඒ විදියේ සම්මාන ප්‍රතික්ෂේප කළ අවස්ථා ගැන ටිකක් සොයා බලමු.

 

1. ආක්ශේ කුමාර් – 2009

Image Source – bollywoodhungama.com

ආක්ශේ කුමාර්ට 2009 දී “චාන්ද්නී චෝක් ටු චයිනා” චිත්‍රපටය වෙනුවෙන් ජනප්‍රියම නළුවා සම්මානය ලැබුනා. ආක්ශේ වේදිකාවට පැමිණ ඒ සම්මානය “ගජිනි” හි රඟපෑ ආමීර් ඛාන් වෙනුවෙන් පුදකළා. අමීර් ඛාන් සාමාන්‍යයෙන් සම්මාන උළෙල වලට සහභාගී වන්නේ නැහැ. “රසිකයෝ මගේ නිර්මාණ රසවිඳීම තමයි මට ලැබෙන ඉහළම සැලකීම. සම්මාන උළෙල වල එක එක න්‍යායපත්‍ර ක්‍රියාත්මක වෙනවා. ඒවා ගැන සිතනවාට වඩා මගේ රසිකයින් ගැන සිතීම හොඳයි කියලා මම හිතනවා“ යැයි අමීර් ඛාන් සම්මාන ගැන විමසූ විට ප්‍රසිද්ධියේ සිය අදහස් ප්‍රකාශ කර තිබුණා. එම වසරේදී ගජිනි සමග ගත්විට තමුන්ට වඩා සෑම අතින්ම ඉදිරියෙන් අමීර් සිටින්නේ යැයි ආක්ශේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අතර, ඔහුගේ සම්මානය ලබාගෙන කුඩා කතාවකින් එය අමීර් ඛාන්ට පුද කළා.

 

2. මාලන් බ්‍රැන්ඩෝ – 1973

Image Source – visualcocaine.org

1973 දී මාලන් බ්‍රැන්ඩෝට “ද ගෝඩ්ෆාදර්” චිත්‍රපටය වෙනුවෙන් ඇකඩමි සම්මානය හිමි වුනි. එහෙත් මාලන් සම්මාන උළෙලට ආවේ නැත. ඒ වෙනුවට සම්මානය ගන්නට පැමිණියේ රතු ඉන්දියානු නියෝජිතවරියකි. චිත්‍රපට සහ රූප මාධ්‍යයන් වලදී රතු ඉන්දියානුවන්ට සිදුවන නොසලකා හැරීම් සහ අයථා ක්‍රියා හේතුවෙන් ඔහු සම්මාන උලෙළට සහභාගි නොවන බව ඔහු වෙනුවෙන් වේදිකාවට පැමිණි රතු ඉන්දියානු නියෝජිතවරිය කියා සිටියාය. එය හොලිවුඩ් ඉතිහාසයේ ඔස්කාර් සම්මානයක් ප්‍රතික්ෂේප කළ දෙවන අවස්ථාව වූ අතර එය එදා සමාජයේ ලොව පුරා සෑම මාධ්‍යයකම සඳහන් වූ ආන්දෝලනාත්මක සිදුවීමක් විය.

 

3. සෙලීන් ඩියෝන් – 1991

Image Source – etonline.com

ටයිටැනික් චිත්‍රපටයේ එන සුන්දර ගීතය වන “මයි හාට් විල් ගෝ ඕන්” ගීතය ගායනා කරන්නේ සෙලීන් ඩියෝන් ය. ඇයට ෆෙලික්ස් සම්මාන උළෙලේදී හොඳම ඉංග්‍රීසි ගායිකාව ලෙස සම්මානයක් ලැබුනි. එහෙත් ඉංග්‍රීසි ගායිකාවක් ලෙස සම්මාන ගැනීමට සෙලීන් ඩියෝන් අකමැති විය. සෙලීන් ඩියොන් කැනඩාවේ ප්‍රංශ සම්භවයක් සහිත කිවුබෙක් නැමැති ජන කොට්ඨාසයට අයත් අයෙකි. ඇය ඉංග්‍රීසි ගායිකාවක් යැයි කියනවාට වඩා කිවුබෙක් ගායිකාවක යැයි හඳුන්වනවාට ඇය කැමතිය. කෙසේ වෙතත් එම සම්මානය ප්‍රතික්ෂේප කොට එය හොඳම ගායිකාවට හෝ හොඳම කිවුබෙක් ගායිකාවට ලෙස ලබාදුන්නේ නම් මනා යැයි සෙලීන් ඩියෝන් වේදිකාවේදීම කියා, අත්පොලසන් නාදය මැද්දේ වේදිකාවෙන් බැස ගියාය.

 

4. ඇඩෙල් – 2017

Image Source – grammy.com

ගායක ගායිකාවන්ගේ උසස්තම සම්මාන උළෙලක් වන ග්‍රැමී උළෙලේදී ඇඩෙල් කිහිප වතාවක් සම්මාන දිනා ඇත. සම්මාන පිට සම්මාන දිනාගත් ඇඩෙල් 2017 ග්‍රැමී උළෙලේදී හැඟුම්බර විය. මොහොතකට ඇයගේ නෙතින් කඳුලුද වැටෙන්නට විය. ඇය කෙටි කතාවක් අවසානයේ ඒ සම්මානය ඇයට නොව බියොන්සේ වෙත හිමි විය යුතු බව කීවාය. ඇය ඒ සම්මානය බියොන්සේ වෙත පුදකළාය. බියොන්සේ සුපුරුදු පරිදි සිනාමුසු මුවින් එය ඉවසා දරා සිටියාය.

 

5. සුගතපාල ද සිල්වා – 1994

Image Source – en.wikipedia.org

ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ මෙන්ම ලේඛන කලාවේද සුගතපාල ද සිල්වා යනු පෙරළිකාර චරිතයකි. ඔහුගේ නාටක, කතා පමණක් නොව සුගතපාල ද සිල්වා යනු සැබැවින්ම විප්ලවීය චරිතයක් විය. 1992 වසරේ නිෂ්පාදිත නාට්‍ය සඳහා ලැබෙන ගරු සම්මානය ප්‍රතික්ෂේප කරන සුගතපාල ද සිල්වා “මා මේ සම්මාන හා තෑගි ලබන්නේ කාගෙන්ද? නාට්‍ය උළෙල රාජ්‍ය හෙයින් මේ සම්මාන හා තෑගි රාජ්‍යයෙන්ම බව ලෙහෙසියෙන්ම සිතා ගත හැකිය. සම්මාන රාජ්‍යයෙනි. එහෙත් මේ රාජ්‍ය කලාකරුවන්ට සැබැවින්ම සලකනුයේ කෙසේද?” යනුවෙන් දැඩිව ප්‍රශ්න කර තිබේ. එවකට සිටි පාලකයින්ගේ කලාකරුවන් කෙරේ පැවති සැලකීම ගැන සැබෑ කලකිරීමට පත්ව සිටි සුගතපාල ද සිල්වා ලිපියක් මගින් සම්පූර්ණ සම්මාන උළෙලම වර්ජනය කළේ, ඕනෑම සවුත්තු රජයකින් දෙන ඕනෑම සම්මානයක් හෝ අනුග්‍රහයක් ගන්නට බලා සිටින ඇතැම් කලාකරුවන්ට පාඩමක් කියා දෙමිනි.

 

6. ජින් පෝල් සාත්රේ – 1964

Image Source – theglobeandmail.com

නොබෙල් තෑග්ගක් ලබාගැනීම සෑම සියලු ක්ෂේත්‍රයකම සිටින වියතුන්ට මහත් අභිමානයකි. එයට ලැබෙන මුදලද තරමක විශාල අගයකි. එහෙත් ප්‍රංශ ලේඛක සාත්රේ සාහිත්‍ය සඳහා වන නොබෙල් තෑග්ග ප්‍රතික්ෂේප කළේය. ගත්කරුවෙකු විනිශ්චය කරන්නට ඇකඩමියාවට ඇති අයිතිය ප්‍රශ්න කරන සාත්රේ, ප්‍රංශයේ සම්මාන උළෙලද ඒ හේතුව පිටම ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් එම වසරේ සම්මානයට සාත්රේ යෝජනා වී ඔහු එයට තේරුණු පසුව සාත්රේගේ සම්මානය ප්‍රතික්ෂේප කිරීමේ ලිපිය විනිශ්චය මණ්ඩලයට ලැබුන නමුත්, ඒ වනවිට සම්මානය වෙනස් කරන්න කාලයක් ඔවුන්ට තිබුණේ නැහැ.

 

7. ස්ටීවන් හෝකින්ස් – 1990

Image Source – quantamagazine.org

ස්ටීවන් හෝකින්ස් කියන්නේ විශිෂ්ට භෞතික විද්‍යාඥයෙක්. එංගලන්ත ජාතිකයෙකු වූ හෝකින්ස්ට ලැබුණු නයිට් නාමය ඔහු 1990 දී ප්‍රතික්ෂේප කරනවා. මේ එංගලන්තයේ නයිට් නාමය හෝකින්ස් ප්‍රතික්ෂේප කළාට ලංකාවේ හිටි ඉහළ පෙළේ අය නම් බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූ පසුවත් තමුන්ගේ නමට බ්‍රිතාන්‍ය නම්බු නාම එකතු කරගෙන ඉන්නට මහන්සි ගත්තා. මෙවන් වූ නම්බු නාම දෙන ක්‍රමයට වැඩි කැමැත්තක් නැති නිසා නයිට් නාමය ප්‍රතික්ෂේප කරන බව තමයි හෝකින්ස් ඒ ගැන කියා තිබුණේ.

 

සම්මාන පිරිනමන විට ඒ පුද්ගලයින්ගේ දායකත්වය ගැන ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒ මගින් ලෝකය තුළ, ඒ අදාළ සමාජය තුළ ඒ අයට කීර්තිය ලැබෙනවා. සම්මාන ප්‍රතික්ෂේප කිරීමෙනුත් යම් ප්‍රබල පණිවුඩයක් දෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල ලබාදුන් හැම සම්මානයටම වඩා ලබා නොගත් ඒ සම්මානය කතා බහට ලක් වෙනවා. කොහොම වුනත් යම් සිදුවීමකට, නිර්මාණයකට, සොයාගැනීමකට පසුබිම් වූ චරිත විශාල ගණනක් ඉන්නවා. උදාහරණයක් ලෙස මහල්ලා සහ මුහුද කියන විශිෂ්ට කෙටිකතාව අර්නස්ට් හෙමිංවේගේ විශිෂ්ට නිර්මාණයක්. අර්නස්ට් හෙමිංවේට ඒ කතාව ලියන්නට සිතුවිල්ල පහල වී තිබෙන්නේ සැබෑම ධීවරයෙක් නිසා. ඒ ආකාරයට සම්මාන ලබන අය, ප්‍රතික්ෂේප කරන අය වගේම කිසිදාක සම්මානයක් නොලබන සහායක චරිත ගැනත් අපි ටිකක් වැඩියෙන් සොයාබලන එක වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *