දැන් කාලේ සෝෂල් මීඩියා සීන් එකේ නැති එකෙක් නෑනේ. අල්ලපු ගෙදර අක්කගේ ඉඳලා හම්බන්තොට කිරි සීයා වෙනකල් එක්කෝ ෆේස්බුක් එකේ, එක්කෝ ඉන්ස්ටග්‍රෑම් එකේ. ඔය දෙකේම ඉන්න අයට වඩා වැඩි තත්ත්වයක් තියෙනවා කියලා හිතන ඩයල්ස් ඔන්න ඉන්නවා ට්විටර් එකේ. ඇත්තටම මේ කිව්ව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වගේ සෝෂල් මීඩියා වල අවුලක් නෑ. ඔය ප්ලැට්ෆෝම් වල අවුල් කියලා මිනිස්සු දකින්නේ ඇත්තටම ඒවල ඉන්න මිනිස්සුන්ගේම අවුල්. හැබැයි ඉතින් ඔය හැමෝම ඉන්න, හැමෝම දන්න සෝෂල් මීඩියා සීන් වලින් මිදිලා කවුරුත් නොදන්න ග්‍රහලෝකෙක තියෙන සෝෂල් මීඩියා එකකට සෙට් වෙන්න ඕන කියලා හිතන අයත් ඉන්නවා. ආන්න ඒ වගේ අයට අපි ඉදිරිපත් කරනවා ගොඩක් දෙනෙක් දන්නෙ නැති, හැබැයි කොලිටි ලෙවල් එකේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් 7ක්!
1. Quora
Quora කියන්නේ අපි හැමෝම එක මොහොතකදී හෝ නොදැන පාවිච්චි කරලා තියෙන සෝෂල් මීඩියා සයිට් එකක්. උදාහරණයක් විදියට ගත්තොත් හොඳ ටොරන්ට් සයිට් එකක් මොකද්ද කියලා ගූග්ල් ගෙන් අහපු වෙලාවක, මෝටර්බයික් එක උදේ ස්ටාට් නොවෙන්නේ ඇයි කියලා ගූග්ල් ගෙන් අහපු වෙලාවක අපිට උඩින්ම පෙන්නන සර්ච් රිසල්ට් එකක් තමයි Quora සයිට් එකේ ඔය ප්‍රශ්නෙටම කවුරුහරි දීලා තියෙන එක්ස්පර්ට් උත්තර. කෙටියෙන්ම කියනවා නම් Quora කියන්නේ ප්‍රශ්න සහ උත්තර වෙබ් අඩවියක්, හැබැයි මේක තනිකරම දුවන්නේ ප්‍රජා පදනමකින් වීම නිසා බය නැතුව සෝෂල් මීඩියා එකක් විදියට හඳුන්වන්න පුළුවන්.
2. Meetup
ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා ඇතුළේ අපි හදාගන්න යාලුමිත්‍රකම් පවතින්නේ සයිබර් අවකාශයේ. ෆේස්බුක් හෝ ට්විටර් එකේ නම් විවිධ කණ්ඩායම් වැඩකටයුතු සහ විවිධ ඉවෙන්ට් ඔස්සේ එකිනෙකාට මුණගැහෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ meetup සේවාව නම් හදලා තියෙන්නේම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් ඇතුළේ ඉන්න එකම ලැදියාවන් සහ අභිරුචීන් තියෙන මිනිස්සුන්ව එකට එකතු කරන්නමයි. උදාහරණයක් විදියට ඔබ කැමති ලේඛන කලාවට නම්, ලියන්න ආස මිනිස්සු සෙට් එකක් එක තැනකදී මුණගැහෙන්න පුළුවන්. එතකොට කියවන්න ආස මිනිස්සුන්ට ලේසියෙන්ම meetup හරහා සැබෑ ලෝකේදී මුණගැහිලා බුක් ක්ලබ් එහෙම හදාගන්න පුළුවන්.
3. Kickstarter
කික්ස්ටාටර් කියන්නේ අපේ ඔලුවේ තියෙන සම්මත සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලින් වෙනස් වුණු, ඒත් අලුත් දෙයක් නිර්මාණය කරන්න කැමති අයට බොහොම වටිනා තැනක්. කොටින්ම කිවුවොත් මෙහෙමයි. අපි කියමු කෙනෙක්ට අලුත් තාලේ බෝඩ් ගේම් එකක් හදන්න වුවමනායි. ඒකේ සැලසුම් නිර්මාණය කරලා, මූලාකෘතියත් හදලා තියෙන්නේ කියමු. හැබැයි වාණිජ වශයෙන් මේක එළියට දාන්න බෑ, ඒකට ලොකු ගාණක් යනවා. ආන්න එතකොට එන්න කික්ස්ටාටර් එකට. තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කරන්න. දැන් ඒක හදන්න අවශ්‍ය මුදල් දෙන්න මිනිස්සු එකතු වෙයි. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් මේක හදන්න කලින්ම මිලදී ගනී. ආන්න එතකොට තමන්ට තමන්ගේ නිර්මාණය වාණිජ වශයෙන්ම එළියට දාන්න අරමුදල් එකතු වෙලා. ඔන්න ඕක තමයි කික්ස්ටාටර් කතන්දරේ. කික්ස්ටාටර් හරහා ලෝකෙට ආපු නිර්මාණ, නිෂ්පාදන ප්‍රමාණයත් ඉතාම විශාලයි.
4. GirlsAskGuys
ආරම්භ කරලා අවුරුදු 12ක් විතර වෙන්න ආපු මේ වෙබ් සයිට් එක මුල් කාලයේ තිබුණු සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක්. මේක ඇත්තටම අර ජෙන්ඩර් ගැප්, ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඇති වෙන වෙනස අඩු කරන්නත් සෑහෙන්න උදවුවක්. හරි, සිද්ධ වෙන දේ කතාව මෙහෙමයි. මේ වෙබ් සයිට් එකේ ගැහැණු පිරිමි හැමෝම ඉන්නවා. මේක ප්‍රශ්න අහලා උත්තර ලබාගන්නා විදියේ සෝෂල් මීඩියා සයිට් එකක්. හැබැයි ඕනම කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ විරුද්ධ ලිංගිකයෙක් අහන ප්‍රශ්නෙකට තමයි. උදාහරණයක් විදියට මෙහෙම කියමු. මගේ හිත ගියපු ගෑණු ළමයෙක් ඉන්නවා. හැබැයි ඉතින් එයාට අයි ලවු යූ කියන්නේ කොහොමද කියලා මම දන්නෙ නෑ. දැන් මම ඔය දැවෙන ප්‍රස්නේ ඔතන අහනවා. එතකොට එතන ඉන්න කෙල්ලෙක් මට උත්තර දෙනවා ගිහින් මේම මේම කියපන් කියලා. දැන් ඔය උත්තරේ කොල්ලෙක්ගෙන් ලැබුණට වඩා සාර්ථකයි කෙල්ලෙක්ගෙන් ලැබුණු එක. ඇයි කෙල්ලෙක්නේ දන්නේ කෙල්ලොන්ගේ හිත වැඩ කරන විදිය!
5. Medium
බ්ලොගින්ග් කියන්නේ සෝෂල් මීඩියාද? ඇත්තටම ඔව්. එක කාලෙක බ්ලොගින්ග් ඔස්සේ එකතුවුණු සමාජ කණ්ඩායම් තිබුණා. ඒ අය නිරන්තරයෙන් බ්ලොග් එකක කමෙන්ට් කරනවා, කතා බහ කරනවා. හරියට දැන් ෆේස්බුක් එකේ වගේ තමයි. කොහොම වුනත් මේ මීඩියම් කියන්නෙත් බ්ලොගින්ග් ආශ්‍රයෙන් තවත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් විදියට දියුණු කරපු තැනක්. ට්විටරේ හදපු අයම තමයි මේකත් හදලා තියෙන්නේ. සරලවම ගත්තොත් ඔයාට ගිහින් තමන්ගේ අදහස්, කථා ලියන්න පුළුවන්. මිනිස්සු ඒවා කියවන්න ඒවි. ඒ ගැන අදහස් දක්වාවි. ඔයත් එක්ක යාලු මිත්තරකම් පවත්වාවි. ඒ වගේම ඔයාට ඕනෑ නම් ඔයාට අවශ්‍ය විදියේ අන්තර්ගතයන් මීඩියම් එක පීරලා හොයලා බලන්නත්, කියවන්නත් පුළුවන්!
6. Twoo
මේ අයගේ සයිට් එකට ගියපු ගමන් පේන්න තියෙන්නේත් ‘අලුත් මිනිස්සු මුණගැහෙන්න’ කියලා තමයි. ඇත්තටම මේකත් බොහොම ටිකක් මෑතදී, ඒ කියන්නේ 2011 දී ආරම්භ වුනේ ෆේස්බුක් වගේම පරමාර්ථයක් එක්ක. ඒ කියන්නේ මේකේ පරිශීලකයින්ටත් තමන්ගේ ප්‍රොෆයිල් නිර්මාණය කරන්න, ඒවලට ෆොටෝස් එකතු කරන්න, මිනිස්සුන්ව අඳුනගන්න, එහෙම අඳුනගන්න අලුත් යාලුවෝ එක්ක චැට් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මේකේ මුදල් ගෙවන සංස්කරණයකුත් තියෙනවා. ඒකේදී අනික් අයට පේන්නේ නැතිවෙන්න ඒ අයගේ ප්‍රොෆයිල් වලට යන්න පුළුවන් වගේ ජිමික්ස් දාන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒක ලොකු දෙයක් නෙවෙයි බලනකොට. මේ ප්ලැට්ෆෝම් එකටත් ලෝකේ පුරා මිනිස්සු මිලියන 181ක් විතර ඉන්නවා.
7. Tumblr
ගොඩක් අය Tumblr ගැන හිතන්නේ නිකම්ම බ්ලොගින්ග් සයිට් එකක් කියලා. හැබැයි ඇත්තටම Tumblr කියන්නේ බ්ලොගින්ග් සහ සෝෂල් මීඩියා අංගෝපාංග එකට කැටිකරගත් වෙබ් අඩවියක් කියන එක හරි. උදාහරණයක් විදියට ගත්තොත් බ්ලොග් එකක් විදියට අපිට මේකේ අපේ අදහස්, කතා ලියන්න පුළුවන්. හඬ ගොනු, වීඩියෝ ගොනු, ඡායාරූප, ලින්ක්ස් ෂෙයාර් කරන්න අපේ ටයිම් ලයින් එකකුත් තියෙනවා. අහන්න ලැබෙන විදියට මේ වෙනකොට Tumblr එකේ බ්ලොග්ස් මිලියන 450කට වඩා තියෙනවා. ඒ වගේම මාසිකව විසිටර්ස්ලා මිලියන 555ක් විතර Tumblr සයිට් එකට එනවලු. Tumblr එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඒක තමන්ට ඕන නම් විසිට් එකක් දාලා, අනෙක් අය ෂෙයාර් කරන දේවල් බලාගෙන ඉන්නත් පුළුවන් වීම!
Leave a Reply