කෙල්ලෙක්ගේ හිත දිනාගන්න කොල්ලෙක්ට පාවිච්චි කරන්න පුලුවන් මායම් මේවා තමයි!

අහලා තියෙනවද ෆ්ලර්ටින්ග් කියලා එකක්? සුද්දා කිව්වේ Flirting කියලා. සරලවම ගත්තොත් මේකේ තේරුම තමයි කොල්ලෙක්ට කෙල්ලෙක්ව හරි තව කොල්ලෙක්වම හරි තමන්ට ආකර්ෂණය කරගන්න පාවිච්චි කරන්න පුලුවන් ශිල්ප ක්‍රම. දැන් ඉතින් කෙල්ලෝ ඇවිත් කියයි ඔව්වා පිරිමි මායම් කියලා. හැබැයි මල්ලිලා මෙව්වා මායම් නෙවෙයි. මෙව්වා ටෙක්නික්ස්. හොඳම දේ කියන්නේ මේ ටෙක්නික්ස් ඕනෑම කොල්ලෙක්ට ප්‍රගුණ කරන්න පුලුවන් වීම. ආන්න ඒ නිසා මෙතනින් එහාට කියවලා ගිහින් මේ ශිල්පයක් දෙකක් පාවිච්චි කරලා හිත ගියපු කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව හරි සෙට් කරගන්නයි තියෙන්නේ. ගුරු පඬුරු වැඩේ හරි ගියාට පස්සේ!

 

1. ‘මට බෑ ඕයි’ කියයිද?

Image Source – youtube.com

ඇත්තම කිවුවොත් කෙල්ලෙක්ට ටෝක් එක දාන්න කලින් හිත පොඩ්ඩක් මෙව්වා වෙන්නෙ නැත්තේ හෙනම කන්‍ෆිඩන්ස් පිට ඉන්න කොල්ලෙක්ගේ විතරයි වෙන්න ඕන. එහෙම නැතිනම් මොන පච්ච සිරාට වුනත් පොඩි ලැජ්ජාවක්, බයක්, චකිතයක් වගේ සීන් එකක් තියෙනවා කෙල්ලෙක්ව ටෝක් කරන්න. හැබැයි ඉතින් ෆ්ලර්ටින්ග් සාස්තරේ පළවෙනිම මන්තරේ තමයි ඔය ලැජ්ජාව, සබකෝලය, චකිතය නැතිකරගන්න එක. ඇත්තටම කිවුවොත් කෙල්ලෙක්ට ටෝක් කරන්නේ ආචාරශීලී විදියට, නියම ගෞරවය දීලා නම් කෙල්ලෙක් එහෙම මූණට දමලා ගහනවා වගේ බැහ් ගාන්නෙ නෑ. එහෙම කරන කෙල්ලෝ ඉන්නවා නම් එහෙව් එවුන් යන පාරකවත් යන්න ඕනැත් නෑ!

කොහොම වුනත් තමන්ගේ ආත්ම විශ්වාසය දියුණු කරගන්නයි තියෙන්නේ. කෙල්ලෙක් සමරිසි නෙවෙයි නං කොල්ලෙක් එක්ක නැතුව මොකෙක් එක්ක යාලු වෙන්නද? අන්න ඒක නිසා දේවාලේ දෙයියන්ට පූජා වට්ටි දෙනවා වගේ කෙල්ලෙක් එක්ක කතා කරන්න යන්න එපා. තමන් එල කොල්ලෙක් කියන ගට හිතට අරගෙන ගිහින් කෙල්ලට කතා කරන්නයි තියෙන්නේ. හරියනවා නං හරි පලච්චාවේ, වරදිනවා නං වැරදිච්චාවේ!

 

2. ඇස් දිහා පුතා ඇස් දිහා!

Image Source – imgur.com

කොල්ලෝ සාමාන්‍යයෙන් ඉස්සරහට කෙල්ලෙක්ව මුණගැහුණත් බලන්නේ කොහෙද? සමහරු මූණ දිහා, සමහරු කට දිහා. හැබැයි වැඩි හරියක් බලන්නේ රණ තිසරු දිහා තමා. ඔන්න ඕක තමයි ඇත්ත. හැබැයි ඉතින් කෙල්ලෙක් එක්ක ෆ්ලර්ට් කරන්න යනවා නං ඕවා හරියන්නෙ නෑ. නියම ආත්ම විශ්වාසයෙන් යුක්ත එල කිරි ජෙන්ටා කොල්ලෙක් වගේ කෙල්ලගේ ඇස් දිහා කෙලින්, පැහැදිලිව බලලා කතා කරනවලා. හැබැයි ඉතින් අර බයවුණු ගෙම්බෙක් වගේ ඇස් ලොකු කරගෙන කෙල්ලගේ ඇස් දිහාම බලාගෙන කතා කරන්න එපා. එතකොට හිතයි නට් ලූස් කේස් එකක් කියලා. තත්පර කීපයකට සැරයක් කතාව යන හැටියට එහා මෙහා බැලුවට කමක් නෑ. හැබැයි කතාව අතරතුරේ පොදුවේ තමන් ඇස් දිහා බලාගෙන කතා කරන කෙලින් ඩයල් එකක් කියන පණිවිඩේ යන්න ඕන.

හැබැයි දෙයියන්ගෙ නාමෙන් කතා කරන අස්සේ හොරෙන් හොරෙන් රණ තිසරු නරඹන්න නං යන්න එපා පු‍තෝ! එව්වා කරගත්තෑකි වැඩේ හරිගියොත්!!

 

3. ෆ්ලෑෂරයක් ගැහුවා වගේ හිනාව!

Image Source – mission.partners

මනුස්සයෙක්ගේ මූණට තියෙන ලස්සනම ආභරණය තමයි ඒ මනුස්සයාගේ හිනාව කියලා ඔය පුරාණේ හිටපු ඉරිසින්නාන්සෙලා එහෙම කියලා තියෙනවනේ. ඔන්න ඔය කතාව හෙණ ගහන්නැහේ ඇත්ත. දැන් අපි වුනත් කැමතිද බුම්මගෙන ඉන්න බකමූණෙක් එක්ක කතා කරන්න?

හැබැයි ඉතින් සමහරු හිනා වෙන්න ගියහම අපිට ෂුවර් නෑ මූත් එක්ක හිනාවෙන්නද නැත්තං පිස්සෙක් පැනලා ඇවිත් කියලා පොලිසියට කෝල් කරන්නද කියලා. අන්න ඒ නිසා මුලින් හිනාව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න ඕන. යන්න කණ්ණාඩිය ගාවට. හිනාවෙන්න කණ්ණාඩියත් එක්ක. අර ඈන්ගල් එකට, මේ ඈන්ගල් එකට මඳ සිනා, මුකුළු සිනා, සභාවේ තදින් සිනා, අව්‍යාජ හිනා, මුතු හිනා මෙකී නොකී හිනා හැම එකක්ම ටෙස්ට් කරලා බලන්න. දැන් හොයාගන්න පුලුවන් තමන්ගේ මූණට ගැලපෙනම හිනාවල් මොනවද කියලා. ඇත්තටම ඔය පාට කීපෙකින් සපත්තු දාන්නැහේ එක එක අවස්ථාවට ගැලපෙන හිනා කීපයක් තිබ්බට කමක් නෑ. ලැජ්ජාශීලී හිනාව, ආත්ම විශ්වාසයක් තියෙන හිනාව, මඳ සිනහව, සතු‍ටු සිනහව, ගුප්ත සිනහව වගේ ඕනෑ එකක්. හැබැයි ඉතින් හරි අවස්ථාවට හරි හිනාව එලියට ඇදලා ගන්න ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනෑ!

 

4. කොහොමද කතා කරන්න යන්නේ?

Image Source – wikihow.com

ඕක ‍ෆිල්ම් වල නම් මෙහෙමයි. ඔන්න කොල්ලා කෙල්ලව දකිනවා, මුළු ලෝකෙම බොඳ වෙලා පසුබිමට දියවෙනවා, අහසින් මල් වැටෙනවා, පසුබිම් සංගීතයක් ඇහෙනවා, ඔය අවුවස්සේ කොල්ලා කෙල්ල ගාවට ගිහින් හලෝ කියනවා, ඉරවල් හතක් පායනවා!

හැබැයි ඇත්ත ජීවිතේ ඔය මොකක් වත් වෙන්නෙ නෑ. ඒ නිසා මුලින්ම කෙල්ල ගාවට ගිහින් කතා කරනවා කියන එක ලොකු සීන් එකක් කරගන්න එපා. හැබැයි ඉතින් ආත්ම විශ්වාසයෙන්, කොන්ද කෙලින් තියාගෙන, සැහැල්ලු ඒත් ස්ථිර ඉරියව්වකින් කෙල්ල ගාවට ගිහින් කතා කරන්න. මෙහෙම කියන්නේ කතා කරන්න කලින්ම තමන් තමන් ගැන ලබාදෙන චිත්‍රය මත සෑහෙන දේවල් තීරණය වෙන නිසා.

 

5. “ආ නංකී!”

Image Source – lifehacks.io

මේක තමයි අනාදිමත් කාලෙක හිටන් සෑහෙන්න කොල්ලෝ ප්‍රැක්ටිස් කරගෙන ආපු පළමුවෙනි ආමන්ත්‍රණය. හැබැයි අපි කියන්නේ ඒ වගේ ගොන් වැඩ කරන්න එපා කියලා තමයි. අපි කිවුවනේ අර මුලින්ම ලබාදෙන හැඟීම ගැන. අන්න ඒ මුල් හැඟීම හොඳ වෙන්න පළමුවෙනි ආමන්ත්‍රණය තදින්ම බලපානවා. අන්න එතකොට අපිට හිතන්න වෙනවා කෙල්ල ගාවට ගිහින් මොනවද කතා කරන්නේ කියලා. කෙල්ල ගාවට ගිහින් කතා කරන්න ඕන වෙනත් ඕනෑම මනුස්ස ප්‍රාණියෙක්ට කතා කරන විදියට ගරුසරුව, විනීතව කියන එක අපි කිවුවනේ. ඕනෑ නං “හලෝ” එකකින් පටන් ගන්න පුලුවන්. හැබැයි එතනින් එහාට ෆ්ලෑෂ් ලයිට් දැකපු මුවෙක් වගේ ගල්ගැහිලා නොඉඳ කතාව දිගට අරගෙන යන්න නං කතා කරන්න දේවල් තියෙන්න ඕන. ඒකට එතනට යන්න කලින් සූදානම් වෙලා යන්න ඕන.

සමහර වෙලාවට ඒ නංගිව අපි දැකලා පුරුදුයි වෙන්න පුලුවන්. සමහර වෙලාවට ඒ නංගි වගේ අපේ යාලුවෙකුත් හිටියා වෙන්න පුලුවන්. සමහර වෙලාවට ඒ නංගිගේ ඔරලෝසුවෙන්ම වෙලාව දැනගන්න වුවමනා වුනා වෙන්න පුලුවන්. ඕවා පරණ පිකප් ලයින් වුනත් සමහර වෙලාවට වැඩ කරන්න පුලුවන්.

ඒ නැතත් ඇත්තටම කරන්න ඕන දේ තමයි ගෑණු ළමයාව කතා කරවන එක. අන්න ඒ නිසා බොහොම සරල එදිනෙදා ප්‍රශ්නෙකින් කතාව පටන් ගන්න පුලුවන්!

 

6. බැල්මට බැල්ම, හිනාවට හිනාව!

Image Source – lovebondings.com

උඩින් කියපු ‘ආ නංකී’ ස්ටෙප් එකට කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි තමන් කියලා බූතයෙක් නංකිට බැල්ම දාගෙන ඉන්නවා කියන එක ඒත්තු ගන්නන එක. ඇයි එහෙම කරන්නේ? හේතුව තමයි නංකිගේ අම්මා පුංචි කාලේ ඉඳලා කියලා දීලා තියෙනවා නොදන්න බූතයෝ එක්ක කතාවට යන්න එපා කියලා. ඒ නිසා එක පාරටම අහසින් පාත් වුනා වගේ නංකි ගාවට ගිහින් කතා කළොත් වෙන්නේ නංකි ගස්සගෙන අහක බලාගන්න එක!

මුලින්ම තමන් කියලා කෙනෙක් ඉන්න බව අඟවන්න ඕන. ඒකට ඉතින් නංගි බලන වෙලාවක ඒ බැල්මට මාට්‍ටු වෙන්න බලන එක වගේ දෙයක් අවුලක් නෑ. හැබැයි ඉතින් අර ‘ඊයා වලත්තයා’ ලෙවල් එකේ බැල්මට් දාන්න යන්න එපා. අපි උඩින් කියලා දුන්නනේ කොහොමද ෆුල් කන්‍ෆින්ඩන්ස් බුවෙක් වගේ හැසිරෙන්නේ කියලා. අන්න ඒ විදියට කන්‍ෆිඩන්ස් පිට, සැහැල්ලුවෙන් හැබැයි බොහොම විනීත විදියට බැල්මක් ලබාදෙන්න පුලුවන්. අන්න ඒකත් එක්ක මඳ සිනාවක් එහෙමත් දෙවෙනුව අමුණන්න පුලුවන්. ඒක අර අව්‍යාජ හිනාවක් වෙන තරමට සුදුසුයි. ඔන්න ඔහොම ටිකක් බැල්මට බැල්ම, හිනාවට හිනාව යනවා නම් අපිට දැනගන්න පුලුවන් ළඟට ගිහින් කතා කරන්න කොළ පාට ලයිට් පත්තු වෙලා කියලා!

 

7. එල කොල්ලෙක් වගේ සිරා කතාබහක්!

Image Source – legendsacademy.com.au

මෙන්න ඇත්තම කිවුවොත් ගොඩක් කොල්ලෝ වරද්ද ගන්න තැන. අද කාලේ ගොඩක් කොල්ලෝ පෙනුමත් හදාගන්නවා, අනෙක් හැම දේමත් හදාගන්නවා, හැබැයි කතා කරන්න දන්නෙ නෑ.මේක ඇත්තටම ටියුෂන් දාලා උගන්නන්න පුලුවන් දෙයක් නෙවෙයි. හැබැයි යම් යම් කරුණු කාරණා කීපයක් හිතේ තියාගන්න කියලා දෙන්න පුලුවන්.

කෙල්ලෙක් එක්ක කතා කරනකොට ඕනෑවට වඩා සීරියස් වෙන එක අප්සෙට්. තමන් සෑහෙන්න දේවල් දන්න ඩයල් එකක් වෙන්න පුලුවන්. ඇත්තටම කොල්ලෙක් එහෙම දැනුමෙන් පිරිපුන් වෙන්න ඕන. හැබැයි ඉතින් කෙල්ලෙක් එක්ක කතා කරන්න පටන් ගත්ත ගමන් එහෙම දන්න දේවල් ඇදබාන්න, සීරියස් ටෝක්ස් දෙන්න යන එකෙන් ලකුණු කැපෙනවා.

සමහර කොල්ලෝ ඉන්නවා මේකේ අනික් පැත්ත. රියල් ජෝකර්ලා. හැබැයි හිතන්න එපා ඇස්සටයි අස්සටයි හිනා වෙවී ඉන්න, දෙපිට තුන්පිට කැපෙන කතා කොච්චරවාත් කියන, වාචාල ජෝකර්ලාට ලකුණු වැටෙනවා කියලා. මේකත් ලකුණු කැපෙන පොටක්!

එතකොට කොහොමද හැබෑටම කතා කරන්න ඕනෑ? සරලයි. කෙල්ලෙක් එක්ක කතාව බොහොම සරල, සැහැල්ලු, හෘදයාංගම වෙන්න ඕන. ඒ වගේම තමන්ට හොඳ හාස්‍ය රසයක් තියෙන්නත් ඕන. ඒක එලියට එන්නේ කෙල්ල කියන දේකට කරන පොඩි ජෝක් එකකින් වෙන්න ඕන. විශේෂයෙන්ම ගෑල්ලමයා තමන් නිසා අවංකවම හිනා වෙනවා කියන්නේ බොහොම හොඳ සලකුණක්.

ඒ එක්කම ගෑණු ළමයෙක් එක්ක කතා කරනකොට තමන් කොච්චරවාත් කියවනවාට වඩා ඇහුම්කන් දෙන කලාව ප්‍රගුණ කරන එක වටිනවා. ඔය කතාව දිගට යනකොට ගෑණු ළමයාගේ කැමති අකමැති දේවල් එලියට එනවනේ. අන්න එතකොට ඒ දේවල් ඔස්සේ කතාව ගෙනියන්න පුලුවන්. උදාහරණයක් විදියට කිවුවොත් හින්දි පිචර් බලන කෙල්ලෙක් නං පොඩ්ඩක් ෂාරුක් ඛාන් ගැන කතා කළත් මොකෝ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *