බිත්ති ඇතුළේ වයර් තියෙන තැන් හොයන යන්ත්‍රයක් තැනූ අපේ සිසුන්

වයරින් කරද්දි අපි විදුලි වයර් දාන්නේ බිත්තියට යටින්. එක්කෝ බිත්ති හැදුවාට පස්සේ කඩලා බට දාලා වයර් කම්බි දානවා. නැතිනම් කපරාරුවට පෙර ඉඳන්ම ඒ බට සකස් කරලා පස්සෙ කපරාරුව කරනවා. ඒත් මොන ක්‍රමයට දැම්මත් කලක් ගියාම මේ බට කොහෙන් යනවද කියලා හොයාගන්න බැහැ. නිවසේ අලුත්වැඩියා කටයුත්තක් හරි ඇණයක් ගහන්න හරි ඒ සී එකක් ගහන්න හරි මොනාහරි වැඩක් ආවොත් අර බිත්තිය ඇතුළෙන් ගිය විදුලි වයර් කොහෙන් ගියාද කියලා අපිට හොයාගන්න ඕනා වෙනවා. එහෙම නැතුව බිත්ති කඩන්න හෝ විදින්න සිදුරු කරන්න ගියොත් අපිට කරන්ට් වැදිලා ලොකු කරදරයක් වෙනවා. බිත්තිය ඇතුළෙන් යන මේ විදුලි වයර් තියෙන තැන් එළියෙ ඉඳන්ම හොයාගන්න අරුම පුදුම යන්ත්‍රයක් බොහෝම අඩු මිලට හදන්න අපේ රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සිසුන් පිරිසක් සමත් වෙලා තියෙනවා.

 

1. වයර් ට්‍රේසර් එකෙන් වැඩ ගන්න හැටි

අපි තෝරාගත් බිත්ති කොටසක මේ වයර් හොයන යන්ත්‍රය එහෙ මෙහෙ ගෙනියන්න ඕනි ඒක ස්විච් ඔන් කරලා. ඉන් පස්සේ විදුලිය ගමන් කරන වයර් තියෙන තැනක් තියෙනවා නම් වයර් ට්රේසර් එකෙන් සද්දයක් එනවා. විදුලි කම්බි වලට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න සද්දේ වැඩි වෙනවා. ඒ වගේම LED බල්බ් මාලාවකුත් වයර් එකට කිට්ටු වෙද්දි වැඩිවෙන විදියටත් වයර් එකෙන් ඉවතට යද්දි අඩු වෙන විදියටත් පත්තු වෙනවා. බොහොම ලෙහෙසියෙන් මේ ක්‍රමයට විදුලි වයර් යන තැන් ටික සලකුණු කරගන්නට පුළුවනි.

 

2. සාම්ප්‍රදායික වයර් හොයන ක්‍රමය

Image Source – youtube.com

නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකළ පසු එහි සිවිල් ඩ්‍රෝවින් වගේම ඉලෙක්ට්‍රිකල් ඩ්‍රෝවින් එකකුත් තියෙනවා. මේ ඉලෙක්ට්‍රිකල් ඩ්‍රෝවින් එකක් ගැන සාමාන්‍ය නිවෙස් වල ඉන්න අයනම් එතරම් තැකීමක් කරන්නේ නැහැ. ඒත් විශාල බිල්ඩින් වල මේ ආකාරයට වයරින් කරපු ඩයග්‍රම් තියෙනවා. ඒත් කොතරම් ලොකු තැනක උනත් පොඩි මේන්ටෙනන්ස් වැඩක්, වායුසමන යන්ත්‍රයක් සවි කිරීමක්, වතුර බටයක් දැමීමක් වගේ දෙයකදි අපිට මේ මහා ඩ්‍රෝවින් හොයාගන්න අමාරුයි. ඒ නැතත් ඇතැම් කාර්මිකයින්ටත් ඩ්‍රෝවින් ගැන දැනුමක් නැහැ. ඒ වගේ වෙලාවට දෙපාරක් හිතන්නේ නැතිව මේ උපකරණයෙන් වයර් යන තැන් බිත්තියේ සලකුණු කරගන්න හැකියාව ලැබෙනවා.

 

3. දැනට තියෙන උපකරණ

Image Source – tequipment.net

වයර් ගොඩක් තියෙන අවස්ථාවක විදුලිය යන වයර් එක මොකද්ද කියලා හොයාගන්න ට්‍රේසර් තියෙනවා. ඒත් සිමෙන්ති ගල් කොන්ක්‍රීට් බිත්තියක් ඇතුළෙන් යන වයර් හොයාගන්න උපකරණයක් මේ සිසුන්ට හමුවෙලා තිබුනේ නැහැ. වෙළඳපොලේ තිබෙන වෙනත් ට්‍රේසර් කිහිපයක් උත්සාහ කළත් ඔවුන්ට ඒවා මිලෙන් වැඩි වුනත් මේ කාර්යයේදී එතරම් කාර්යක්ෂම නැහැ කියලා පෙනීගොස් තිබුණා.

 

4. කරපු පරීක්ෂණ

කම්බියක් හරහා විදුලිය ගමන් කරන විට අවට ඇතිවෙනවා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක්. ඒ චුම්බක ක්ෂේත්‍රය හඳුනාගෙන ඒ අනුව තමයි මේ ක්‍රමයේදී වයර් තියෙන තැන් හොයාගන්නේ. ඒත් මේ  සෙන්ටිමීටර කිහිපයක් බිත්තිය තුළ දුවන වයර් වල ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය කෙලින්ම හොයාගන්න සෙන්සරයක් වෙළඳපොලේ නැහැ. ඒ නිසා සිසුන් ක්‍රම 7-8ක්ම උත්සාහ කරලා ඒ සඳහා වෙනමම කොයිල් එකක් හදාගෙන තිබුණා.

 

5. වැඩිදියුණු කිරීම්

වයර් තියෙන තැන් හොයාගත්තා වුනත් ඒ තැන නිවැරදිව හඳුනාගන්න නම් වයර් තිබෙන තැනදී උපකරණයේ යම් තීව්රතාවය වැඩිවීමක් තියෙන්නට ඕනි. එය හඳුනාගත් සිසුන් LED බල්බ වැලක් මගින් සහ ශබ්දයක් නිකුත් කරමින් වයර් හමුවෙන විට සහ වයර් ආසන්නයට එන විට වඩාත් හොඳින් ඒවා පෙන්වන ආකාරයට උපකරණය වැඩි දියුණු කළා. මේ නිසා කුඩා දරුවෙකුට වුනත් මේ උපකරණය පාවිච්චි කරලා බිත්තියේ වයර් තියෙන තැන් ටික සරලවම සලකුණු කරගන්නට හැකියාව ලැබෙනවා.

 

උපකරණය ක්‍රියාත්මක වන හැටි

 

6. සීමාවන් සහ අභියෝග

Image Source – hrexecutive.com

මේ උපකරණය සැබැවින්ම දැන් තියන විදියට නම් ටිකක් විශාලයි. ඇත්තටම මීට වඩා පොඩියට මේ උපකරණය තනාගන්න හැකියාව ගැනත් සිසුන් සලකා බලාවි. මේ ක්රමයේදී සොයාගන්නට පුුළුවන් වන්නේ සිංගල් පේස් සාමාන්‍ය වයර් පමණයි. ත්‍රී පේස් වයර් සඳහා ඔවුන් මේ ක්‍රමය තවම දියුණු කරලා නැහැ. කොහොම වුනත් ගොඩනැගිලි ඉදිකිරීම් සයිට් වලදී වයර් හොයාගන්න වාණිජවම යොදාගන්න හැකි මට්ටමට ම සිසුන් මෙම උපකරණය හදා තිබෙනවා.

 

7. කවුද මේ සිසුන්?

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් අංශයේ සිසුන් තිදෙනෙක් තමයි මේ වයර් සොයන යන්ත්‍රය හැදුවේ. නිරාජ් ගලප්පත්ති, පුබුදු සමරසිංහ, ක්‍රිශාන් පෙරේරා කියන ඉංජිනේරු සිසුන් තිදෙනා මේ උපකරණය හදන්න දායක වුනා. ඔවුන්ට අවශ්‍ය ඉංජිනේරු දැනුම විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් විසින් නොමසුරුව ලබා දී තිබුණා.

 

8. ඉදිරි වැඩිදියුණු කිරීම්

සාමාන්‍ය වෙළඳපොලේ තියෙන වයර් ට්‍රේසර් වලට වඩා බිත්තිය තුළ වයර් සෙවීමේදී මේ නව නිපැයුම ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම මිල අතිනුත් සාමාන්‍යයෙන් රුපියල් දෙතුන් දාහක විතර මිලකට මේ උපකරණය ලබාදෙන්න හැකියාව තිබෙන බවක් තමයි සිසුන් ප්‍රකාශ කළේ. ඉංජිනේරු සිසුන් නිසා තත්වරද ක්‍රමයට කුමක් හෝ අටවනවාට වඩා සැම දෙයක්ම හොඳින් පරීක්ෂා කර මේ උපකරණය හදන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. ඉතින් හැම අදියරක්ම පැහැදිලිව ගණනය කිරීම් ඔස්සේ හදා තිබෙන නිසා වැඩිදියුණු කිරීම් කරනවා නම් ඒකටත් ලොකු පහසුවක් තියෙනවා.

 

හැමදෙයක්ම චීනෙන් නේ කියා එකිනෙකාට දොස් පැවරීමෙන් පමණක් අපිට රටක් ලෙස ඉදිරියට යන්නට බැහැ. ඉංජිනේරු සිසුන් අතින් හැදෙන මේ නිර්මාණ ඔවුන්ගේ පැවරුම් ඇගයුම් වලට සීමා වෙලා එහෙමම කාලයේ වැල්ලෙන් වැසී යනවා. මේ නිර්මාණ ගැන කතිකාවක් ඇතිවෙනවා නම් ඒක සිසුන්ටත් හොඳ අත්දැකීමක්.ඒ වගේම රටේ  ඉංජිනේරු සිසුන් සහ සියලුම කාර්මික සිසුන් විසින් කරන නිර්මාණ වලට ඉදිරියට යන්නට වේදිකාවක් සකස් කර දීම බලධාරින්ගේ වගකීමක් වෙනවා. කොහොම වුනත් අධිතාක්ෂණික සෙල්ලම් බඩු තැනීම වැනි කාර්යයන්ගෙන් මදක් එහාට ගොස් එදිනෙදා වැඩබිම් වලට, නිවෙසට වැදගත් වන නිමැවුම් කෙරේ මේ සිසුන්ගේ අවධානය යොමු වීම සතුටට කාරණයක් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *