නවකතාවලින් මුණගැහුණට ඇත්ත චරිත

සමහර නවකතා කියවද්දි අපි ඒ චරිත එක්ක ජීවත් වෙනවා, සමහර චරිතවලට වෛර කරනවා. සමහරවෙලාවට හිතෙනවා මේ නවකතාව ලියපු කෙනා ලියලා තියෙන්නේ මගේම චරිතෙද කියලත්. ගොඩක් වෙලාවකට නවකතාවකදි අපිට මුණ ගැහෙන්නේ නවකතා රචකයගේ හිතේ ඇඳිච්ච මනඃකල්පිත චරිත. ඒත් සමහර නවකතාවලදි කතුවරු තමන්ට මුණ ගැහුණු සහ ආශ්‍රය කරපු අයගේ චරිත ලක්ෂණ පාවිච්චි කරලා චරිත ගොඩ නගනවා. ඒ වගේ අවස්ථා පස්සේ කාලෙකදි ඔවුන් එළි කරනවා. ඉතින් අපි හිතුවා මේ වගේ නවකතාවලට ගිය ඇත්ත චරිත කීපයක් ගැන තොරතුරු ඔයත් එක්ක බෙදාගන්න.

 

1. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සීයාව මුණ ගැහෙන නවකතාව

Image Source – thuppahi.wordpress.com

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මව් පාර්ශවයේ සීයා තමයි ලේක් හවුස් එක පිහිටුවන්න මුල් වෙච්ච ඩී. ආර්. විජේවර්ධන මහත්තයා. තව විදිහකට කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ අම්මා, නලිනී වික්‍රමසිංහ මහත්මිය ඩී. ආර්ගේ දුව. ඩී. ආර්. විජේවර්ධන මහත්තයා ලංකාවේ හිටපු ශූර ව්‍යාපාරික මොළයක් විදිහටයි සැලකෙන්නේ. මේ ඩී.ආර් මහත්තයව අපිට නවකතාවක් හරහා සමීප කරන්නේ ආපහු එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි. ඒ තමයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා. ඒ එතුමාගේ තුන් ඈඳුතු නවකතාවේ අවසන් නවකතාව වුණු යුගාන්තය හරහා. “සවිමන් කබලාන” තමයි චරිතේ නම (යුගාන්තය නවකතාවේ මේ නම විතරක් තියෙනවා). ඒ නවකතාවේ එක අවස්ථාවකදී සවිමන් කබලාන තමන්ට තරඟයක් දෙන්න සූදානම් වුණු දුන්හිඳ ගැරේජ් එක වැඩි මුදලකට මිලට අරන් ගැරේජ් එකේ යන්ත්‍රසූත්‍ර පවා කැබලිකරලා විකුණනවා. කබලාන ඒකෙන් කරන්නේ තරඟකාරයෙක් බිහිවෙන එක වළක්වන එක. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලේක්හවුස් එකේ වැඩ කරන කාලේ ඩී. ආර් විජේවර්ධන චරිතය අධ්‍යනය කරලා ඒ ඇසුරින් තමයි කබලානව නිර්මාණය කරන්නේ. යුගාන්තයේ චිත්‍රපටියෙදි සවිමන් කබලානගේ චරිතය රඟපාන්නේ අපේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහත්තයා. ඒ චරිතය ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ අතිවිශිෂ්ට රඟපෑම් අතරින් එකක් විදිහට සැලකෙන්නේ.

 

2. දෙවෙන්දොරා සංට පෙම් බැඳි නොරිකෝ

Image Source – sarachchandra.org

“මළගිය ඇත්තෝ” සහ “මළවුන්ගේ අවුරුදු දා” කියන්නේ අපිව පිස්සු වට්ටපු වගේම ගොඩක් ගීතවලට මුල් වුණු නවකතා දෙකක්. මේ නවකතා දෙකම ලියන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා. මේ නවකතා දෙකේම අමරණීය පෙම්වතා දෙවෙන්දොරා සං. බොහෝ අය විශ්වාස කරන විදිහට දෙවෙන්දොරා කියන්නේ සරච්චන්ද්‍රම තමා. ඒ චරිතේ ගොඩ නංවන්න ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වුණු මංජු ශ්‍රීගේ චරිතයත් පාවිච්චි කරන්න ඇතියි කියලත් සමහරු කියනවා. දැන් ඕගොල්ලන්ට එන ඊළඟ ප්‍රශ්නේ තමයි දෙවෙන්දොරා කියන්නේ සරච්චන්ද්‍ර නම් නොරිකෝ කියන්නේ කවුද කියලා. සරච්චන්ද්‍ර මහත්තයා තමන්ගේ “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කියන චරිතාපදානයේ මෙන්න මෙහෙම කියනවා. “ඇත්ත වශයෙන් කියතොත් මා විසින් නිර්මාණය කරන ලද නොරිකෝ ගේ චරිතය මා හැඳින සිටි ජපන් ස්ත්‍රීන් දෙදෙනකු ඇසුරෙන් ගොඩනඟන ලද්දකි.” ඒත් සරච්චන්ද්‍ර මහත්තයාගේ දියණියක් වුණු සුප්‍රකට නිළි සුනේත්‍රා සරච්චන්ද්‍ර මහත්මිය මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා. “නොරිකෝ ඇත්තටම ජීවමානව හිටියා. තාත්තා, අම්මයි මායි අරගෙන නිවාඩුවකට ජපානයට ගියා. අපි නැවතුණේ ලීවලින් හදපු පුංචි සාම්ප්‍රදායික ජපන් ගෙදරක. අපිට ජපන් කෑම උයලා පිහලා දෙන්න, අපිව ඇවිදින්න එක්ක යන්න ජපන් තරුණියක් හිටියා. ඇගේ නම ‘ඔකෙ උචි සං’. ඒ චරිතය පදනම් කරගෙන තමයි තාත්තා නොරිකෝ මැව්වේ. තාත්තා පොතක් ලියන බව අපි දැනගෙන හිටියා. ඒත් පොත කියවනකොටයි අපි දැනගත්තේ තාත්තා නොරිකො හැටියට අරගෙන තියෙන්නෙ මෙයාගේ චරිතය කියලා”. ඒ වගේම ප්‍රවීණ ඡායාරූපශිල්පී ලාල් හෑගොඩ මහත්තයාට ජපානේදි කාන්තාවක් අහම්බෙන් මුණ ගැහෙනවා. ඇය හෑගොඩ මහත්තයා ලංකාවේ කියලා දැනගත්තම දිගින් දිගටම සරච්චන්ද්‍ර මහත්තයා ගැන අහනවා. සරච්චන්ද්‍ර මහත්තයා මියගිහින් කියලා දැනගත්තම ඇය හඬා වැටෙනවා. ඉතින් හෑගොඩ මහත්තයා සැකකරනවා “අකිකෝ සං” නම් ඒ කාන්තාව නොරිකෝ වෙන්න පුළුවන් කියලා. මේ ගැන ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගෙන් විමසුවාම ඇය කියන්නේ නොරිකෝගේ ඇත්ත නම “කිමිකෝ” කියලා. කොහොම වුණත් අපිට හිතාගන්න පුළුවන් නොරිකෝ කියන්නේ ඇත්තටම සරච්චන්ද්‍ර මහත්තයට මුණ ගැහුණු ජපන් කාන්තාවක් කියලා.

 

3. ගොළු හදවතේ දම්මි ඇයයි

Image Source – dammigepituwa.blogspot.com

ගොළු හදවතෙන් අපිට දම්මිගෙයි සුගත්ගෙයි කතාව මුණ ගැහෙනවා. දම්මි නිසා සුගත් සිත්තැවුලට පත්වෙද්දි දම්මි නිහාල්ව විවාහ කරගන්නවා. මේ කතාව අපිට ගොඩක් සමීප වුණේ අපි ගොඩක් අයට සුගත් වගේ ප්‍රේම සම්බන්ධකම් තිබිලා තියෙන හන්දද කියලත් එක අතකින් හිතෙනවා. ඒ වගේම ඒ ගැන ලියවිලා තියෙන සිංදු. ඊටත් වඩා අපි නොදන්නවා වුණාට කරුණාසේන ජයලත් මහත්තයා ලියන්නේ තමන්ගෙම කතාව. තමන්ගේ පාසල් ප්‍රේමය ගැන. සුගත් වෙන කවුරුවත්ම නෙමෙයි කරුණාසේන ජයලත්ම තමයි. නිහාල් කියන චරිතෙට පාදක වෙලා තියෙන්නේ දොන් බෝල්ඩ්වින් කුරුප්පු කියන ජයලත් මහත්තයාගේ පාසල් සගයෙක්. එතුමා ඩී. බී කුරුප්පු කියන නමින් ග්‍රන්ථ කීපයක් රචනා කරලා තියෙනවා. ගොළු හදවතේදි නිහාල් දම්මිව විවාහ කරගත්තට ඇත්ත ජීවිතේදී නම් කුරුප්පු මහත්තයාට දම්මිව විවාහ කරගන්න බැරි වෙලා තියෙනවා. එතුමා වෙනත් කෙනෙක්ව විවාහ කරගෙන ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා. දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ දම්මි කවුද කියන එක නේද? දම්මිගේ ඇත්ත නම “පද්මා නාලිනී ගුණරත්න”. ඇය ජයලත් මහත්මයා සමග ඉගෙනගත් කෙනෙක්. ඒ වගේම කුරුප්පු, පද්මා සහ ජයලත් හොඳම යාළුවෝ. ඇය කියපු විදිහට නවකතාවේ දම්මි සුගත්ට වෙරළු දුන්නට ඇය ජයලත් මහත්තයට දීලා තියෙන්නේ “කටු ලොවි”. ඇත්ත සුගත් අපිව 1994 දී දාලා යනවා. 2017 නිහාල් අපිව දාලා යනවා. ඒ වගේම මේ අවුරුද්දෙදි දම්මි අපිව දාලා ගියා. ඒත් ඒ තුන්දෙනාම “ගොළු හදවත” නිසා අමරණීය වෙනවා.

 

4. සැබෑ ෂර්ලොක් හෝම්ස්

Image Source – chanizahira.blogspot.com

ආතර් කොනන් ඩොයිල් 1877 දී ස්කොට් ජාතික ශල්‍ය වෛද්‍යවරයෙක් සහ සරසවි මහාචාර්යවරයෙකු වුණු ජෝෂප් බෙල්ගේ ලිපිකරුවෙකු විදිහට රැකියාවක් කරනවා.බෙල් මහත්තයා තියුණු නිරීක්ෂණවලින් එළඹෙන නිවැරදි නිගමන නිරවද්‍ය වීමේ හැකියාව කොනන්ඩොයිල්ව වශී කරනවා. සමහර ඔහුගේ නිගමන වැරදුණු හාස්‍යජනක අවස්ථා ගැනත් ඩොයිල් ඇතැම් තැන්වල කියනවා. ඒත් කොනන්ඩොයිල්, බෙල් මහත්තයාව අමරණීය කරනවා. ඒ “ෂ‍ර්ලොක්  හෝම්ස්” චරිතය හරහා. ෂර්ලොක් හෝම්ස් වගේම මේ බෙල් මහත්තයත් තමන්ගේ හැකියාවෙන් පොලිසියට උදව් කරලා තියෙනවා විවිධ අවස්ථාවලදි.

 

5. විස්මලන්තයේ ඇලිස්

Image Source – bl.uk

Alice’s Adventures in Wonderland පොත නැතත් කාටුන් එක බලපු නැති කෙනෙක් නම් හොයාගන්න බැරිවෙයි. Alice’s Adventures in Wonderland ලියලා තියෙන්නේ ලුවිස් කැරොල් කියලා අපි හැමෝම දන්නවා. ඒත්  ලුවිස් කැරොල් කියන්නේ කතුවරයගේ ආරූඪ නාමය. එයාගේ ඇත්ත නම තමයි “Charles Lutwidge Dodgson” ඔහු ගණිතය පිළිබඳ මහාචාර්ය ධුරයක් දැරූ කෙනෙක්. දවසක් ඔහු හෙන්රි ලිඩල් පවුලේ සාමාජිකයන් හා බෝට්ටු චාරිකාවක යෙදෙනවා. ලිඩල් පවුලේ දුවෙක් වුණු ඇලිස් ලිඩල් ඉල්ලීමක් කරනවා ගමනේ පාළුව මැකෙන්නත් එක්ක තමන්ට කතාවක් කියන්න කියලා. ලුවිස් කැරොල් මාමා ඇලිස් ලිඩල් දුවව චරිතයක් විදිහට පාවිච්චි කරලා කිව්ව කතාව තමයි අපි දැන් Alice’s Adventures in Wonderland විදිහට කියවන්නේ.

 

6. සැබැවින්ම පියෑඹූ ඇටමැස්සා

Image Source – alamy.com

“ඇටමැස්සා” කියන්නේ අපේ අය දේවත්වයෙන් වගේ අදහන පොතක් කිව්වොත් වැරදි නෑ. ඇට මැස්සා ලියන්නේ එතල් ලිලියන් වොයිනිච් (Ethel Lilian Voynich). සුගතපාල සිල්වා අතින් සිංහලයට පරිවර්තනය වීම එක්ක තමයි මේ පොත අතිශයින් ජනප්‍රියත්වයට පත්වෙන්නේ. මේ පොතේ ප්‍රධාන චරිතය වෙන්නේ ආතර් බර්ටන් (Arthur Burton). හැබැයි මේ Arthur Burton චරිතෙට පාදක වුණු කෙනාගේ ඇත්ත නම තමයි සිඩ්නි රයිලි (Sidney Reilly). ඔහු රුසියාවේ ඉපදුණාට බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට වැඩ කරලා තියෙනවා. Sidney Reilly ලන්ඩනයෙදි මුණ ගැහෙන එතල් ඔහු සමග සමීප සම්බන්ධතාවයක් ගොඩ නගාගන්නවා. ඊට පස්සේ කාලෙක තමයි ඇය අතින් ඇටමැස්සා ලියවෙන්නේ.

 

7. ජේ. කේ රෝලින්ගේ ගුරුවරයාට ගිය කල

Image Source – cbsnews.com

කොණ්ඩය තරමක් දුරට වැවූ, ඉක්මනින් කේන්ති යන රසායන විද්‍යා ගුරුවරයෙක් එංගලන්තයේ පාසලක උගන්වනවා. ඔහුගෙන් ඉගෙන ගන්න එක ශිෂ්‍යාවක් පොත් පෙළක් ලියනවා. ඒ ශිෂ්‍යාවගේ නම ජේ .කේ රෝලින්ග් කිව්වොත් ඔයාට ඉතුරු ටික හිතාගන්න පුළුවන් නේද? ඔව් මහාචාර්ය ස්නේප්ගේ චරිතේට පාදක වෙන්නේ ඒ රසායන විද්‍යා ගුරුවරයා තමයි. ඔහුගේ ඇත්ත නම වෙන්නේ ජෝන් ලෝරන්ස් නෙට්ල්ෂිප් (John Lawrence Nettleship).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *