කසාදයක් දෙන්නෙක්ගේ ජීවිත එකතු කරනවා වගේම ඒ දෙන්නගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒත් සමහර කසාද ඒ දෙන්නගේ ජීවිත විතරක් නෙමෙයි, ඔවුන් සම්බන්ධ වුණු බොහෝ දේවල් වෙනස් කරනවා. ඉතින් අපි හිතුවා වෙච්ච කසාද ගැන නැතුව වුණේ නැති කසාද කීපයක් ගැන කතා කරන්න. මේ කසාද වුණා නම් කොච්චර දේවල් වෙනස් වෙන්න තිබ්බද?
1. ඩඩ්ලි සේනානායක සහ සිරිමාවෝ රත්වත්තේ
ඩඩ්ලි සේනානායක කියන්නේ අපේ රටේ පළමුවැනි අගමැතිතුමා වුණු ඩී. එස් සේනානායක මහත්තයගෙයි මොලී දුනුවිල මැතිනියගෙයි වැඩිමල්ම පුතා. ඒ නිසා ඩී. එස්ගේ ඔටුන්න හිමි කුමාරයා විදිහටයි ඩඩ්ලිව හැඳින්වුණේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉඳන් ඉගෙනගෙන ලංකාවට එන ඩඩ්ලිව ඩී.එස් දේශපාලනයට යොමු කරන්නේ තමන්ගේ පවුලේ දේශපාලන උරුමය රැකගන්න. මොලී දුනුවිල මහත්මිය හිතන්නේ තමන්ගේ පුතාට ගැලපෙන පරස්තාවක්. පෙම්වතියක් ගැන ඩඩ්ලිගෙන් අහන්න නොලැබෙන නිසා මොලී මහත්මිය කපුවන්ගෙ උදව් ගන්නවා. කපුවෙක් මාර්ගෙන් ලැබුණු යෝජනාවකට සේනානායක දෙමහල්ලෝ ඩඩ්ලිවත් එක්කන් යනවා බළන්ගොඩ පැත්තේ වලව්වකට. කතාබහෙන් පස්සේ කෑම මේසෙත් සරු සාරෙට තියෙනවා. අතුරුපසට හම්බවෙන්නේ බළන්ගොඩ කිතුල් හකුරුවලින් හදපු වටලප්පන්. ඩඩ්ලිත් වටලප්පන් හොඳට රස විඳිනවා. එන ගමන් කාර් එකේදී මොලී මහත්මිය ඩඩ්ලිගෙන් අහනවා “කොහොමද ගිය ගමන” කියලා, ඩඩ්ලි සන්තෝසෙන් උත්තර දෙනවා “හරි ෂෝක්, හරි ෂෝක්” කියලා. ඒ වචන ඇහෙනවත් එක්කම සන්තෝසෙ දරා ගන්න බැරුව සේනානායක යුවලම එක පාරටම වගේ කියනවා “එහෙනම් තව කල් දාන්නේ නැතුව සිරිමාව කැන්දන් එමු” කියලා. ඩඩ්ලි එතකොට අහනවා “මොන සිරිමද” කියලා. මොලී මහත්මිය කියනවා ” ඇයි ළමයෝ, දැන් බලන්න ගිය මනමාලී, නමවත් මතක නැද්ද සිරිමා, හරි ෂෝක් හරි ෂෝක් කිව්වේ” කියලා. ඩඩ්ලි එතකොට හිනා වෙවී කියනවා “සිරිමා කෙනෙක් නෙමෙයි මම හරි ෂෝක් හරි ෂෝක් කිව්වේ, වටලප්පන්වලට” කියලා. ඩඩ්ලි සේනානායක කවදාවත් විවාහ වෙන්නේ නෑ. බලන්ගොඩ වලව්වේ බලන්න ගිය මනමාලී “සිරිමා” ඩඩ්ලිගේ තවත් යාළුවෙක් වුණු එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායකව විවාහ කරගන්නවා.
2. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ ගිරිජා රාජපක්ෂ
“මහා කප්පින වලව්ව” කිව්වම ඔයාට මතක් වෙන්නේ “ගම්පෙරළිය, මඩොල්දූව, විරාගය” වගේ චිත්‍රපටිවල පසුබිම් දර්ශනයක් විදිහට ගත්ත වලව්ව. ඒත් මේ කතාව ඒ වලව්ව ගැනවත් ඔය චිත්‍රපටි ගැනවත් නෙමෙයි, කප්පින වලව්වේ අයිතිකාරයන් පරම්පරාවෙන්ම ධනවතුන්. කොළඹ ආනන්ද විද්‍යාලයට, බොරැල්ල වෛද්‍ය විද්‍යාලයට ඉඩම් පරිත්‍යාග වෙලා තියෙන්නෙත් කප්පින වලව්වෙන්. මේ වලව්වේ හිටපු එක් ප්‍රභූවරයෙක් තමයි හියුබට් රාජපක්ෂ. ඔහුගේ පුතා තමයි ගිරිජා රාජපක්ෂ. ඔවුන් වැඩි වශයෙන් පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ කොළඹ. ගිරිජා මැකාති පාරේ (දැන් විජේරාම පාරේ) විපස්සනා මධ්‍යස්ථානයේ තියෙන භාවනා පංතියකට යනවා. මේ පංතියට තවත් ප්‍රභූ පවුල් කීපයක දරුවෝ එක් වෙනවා. ඒ අතරින් එක තරුණියකට ගිරිජාගේ හිත යනවා. ඒ තරුණියත් ගිරිජාට ආදරය කරනවා. නමුත් මේ ගැන දැනගන්න තරුණියගේ මව ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට අකමැති වෙනවා. ඒත් ඒ ගැන හිතන්නේ නැතුව ඔවුන් දෙන්නා සම්බන්ධය දිගටම පවත්වාගෙන යනවා. ඒත් දවසක් ගුවන් විදුලි සංස්ථාව අසලදී සිදුවුණු රිය අනතුරකින් අවසනාවන්ත ලෙස ගිරිජා රාජපක්ෂ මියයනවා. ඔහුගේ පෙම්වතිය කාමරයට වෙලා දොර වහගෙන අඬනවා. පස්සේ ඇය ඇත්තට මුහුණ දීලා ගිරිජා වෙනුවෙන් ආගමික කටයුතු සිදු කරනවා. මේ තරුණියගේ නම “චන්ද්‍රිකා බණ්ඩාරනායක”.
3. ඉන්දිරා ගාන්ධි සහ ලයනල් එදිරිසිංහ
සංගීතය ඉගෙනගන්න ශාන්ති නිකේතනයට යන ශ්‍රී ලංකාවේ කඩවසම් තරුණයෙක්ට ඉන්දීය යුවතියක් ආදරය කරන්න පටන් ගන්නවා. ඒ ඉන්දියන් යුවතිය ශාන්ති නිකේතනයේ අධිපති රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ළඟම මිත්‍රයෙකුගේ දියණියක්. ඒත් තාගෝර්තුමා ඒ ප්‍රේමයට කිසිම විරෝධයක් වචනයකින්වත් දක්වන්නේ නෑ. ශාන්ති නිකේතනයේ ඉන්න කාලය පුරාවටම ඒ ආදරය ගලා යනවා. ඒත් මේ තරුණයට ආපහු ලංකාවට එන්න වෙනවා. ඔහු ලංකාවට ඇවිත් ලංකාවේ සංගීතයේ දියුණුවට පුරෝගාමී කාර්යයක් කරනවා. අර ඉන්දියානු තරුණිය තමන්ගේ පියාගේ අඩිපාරේ යමින් තම රටේ දේශපාලනයේ යෙදෙනවා. ඔවුන් දෙදෙනාම වෙනත් විවාහ කරගන්නවා. ඒත් මේ තරුණිය පස්සේ කාලවලත් තමන්ගේ හිතවතාට ඉන්දියාවට ඇවිත් සංගීතයට සම්බන්ධ විවිධ තනතුරු බාර ගන්න කියලා ඉල්ලනවා. ඔහු ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. මේ තරුණයා තමයි “ලයනල් එදිරිසිංහ”, තරුණිය “ඉන්දිරා ගාන්ධි”. ලයනල් එදිරිසිංහ මහත්තයා තමන්ගේ දියණියකට නම තියන්නෙත් “ඉන්දිරා” කියලා.
4. මාලනී ෆොන්සේකා සහ විජය කුමාරතුංග
සිංහල සිනමාවේ සිහින පෙම්වතුන් ලැයිස්තුවක් කියන්න කිව්වොත් එතනින් ඉහළම ඉන්න යුවළක් තමයි මාලිනී සහ විජය. මේ දෙන්නා සිනමාවෙදි කොයිතරම් පාරක් තමන්ගේ ප්‍රේමයට එරෙහි වුණු දුෂ්ටයන් පරද්දලා විවාහ වෙන්න ඇද්ද? ඒත් දෛවයේ සරදමකට වගේ මේ දෙන්නට සැබෑ ජීවිතයේදී ඒ සිහිනය සැබෑ කරගන්න බැරි වුණා. විජයගෙයි මාලනිගෙයි විවාහයට සියලු කටයුතු සූදානම් වෙද්දි විජය යනවා තමන්ගේ මනාල ඇඳුම අරන් එන්න. එතන ඉද්දි ඔහුට අවාසනාවන්ත ආරංචියක් ලැබෙනවා. ඒ තමයි තමන්ගේ සහෝදරයා වුණු සිඩ්නි කුමාරතුංග (ජීවන් කුමාරතුංග මහතාගේ පියා) මියගියා කියලා. මේ හේතුව නිසා විවාහය කල් යනවා. විජයගේ මංගල ඇඳුම සිඩ්නි කුමාරතුංග මහතාගේ දේහයට ඇන්දෙනවා. හැබැයි කල් ගිය විවාහය නම් නැවත කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. මේ හේතුව නිසාම කාලයක් මාලිනී සහ විජය එකට රඟපෑම ප්‍රතික්ෂේප කරනවා. පස්සේ දෙදෙනා නැවත හොඳ මිතුරන් බවට පත්වෙනවා. මාලනී සහ ලකී ඩයස්ගේ විවාහයටත් විජය සහභාගී වෙනවා. හැබැයි තනියම නෙමෙයි, තමන්ගේ බිරිඳ වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායකත් එක්ක.
5. රන්ජන් රාමනායක සහ දිල්හානි ඒකනායක
“රන් සමනල ජෝඩුව වාගේ” රන්ජන් රාමනායක ගායනා කරන ජනප්‍රිය ගීතයක්. ඒ ගීතයේ සඳහන් කෝපයෙන් හිටපු අශෝකමාලා වෙන කෙනෙක් නෙමෙයි ‘දිල්හානි ආශෝකමාලා ඒකනායක”. ඔවුන් දෙදෙනාම එකම කාලෙක රංගනයට පිවිසුණු දෙන්නෙක්. ඒ වගේම දෙන්නා පදිංචිවෙලා හිටියේ නාරාහේන්පිට ප්‍රදේශයේ. රන්ජන් නැවතිලා හිටියේ නාරාහේන්පිට තිබ්බ එයාගේ ඥාතියෙක් වුණු විජය කුමාරතුංගගේ ගෙදර. අසල්වාසීන් වීම නිසාත් ඒ දෙන්නාගේ ප්‍රේමය දළු දාලා වැඩුණා. බොහෝ වෙලාවට ඒ දෙන්නා පොත්පත් හුවමාරු කරගත්තා. හැබැයි ඒ පොත් ඇතුළේ පෙම්පතුත් තිබ්බා. ඒත් කාලෙත් එක්කම ඒ දෙන්නට ඒ පෙම් කතාවට නැවතුම් තිත තියන්න වුණා. දිල්හානි ප්‍රියංකර පෙරේරාව විවාහ කරගත්තා. රන්ජන් තාම තනිකඩයි.
6. සනත් ගුණතිලක සහ සබීතා පෙරේරා
සනත් සබීතා කියන්නෙත් අපේ සිනමාවේ සිහින පෙම්වතුන් යුවළක්. ඒ වගේම ඒ දෙන්නා සැබෑ ජීවිතෙත් පෙම්වතුන් වුණා. දෙන්නටම සිනමාව ගැන හොඳට හදාරන්න වුවමනාව තිබ්බා. ඇමරිකානු මධ්‍යස්ථානයේ චිත්‍රපටි බලලා දෙන්නම යන්නේ තිස්ස අබේසේකරගේ ගෙදරට ඒ චිත්‍රපටිය ගැන සාකච්ඡා කරන්න. සනත් මල් ගසේ වටේ නට නට හිටිය සබීතව තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ වගේ අධ්‍යක්ෂකවරුන්ට හඳුන්වා දෙනවා. ඒ තුළින් දෙන්නාගේම සිනමා ජීවිතය ඉහළටම යනවා. සබීතා ස්වාධීනව පකිස්ථානයේ පවා චිත්‍රපටි නිළියක් විදිහට ජනප්‍රිය වෙනවා. කොහොම වුණත් විවිධ හැලහැප්පීම් නිසා දෙදෙනා වෙන් වෙනවා. ඒ විදිහට තවත් සිහින විවාහයක් මියයනවා.
7. ප්‍රින්ස් උදයප්‍රියන්ත සහ නිරෝෂා විරාජිනී
ප්‍රින්ස් උදයප්‍රියන්ත පසුගිය වසරෙදි අපි අතරින් සමුගත්තා.ඔහුගේ ජීවිතය වෙනස් වුණු ආකාරය තාමත් බොහෝ දෙනෙක්ට හිතාගන්න බෑ. ප්‍රින්ස්ගේ ජීවිතයේ ඔහුට බොහෝ දේ ලැබුණත් ඒ ලැබුණ දේවල් බොහෝ ඉක්මනින් ඔහු වෙතින් ඉවත් වෙලා ගියා. ඔහුගේ ප්‍රේමයත් ඒ වගේමයි. ප්‍රින්ස් වරක් කියපු විදිහට ඔහු හා ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී අතර පෙම් සබඳතාවක් තිබිලා තියෙනවා. ඒ සම්බන්ධතාවෙට නිවෙස් දෙකේම කැමැත්ත ලැබිලා තිබ්බත් දෙන්නාගෙම කාර්යබහුලත්වය නිසා පෙම් සබඳතාවය කෙළවර වෙනවා. නිරෝෂා ඉන්පසුව විවාහ කීපයකට මැදි වෙනවා. ප්‍රින්ස් අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමුගන්නවා.
Leave a Reply