පිරිමිකම පේන පිරිමියෙක් වෙන්න ක්‍රම කීපයක්!

ඇත්තටම මොකද්ද පිරිමි කම පේන පිරිමියෙක් වෙනවාය කියන්නේ? අර සැරපරුෂ, කොයි වෙලේත් වලියටම ලෑස්ති වෙලා ඉන්න, හොස්ස ළඟින් මැස්සා යන්න බැරි පිරිමියෙක්ද? එහෙමත් නැතිනම් අර බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිල්ලා වගේ ඇවිදින පිරිමියෙක්ද? නෑ. මේ කියන්නේ මනා පෞරුෂත්වයකින් යුක්ත පිරිමියෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. හැබැයි විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන. මේ ලෝකේ ඉන්න හැම පිරිමියෙක්ම මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා නියමයක් නෑ. මිනිස්සු විවිධාකාරයි. හැබැයි කෙනෙක්ට ආසාවක් තියෙනවා නම් අර සාම්ප්‍රදායික පිරිමි පෞරුෂත්වයක් හදාගන්න, ආන්න ඒක කරන විදිය තමයි අපි කියලා දෙන්න යන්නේ.

 

1. ස්පෝර්ටි ලුක් එකක්!

Image Source – menshealth.com

පිරිමිකම පේන්න නම් හොඳින් නඩත්තු කෙරෙන ශරීරයක් තියෙන්න ඕන කියන එක අනිවාර්ය දෙයක්නේ. ඒ කියන්නේ කායවර්ධන ශිල්පියෙක්ගේ වගේ ඇඟක් නෙවෙයි. හැබැයි ජිම් එකට යන්න පටන් ගන්න ඕන. එහෙම නැතිනම් විනෝදාංශයක් විදියට ශරීරයට ව්‍යායාම ලැබෙන ක්‍රීඩාවක් ‍තෝරාගන්න ඕන. දැන් දිගින් දිගටම මේ වල නිරත වෙනකොට තමන්ගේ ශරීරය මනා හැඩයකින් යුතුව, මස් පිඬු අවශ්‍ය විදියට වර්ධනය වෙලා නිර්මාණය වෙනවා. අන්න ඒ හොඳ ශරීර පෙනුම සහ ශරීර යෝග්‍යතාවය පිරිමිකම පේන්න හේතුවක්.

 

2. ඇඳුම්

Image Source – pinkvilla.com

පිරිමියෙක්ට පිරිමි කම පේන්න කියලා අමුතුවෙන් දකින දකින විලාසිතාව කරන්න වුවමනා නෑ. හැබැයි තමන්ගේ ශරීරයට හරියන සරල ඒත් ඉහළ පෙනුමක් තියෙන ඇඳුම් ආයිත්තම් ‍තෝරගන්න ඕන. ඇත්තටම වඩා හොඳ කොලිටියේ ඇඳුම් පැළඳුම් වලට මුදල් වියදම් කරන එක ආයෝජනයක් කියලා මෙතනදී මතක තියාගන්න ඕන. මොකද ඒ වගේ ඇඳුම් වලින් තමන්ගේ රිච් ලුක් එක වැඩි කරනවා විතරක් නෙවෙයි, ඒ ඇඳුම් සාපේක්ෂව වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්. හැම වෙලාවකම අර දාසයේ දහ අටේ කොල්ලෙක් වගේ නැතුව වැඩුණු මිනිහෙක් විදියට ඇඳුම් පැළඳුම් කරන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ ඇඟට වඩා දෙගුණයක් ලොකු, චිත්‍ර තියෙන ටී ෂර්ට් එකකුයි, ඉණෙන් සෑහෙන පහළට ආපු කලිසමකුයි ඇඳලා යනවට වඩා හොඳ ඩෙනිම් එකකට තනි පාට ටී ෂර්ට් එකක් හරි ෂර්ට් එකක් හරි ඇඳපු කෙනෙක්ගේ මුහුකුරා ගියපු පිරිමි කමක් පේනවා.

 

3. නැවුම් පෙනුමක්

Image Source – epiphanydermatology.com

නියම පිරිමි පෙනුමක් තියෙන්න සම්පූර්ණයෙන්ම ‍රැවුල ෂේව් කරලා ඉන්න ඕන නෑ, ‍රැවුල වවාගෙන වලහා වගේ ඉන්න ඕන කියලා එකකුත් නෑ. ‍රැවුල ඇතුව වුනත් නැතුව වුනත් මනාව නඩත්තු කරන පෙනුමක් තමයි තියෙන්න ඕන. ඒ කියන්නේ ‍රැවුල වවනවා නම් ගාණට ‍රැවුල පීරලා, කපලා නඩත්තු කරන්න ඕන.

එතකොට නිරන්තරයෙන් ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕන. පිරිසිදුකම පවත්වා ගන්න ඕන. බොඩි ස්ප්‍රේ එකක්, කොලෝන් එකක් එහෙම පාවිච්චි කළත් කමක් නෑ. ආන්න එතකොට ඕනම මනුස්සයෙක්ට හොඳ ආකර්ෂණීය නැවුම් පෙනුමක් ලැබෙනවා. ඒක පිරිමි පෙනුමක් ලැබෙන්න අවශ්‍ය දෙයක්.

 

4. බොඩි ලැන්ග්වේජ්!

Image Source – today.com

පිරිමි පෙනුමක් කෙනෙක්ට ලැබෙන්න තමන්ගේ ශරීරයෙන් නිකුත් කරන සංඥා ගැන සැලකිලිමත් වීම වැදගත්. උදාහරණයක් විදියට කිවුවොත් හිටගෙන ඉන්න විදිය. කෙනෙක් බොහොම ස්ථිරසාර විදියට, සෘජු කයින් හිටගෙන ඉන්නවා නම්, ඒ විදියටම ස්ථිර පියවරෙන්, සෘජු කයින් ගමන් කරනවා නම් ඒක පිරිමි පෙනුමක් ලැබෙන්න අත්‍යාවශ්‍ය දෙයක්. ඒ වගේම තමන්ටම හොඳ ආත්ම විශ්වාසයකුත් ඇතිවෙනවා මේ විදියට ගමන් කරනකොට සහ හිටගෙන ඉන්නකොට.

ඊළඟට කෙනෙක් එක්ක කතා කරනකොට ඇස් දිහා බලලා කතා කරන්න පුලුවන් වීමත් බොහොම හොඳ දෙයක්.

 

5. කථාබහ

Image Source – youtube.com

පිරිමි විදියට කතා කරනවා කියලා දෙයක් තියෙනවද? කෙනෙක්ට මතක් වෙන්න පුලුවන් අර ගැඹුරු වොයිස් එකෙන් “ආ නංගී” කියලා කතා කරන එක පිරිමි ටෝන් එකක් කියලා. හැබැයි ඇත්තටම එහෙම නෑ. වෙන්න ඕන දේ තමයි අපිට ලැබිලා තියෙන කටහඬින්, පැහැදිලිව කතා කරන එක. හදිසි වෙලා කතා කරන්න එපා, වුවමනාවට වඩා මන්දගාමීව කතා කරන්නත් එපා. ඒ වගේම තමයි වුවමනාවට වඩා හෙමින් හරි වුවමනාවට වඩා සද්දෙන් හරි කතා කරන්නත් එපා. ඇත්තටම මේ බැලන්ස් එක තමයි හොයාගන්න ඕන. අන්න එතකොටයි හොඳ හඬ පෞරුෂයක් ලැබෙන්නේ.

ඒ වගේම තමයි කතා කරන දේවල්. නියම පිරිමියෙක් මොට්ට කතා කියන්නෙ නෑ, මිනිස්සුන්ට අපහාස වෙන, කොන් කෙරෙන දේවල් කියන්නේ නෑ. පහත් පෙළේ විහිළු තහළු, පහත් උපහාසයන් කරන්නෙ නෑ. හැබැයි නියම පිරිමියෙක් කතා කරන දෙයක් හැමවිටම වැදගත් වෙනවා!

 

6. හොඳ ආත්ම විශ්වාසය

Image Source – rosemarynonnyknight.com

නියම පිරිමි පෙනුමක් ලැබෙන්න නම් තමන් නියම පිරිමියෙක් විදියට හිතන්න පුරුදු විය යුතුයි. නියම පිරිමියෙක් විදියට හිතන්න නම් මනා ආත්ම විශ්වාසයක්, මනා ආත්ම ශක්තියක්, සුරක්ෂිත හැඟීමක් තමන් තුළ තිබිය යුතුයි. මෙන්න මේ දේවල් ඇත්තටම ඕනම මනුස්සයෙක් තුළ තිබිය යුතු දේවල්.

තමන් ගැන ආත්ම විශ්වාසය ඇති කරගන්න නම් තමන්ගේ වටිනාකම තේරුම් ගන්න වුවමනායි. ඒ වගේම තමන්ගේ ගතිගුණ ගැන හොඳ අදහසක් තිබිය යුතුයි. මෙතනදී තමන්ගේ අවුල් ගතිගුණ තියෙනවා නම් ඒවා නැතිකරගන්නත් සිද්ධ වෙනවා. අන්න එතකොට තමන් ගැන තියෙන අනාරක්ෂිත හැඟීම් නැතිවෙනවා. හොඳ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා.

 

7. ස්ථාවර පිරිමියෙක්!

Image Source – videoblocks.com

හොඳ පිරිමි පෙනුමක්, හොඳ පිරිමිකමක් තියෙන මනුස්සයෙක් වෙන්න හොඳ ස්ථාවර මනුස්සයෙක් වීම වැදගත්. මෙතනදී ස්ථාවර මනුස්සයෙක් කියන්නේ අම්මගෙන් පැට්‍රල් ගහන්න සල්ලි ඉල්ලගෙන බයික් එකේ රවුම් ගහන කෙනෙක් නෙවෙයි. තමන්ට කියලා හොඳ ‍රැකියාවක් තියෙන, අඩු තරමින් හොඳ ‍රැකියා අනාගතයක් තියෙන, ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් තියෙන මනුස්සයෙක්. එහෙම මනුස්සයෙක් සහ එදා වේල ‍ටුවර්ස් ලෙවල් එකෙන් අනාගතයක් ගැන හිතන්නේ නැතුව ඉන්න මනුස්සයෙක්ගේ වෙනස පැහැදිලිවම පේනවා. එතකොට මුලින් කියපු විදියේ අනාගතය ගැන හිතන, හොඳ ආර්ථික සහ වෘත්තීය සුරක්ෂිතභාවයකින් යුතුව ඉන්න මනුස්සයෙක්ගේ පැහැදිලිව පේන පිරිමි කමක් තියෙනවා.

හොඳ පිරිමිකමක් පේන්න වුවමනා දේවල් කීපයක් විතරයි මේ. තව දේවල් තියෙනවා. හැබැයි මේ ටික ගොඩදාගන්නකොට අනෙක් දේවල් ඉබේම හැදිලා එනවා.

Cover Image Source – dailydot.com/ bravotv.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *