ජීවිතයේ එක එක වයස් මට්ටම්වලදී අපි සිදුවීම් දිහා බලන විදිය වෙනස් වෙනවා. මේ වෙනස්කම වයස් මට්ටමට විතරක් නෙවෙයි, පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස් වෙනවා. මේ ලිපියෙන් අපි කියන්න යන්නේ නව යොවුන් වියේ පසුවෙන තරුණියක් තමන්ගේ අනාගත ස්වාමි පුරුෂයාගේ ස්වභාවය ගැන හීන මවන ආකාරයත්, ඇය පරිණත තරුණියක් වීමෙන් පස්සේ ඒ හීන වෙනස්වෙන ආකාරයත් ගැනයි. කාලෙ වෙනස් තාලෙ අලුත් කියල නැතුව බහුතරයක් කට්ටිය ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි. මොකෝ ඉතිං දැන් තැන තැන දොස්තරලට බැන බැන යන උදවියත් පුංචි කාලෙ ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියල ටීචර් ඇහුවම කිවුවෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලනෙ. එහෙම තමයි ඉතිං. හිත් වෙනස් වෙනවනෙ.
1. බොඩි බිල්ඩර්
අවුරුදු 15-16 වයස් මට්ටම්වලදි ඔළුවෙ ඉන්නෙම අහන දකින කඩවසම් නළුවොමයි. කාමරේ බිත්ති පුරාවට හිත ගත්ත නළුවොන්ගේ පින්තූර එල්ලගන්නවා. ඉතින් මේ විදියට තුන් තිස් පැයේම ඔළුවේ ඉන්න නළු අයියා වගේ කොල්ලෙක් නම් අද වුණත් කසාද බඳින්න කෙල්ල ලෑස්තියි. පෙනුම ගැන හීනේ පුද්ගලානුබද්ධ කාරණයක් වුණත් ගොඩක් වෙලාවට නව යොවුන් වියේ ඉන්න දැරිවියො කැමති උස, සුදු, ජිම් ගිහින් ලස්සනට හදාගත්ත ඇඟක් තියෙන කොල්ලෙකුට. හැබැයි ඇත්තටම කසාද බඳින්න තරම් පරිණත වයසකට ආවම එයාලට තේරුම් යනවා හැමෝටම නළුවෝ වගේ කොල්ලෝ කසාද බඳින්න බැරි විත්තිය. ඒ වගේම පාරේ එක්ක යන්න පුළුවන් විදියේ සාමාන්‍ය උස මහත පෙනුමක්, පැහැයක් තියෙනවනම් ඒ හොඳටම ඇති කියන ගාණට ඔළුවත් හැදිලා. ඊටත් වඩා ඔය විදිය බොඩි මේන්ටේන් කරන්න උදේ පාන්දර ජිම් යද්දිත් වදේ වයිෆ්ටනෙ. අනික ඒකට හරියන්න කැලරි අඩුවෙන් උයන්න ගියාම එන කේන්තියට රිතික් රෝෂන්වත් මරන්න හිතෙනව ඕට්ස් පැකට් එකකින් ගහල.
2. අවබෝධය විතරක්…
“මහ ලොකුවට ඉගෙනගෙන තියෙන්න ඕනි නෑ අනේ, සමාජෙත් එක්ක විශේෂයෙන් මගෙත් එක්ක අවබෝධයකින් ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඒ ඇති” කියන නංගිලා කසාද බැඳලා ළමයෙක් එහෙම හදන්න සූදානම් වෙනකොට ඔන්න හිත යටින් හිතනවා “මෙයා වැඩිය ඉගෙනගෙනත් නෑ, අනේ මේ ළමයත් ඒ වගේ වෙයිද..?” කියලා. ඒ වගේ දෙයක් ඔළුවට එන්නේ නැත්තන් ඒ බොහොම අතළොස්සකට විතරයි. එහෙමත් නැත්තන් නිසි වයසට ආවම, තමන්ගේ සහකාරයගේ උගත්කම, බුද්ධිමත්කම වගේම හැකියාව කියන දේවල් අනාගත ජීවනෝපායත්, සමාජ තත්ත්වයත් එක්ක ගැළපෙනවා කියන කාරණය ලස්සනට වටහාගෙන තමුන්ට වැඩක් ඇති දෙයක් කරගන්න පෙළඹෙනවා.
3. ලුණුයි බතුයි කමුකො රත්තරං
“අපි දෙන්නයි පැටවු දෙතුන් දෙනෙකුයි විතරනේ අනේ, කාලා බීලා ඉන්න පුළුවන් තරමට හම්බකළාම මදැයි. ඊට වඩා අපිට තියෙන දෙයක් කාලා එකට වැටිලා ඉන්න එක සැපයි” කියලා හිතන ගැටිස්සියොන්ට අවුරුදු 28-30 වගේ වෙනකොට ඔළුවට එන්නෙම හොඳ ගෙයක්, වාහනයක්, ළමයින්ට හොඳ ඉස්කෝල, වැඩිවෙන ජීවන වියදමට එරෙහි ශක්ති සම්පන්න ආර්ථිකයක්, සැප පහසු ජීවන රටාවන් වගේ දේවල්ම තමයි. ඒ වෙලාවට මල් මල් හීන කැළේ. අර ඉහතින් සඳහන් කරපු දේවල් කෙල්ලගේ ඔළුවේ හැමතිස්සෙම කැරකෙන නිසා කසාදයක් බඳින්න තරම් පරිණත වයසකට එන කෙල්ලෙක් තමන්ගේ සහකාරයගේ රැකියාවේ ස්වභාවය ගැන, ආර්ථික ස්ථාවරත්වය ගැන බැරෑරුම්ව හිතන්න පෙළඹෙනවා. ඒකේ ඇති වැරැද්දකුත් නෑනේ නේද?
4. නුවරඑළියෙ ටජ්මහලක්?
අවුරුදු 15-16 කාලේ දි මොන ගෙවල් ද, මොන වාහන ද? එයත් එක්ක චුට්ටක් කතා කරගන්න විතරක් තිබුණොත් මහමෙරක් වගේනේ නේද? එහෙමත් නැත්තන් “අපි දෙන්නට ඉන්න ගේ පොඩ්ඩකුයි, අරයට ඕනිම නම් බයික් එකකුයි තිබුණම ඇති” කියන දැරිවියෝ පස්සේ කාලෙක ඒ හීන මතක් කරලා හිනා වෙනවත් ඇති. මොකද තේරෙන වයසට ආවම දැනෙනවා හොඳ තත්ත්වයේ ගෙයක් දොරක් වාහනයක් වගේ දේවල් ජීවිතේට කොච්චර වටිනවද කියලා.
5. ගතිගුණ
නව යොවුන් වයස කියන්නේ මෙලෝ බරක් පතලක් නැති වයසක් කියලා කවුරුත් දන්නවා. ඉතින් ඒ වයසේ ඉන්න දැරිවියෙක්ට හිතෙන්න පුළුවන් “අනේ මම නම් ආස එයා හැම තිස්සෙම පූස් පැටියෙක් වගේ මගෙත් එක්ක හුරතල් වෙවී ඉන්නවට” කියලා. හැබැයි වැඩිහිටි වයසට පත් වුණාම කෙල්ලට තේරෙනවා තමන්ගේ සහකාරයා සුරතල් සතෙක් ගාණට තියාගත්තොත් ජීවිතේම හබක් වෙනවා කියලා. මොකද දෙමව්පියොන්ගෙන් යැපෙන නව යොවුන් වයසෙදි දැනෙන්නේ නෑ ජීවත්වෙනකොට තමන්ට මුහුණදෙන්න වෙන අභියෝග ගැන. තමන්ම හම්බකරගෙන කන්න පටන් ගත්තට පස්සෙ ජීවත් වීම ම අභියෝගයක් කියන කාරණය ඒ පොඩි වයසට නොතේරුණාට පරිණත තරුණියකට ඒ දේ හොඳින්ම වැටහෙනවා. එතනින් පස්සේ ඇය කසාද බඳින්න හොයන්නේ ශක්තිමත්, සෘජු අදහස් ඇති ඒ විදියෙම ජීවන රටාවක් තියෙන පිරිමියෙක්ව. යොවුන් වයසෙදි “පොඩි එකෙක් වගේ “කොල්ලෙක්ව හොයන දැරිවියක් පසුකාලීනව කසාද බඳින්න හොයන්නේ පොඩි දරුවෝ දෙතුන් දෙනෙක් වුණත් තනියම බලා කියාගන්න පුළුවන් පිරිමියෙක්ව. ඔන්න ඔහොමයි කෙල්ලොන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙන්නේ.
6. අඩුගාණේ කිරිහොද්දක් හදල තියන්නම්
“අනේ මම ආසයි මගේ අතින්ම එයාගේ වැඩ හැම දෙයක්ම කරලා දෙන්න. එයාගේ රෙදි හෝදන්න, උයලා පිහලා මගෙ අතින්ම එයාට කවන්නයි මට ඕනි. එයාට කියලා පොඩි වැඩක්වත් මම කරවාගන්නේ නෑ. පව්නෙ කොල්ලා…”
චූටි කාලේ ඔන්න ඔහොම හිතන නම්කිලා වැඩිහිටියෝ බවට පත්වෙලා, යාළුවොන්ගේ, අයියලා අක්කලාගේ, ඔෆිස්වල ඉන්න අයගේ පවුල් ජීවිත ගෙවෙන හැටි දැකලා තේරුම් ගන්නවා “මං තරමටම හබියත් ගෙදර වැඩවලට හවුල් වුණේ නැත්නම් රජෝ මේ ගේම ගහන්න බෑ” කියන කාරණය. කොටින්ම තමන්ගේ ස්වාමි පුරුෂයට දාස භාර්යාවක් වෙන්න බලාපොරොත්තුවෙන කෙල්ල කසාද බඳින්න කලින්ම කොල්ලගෙන් සර්වන්ට් කෙනෙක් ඉල්ලන්න වුණත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්තන් ගෙදර වැඩ 50%-50% කරමු කියලා කොන්දේසි පනවන්නත් පුළුවන්කම තියෙනවා. වෙන එකක් තියා හැමදාම උයලා පිහලා කවන්නම් කීව කෙනා හස්බන්ඩ් කඩෙන් කමු කියන්නේ කොයි වෙලාවෙද කියලා ඇඟිලි ගැන ගැන තමයි ඉන්නෙ.
7. සමාජ සම්බන්ධතා
“බැන්දට පස්සේ අපි දෙන්නා අපේ ලෝකේ තනි වෙමු අනේ. අපි ගොඩාරියක් ට්‍රිප් එහෙම යමු. රට වටේ යමු” කියන දැරිවි කසාදෙන් පස්සේ සමහරවිට “අයියෝ අපි දෙන්නා විතරක් ට්‍රිප් ගිහින් මෙලෝ රහක් නෑ, කට්ටියත් එක්ක සෙට් වෙලා යමු” කියන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්තන් “මොන ට්‍රිප් ද මනුස්සයෝ, සල්ලි ටික ඉතුරුකරගෙන මෙන්න මේ ගෙදර වැඩ ටික ඉවර කරගමු” කියන්න තරමට වුනත් දිව වෙනස් පැත්තකට නැවෙන්න පුළුවන්.
Leave a Reply