සුරාවෙන් මත් වූ අතීතේ රසමුසු තැන්

සුරාවෙන් මත්වීම අපේ සංස්කෘතිය අනුව වැරදි දෙයක්. ඒත් මිනිස්සු එදා ඉඳලාම සුරාව සොයාගෙන යනවා. ජීවිතයේ තියෙන ඒකාකාරී බව නිසා ඇතිවෙන පීඩනය වළකාගන්න එක ක්‍රමයක් විදියට සුරාව එදා සිට අද දක්වා ජනප්‍රිය වෙලා තියෙනවා. සුරා පානය කියන්නේ අපිට පසුකාලීනව හඳුන්වා දුන් දෙයක් විදියට තමයි සාමාන්‍ය ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. වැඩි සැර වයින්, අරක්කු, විස්කි අපිට යටත්විජිත පාලකයන් හඳුන්වා දුන් ඒවා. එදා පටන් මොනවා හෝ මත් වෙන පානයක් ගන්න අපේ අය යම්තරමකින් හෝ හුරුවෙලා ඉන්නවා.

 

1. පරංගින්ගේ සුරාව

Image Source – blogger.com

පරංගි ලංකාවට ආපු මුල්ම කාලයේ දිනක් කොටුවේ සිටි සිංහල හේවායින්ට විදෙස් ජාතිකයින් කිහිප දෙනෙක් වෙරළේ සුදුපැහැති ගල් විශේෂයක් කමින්, රතු පැහැති ලේ බොනවා පෙනුනා. ඒ සුදු පැහැ ගල් තමයි පාන්. ලේ විදියට දැක්කේ රතුපාට වයින්. ඒ හමුවුණු පරංගියා නැත්නම් පෘතුගීසි ජාතිකයින් එක්කරන් ගිහින් එවකට කෝට්ටේ රජතුමාට හඳුන්වා දුන්නා. පසුකාලීනව මේ සුරා නිෂ්පාදනය දේශීයව කරන්න ඔවුන් උඩගෙඩි දුන්නා. ලන්දේසීන් විසින් ලංකාවේ වෙරළබඩ පළාතේ පොල් වැව්වා. ඒ එක්කම පොල් වලින් පොල් අරක්කු, පොල් රා නිෂ්පාදනයත් නැගලම ගියා. රොබට් නොක්ස් සහ ඒ සමකාලීනයන් දක්වන විදියට උඩරට සිංහලයා එතරම්ම මතට ලොල් වෙලා තිබුණේ නැහැ. ඒත් සුදු ජාතිකයින් විසින් විවිධ අවස්ථාවල අපේ ජනතාව සුරාවට හුරු කළා.

 

2. රාජසිංහ රජු සහ සුරාව

Image Source – facebook.com

සිංහලේ අවසාන රජතුමා වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා සුරාවට සහ ස්ත්‍රීන්ට ලොල් වූ අයෙක්. ඔහුට වෙරළබඩ ලන්දේසීන් විසින් විටින් විට තෑගි ගෙනත් දුන්නා. ඒ වගේම කන්ද උඩරට අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහටත් විස්කි, අරක්කු හොර පාරෙන්ම සපයන්න ජෝන් ඩොයිලි වැඩ කළා. ඉන් පස්සේ සුරා බීපු ශ්‍රී වික්‍රම රාජසිංහ සුරා මතින්ම විවිධ අවකල් ක්‍රියා කරන්නට වුනා. ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මැරුවේත්, මද්දුම බණ්ඩාර ගහලයාට හිස දුන්නේත් ඒ සුරාමතින් දුන්න තීරණ අනුව කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කොහොම වුනත් යම් ප්‍රමාණයක සැර අඩු කිතුල් රා, පොල් රා වලට හුරුව සිටි අපේ ජනයාට සැර වැඩි මත්පැන් හුුරු කිරීම නම් සුද්දා අතින් වූ දෙයක්ම තමයි.

 

3. කිතුලට නැංග අන්දරේ

Image Source – twitter.com

අන්දරේ කියන්නේ පහතරටින් බිහිවෙලා නුවර රජවාසලේ සේවය කළ දක්ෂයෙක්, විකටයෙක්. අන්දරේ යනෙන ගමනකදී කිතුලක් හමු වූ බවත්, එහි නැග රා බිව් බවත් ජනකතා වල සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම අන්දරේ අමාරුවෙන් කිතුලට නැග්ගේ තණකොළ කපන්න නෙමෙයි. රා ටිකක් බොන්න. අන්දරේ වගේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් උනත් කිතුල් රා ටිකක් දැක්ක තැනදී සිය තනතුරු අමතක කරලා ඒක වෙනුවෙන් ගස් බඩගාන්න තරම් තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ තරම් කිතුල් රා රසය බලවත් වෙන්නට ඇති.

 

4. මල් පැනින් මත් වූ සරකානි ශාක්‍ය

Image Source – blogger.com

මේක නම් ලංකාවේ කතාවක් නෙමෙයි. ඒත් ක්‍රිස්තු පූර්ව 6වන සියවසේ ජම්බුද්වීපයේ බුදුන් කාලයේ පවා සුරාව තිබුණ බවට එක් ප්‍රබල සාක්ෂියක් සරකානි ශාක්‍ය ගේ කතාවෙන් හමු වෙනවා. සරකානි කියන්නේ මල්පැනින් මත් වී නගරයේ ඒ මේ අත ඇවිදිමින් සිටි අයාලේ ගිය අයෙක්. බුදුන් වහන්සේ වැඩ වාසය කරන කාලයේදීම මේ මත් වී තැනින් තැන ඇවිදින සරකානි හදිසියේ වියෝ වුනා. ඉතින් ඒ මළමිනියට කවුරුත් අතගහන්න කැමති වුනේ නැහැ. ඒත් බුදුන් වහන්සේ මැදිහත් වෙලා ඒ සරකානිගේ අවසාන කටයුතු නිම කළා. සරකානි ශාක්‍ය ඒ අවස්ථාවේ සෝවාන් වී සිටි බැව්ද බණකතා වල සඳහන් වී තියෙනවා.

 

5. ගෝඨයිම්බර වස්තුව

Image Source – artstation.com

යුද්ධය ජයගත් යෝධයකු වූ ගෝඨයිම්බර සිය නිවසේ උත්සවයක් පවත්වනවා. ඒ උත්සවේදී රා බී මත් වුණු ජයසේන නැමැති වෙනත් යෝධයෙක් ගෝඨාගේ බිරියට නොහොබිනා විහිළුවක් කරනවා. අද වගේම තමයි ගෝඨා වගේ බලවත් අයෙකුට විහිළුවක් කළා කියන්නේ මහසෝනාට වුනත් ගැලවීමක් නැහැ. ජයසේනත් බීල හිටිය නිසාද මන්දා සටනටමයි සැරසුනේ. අවසානයේ ද්වන්ධ සටනක් නියම වුනා. දහසක් ජනයාගේ ඔල්වරසන් මැද ඇරඹි ගෝඨයිම්බර ජයසේන ගැටුම වැඩි වේලා තිබුණේ නැහැ. පිම්මකින් ගුවනට නැගුණු ගෝඨයිම්බර ගුවනේදීම ජයසේනගේ හිසට පා පහරක් එල්ල කළා. ජයසේනගේ හිස ගැලවී පාපන්දුවක් මෙන් ඈතට විසි වුනා. කොහොම වුනත් සුරාවෙන් මත් වෙලා නොහොබිනා විහිලු කරන්න ගිහින් ජයසේනට තමුන්ගේ ඔලුවත් නැතිවුනා. මේ ජයසේන තමයි පසුකලෙක මහසෝනා වුණේ කියලා ජනප්‍රවාදයේ සඳහන්.

 

6. සුරාව සහ අනගාරික ධර්මපාල

Image Source – alamy.com

අනගාරික ධර්මපාලතුමා සහ එවකට ජාතික සටනේ වූ වීරයින් කිහිප දෙනෙක්ම බැලූ කල ඔවුන්ගේ පියවරුන් පාතරට පොල් රා කර්මාන්තයේ යෙදුන අය බව සඳහන් වෙලා තියෙනවා. අනගාරික ධර්මපාලතුමා තැනින් තැන ගොස් සුරාවේ ආදීනව කියා දුන්නත්, ඔහුගේ පියා මෙන්ම ඔහුගේ ළඟම ඥාතීන්ගේද ප්‍රධානතම ආදායම් මාර්ගයක් වුනේ සුරා කර්මාන්තය. අමද්‍යප ව්‍යාපාරය බලවත් එකක් වුවත්, තැන තැන බොන පිරිස මිස මත් පැන් ව්‍යාපාර කරන පිරිස් ඒ කාලේද මත්පැන් විරෝධීන් අතර එතරම්ම පහර කෑමට ලක් වුනේ නැහැ.

 

7. සංදේශ කාව්‍යයේ සහ සාහිත්‍යයේ එන සුරාව

Image Source – vijithayapabooks.com

‘රැගත් සුරා පිරූ විතින්

සුරත් තඹුරු පෙති සෙ නෙතින්

පුවත් නොදැන බමන ගතින්

නටත් අයෙක් සුරා මතින්’

ගුත්තිල කාව්‍යයේ සඳහන් ඉහත කවිය මගින් එදාද සුරාව ප්‍රීති උත්සව ආදියේ නිතර තිබූ දෙයක් බව පෙනේ. ජාතක පොත, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලිය ආදී පොත පතෙහිද එකල සුරා පාන ගැන විටින් විට සඳහන් වේ. නිතර සුරාවෙන් මත්වී සිටි බේබද්දන් එකල ඉතා දුලබ විය හැකි වුවත්, එදාද අද මෙන් යම් උත්සව අවස්ථාවක හෝ හවසට මහන්සි වූ වෙලාවක රා ටිකක් සොයා ඇදෙන ජනී ජනයා සමාජයේ සෑම ස්ථරයකම පාහේ ජීවත් වන්නට ඇත.

 

සුරා පානය යනු කිසිසේත් වර්ධනය විය යුත්තක් නොවේ. ලංකාව රටක් ලෙස ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වැඩිම රටකි. දැනට රාජ්‍ය ආදායමටද සුරා පානය කරන අය විශාල දායකත්වයක් දක්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *