සුරතල් සතෙක්ව හදාගන්න කලින් හිතන්න ඕනෙම දේවල්

පරිප්පු නැති හෝටල් තිබ්බත් බල්ලෙක් පූසෙක් නැති ගෙදරක් හොයාගන්න නැති තරම්. ඒ තරමට සුරතල් සත්තු අපේ ජීවිතයේ කොටසක් වෙලා ඉවරයි. සත්තුනේ කියලා හිතුවට සමහර වෙලාවට මනුස්ස පැටියෙක් බලගන්නවට වඩා පරිස්සමින් මෙයාලාව බලාගන්න ඕනි. නැත්නම් පහු වෙන්න කරදරයි. සුරතල් සත්තු කිව්වම ලේසියට අපිට මතකෙට එන්නේ බල්ලයි පූසයි තමයි. ඒත් හාවෝ, කුරුලු වර්ග වගේම සමහරු සර්පයොත් සුරතල් සතුන් විදියට ඇති කරනවා. වල්ටේෂන් බල්ලාගේ ඉඳලා රිදී බන්දේසියේ තියලා කෑම කන සතා දක්වාම සුරතලයට හදන්න කලින් මේ දේවල් ගැන හිතන එක වටිනවා.

 

1. ඔබට සුරතල් සතෙකු අවශ්‍ය ඇයි?

Image Source – lucyspetcare.info

කඩෙන් බඩුවක් ගන්නවා වගේ සෙනික ආසාවට සත්තු උස්සන් එන්න බැහැ. මේ සතාව මට ඕනි කරන්නේ මොකටද කියන ප්‍රශ්නය ගැන තමයි ඉස්සෙල්ලම හිතන්න ඕනි. හදන්නන් වාලේ හදන්න හිතන් ඉන්නවා නම් කරුණාකරලා සතාව ඉන්න තැනකින් තියලාම එන්න. කාගේ හරි උපන්දිනේකට බලු පැටියෙක් හෙම දෙන්න හිතනවා නම් එයාගේ පැත්තෙන් මේ බල්ලාව එයාට අවශ්‍ය ද කියන එක ගැන හිතන්න ඕනි. ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අමාරුයි. අවුරුදු 10ක් 15ක් මේ යකා එක්ක ජීවත් වෙන්න බලාගෙනයි එහෙම සතෙකුව ජීවිතයට ළං කරගන්න ඕනි.

 

2. කාලය සහ මුදල්

Image Source – latimes.com

සත්තුනේ කියලා අත ඇරලා දාන්න බැහැ මෙයාලව කොහොමත්ම. මනුස්ස පැටවුන්ට වගේම කවන්න පොවන්න, පිරිසිදු කරවන්න, ආදරය පෙන්වන්න ඕනි සත්තුන්ටත්. මේ දේවල් කරන්න දිනචරියාවෙන් කොටසක් වෙන් කරන්නම වෙනවා. මාළු ටැංකි එහෙම හරි විදියට පිරිසිදු කරන්න පෙළඹෙන්නේ නැහැ කාලය නැතිකමෙන්. ඒ නිසා මාළු ඉක්මනින්ම මැරෙනවා. බල්ලෝ පූසෝ ගොඩක් ලෙඩවලට ගොදුරු වෙනවා ආහාර රටා අවුල් ගියාම. කාලය තිබ්බට විතරක් මදි. සතා වෙනුවෙන් වියදම් කරන්න මුදලුත් තියෙන්න ඕනි. ආහාරවලට, බෙහෙත්වලට වියදම් සිද්ධ වෙනවා. මේ දේවල් නැතුව සතෙකු හදාගන්න හිතනවා නම් ඒක ලොකු වැරැද්දක් සතාට කරන.

 

3. පරිසර සාධක

Image Source – youtube.com

දුවලා පැනලා ඇවිදින්නේ නැතුව සතෙකුට කොහොමත් ඉන්න අමාරුයි. ඉතින් ගාත් හතරම දිග ඇරලා සැපේ ඉන්න පුළුවන් තැනක වෙන්න ඕනි ඌ ජීවත්විය යුත්තේ. මේක තමන් ඇති කරන්න යන සුරතලා අනුව වෙනස් වෙනවා. පූසො වගේ නම් එහාට මෙහාට වෙවී කකුල් දෙකේ ඇතිල්ලී ඇතිල්ලී තමයි ඉන්නේ. උන්ගේ තත්ත්වයෙන් බල්ලන්ව මනින්න බැහැ. එක තැනකට වෙලා ඉන්න බැරි ගායක් බල්ලොන්ට තියෙනවා. වෙන රටවල නම් කේක් ගෙඩිය තිබ්බා වගේ බල්ලෝ ලස්සනට ඉන්නවා. ඒත් ලංකාවේ බල්ලෝ බැටන් පොල්ල අතේ තියන් ඉපදුණ අය. එහෙම අයව ගාල් කරලා තියන්න බැහැ. අනික් දේ තමයි මේ සතාගෙන් අවට පරිසරයේ අයට කරදරයක් වෙයි ද නැති වෙයි ද කියන කාරණය ගැන හිතන එක.

 

4. නීතිමය තත්ත්ව

Image Source – youtube.com

සුරතල් සත්තු කියලා තැන් තැන්වල එක එක විදියේ සත්තුන්ව විකුණනවා. සමහර ඒවා නම් දුකේ බැහැ අප්පා. විශාල අත්තටු  තියෙන පාට පාට කුරුල්ලෝ හුණ්ඩු කෑල්ලක් තරමේ පෙට්ටියකට දාලා යතුරු දාලා තියෙනවා අපි වගේ කෙනෙක් අරන් යනකම්. සමහරු මේ විදියට අලෙවි කරන්න බැරි සත්ව විශේෂ අලෙවි කරනවා. ඒවාට අහු වෙලා ගත්තා වගේ නෙවේ පස්සේ පොලිසි ගානේ යන්න වුණාම. දඬු ලේන්නු, ඉත්තෑවෝ වගේ සත්තුන්ව මිලයට ගන්න කලින් ඒ දේවල් මිලදී ගැනීම වැරදි බව හිතන්න ඕනි.

 

5. පශූවෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම

Image Source – videoblocks.com

සතෙක් ඕනිම කියලා හිතෙනවා නම්, ආසා බය ගතිය තියෙනවා නම්, සතා බලාගන්න හැටි ගැන මෙලෝ දෙයක් දන් නැත්තම් හොඳම ක්‍රමේ තමයි මේ. මොන වගේ සතෙක් ද බලාපොරොත්තු වෙන්නේ කියන දේ සහ උගේ ආහාර රටා, හැසිරීම් රටා, බෙහෙත් ආදිය ගැන දන්නා වෙන ඔස්තාර්ලා නැහැ මෙතනින් එහා. සමහර දොස්තරලා ඉන්නවා පනාව දාන එක හැර හැබැහින්ම සුරතල් සතුන් සම්බන්ධයෙන් බොහොම අල්පයක් දන්න. රැවටෙන්න නම් එපා.

 

6. පුරුදු පුහුණු කිරීම්

Image Source – thesprucepets.com

සතා දිහා බලලා හදලා ගන්න පුළුවන් මට්ටමේ නම් විතරක් ගන්න. මොකද නැත්නම් බල්ලා සහ පූසා ගේ ඇතුළේ මළපහ කරන්න ගත්තම මළ පෙරේත යක්කු ටික වගේනේ. හොඳින් වැඩුණු සතෙකු සම්බන්ධයෙන් මේ තත්ත්වය අවුල්. අශ්වයෙක් ගන්නේම හීලෑ නම් විතරයි. මේ දේ අශ්වාරෝහකයෙකු විසින්ම කරනවා. ඒත් දඩාවතේ යන බල්ලෙකු එක පාර උස්සන් ආවට වැඩක් නැහැ. උන් යාලු කරගන්න හරිම අමාරුයි.

 

7. ඔබේ මානසික මට්ටම පිළිබඳ අවබෝධය

Image Source – medium.com

මේක ඉතාම වැදගත්. පොඩ්ඩ ඇත්තන් තරහා යනවා නම් බල්ලෙක් තියා ඌරු මීයෙක්වත් ළඟ තියාගන්න නරකයි. කොහොමත් එහෙම මිනිස්සු එක්ක සත්තු ඉන්නේ නැති එක වෙනම කතාවක්. සත්තු ගෙදරකට ඇවිල්ලා හැඩගැහෙන්න කලින් සෙරෙප්පු කනවා, වමනේ දානවා, ජරා කරනවා එක විකාරයයි. මේවා දැකලා නහුතෙට නැගලා සතාට ගහන්න පෙළඹෙන්න පුළුවන්. ඒ වගේම අධික සංවේදීතාවක් තියෙනවා නම් ඒකත් ලොකුවෙන්ම බලපානවා. දිනෙක සුරතලා අපෙන් සමුගද්දී දරාගන්න බැරි තරමේ වේදනාවක් වෙනවා ඒක සමහරුන්ට.

මේ දේවල් ගැන හිතා බලලා ජීවිත කාලයේ අමතක නොවෙන මතක හදාගන්න එකතු කරගන්න හිතා ඉන්න සතා තමන්ගේ කරගන්න.

Cover Image Source – nelsonvets.co.uk/ peakvas.com

 

 

zvr
Your Reaction

Comments