සමසෙනෙහස පිළිබඳ කෙරුණු ආසියාතික කලා නිර්මාණ

විසිඑක්වන සියවසේ හුළං පාරට කොච්චර නිරාවරණය වෙලා හිටියත් ලෝකයේ බොහෝ දෙනෙක් තවමත් සමසෙනෙහස දකින්නේ අසික්කිත දෙයක් විදියටයි. බටහිර රටවල දැන් දැන් මේ කෙරෙහි ටිකක් සුබවාදී නැඹුරුවක් ඇති වේගෙන යනවා වුණාට ආසියානු රටවල මිනිස්සුන්ගේ ලිංගිකත්වයට තවමත් බාධා බොහොමයි. ඒ වෙනුවෙන් හඬ නගන අයෙකු පවා ලෙඩෙක් විදියට දකින්න හුරුවෙලා තියෙනවා මේ සිස්ටම් එක.  ඒ වගේ මකර කටක ඉඳන් මේ විෂය මූලික කරගෙන කලා නිර්මාණයක් කරන්න නම් විශාල ආත්මශක්තියක් තියෙන්න ඕනි. බාහිර ලෝකයයි කලාවයි අතර වෙනස තමයි කලාවේ දී තමන්ට කැමති ඕනිම කෙනෙකු වෙන්න, ඕනිම දෙයක් දකින්න පුළුවන්කම තිබීම. ඒ හැකියාව ප්‍රේක්ෂකයාට හිමි කර දුන් මේ වටිනා නිර්මාණ බැලුවාම සමහරවිට මේ කෙරේ තියෙන අජූත හැඟීම නැති වෙන්න වුණත් පුළුවන්. ඒ තරමට සංවේදීයි.

 

1. The Other Love Story

Image Source – autostraddle.com

ඉස්සෙලාම යන්නේ ඉන්දියාව පැත්තට. ඉන්දියාව මෑතක දී සමසෙනෙහස වරදක් කියන තැනින් ඉදිරියට ඇවිත් සාමාන්‍ය විදියට මේ සබඳතා දිහා බලන්න පුරුදු වෙමින් ඉන්නවා. ඒත් ඊට පහළින් අබ ඇටයක් තරම් ඇති ලංකාව තවමත් ඉන්දියාවට කක්කුස්සි කතන්දර කිය කියා බැන බැන හිත්වලින් වනචාරි විදියට ජීවත් වෙනවා. ඒක වෙනම කතාවක්. කොහොමහරි මේ කතාවේ කියවෙන්නේ අනූ ගණන්වල බැංගලෝරයේ පාසල් යන වයසේ හිටපු ගැහැණු ළමයි දෙදෙනෙකු අතර ඇතිවන ආදරය ගැනයි. මේක වෙබ් සීරිස් එකක්. කොටස් 12ක් තියෙනවා. යූටියුබ් පැත්තේ ගිහින් බලන්න පුළුවන්. මෙහි ප්‍රධාන රංගන ශිල්පිනියන් සැබෑ ජීවිතයේ විවාහකයි. හැබැයි කොන්දේසි විරහිතව සමසෙනෙහස වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉතින් මේ දෙන්නගෙන් බොහොම තාත්වික සහ ආදරණීය රඟපෑමක් දැකගන්න පුළුවන්. දෙන්නගේ ආදරය නිසා ලෝකයා ඔවුන්ට දෙන පීඩාව මේ කතාවේ අවසානයේ දැකගන්න පුළුවන්. කොටස් 12ම එක හුස්මට බලන්න පුළුවනි.

 

2. No Regret (2006)

Image Source – imdb.com

ගණිකා වෘත්තියේ යෙදෙන තරුණයෙකු සහ ඔහුගේ ගනුදෙනුකාරයෙකු අතර ඇතිවන ආදරයක් ගැන තමයි මේ චිත්‍රපටය කතා කරන්නේ. අනාථ නිවාසයක හැදෙන වැඩෙන තරුණයෙකු වයස අවුරුදු 18 පිරුණට පස්සේ සියොල්වලට එන්නේ අනාගතය හදාගන්න. නමුත් ඉගෙනගන්න මුදල් ඕනි කරනවා. අන්න ඒකට ඔහුට සිද්ධ වෙනවා විවිධ රැකියා කරන්න. මේ කතාවේ අනෙක් තරුණයා දවසක් බීමත් ව සිටියදී ඔහුගේ කැබ් රියදුරා විදියට එන්නෙත් මේ තරුණයා. මේ දෙන්නගේ ආදර කතාව කොහොම කෙළවර වෙයි ද කියන එක නම් ඔබ බලන්නම ඕනි. කොරියානු සිනමාවේ විශිෂ්ට භාව නිර්මාණයක් විදියටයි ඒ කාලේ විචාරකයෝ දැකලා තිබ්බේ. සාමාන්‍ය මට්ටමේ IMDb ලකුණකුත් හිමි වෙලා තියනවා.

 

3. Frangipani – සයපෙති කුසුම (2014)

Image Source – groundviews.org

දැන් එන්නේ ලංකාවට. දහසක් කට කැඩිච්ච කතන්දර අතරේ සයපෙති කුසුම කරේ රෝමේ ඉඳන් රෝමන්කාරයෙකු වගේ ඉන්නේ නැතුව, ඒ නිසාම මතකයේ රැඳෙන නමක් සිනමා වංශකතාවේම ලියලා ඉවර කරලයි. විසාකේස චන්ද්‍රසේකරම්ගේ මේ නිර්මාණයට සම්මාන පිට සම්මාන හිමි වුණා. අරලිය මලක පෙති 5යි. පෙති 6ක් බැරිවෙලාවත් ආවොත් ඒක මලක් වෙන් නැද්ද? තුන්කොන් කතාවක මිතුරන් දෙදෙනා ප්‍රේම කරන්නේ තරුණියකට ද? එහෙමත් නැත්නම් ඒ තරුණිය පසෙක සිටිද්දී මේ ආදරය ඇතිවෙන්නේ ඔවුන් දෙදෙනා අතරම ද? මේ චිත්‍රපටයේ තරුණයන් දෙදෙනා 100%ක් ම සාමකාමී බව පෙන්වන්නේ නැහැ. මොකද කියනවා නම් මේ දෙදෙනාම අර තරුණියටත් ඇළුම් කරන නිසා. එතනින් නොනැවතී අයෙක් ඇයව විවාහ කරගන්නවා. ඉන්පසු මොනවා වෙයි ද? තරුණිය මේ අවස්ථාවට මුහුණ දෙන්නේ කොහොමද? මේ මුහුණ දෙන හැම ප්‍රශ්නයකටම හේතුව අනෙකා ගැන නොසිතන ලාංකේය මානසිකත්වය නිසයි.

 

4. Yes or No (2010)

Image Source – tapatalk.com

කියුට් සීන් එකේ බලන්න පුළුවන් රහ කතාවක් තමයි මේ. රට තායිලන්තය. තායිලන්තයේ ටොම් බෝයි ප්‍රතිශතය ගත්තොතින් අන් රටවලට සාපේක්ෂව වැඩියි. අන්න එහෙම කෙනෙක් එනවා නගරයට ඉගෙනගන්න. ඇගේ කාමර සඟයා එක්ක ඇති කරගන්නා ප්‍රේමය ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. මේ චිත්‍රපටයේ පළමු කොටස වගේම දෙවෙනි කොටසත් තියෙනවා. යූටියුබ් මගින් සම්පූර්ණ චිත්‍රපට දෙකම බලන්න පුළුවන්.

 

5. Fire (1996)

Image Source – hamiltonmehta.com

ඉන්දියාවේ ඉස්සෙල්ලාම සමසෙනෙහස සම්බන්ධයෙන් කෙරුණු චිත්‍රපට නිර්මාණය තමයි මේ. දීපා මේතා වතුරවල නමින් චිත්‍රපටයකට අත ගහන්න කලින් ගින්දරත් එක්ක වැඩ දාලා තියෙන්නේ මෙහෙමයි. යෝජිත විවාහයක් එක්ක එක්තරා රාමුවකට කොටු වුණ රාධා සහ සීතා කියන නෑයන් අත‍ර අහම්බෙන් ඇතිවන ආදර කතාව තමයි මේ. දෙන්නගේ ස්වාමිපුරුෂයන් විවිධ හේතු නිසා මොවුන් දෙදෙනා දිහාම බැලුවේ නැහැ. උන්න ද මළා ද නැති ගාණට හිටපු මේ දෙන්නගේ ජීවිතවල තිබුණ ඇල්මැරුණු ගතිය නැති වෙන්නේ බලන් ඉද්දි මයි. නන්දිතා දාස් සහ ෂබානා අස්මි කියන බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් දෙන්නෙක් තමයි ප්‍රධාන චරිතවලට පණ දෙන්නේ.

 

6. Funny Boy

Image Source – kobo.com

මේ ලාංකික නිර්මාණයක් කිව්වට ඒකෙ වැරද්දක් නැහැ. මොකද පහුකාලිනව කැනඩාවට සංක්‍රමණය වුණත් රචකයාගේ අක්මුල් තියෙන්නේ ලංකාවේ නිසා සහ කතාවේ පසුබිම ශ්‍රී ලංකාව එක්ක සම්බන්ධ වීම නිසා. ශ්‍යාම් සෙල්වදුරෙයි කියන විදියට මේක තනිකර ම ඔහුගේ චරිතාපදානය විදියට පිළිගන්නේ නැහැ. ආර්ජි කියන ධනවත් දමිළ ජාතික පවුලක පුත්‍ර රත්නය තමන්ගේ ලිංගිකත්වය අවබෝධ කරගැනීම සහ ’83 කලබල ගැනත් මේ පොතේ සඳහන් වෙනවා.

 

7. Soongava (2012)

Image Source – imdb.com

නේපාලයේ පළමුව සමසෙනෙහස පාදක කොට කෙරුණු සිනමා නිර්මාණය තමයි මේ. ආසියානු දෙමව්පියන්ට ගැහැණු ළමයෙකු වයස අවුරුදු 20 ලැබුවා කියන්නේ මනමාලයෙකු හොයන කාලේ. ඉතින් මෙන්න මේ දේ මේ කතාවේ කතා නායිකාවකටත් වෙනවා . ඒ නිසාමයි ඈ තවත් තරුණියකට ළං වෙන්නේ. මේ දෙන්නා එකට ජීවත් වෙන්න තීරණය කරනවා. ඒකත් එක්ක සමාජය පිස්සු කෙළින හැටි ගැන හොඳ අවබෝධයක් ලබාගන්න මේ නිර්මාණයෙන් පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *