නොලැබෙන ආදරයක් අමතක කරන්නේ කොහොමද?

අපි හැමෝටම ඒක පාර්ශ්වික ආදර කතන්දර තියෙනවනේ. ඒ කියන්නේ කවදාවත් ලැබෙන්නේ නැති මලකට හරි සමනළයෙක්ට හරි ලව් කරලා විඳවපුවා. සමහර වෙලාවට අනෙක් පාර්ශවය දන්නෙත් නෑ අපි කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒත් අපි හිතින් ආදරේ කරනවා. ඒක කියාගන්න විදියක් නෑ. එක්කෝ එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. එහෙම නැතිනම් එයාට අපිව ගැලපෙන්නෙ නෑ කියලා අපිටම හිතෙනවා. සමහර වෙලාවට අනෙක් පාර්ශවය දන්නවා අපි පැලෙන්න ලව් කියලා. ඒත් ඔය උඩින් කියපු හේතු හරි, වෙන මොකක් හරි හේතුවක් නිසා හරි එයා අපිට කැමති නෑ. මේ වගේ ආදරෙන් පරාජය වුණු මොහොතකදී හිතේ තියෙන දුක කියාගන්න බැරි තරම්. විඳවන විඳවිල්ල දරා ගන්න බැරි තරම්. ඒක කෙල්ලෙක්ට වුනත් කොල්ලෙක්ට වුනත් පොදුයි. හැබැයි ඉතින් හැමදාමත් එහෙම විඳවන්න බැහැනේ. ජීවිතේ කියන්නේ ඒක නෙවෙයිනේ. අන්න ඒ නිසා හිත හදාගෙන එතනින් ඉස්සරහට යන්න ලබාගන්න බැරි ආදරේකින් දුක් විඳින කොල්ලෝ කෙල්ලෝ හැම දෙනෙක්ටම පුංචි පහේ උපදෙස් ටිකක් තමයි මේ…

 

1. තමන් පිළිබඳ විශ්වාස කරන්න

Image Source – medium.com

ආදරයක් නොලැබෙන කොට ස්වභාවිකවම හිතට එන ප්‍රශ්නයක් තියෙනවා. “ඇයි මම හොඳ මදිද?”

මේක තමයි හිත හදාගන්න නම් මුලින්ම තේරුම් ගන්න වුවමනා දෙය. එක, ආදරයක් නොලැබෙන්න හේතුව අපි හොඳ මදි වීම නෙවෙයි. එතන ඊට වඩා සංකීර්ණ හැඟීම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. සමහර වෙලාවට ඔයා ලෝකේ ලස්සනම මනුස්සයා වුනත් ඔයා කැමති කෙල්ල ඔයාට කැමති නොවෙන්න පුලුවන්. ඒකට හේතුව ආදරේ කියන්නේ තාර්කික දෙයක් නොවීම. කෙනෙක්ට ලෝකේ ලස්සනම කෙල්ලට හෝ ධනවත්ම මිනිහාට හෝ ආදරේ හිතෙන්නේ නැති වෙන්න පුලුවන්. හිතුනත් ඒක තාවකාලික වෙන්න පුලුවන්. අන්න ඒ නිසා තමන් හොඳ මදි කියන ආකල්පය අයින් කරගන්න ඕන.

දෙක, තමන්ට හැම වෙලාවේම සංවර්ධනය වෙන්න ඉඩ තියෙනවා. මම හොඳ මදිද කියලා අහනවට වඩා ඒ අවධානය වඩාත් හොඳ වෙන්න යොමු කරන එක වටිනවා. ඒක තමයි ඊළඟ පොයින්ට් එකෙන් කියන්නේ.

 

2. තමන්ගේ දුක, වේදනාව ධනාත්මක ශක්තියක් බවට හරවාගන්න

Image Source – wheatley.byu.edu

ආදරේ කරනකොට දැනෙන සතුට වගේම තමයි තමන් පතන ආදරේ නොලැබෙනකොට තියෙන දුකත්. හැබැයි මේ දුක වේදනාව කියන්නෙත් එක්තරා විදියක ශක්තියක්. වෙන විදියකට කිවුවොත් දුකේ ගැලී ඉන්න අපි ප්‍රමාණවත් තරමේ ශක්තියක් නාස්ති කරනවා. හැබැයි අර උඩින් කියපු විදියට තමන් ගැන විශ්වාස කරන්න පුලුවන් නම්, මේ නාස්ති වෙන ශක්තිය ධනාත්මකව යොදාගන්න පුලුවන්. සරලවම කිවුවොත් තමන්ගේ වර්ධනය වෙනුවෙන් යොදාගන්න පුලුවන්.

තමන්ට මේ ප්‍රේමය නොලැබුණේ තමන්ගේ වැ‍රැද්දක් නිසා නොවෙන්න පුලුවන්. තමන්ගේ අඩුපාඩුවක් නිසා නොවෙන්න පුලුවන්. හැබැයි ඒ කෝක වුනත් අපිව තවත් වර්ධනය කරන්න පුලුවන්නේ. දැනුම අතින්, පෙනුම අතින්, ආකල්ප අතින් අපිට වර්ධනය වෙන්න පුලුවන්. අන්න ඒ නිසා ප්‍රේමය නොලැබී දුක් විඳින මොහොතක වහාම තමන්ගේ වර්ධනයට හේතු වෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ඒක ජිම් එකට යන එක වෙන්න පුලුවන්. අලුත් දෙයක් ඉගෙනගැනීම වෙන්න පුලුවන්. ආකල්පමය වෙනසක් වෙන්නත් පුලුවන්.

 

3. කියන්න විශ්වාසවන්තයෙක්…

Image Source – thebubble.com

අපි ප්‍රේමය නොලැබිලා විඳවනවා වෙන්න පුලුවන්. අපේ කතාව කාටවත්ම කියන්න බැරුව ඉන්නවා වෙන්න පුලුවන්. හැබැයි ඇත්තටම කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන් නම්, අපේ හිතේ තියෙන දේවල් කියන්න පුලුවන් නම් ඒක බොහොම හිතට නිදහසක්. මෙතනදී ඇත්තටම අපිට කතා කරන කෙනෙක්ගෙන් වුවමනා වෙන්නේ විසඳුම් නෙවෙයි. අන්න ඒක බොහොම පැහැදිලිව සන්නිවේදනය කරන්න. අපිට ඕන වෙන්නේ අපිට ඇහුම්කන් දෙන කෙනෙක්. අපි කියන දේ අහගෙන ඉන්න කෙනෙක්.

හැබැයි අනිවාර්යයෙන්ම මේ කෙනා විශ්වාසවන්ත අතිජාතයෙක් වෙන්න ඕන. එහෙම නැතිව ෆේස්බුක් එකේ හම්බුවෙන හම්බුවෙන කෙනා එක්ක දුක කියන්න යන එක නං කරන්න එපා.

 

4. සම්බන්ධකම් අත අරින්න

Image Source – theodysseyonline.com

මේක කරන්න බොහොම අමාරු වැඩක්. මොකද අපි සෝෂල් මීඩියා වලින් මේ වෙනකොට හැමෝමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට වෙන්නේ ආදරේ නොලැබිලා දුකෙන් ඉන්නකොට එක්කෝ කොහොම හරි කතා කරන්න උත්සාහ කරන්න හිතෙනවා. ෆේස්බුක් මැසේජ් එකක් හරි තියන්න හිතෙනවා. හැබැයි ඒකෙන් වෙන්නේ අපිව ඇණයක් වෙන එක තමයි. එහෙම සම්බන්ධ කරගන්න උත්සාහ නොකළත් අපේ හිත පාලනය කරගන්න අමාරුයි. සැරින් සැරේ ෆේස්බුක් එකට ගිහින් ප්‍රොෆයිල් එක බලන්න හිතෙනවා. අන්තිමට ලොග් වෙලා තියෙන්නේ කොයි වෙලේද කියලා බලන්න හිතෙනවා. ආන්න ඒ නිසා හොඳම දේ තමයි එක්කෝ තමන් සමාජ ජාල වලින් අයින් වෙන එක. එහෙම අයින් වෙන්න බැරි නම් එයාව තාවකාලිකව හෝ තමන්ගේ සම්බන්ධතා වලින් බ්ලොක් කරන එක. ටෙලිෆෝන් නම්බර් එක පවා ෆෝන් එකෙන් අයින් කරලා දාන එක. මග තොටේ මුණගැහෙන කෙනෙක් නම් එයාව මුණ නොගැහෙන විදියට තමන්ගේ රූට් එක හෝ යන එන වෙලාවන් වෙනස් කරගන්න එක.

මෙහෙම සම්බන්ධකම් නැති වුනහම, නිතර දකින්නේ නැති වුනහම අපිට හිත හදා ගන්න ලේසියි.

 

5. හැඟීම් පිට කරන්න ක්‍රම හොයාගන්න

Image Source – youtube.com

හිතට දුකක් දැනෙනවා නේද. ඒ හිතට දැනෙන දුක ගැන ලියන එක බොහොම බලසම්පන්නයි. හිතේ තියෙන දුක් සෝ තැවුල් නැති කරලා දාන්න පුදුම බලයක් ලිවීමට තියෙනවා. අන්න ඒ නිසා ප්‍රේමය නොලැබිලා දුක් විඳින වෙලාවේ තමන්ගේ හිතට එන දේවල් අකුරු කරන්න උත්සාහ කරන්න. මීට කලින් කවදාවත් ලියලා නැති වෙන්න පුලුවන්. ඒකට කමක් නෑ. මේක කවි, රචනා තරඟෙකට යවන්න ලියන එකක් නෙවෙයිනේ. මේ ලියන්නේ තමන්ටමයි. කවියකින් වුනත්, කෙටිකතාවකින් වුනත්, නිකම්ම කතාවකින් වුනත් තමන්ගේ හිතේ තදකරගෙන ඉන්න වේදනාව එළියට දාන්න පුලුවන්. මේ එකක් වත් බැරි නම් දිනපොතක් ලිවුවත් කමක් නෑ. ඒ දිනපොතේ තමන්ගේ හිතේ තියෙන හැමදෙයක්ම ලියන්න. මේක කරනකොට හිත කොයි තරම් සැහැල්ලු වෙනවද කියලා දැනෙයි.

මේ එක ක්‍රමයක් විතරයි. තමන්ගේ හැකියාවන්ට අනුව හිතේ තියෙන වේදනාවට සහනයක් වෙන්න, හිතේ තියෙන වේදනාව පිට කරන්න තව ඕනෑ තරම් දේවල් කරන්න පුලුවන්. චිත්‍ර අඳින්න, සිංදු ලියන්න, සංගීතය නිර්මාණය කරන්න, නර්තනයේ යෙදෙන්න මේ ඕනෑ ප්‍රකාශනයක් මේ වැඩේට ගැලපෙනවා.

 

6. ෆැන්ටසිය අත අරින්න

Image Source – gomcgill.com

ඇත්තටම අපිට ඇතිවෙන හිත් වේදනාව ඇතිවෙන්නේ ප්‍රේමය ප්‍රතික්ෂේප වීමෙන්ම නෙවෙයි. ඊටත් වඩා ප්‍රතික්ෂේපය නොසලකා ඒ ප්‍රේමයේම එල්ලිලා ඉන්න අපි දරණ උත්සාහය තමයි ගොඩක්ම හානිකර. ඇත්තටම මේ සමස්ත ආටිකල් එකේම තේරුම වෙන්නේත් ඒ ප්‍රතික්ෂේපය හෝ නොලැබීම අමතක කරලා ඉදිරියට යන්නේ කොහොමද කියන එක. ඒක කරන්න නම් මේ ප්‍රේමය කොහොම හරි ජයගන්න පුලුවන් වෙයි කියන ෆැන්ටසිය අත අරින්න වෙනවා. ඇත්තටම ‍ෆිල්ම් වලත්, කවි කතා වලත් සත්‍ය ආදරය ජයගනී, සත්‍ය ප්‍රේමවන්තයා උත්සාහය අත නොහරී වගේ කතන්දර තියෙනවා තමයි. හැබැයි ඒවා ඇත්ත ලෝකෙට එනකොට ඊට වඩා සංකීර්ණ වෙනවා. ඇත්ත ලෝකෙදී අපි උත්සාහය අත නොහැර අපිට අකමැති කෙනෙක් පස්සෙන් යනවා කියන්නේ ඒක ඒ කෙනාටත් වදයක් වෙනවා. අපිටත් මානසික වදයක් වෙනවා. අන්න ඒ නිසා තමන්ව පැහැදිලිවම ප්‍රතික්ෂේප වුනා නම්, මේක කවදාහරි, කොහොමහරි ගොඩ යයි කියන ෆැන්ටසියෙන් ඉවත් වෙන්න ඕන.

 

7. ජීවත් වෙන්න පටන් ගන්න

Image Source – lifehack.org

තමන්ගේ ජීවිතේ වටිනාකම තියෙන්න ඕන තමන්ට. ඇත්තටම උඩ කියපු විදියට තමන්ගේ වටිනාකම වටහා ගනිමින් ඇත්තටම තමන් ඉන්න තත්ත්වය තේරුම් ගන්නකොට දැනෙයි මේ ආදර හුටපටේ අප්සෙට් ගිහින් ගතවුණු කාලය පුරාවටම තමන් හරියටම ජීවත් වෙලා නැහැයි කියලා. මේ කාලය පුරාවටම තමන් ඇත්තටම කරලා තියෙන්නේ විඳවමින් ඉන්න එක කියලා. ඔය උඩ කියපු කතා ඔක්කොම තේරුම් ගත්තත් නැගිටලා ගිහින් ජීවිතේ විඳින්න හිතක් නැතිවෙන්න පුලුවන්. හැබැයි හිත හිතා ඉන්නෙ නැතුව ජීවත් වෙන්න පටන් ගන්න. ෆිල්ම් එකක් බලන්න යන්න, හොඳ සිංදුවක් අහන්න, වැඩ කරන්න පටන් ගන්න, යාලුවෝ මුණගැහෙන්න, ට්‍රිප් එකක් යන්න, විනෝදාංශයක් පටන් ගන්න. මේ දේවල් කරන්න හිතක් නැතිවෙන්න පුලුවන්. ඒත් බලහත්කාරයෙන් මේ දේවල් කරන්න. ටිකින් ටික තමන් හොඳ අතට හැරෙන බව අන්න එතකොට දැනෙන්න පටන් ගනීවි.

 

Cover Image Source – i2.wp.com