පන්සිය පනස් ජාතක පොත සිංහල සාහිත්‍යයේ මුදුන්මල්කඩ විදිහට සැලකෙනවා. බුදුරජාණන් වහන්සේගේ අතීත භව පිළිබඳව සඳහන් වන ජාතක කතාවලින් මිනිසාගේ ස්වභාවය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක යෙදෙනවා. මිනිසාගේ රාග, ද්වේෂ, මෝහාදියෙන් පරිහානියට පත් වන හැටිත් සීල, සමාධි ප්‍රඥා වැඩීමෙන් මිනිසා ලෞකික සහ ලෝකොත්තර ජීවිතය ජය ගන්නා ආකාරයත් සෑම ජාතක කතාවකින්ම වගේ කියවෙනවා. රාගය නිසා තැවුලට පත්වෙන මිනිස් ජීවිත ගැන කියවෙන ජාතක කතාවලින් කතා කරන ලිංගිකත්ව විශ්ලේෂණ බටහිර මනෝ විද්‍යාව ඇතුළේ කතාවෙන්න පටන් ගන්නෙත් 18 වන සියවසෙන් පස්සේ. ජාතක කතාවල මේ ඉදිරිගාමී ලක්ෂණ ගැන මුලින්ම කතා කළේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා. ඊට පස්සේ මෑත කාලෙදි මනෝ වෛද්‍ය ඩී. වී. ජේ. හරිශ්චන්ද්‍ර සහ මනෝ වෛද්‍ය රුවන් එම්. ජයතුංග වගේ මහත්වරු මේ ගැන දීර්ඝ විශ්ලේෂණයක යෙදිලා තියෙනවා. අපි දැන් ඒ වගේ ජාතක කතා කීපයක් ගැන හොයලා බලමු.
1. පිරිමියෙක් ස්ත්‍රීයෙක් අතින් දූෂණය වෙයි (නලිනී ජාතකය)

Image Source – valerietarico.com
නලිනී ජාතකය දේශනා කරලා තියෙන්නේ තමන්ගේ ගිහි කාලේ බිරිඳ නිසා මහණදම් පිරීම අතපසු කරගන්නා භික්ෂුන් වහන්සේ නමක් වෙනුවෙන්. උන්වහන්සේ පෙර භවයක ඉසිසිංග කියලා තාපසයෙක් වෙලා ඉපදිලා තියෙනවා. මේ තාපසයා කුඩා කාලයේ ඉඳන් ගෑනු කෙනෙක්ව දැකලා නෑ. තාපසයගේ සීලය බිඳින්න ශක්‍රයා උත්සාහ කරනවා. ඒකට යොදාගන්නේ නලිනී කියන කුමාරිකාව. කුමාරිකාව තමන්ව තවත් තාපසයෙක් විදිහට හඳුන්වලා ඉසිසිංග තාපසයගේ සිල් බිඳිනවා. ඒ සිදුවීම ජාතක පොතේ කියන්නේ මෙහෙම.
“එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්‍රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද ස්ප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙනෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ. එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ. තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ. එබසට ඈ කියන්නී තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි, ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි කීහ”
මේ සිදුවීමෙන් පස්සේ ඉසිසිංග තාපසතුමා රාගයේ ඇලිලා තපස් රැකීමෙන් උකටලී වෙනවා. ඉසිසිංග තාපසතුමාගේ තාත්තා මැදිහත් වෙලා තමයි ඉසිසිංග තාපසතුමාව ඒ ගැන හිතන එකෙන් උපක්‍රමශීලීව මුදව ගන්නේ.
2. රාගයෙන් දැවුණු මවක් තම පෙම්වතා නිසා සිය පුතාව ඝාතනයට තැත් කරයි (අසාත මන්ත ජාතකය)
මේ ජාතක කතාවේ අපිට දිසාපාමොක් ආචාර්යවරයා ගාව ඉගෙනගන්න මාණවකයෙක් මුණ ගැහෙනවා. මේ දිසාපාමොක් ආචාර්යවරයා අවුරුදු 120ක් වුණු තමන්ගේ මවට සියලු උපස්ථාන කරමින් ජීවත් වෙන කෙනෙක්. දිසාපාමොක් ආචාර්යවරයා ස්ත්‍රීන්ගේ සිතේ චපලකම තමන්ගේ ශිෂ්‍යයාට පැහැදිලි කරන්න පොඩි උපක්‍රමයක් යොදනවා. ඒ තමයි තමන්ගේ මවට උපස්ථාන කිරීම ශිෂ්‍යයාට පවරනවා. ඒ ගමන් ශිෂ්‍යයාට කියනවා මේ මහලු මවගේ අත්පා ඖෂධීය තෙල් ගාලා සාත්තු කරන ගමන් “දැන් මෙච්චර වයසට ගියත් ඔබතුමිය ලස්සනයි, තරුණ කාලේ කොච්චර ලස්සනට ඉන්න ඇද්ද” වගේ කතා කියන්න කියලා. ටික දවසක් මෙහෙම සිදු කරද්දි මවගේ හිතේ රාගය ඇති වෙනවා. ඇය අර ශිෂ්‍යයාව පොලඹවා ගන්න හදනවා. එතනදි ඇය ශිෂ්‍යයාට කියනවා තමන්ගේ පුතාව මරලා තමන් සමග එකතු වෙන්න කියලා. ශිෂ්‍යයා කියනවා තමන් ඒ මහලු කාන්තාවට කැමති වුණත් ගුරුවරයාව මරන්න බෑ කියලා. ඒ නිසා මේ මහලු මව තමන්ට උපස්ථාන කරපු තමන්ගේම පුතාව මරන්න පොරවක් අරන් යනවා. මේ ගැන ශිෂ්‍යයාගෙන් කලින් දැනගන්න දිසාපාමොක් ආචාර්යවරයා ඒ අවස්ථාවෙන් ගැලවෙනවා.
3. කම් සැපයට ලොල්ව සියලු පිරිමින් මැරීමට උත්සාහ කළ කුමාරයෙක් (චුල්ලපලෝභන ජාතකය)
මේ කුමාරයා ඉපදෙන්නේ බරණැස් නුවර, ඊට කලින් ආත්මේ ඉපදිලා ඉඳලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයක. ඒ නිසා ස්ත්‍රීන් කෙරෙහි උපතේ ඉඳන්ම දැඩි අකමැත්තක් දක්වනවා. කෙටියෙන්ම කියනවා නම් මව් බිසවට කුමාරයට කිරි දෙන්න වෙන්නෙත් තිරයක් හරහා. මොකද කුමාරයා ස්ත්‍රීයාවක් දැක්කත් අඬනවා. මේ නිසා කුමාරයා වැඩෙන්නේ ඔහුටම වෙන්වුණු පිරිමින් පමණක් සිටින මාළිගාවක. කුමාරයා වැඩි වියට පැමිණීමත් එක්ක පිය රජතුමා හිතනවා තමන්ගේ පුතා රජකම බාරගන්න ඕන, ඒ නිසා ඔහුගේ මේ තියෙන ස්ත්‍රී අප්‍රිය මානසිකත්වය දුරු කරන්න ඕන කියලා. රජතුමා ගායනයේ දක්ෂ කාන්තාවකට කුමාරයාගේ මාළිගාව ළඟට ගිහින් සිංදුවක් කියන්න කියලා කියනවා. මේ කටහඬට වශී වෙන කුමාරයා ටිකෙන් ටික මේ කාන්තාවගේ ඇසුරට පත් වෙනවා. ඇය සමග ලිංගිකව එක්වෙන කුමාරයා ඒ ආස්වාදයෙන් මුසපත් වෙනවා. ඔහු ඉන් උමතු වෙලා හිතනවා මේ ආස්වාදය ලබන්න ඕන මම විතරයි, මේ ලෝකයේ කිසිම පිරිමියෙකුට මේ ආස්වාදය නොලැබෙන්න ඕන කියලා. එහෙම හිතලා කඩුවක් අරන් මුණ ගැහෙන මුණ ගැහෙන පිරිමියා මරණවා.
4. අපගාමී ලිංගික චර්යාවන්වලට ලොබ බැඳි රජෙක් (බාහිය ජාතකය)
අද සමාජයේ වැඩි වශයෙන් ප්‍රසිද්ධියේ කතා නොකරන සමහර අය ලිංගික තෘප්තියට පැමිණෙන්නේ තමන්ගේ සහකාරයා හෝ සහකාරිය මළපහ කරන ආකාරය හෝ මූත්‍රා කරන ආකාරය බලලා. මේ වගේ අවස්ථාවක් බාහිය ජාතකය තුළ විස්තර වෙනවා. එක්තරා ස්ත්‍රීයක් මළපහ කරන ආකාරය අහම්බෙන් දකින රජතුමා ඇයව තමන්ගේ අගමෙහෙසිය විදිහට පත් කරගත්ත කතා පුවතක් මින් කියවෙනවා.
5. ආබාධිත පුද්ගලයන් සමග ලිංගිකව එකතු වීමට ප්‍රිය කළ ස්ත්‍රීන් (කුණාල ජාතකය)
කුණාල ජාතකය ඇතුළේ කතාවස්තු කීපයක් තියෙනවා. ඒ එක කතාවක කියවෙන විදිහට ක්‍රිෂ්ණා කියලා කුමාරිකාවක් කුමාරවරු පස්දෙනෙකුට එකවර බිරිඳ වෙනවා. ඒ කුමාරවරු එක්ක ලිංගිකව එක්වෙද්දි තමන්ගේ පිය රජතුමාගෙන් පස්සේ ඒ කුමාරවරුන්ට රජකම දෙනවා කියලා චාටු කතා කියනවා. ඒ වුණාට මේ කුමරිය වැඩිපුරම ආස කරන්නේ මාළිගයේ මුරට සිටිනා පිලෙකු එක්ක සංසර්ගයේ යෙදෙන්න. මේ ජාතකයේම එන තවත් කතාවක කියවෙන්නේ තවත් රජෙකුගේ අග මෙහෙසියක් සිය මාළිගය ළඟ තියෙන ගහක අතු පාවිච්චි කරලා බිමට බැහැලා පිලෙකු එක්ක ලිංගිකව එක්වෙනවා කියලයි. ඒ විතරක් නෙමෙයි, ඒ පිලාගෙ පහරදීමුත් ඉවසනවා.
6. ලිංගික ඉරිසියාවෙන් දැවී සිය පුතා මරණ රජෙක් (චුල්ල ධර්මපාල ජාතකය)
ලිංගික ඉරිසියාවට මොන තරම් දරුණු දේවල් කරන්න පුළුවන්ද කියන එක චුල්ල ධර්මපාල ජාතකය අපට කියලා දෙනවා. මේ කතාවේ හැටියට මහා ප්‍රතාප රජතුමා දවසක් අන්තඃපුරයට එද්දි අගමෙහෙසිය රජතුමාගේ කුඩා කුමාරයව (ධර්මපාල කුමාරයා) හුරතල් කරමින් ඉන්නවා. ඇයට රජතුමාගේ පැමිණීම කෙරෙහි නිසි අවධානයක් යොමු වෙන්නේ නෑ. මේ නිසා අතිශය කෝපයට පත්වෙන රජතුමා ධර්මපාල කුමාරයාව කෑලි කෑලිවලට කපලා මරන්න නියෝග කරනවා. මේ දුකට අගමෙහෙසිය ලය පැලිලා මිය යනවා.
7. ළමා අපචාර සිදු කරන ස්ත්‍රීයක් (චුල්ල නාරද ජාතකය)
මේ ජාතක කතාවත් දේශනා කරලා තියෙන්නේ ස්ත්‍රීයක් නිසා මහණකම එපාවුණු භික්ෂුන් වහන්සේ නමක් වෙනුවෙන්. අතීත කතාවේ හැටියට මේ භික්ෂුන් වහන්සේ ලාබාල දරුවෙක් විදිහට තමන්ගේ පියාත් එක්ක හිමාල වනයේ තපස් කරනවා. අහම්බෙන් මෙතනට එන කාන්තාවක් මේ කුමාරයා සමග ලිංගිකව එක් වෙනවා පමණක් නෙමෙයි, කුමාරයාව ඇය හා රැගෙන යන්නත් උත්සාහ කරනවා. නමුත් පියාගේ මැදිහත් වීම නිසා ඒක වැළකෙනවා.
මේ විදිහට ජාතක කතාවලින් මිනිස් සිතේ තියෙන විෂමත්වය විවිධ විදිහට විශ්ලේෂණය කරනවා. නමුත් අවසානයේදී ජාතක කතා සියල්ලගෙන්ම කියන්නේ තමන්ගේ ආශාවන් පාලනය කරගන්නා පුද්ගලයා ජයගන්න බව කියන පාඩම.
Leave a Reply