කොල්ලන්ට සෙට් වෙන බෑග් ෆැෂන් 7ක්!

කොල්ලෙක් වුනහම ෆැෂන් කරන්න ඕන. තමන්ගේ පෙනුම තව ඉහළ නැංවෙන විදියේ අංගෝපාංගයන් තමන්ගේ පෙනුමට එකතු කරගන්න ඕන. දැන් අපිට ගොඩක් වෙලාවට එදිනෙදා වැඩ කටයුතු වලට යනකොට බෑග් එකක් ගෙනියන්න වෙනවනේ. ආන්න එතකොට අපි ගෙනියන බෑග් එකත් අර අපේ ස්ටයිල් එක ඔප් නැංවෙන අංගෝපාංගයන්ට තමයි අයිති වෙන්නේ. ඒ නිසා ෆැෂන් වලට කැමති, ස්ටයිලිෂ් කොල්ලෙක් විදියට අපිට සිද්ධ වෙනවා අපි පාවිච්චි කරන බෑග් එක මොකද්ද කියන එක ගැනත් දෙපාරක් හිතන්න. සමහර වෙලාවට කෝකටත් තෛලේ වගේ හැම තැනටම, හැම ඇඳුමටම එකම බෑග් එකක් ගෙනියන්න බැරි වෙන්න පුලුවන්. එහෙම වුනත් තැනට ගැලපෙන, ඇඳුමට ගැලපෙන විදියට බෑග් එකක් හෝ කීපයක් වෙනුවෙන් ආයෝජනය කරන එක කිසිසේත්ම නාස්තියක් නෙවෙයි. මේ කියන්න යන්නේ ඒ විදියේ බෑග් ෆැෂන් කීපයක් ගැන.

 

1. Backpack

Image Source – newscult.com

සාමාන්‍යයෙන් කෝකටත් තෛලය වගේ ගොඩක් කොල්ලෝ පාවිච්චි කරන්නේ බැක්පැක් තමයි. ගොඩක් වෙලාවට ලැප්ටොප් එකත් දාගෙන යන්න පුලුවන් විදියේ ලැප්ටොප් බැක්පැක්. මේ විදියේ බැක්පැක් එකක් ගොඩක් වෙලාවට ගැලපෙන්නේ ෆුල් කැෂුවල් ඇඳුමකට තමයි. ඩෙනිම් එකයි ෂර්ට් එක හෝ ටී ෂර්ට් එකයි වගේ සංකලනයක් එක්ක බැක්පැක් එක සෙට් වෙනවා. හැබැයි ඉතින් ඔ‍ෆිස් කිට් එකට හෝ ස්මාට් කැෂුවල් කිට් එකට නම් බැක්පැක් ඒ තරම් ගැලපෙන්නේ නැහැයි කියන එක කියන්න වෙනවා.

අනෙක් කාරණය තමයි බැක්පැක් එකක් පාවිච්චි කරනවා නම් කොල්ලෙක්ට ගොඩක් වෙලාවට හරියන්නේ කළු, අළු, තද නිල් වගේ පාටක බැක්පැක් එකක් තමයි.

හැබැයි ඔය ට්‍රිප් යන්න, කෑම්පින්ග් යන්න එහෙම පාවිච්චි කරන  ‍ටුවරිස්ට් බැක්පැක් එකකට එහෙම අවුලක් නෑ.

 

2. Duffle Bag

Image Source – smhttp-ssl-33667.nexcesscdn.net

එක කාලයක් තිබුණා ඉස්කෝලේ ඒ ලෙවල් කරන කොල්ලන්ගේ ජනප්‍රිය බෑග් විලාසිතාවක් බවට කළු හෝ තද රතු ඩෆල් බෑග් පත් වෙලා තිබුණු. දැන් වුනත් ඩෆල් බෑග් එකක් පාවිච්චි කරන්න පුලුවන් අවස්ථා තියෙනවා. ඩෆල් බෑග් එකකින් ගොඩක් වෙලාවට ලැබෙන්නේ ස්පෝර්ටි ලුක් එකක්. ඒ හින්දා කැෂුවල් ස්පෝර්ටි ලුක් එකක් පවත්වා ගන්න වෙලාවකට ඩෆල් බෑග් එක මරු. ඒ වගේම සෑහෙන්න ඉඩ තියෙන නිසා ප්‍රයෝජනවත්. ඩෆල් බෑග් එකත් එක්ක ස්පෝට්ස් සපත්තු, බොටම් ෂෝර්ට්ස් හරි බොටම් දිග කලිසම් හරි සෙට් වෙනවා.

හැබැයි තනි පාටක, වැඩි විශාලත්වයක් නැති සහ ඩීසන්ට් පෙනුමක් තියෙන ඩෆල් බෑග් එකක් සමහර වෙලාවට ස්මාට් කැෂුවල් ලුක් එකක් එක්ක මැච් කරලා බලන්නත් පුලුවන්.

Image Source – cdn.lookastic.com

ඕන නම් ටී ෂර්ට් එකක් එක්ක එන ෆුල් කැෂුවල් ලුක් එකකටත් අර ආමි ඩෆල් බෑග් එකක් මැච් කරලා බලන්න පුලුවන්.

 

3. Messenger Bag

Image Source – etsy.com

මැසෙන්ජර් බෑග් කියන්නේ සාමාන්‍යයෙන් එක් උරහිසකින් එල්ලාගෙන යන්න පුලුවන්, එහෙම නැතිනම් එක් උරහිසක ඉඳන් සිරුර හරහට දාලා එල්ලාගෙන යන්න පුලුවන් විදියේ බෑග් වලට. හැබැයි ඉතින් මැසෙන්ජර් බෑග් වුනත් එක එක වර්ග තියෙනවා.

මැසෙන්ජර් බෑග් වලින් වඩාත් සීරියස් ලුක් එකක් තියෙන, අනං මනං කෑලි බෑලි නැති, තනි පාට බෑග් ඔ‍ෆිස් කීට් එකකට වුනත්, ස්මාට් කැෂුවල් ලුක් එකකට වුනත් ගැලපෙනවා. එහෙම නැතිනම් ලෙදර් වලින් හදපු මැසෙන්ජර් බෑග් එහෙමත් ගන්න පුලුවන්. මේ විදියේ වඩාත් ක්ලැසික් පෙනුමක් තියෙන ලෙදර් මැසෙන්ජර් බෑග් එකක් ගැලපෙන්නේ ඩෙනිමත් එක්ක යන ස්මාට් කැෂුවල් විලාසිතා එක්ක තමයි.

 

4. Office Carry bag

Image Source – an-ivy.com

මේ කියන්නේ එක අතකින් අරගෙන යන්න පුලුවන් විදියේ ඉහළින් කොකු දෙකක් තියෙන, වඩාත් ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන බෑග් ගැන. මේවාත් වර්ග කීපෙකින් හඳුනා ගන්න පුලුවන්. දැන් ඔය ඉස්සර තාත්තලා ඔ‍ෆිස් අරන් ගියපු ජාතියේ අතේ අරගෙන යන ලෙදර් ඔ‍ෆිස් බෑග් තියෙනවා. එතකොට වඩාත් නවීන පෙනුමෙන් යුක්ත, ඒත් ලෙදර් හෝ ඒ වගේ අමුද්‍රව්‍යයකින් නිර්මාණය කරපු ඔ‍ෆිස් බෑග් තියෙනවා. මේවා ඉතාම ගැලපෙනවා ඔ‍ෆිස් යනකොට ගෙනියන්න. ඒ කියන්නේ ස්මාට්, ඔ‍ෆිස් ලුක් එකක ඇඳුම් ආයිත්තම් එක්ක. ඒ වගේම රෙදි වලින්, රෙක්සින් වලින් එහෙම හදපු ඔ‍ෆිස් බෑග් ස්මාට් කැෂුවල් ලුක් එකකට ගැලපෙනවා. විශේෂයෙන්ම ඕන නම් මැසෙන්ජර් බෑග් එකක් විදියට කරේ දාගන්නත් පටියක් තියෙන විදියේ ඔ‍ෆිස් බෑග් එකක් ස්මාට් කැෂුවල් ලුක් එකකට හොඳයි.

 

5. Briefcase

Image Source – veganwear.us

මේක තමයි කොල්ලෙක්ට ගෙනියන්න පුලුවන් බෑග් වලින් ක්ලැසික්ම වෘත්තිමය පෙනුමක් ලබාදෙන්නේ. බ්‍රීෆ්කේස් කියන්නේ සාමාන්‍යයෙන් පහසුවෙන් ගෙනියන්න පුලුවන් දෙයක් නෙවෙයි. අතේ එල්ලාගෙන යන්න පුලුවන් වුනත්, දෘඩ මතුපිට නිසා පොදු ප්‍රවාහන මාධ්‍ය වල එහෙම නම් බ්‍රීෆ්කේස් එකක් අරගෙන යන්න වෙන්නේ ටිකක් අපහසුවෙන්. ඒ නිසාම බ්‍රීෆ්කේස් එකක් ගැලපෙන්නේ වාහනේක ගිහින් බහිනවා නම් තමයි. ඒ වගේම අනිවාර්යයෙන්ම බ්‍රීෆ්කේස් එකකට ගැලපෙන්නේ ස්මාට්, ඔ‍ෆිස් ලුක් එකක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි සාමාන්‍ය ඔ‍ෆිස් ලුක් එකක් හරියන්නෙත් නෑ. ඊට එහා ගියපු විශේෂ පෙනුමක් පවත්වාගන්න වෙනවා බ්‍රීෆ්කේස් එකක් අරගෙන යනකොට. මොකද බ්‍රීෆ්කේස් එකකින් පෙන්නුම් කරන්නේත් ඒක අරන් යන කෙනාගේ උසස් වෘත්තිමය තත්ත්වයක් නිසා.

 

6. Fanny Pack

Image Source – boxlunch.com

ෆැනී පැක්ස් කියන්නේ අර ඉණේ බැඳගෙන යන්න පුලුවන් සාපේක්ෂව පොඩි බෑග් එකට. අනිවාර්යයෙන්ම ෆැනී පැක් එකක් බැඳගෙන යනවා නම් ගැලපෙන්නේ කැෂුවල්, ෆන්කි ලුක් එකක් තමයි. ඕන නම් ෂෝර්ට්ස් හරි ත්‍රී ක්වාටර් එකක් හරි ටී ෂර්ට් එකකට ඇඳලා, ෆැනී පැක් එකක් දාගන්න පුලුවන්. ඇත්තටම අපිට ගොඩක් දේවල් ගෙනියන්න නැතිනම් ෆැනී පැක් එකක් මාරම පහසුයි සහ සරලයි. ඒත් ෆැනී පැක් එකක් හැම ඇඳුමකටම ගැලපෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. ගොඩක් වෙලාවට ටී ෂර්ට් ෆැෂන් වලට තමයි ෆැනී පැක් යන්නේ.

 

7. Indian Boho Bag

Image Source – bohobags.com

දැකලා තියෙනවද අර ඉන්දියානු විලාසිතාවේ විසිතුරු විදියට පබළු අල්ලලා විසිතුරු කරපු, වෛවර්ණ කරේ එල්ලාගෙන යන්න පුලුවන් බෑග්? මේවා ගොඩක් වේලාවට ආටිස්ටික් ලුක් එකක් තමයි ලබාදෙන්නේ. හැබැයි මේ ඔලගු ආකාරයේ බෑග් එකක් පාවිච්චි කරනවා නම් ඒකට නිකම්ම කැෂුවල් විලාසිතාවක් ගැලපෙන්නේ නෑ. ඇත්තටම බෑග් එකට ගැලපෙන විදියේ ඇඳුම් විලාසිතා පවත්වාගන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කපු කලිසම් හෝ ඩෙනිම් කලිසමක් එක්ක විසිතුරු විදියේ කුර්තා ෂර්ට් එකක්. ඒකට ගැලපෙන්න වෛවර්ණ ඇට මාලයක්, අතට දාන පළඳනා වගේ දේවලුත් වුවමනායි. දැන් ඔය ආටිස්ටික් ලුක් එක සම්පූර්ණ කරන්න ඉන්දියානු විලාසිතාවේ ඔලගු බෑග් එකක් එල්ලාගන්න පුලුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *