මේ කතාව ඛේදයක්. පුංචි ළමයි මල් වගෙයි කිය කිවුව පැරණි බමුනොන්ගෙ කටේ තිනර් දාන්න හිතෙන්නෙ මේව මතක්වෙද්දි. පුංචි ළමයෙක් ඉන්න ගෙයක් සිරියාවයි කියල කියපු ඈයන්ගෙ ගෙවල් වේයො කන්න ඕනෙ කියල සාප කරන්න හිතෙන්නෙ මේව මතක් වෙද්දි. මේ කියන්න යන්නෙ ඔන්න ඔය කියන පුංචි එවුන් ඉන්න ගෙවල්වල තියෙන ප්‍රශ්න ටිකක්. අම්මප අවුරුදු පහක් විතර වයස වැඩිවෙන්න ඉංජෙක්ෂන් එකක් ගහන්න හිතෙනවා මේවා අත්දැකපු මිනිස්සුන්ට. ජාතිය රැකගන්න කියල කියන්න ලේසියි. හැබැයි ගේ ඇතුළෙ ඉන්න අමාරුයි මහත්තයො. දරුවෙක් කියන්නෙ කොච්චර වටින සම්පතක් වුනත් මේ ප්‍රශ්නෙට මුහුණදෙන දෙමවුපියෝනං ඒ සියල්ල අමතක කරලා හිතට කේන්ති අරගන්නවා.
1. සූදානම්වීම්වලට කෙලවීම
පොඩි එකෙක් ඉන්න ගෙදරක පෙර සූදානම කියන්නෙ විහිළුවක්. සමහරු හිතනවා පොඩි එකෙක් ගෙදරක ඉද්දි ඕනම දේකට පෙර සූදානම තියෙන්න ඕන කියලා. එහෙම නෑ. පෙර සූදානම නැතිවෙන තරමට වියදමයි මහන්සියයි අඩුයි. ඔන්න ගෙදරට කවුරුහරි එන නිසා කේක් එකක් හදලා තිබ්බොත් ඒක පොඩි එකා දැක්කොත් පොරට ඕන වෙනව ඒ කේක් එක. කේක් දෙන්න පුළුවන් කනවනං. කන්නෙ නෑ. මුලින්ම පිහියෙන් තැනින් තැනට කොටනව. ඊටපස්සෙ වතුර ටිකක් දානව. ලාවට දිවේ ගාලා බලල මූණ පුළුටු කරගෙන යනව. කේක් එක දිහා බලද්දි අහක බලං හදපු උමා ඔය ජල යෝජනා ක්‍රමේ වගේ කේක් එක. කූල් ඩ්‍රින්ක්ස් හදලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බත් එච්චරයි. බණකට දානෙකට පිරිතකට කියලා පේන්ට් කරලා තිබ්බත් එච්චරයි. එක් ක්ෂණයකින් ඒ සියල්ල සුං!
2. නිදහස
වැඩිහිටියො කියන මිනිස්සු නිදහස කියන්නෙ මොකටද? පෙබරවාරි 04 වෙනිදාටද? නෑ. ප්‍රභාකරන් මරපු දිනේටද? නෑ. නිවාඩුවට ගමේ ගියාමද? නෑ. ඒ අය නිදහස කියන්නෙ නින්දට. පොඩියට හරි නින්දක් නිදාගන්න තියෙනවානං ඒක තමයි වැඩිහිටියෙක් ලබන අජරාමර නිදහස. හැබැයි ඉතිං පොඩි එකෙක් ගෙදර ඉන්නවානං රෑ දවල් කියල වෙනසක් නැතුව ඔය නිදහසට බෝම්බ ගස්සවගන්න එක සුළු දෙයක්. පොඩි උන්ට සද්ද කරන්න බෙර, නලා වගේ දේවල්ම ඕන නෑ. වලං පිඟන් වගේම ගිරිය යටින් බෙරිහන් දීලත් පොඩි උන්ට ඒ ආතල් එක එලෙසින්ම සැපයීමේ හැකියාව තියෙනවා.
3. ටීවී
සැටලයිට් ආප්පයක් ගෙනල්ල අපේ වහලෙත් ගහලා යන දවසෙ හිත සතුටෙන් ඒ දිහා බලං හිටියෙ දැන්නං ඉතිං ෆිල්ම් ටික බලන්න පුළුවන්, මැච් ටික බලන්න පුළුවන් කියල. හැබැයි ඔන්න එතකොට කියාපි ඩිජිටල් තිර නිසා පොඩි එකාගෙ මොළේ වර්ධනය සීමා වෙනවලු. හුටා! ඉතිං මහත්තයො අපි ටීවී අරගෙන එවුව බලන්න පොඩි එකා නිදියනකල් ඉන්නව. නිදියගත්තු ගමන් ටීවී එක දැම්මම පොඩි එකා ඇහැරෙනව. ආයෙ ටීවී ඕෆ්. අන්තිමටම සද්ද නැතුව බලනව. අමරදේව මාස්ටර් කට හොල්ලනව විතරයි පේන්නෙ. සින්දුව නෑ. කැරොකේ දාලා ගෙදර උන්ට තමයි කියන්න වෙන්නෙ. ඒ කියන්නත් බෑ. සද්දෙ ඇහිච්ච ගමන් පොඩි එකා ඇහැරෙනවා. ඊළඟට ආයෙත් ළමා මනසේ වර්ධන වේගය බාල වෙනවා.
4. බැලුවත්
ඉඳලා හිටලාවත් පොඩි එකා ඇහැරිලා ඉන්න වෙලාවට ෆිල්ම් එකක් බලන්න බෑ මුං මොන මොන වචන කියයිද දන්නැති නිසා. පොඩි එවුනුත් හංසයො දියෙන් කිරි වෙන්කරගන්නව වගේ, ගානට ඒ නරක වචනෙ තෝරලා ඒකම එක දිගට බෙරිහන් දිදී කියන්න දන්නවනෙ. ආයෙ ඉතිං හොදි ඕන්නෑ මොන්ටිසෝරියට ගිහිල්ලා හරි එළිපහලියෙදි හරි එහෙම වචනයක් කිවුවම. අම්ම අප්ප ඉගැන්නුව කියලනෙ හිතන්නෙ ඉතිං. ඉතිං අපි සැටලයිට් ආප්පෙ උජාරුවට වහලෙ උඩ තියාගෙන, ඒක හයි කරලා ගියපු පිනට ඒ අයියලට මාසෙකට තුන්දාහා ගාණෙ පුදනවා.
5. ස්රූස්
ස්රූස් කියන්නෙ සද්දෙකට වඩා හැඟීමක්. මනුස්සයෙකුව ලිස්සලා යද්දි හිතට එන හැඟීම තමයි ස්රූස් කියන්නෙ. බලන බලන තැන චූ දාලා. කොටිම්ම නිදියන ඇඳෙත් චූ දාලා. ඒ මදිවට වතුර හල හල ගිහිල්ලා. ඉතිං කොයිවෙලෙත් හිමේ යනව වගේ ලිස්ස ලිස්ස තමයි යන්න වෙන්නෙ. ඒ මදිවට නිදියන්න යද්දි කකුල් වේලෙනකං ඇඳගාව හිටගෙන පාපිසිවල පිහි දදා ඉන්න වෙනව හෙන වෙලාවක්.
6. උන් ඉතා ඉක්මනින්… යන්නෙ මේ කඩිසරෙන්
චන්ද්‍රකුමාර කඳනාරච්චි මහත්තයගෙ සින්දුවෙ වගේ යන එන හැම තැන් මුර දාලා කූඹි. ඉස්සර ඉස්කෝලෙදි සිතියමේ කඩඉරිවලින් දුම්රිය මාර්ග ලකුණු කරලා වගේ පෝලිමට යනව කූඹි. ඇයි ඉතිං පොඩි එකා බිස්කට් අරගෙන යනව, එවුව දාන්නෙ දායි කියල හිතන්නවත් බැරි අහුමුළුවල. ඉතිං කූඹි රජකරනව ගෙදර. ඕක ටික කාලයක් ගියාම කූඹින්ට හපන් කට්ටියක් වැඩේට සෙට් වෙනවා. කැරපොත්තො. ඕකත් ගණං නොගෙන තව කාලයක් ගියාම තමයි හොඳ බුවා එන්නෙ. මීයා.
7. හොරු පවු!
හදිස්සියට රෑ පානෙ ටොයිලට් පොජ්ජට මන්දු කරද්දි යන එන අතරමගම සුළු දිය පහවෙනව උලට තියෙන බිල්ඩිං බ්ලොක් එකක් යටි පතුලට අහුවුනාම. ආයෙ ඉතිං දිවිය ලෝකෙ සැප. ඔය වෙලාවට තමයි හොරු පවු කියල හිතෙන්නෙ.
බෝනස් – බිල්
පොඩි එවුන් කියන්නෙ මහ එවුන් කරන හැම වැඩේම බලං ඉඳලා ඒවයින් පාඩුවක්, නරකක්, හානියක් වෙන දේවල් ටික තෝරගෙන කරන ජාතියක්. අන්න ඒ නිසා තමයි පොඩි එවුන් අපිට හොරෙන් ගිහින් ටැප් ඇරලා එන්නෙ, ගෑස් ලිප ඔන් කරලා ඒක උඩින් චූ දාපු වලඳක් තියලා එන්නෙ, ස්ටොරු කාමරේ ලයිට් එක දාලා එන්නෙ. ඉතිං මාසෙ අන්තිමට බිල් ආවම මීටරේ ලියන්න එන මනුස්සයට බැනලා වැඩක් නැහැ.
Cover Image Source – twitter.com
Leave a Reply