2019 අවුරුද්දේ ඉඳන් පටන් ගන්න ආතල් විනෝදාංශ කීපයක්!

අවුරුද්දක් ගෙවුනා කියලවත් දැනුනේ නෑ කියලා තමයි අහන අහන කෙනා කියන්නේ. හැබැයි එහෙම වුනාට ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි අවුරුදු සට සට ගාලා ගෙවුණට ජීවිතේ කිසිම ලල් එකක් නෑ කියන එක. වැඩ කරනවා, කනවා, නිදියනවා රූටින් එකෙන් පිට දෙයක් වෙන්නෙ නැති තරම් කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. හැබැයි ඉතින් අපි මීට කලිනුත් හඳුන්වලා දීලා තියෙනවා ජීවිතේ පොඩ්ඩක් නග්ගලා, රසවත් කරලා, ආතල් බර කරලා ගන්න අපිටම කරන්න පුලුවන් දේවල් කීපයක්ම. ඔය දේවලුත් අතරේ තමන්ටම කියලා විනෝදාංශයක් දෙකක් එහෙමත් තියාගන්න පුලුවන් නම් ඔය ජීවිතේ බෝරින් වෙලා, කම්මැලි වෙලා කියන කතන්දරේ නැතුව යනවා.

දැන් විනෝදාංශ ගත්තහම මතක් වෙන්නේ එක්කෝ පොඩි කාලේ වගේ මුද්දර එකතු කරන එක, කාසි එකතු කරන එක වගේ දෙයක්නේ. එහෙම නැතුව දැන් කාලේ කොල්ලෙක්ගෙන් කෙල්ලෙක්ගෙන් විනෝදාංශ ගැන ඇහුවොත් කියන්නේ නිදාගන්න එක, ටීවී බලන එක වගේ දේවල්. ඕවා විනෝදාංශ නෙවෙයි. හැබැයි ඔය දේවල් වලට අමතරව ජීවිතේ ෆුල් ආතල් කරගන්න පුලුවන් විශේෂ, සාමාන්‍ය නොවෙන විනෝදාංශත් කෙනෙක්ට නිර්මාණය කරගන්න පුලුවන්. ආන්න ඒ වගේ ආතල්, අන්කොමන් විනෝදාංශ කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නේ!

 

1. අප්සයිකල් ක්‍රාෆ්ටින්ග්!

Image Source – inkmillvinyl.co.uk/ wilwilliams.reviews.com

ඒක නිකං බයිසිකල් පදිනවා වගේ සීන් එකක්ද කියලද බැලුවේ? ඇත්තටම Upcycling කියන්නේ අපේ තියෙන භාවිතයට නොගන්න දේකින් ප්‍රයෝජනවත් වෙනත් දෙයක් හදන එක. ඒකට තමයි අපි Upcycle crafting කියලා කිව්වේ. අත්වැඩ වගේ සීන් එකක් තමයි. හැබැයි ඊට වඩා ප්‍රයෝජනවත්. ඊට වඩා ආතල්.

මතකද ඉස්සර කිරිපිටි ගෙනාවහම ඒ පෙට්ටියේ උඩ කොටස හැඩේට කපලා, එල්ලන්න හිලක් විදලා, වටේට ලස්සනට කොළ අලවලා ඔය පෑන් පැන්සල් දාන්න නැතිනම් ලියුම් කියුම් දාන්න පුලුවන් ‍රැක් එකක් විදියට හදාගත්තා? ආන්න අප්සයිකල් ක්‍රාෆ්ටින්ග්. ඔය වගේ දාහක් දේවල් කරන්න පුලුවන්. පොඩ්ඩක් යූටියුබ් එකේ රවුමක් ගහලා බැලුවහම, ඔන්ලයින් සර්ච් පාරක් දාලා බැලුවහම අප්සයිකල් ක්‍රමේට ප්‍රයෝජනවත් දේවල් හදන විධි ඕන තරම් මුණගැහෙයි.

මේ ක්‍රමේ පුරුදු වුනාට පස්සේ ඔය ගෑල්ලමයට, කොල්ලට එහෙම දෙන තෑගිත් ගෙදරම හදතෑකි!

 

2. කුකින්ග්!

Image Source – yesmagazine.org

කුකින්ග් පුලුවන් කොල්ලෙක් මාර සෙක්සි කියලා කියනවනේ. ඒ වගේම තමයි කුකින්ග් දන්න කෙල්ලෙක් වුනත් මාර සෙක්සි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට කුකින්ග් නැතිනම් කෑම හදනවා කියන්නේ ආතල් වැඩකට වඩා කම්මැලි වැඩක්. ආන්න ඒ නිසා අපි 2019 අවුරුද්දේ මේ කම්මැලි වැඩේ ආතල් විනෝදාංශයක් කරගමු.

අපි මේ කියන්නේ එදිනෙදා කෑමට බතක් මාලුවක් හදන එක ගැන නෙවෙයි. ඊට වඩා විශේෂ කෑම වර්ග හදන්න එහෙම ප්‍රැක්ටිස් එකක් විදියට, විනෝදාංශයක් විදියට මේක කරගෙන යන එක. අපි මුලින්ම පටන් ගමු ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් හදලා! අප්සට් යන්න එපා. කුකින්ග් වැඩේ ආතල් කරගන්නනේ ඕන. ඒ නිසා ලෝකේ අය දැක්කට කමක් නෑ අපේ කුකින්ග් වැඩ. දැන් පුලුවන් සරල රෙසිපි වලින් පටන් ගන්න. මේකට ෆේස්බුක් එකේ ඕනෑ තරම් කුකරි ගෘප් තියෙනවා. එතකොට ඉන්ටර්නෙට් එකේ ඕනෑ තරම් සයිට්ස් තියෙනවා. ගිහින් බලන්න තමන්ට හදන්න පුලුවන් සරල කෑමක්. දැන් ෂොපින්ග් පාරක් දාලා මේකට ඕන බඩු ටික ගේන්න. ඉන් පස්සේ සති අන්තේදී කුස්සිය අම්මගෙන් ණයට ඉල්ලගෙන වැඩේ ට්‍රයි කරලා බලන්න. හරි ගියේ නැතිනම් ආයෙමත් ට්‍රයි කරන්න. එහෙම කරලා හදාගත්තු ආතල් ඩිෂ් එක මුලින්ම ෆොටෝ එකක් ගහලා ඉන්ස්ටා දාන්න. ඊට පස්සේ කන්නයි තියෙන්නේ.

මෙහෙම ගිහින් අලුත් අලුත් කෑම ජාති අත්හදා බලන්නත් පුලුවන් වෙනවා ෂුවර්!

 

3. පොඩ්කාස්ටින්ග්!

Image Source – spectator.sme.sk

දැන් ඉස්සර අපිට ටීවී ඒ තරම් තිබුණේ නැති කාලේ අපි රේඩියෝ ඇහුවනේ. අදටත් රේඩියෝ අහනවනේ. හැබැයි කවදාහරි හිතිලා තියෙනවද රේඩියෝ එකේ වැඩසටහනක් එහෙම කරන්න ඕනැය කියලා? එහෙම හිතුණත් ඉතින් අපිට රේඩියෝ එකට යන්න විදියක් නැති වෙන්න පුලුවන්. හැබැයි අද නවීන ලෝකේ තමන්ගේම රේඩියෝ වැඩසටහනක් කරන්න ක්‍රම තියෙනවා. ඇත්තටම මේ වෙබ් රේඩියෝ. එහෙමත් නැතිනම් පොඩ්කාස්ටින්ග්. මේක හොඳ විනෝදාංශයක්. ඒ වගේම දැනුම බෙදාදෙන්න පුලුවන් විදියක්.

මුලින්ම කරන්න පුලුවන් දේ තමයි පොඩ්කාස්ටින්ග් වලට සවන් දෙන එක. ඒකත් ඕනෑ නම් විනෝදාංශයක් කරගන්න පුලුවන්. ඕනෑ තරම් පොඩ්කාස්ට් හොයාගන්න පුලුවන් ඔන්ලයින්. ඉන් පස්සේ අපිට පුලුවන් අපේම පොඩ්කාස්ටින්ග් එකක් පටන් ගන්න. ගොඩක් දෙනෙක් කරන විදියට එපිසෝඩ් කීපයක් විදියට කළහම ඇති. එතකොට කරන්න තියෙන්නේ තමන්ට කථා කරන්න ඕන මාතෘකාව ඔස්සේ තොරතුරු සූදානම් කරගන්න එක. ඉන් පස්සේ රෙකෝඩ් කරලා, පොඩි එඩිට් පාරක් එහෙම දාලා පොඩ්කාස්ටින්ග් සයිට් එකකට හරි, තමන්ගේම යූටියුබ් චැනල් එකකට හරි අප්ලෝඩ් කරන්න පුලුවන්. වැඩේ ආතල්.

 

4. බුක් චැලේන්ජ්!

Image Source – readingagency.org.uk

දැන් ඔය පොත් කියවන්න ආස කට්ටිය ඉන්නවා නම් මෙන්න ඒ පොත් කියවන පුරුද්ද ආතල් විනෝදාංශයක් කරගන්න මාර්ගය. මේ ලෝකේ කොයි තරම් පොත් තියෙනවද? හැබැයි අපිට ඔය පොත් ඔක්කොම කියෝලා ඉවර කරන්න බැහැනේ. ඒත් ඉතින් අපිට ‍තෝරාගත්ත පොත් ටිකක් කියවන්න පුලුවන්. විශේෂයෙන්ම දැන් කාලේ අපි ස්මාට්ෆෝන් එක, ටීවී එක, කම්පියුටර් එක නිසා කියවීමෙන් ඈත් වෙලා ඉන්නේ කියන එක බොරුවක් නෙවෙයිනේ. අන්න ඒ නිසා අපිට පුලුවන් බුක් චැලේන්ජ් එකකට යන්න. පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ ගිහින් සර්ච් කළොත් එක එක විදියේ බුක් චැලේන්ජස් තියෙනවා. එතකොට ඔය BBC Top 100 must read books වගේ මනුස්සයෙක් කියැවිය යුතුම පොත් ලිස්ට් තියෙනවා. කරන්න තියෙන්නේ ඒ වගේ ලිස්ට් එකක් ‍තෝරගන්න එක. සීයක් වැඩී නම් දහයක විස්සක වගේ ලිස්ට් වුනත් ඔන්ලයින් හොයාගත්තැහැකි. දැන් සතියකට එක පොතක් කියවනවා කියලා ටාගට් කරලා පටන් ගන්න තියෙන්නේ.

ඕනෑ නම් කියවන කියවන පොත් ගැන විස්තර පොත් කියවන අය වගේ ගෘප් එකක දාන්නත් පුලුවන්. එහෙම නැතිනම් කියවන්න ආස යාලුවෝ සෙට් එකක් එක්ක බුක් ක්ලබ් එකක් හදාගෙන කට්ටියට එකට කියවන්නත් පුලුවන්.

 

5. කොස් ප්ලේ!

Image Source – kiwireport.com

මතකද ගිය අවුරුද්දේ ලංකා කොමික් කොන් එකේ ගෑණු ළමයි දෙන්නෙක්ට රටේ තියන ඔක්කොම කතා කිවුවා, වොන්ඩර් වුමන්ට ඇඳලා හිටියා කියලා? හැබැයි ඒකට තමයි Cosplay කියන්නේ. ඒක වෙනම ආතල් එකක්. දැන් අපි ඕනෑම කෙනෙක් ‍ෆිල්ම් බලනවා, වීඩියෝ ගේම්ස් ගහනවා වගේ දේවල් කරනවනේ. එතකොට මේ කොස් ප්ලේ කියන එකෙන් කෙරෙන්නේ මේ ‍ෆිල්ම් එකක, කොමික් පොතක, ටීවී සීරීස් එකක, ගේම් එකක ඉන්න තමන් ආස චරිතයක් විදියට තමන්ගේ හැඩරුව, ඇඳුම්, පැළඳුම් වගේ හැමදෙයක්ම හදාගන්න එක. ඒක සීයෙට සීයක් පරිපූර්ණ වෙන්න ඕන නෑ. රුපියල් දාස් ගණන් වියදම් කරන්න ඕනෑත් නෑ. දැක්ක හැටියේ මෙයා තමයි මේ චරිතය කියලා තේරුම් ගන්න පුලුවන් නම් හොඳටම ඇති.

දැන් පුලුවන් එක්කෝ මේ විදියට කොස්-ප්ලේ කරලා ෆොටෝස් ටිකක් හොඳට ගහලා ලෝකේ පුරා ඉන්න Geek සමාජේ ඇතුළේ බෙදාහදාගන්න. එහෙමත් නැතිනම් ලංකා කොමික් කොන් එක එනකල් ඉඳලා, ඒ දවසට මේ කොස්ටියුම් එක ඇඳලා සහභාගි වෙන්න.

 

6. වුඩ්වර්ක්!

Image Source – avrorainc.com

දැන් ඔය වඩු බාසුන්නැහේලා ඉන්නේ. ඒ අය කරන්නේ ජොබ් එකක්නේ. හැබැයි ඒ අයගේ ජොබ් එක දිහා බලාගෙන ඉඳලා තියෙනවද? ලෑලි කෑල්ලක් අරගෙන ඒක ගාණට හරියනකල් යතු ගාලා, මැදලා, හැඩ කපලා අරගෙන කෑලි කෑලි ගාණට පුරුද්දලා පු‍ටු, මේස, දොර ජනෙල් හදන එක බලාගෙන ඉන්න ආස වැඩක් නෙවෙයිද? හැබැයි ඒක ජොබ් එකක් විදියට නැතුව විනෝදාංශයක් විදියට කරන එක ඊටත් වඩා ආතල්.

මෙතනදී අපි හදන්න යන්නේ පු‍ටු මේස නෙවෙයි. ඕනෑනම් ඒවත් හදන්න පුලුවන්. හැබැයි ඊට වඩා නිර්මාණශීලීව යම් යම් ලී නිර්මාණ හදන්න පුලුවන්. මේක විනෝදාංශයක් විදියට මනසටත් බොහොම හොඳයි. භාවනාවක් වගේ තමයි. ඕනෑ කරන්නේ මූලික වඩු ආම්පන්න ටික මිලදී ගන්න එක සහ වඩු මේසයක් හදාගන්න එක තමයි. එතනින් එහාට ඕනෑ නම් යූටියුබ් එකේ වුනත්, ඔන්ලයින්වුනත් විවිධ ලී නිර්මාණ, ලී බඩු හදන්න අයිඩියාස් සහ හදන විධි හොයාගන්න පුලුවන්.

 

7. අලුත් බාසාවක්!

Image Source – travelandleisure.com

අපි ගොඩක් දෙනෙක් දන්න බාසාව තමයි සිංහල. සමහරුන්ට දෙමළ පුලුවන්. සමහරුන්ට ඔය තමන් දන්න බාසාවට අමතරව ඉංග්‍රීසි වගේ තව එක බාසාවක් පුලුවන්. හැබැයි ලෝකේ තව කොයි තරම් බාසා තියෙනවද? ඔයින් එකක් ඉගෙන ගන්න පටන් ගන්න එකේ ෆන් එකක් වගේම වාසියකුත් තියෙනවා කියලා හිතන්නේ නැද්ද? උදාහරණයක් විදියට ගත්තොත් චීන බාසාව කතා කරන්න පුරුදු වුනොත්, ජපන් බාසාව කතා කරන්න පුරුදු වුනොත් ඒ රටක ජොබ් එකකට යනකොට ඒක අමතර සුදුසුකමක් වෙයි. ඒ ඇරෙන්න ඉතින් වෙනත් බාසාවක් දැනගෙන ඉන්නවා කියන එකෙත් අමුතුම මෙව්වා එකක් තියෙනවනේ!

මේ භාෂාවක් කතා කරන්න ඉගෙනගන්න එක දිනපතා ෆන් වැඩක් විදියට කරන්න පුලුවන් ක්‍රම තියෙනවා. එක උදාහරණයක් තමයි Duolingo ඇප් එක. මේක දාගත්තට පස්සේ දවසකට විනාඩි දහයක් විතර වැය කරලා භාෂාවක් ටික ටික ඉගෙන ගන්න පුලුවන්.

ඔයිට අමතරව ඕනම කෙනෙක්ට විනෝදාංශයක් විදියට එක එක් දේවල් එකතු කරන එක වුනත් කරන්න පුලුවන්. ඕනෑ නම් පුංචි කාලේ වගේම මුද්දර, කාසි, නෝට්‍ටු, පෝස්ට්කාඩ් එකතු කරන්න පුලුවන්. ඕනෑ නම් කෙනෙක්ට දුර්ලභ ගල්, සිප්පි ක‍ටු වගේ දේවල් එකතු කරන්නත් පුලුවන්. ඕනෑ නම් පරණ කැසට් පීස් එකතු කරන්න පුලුවන්. අර ග්‍රැමෆෝන් තැටි එකතු කරන්න පුලුවන්. පරණ පොත් එකතු කරන්න පුලුවන්. පුරාණ කාලේ යතුරු එකතු කරන්න පුලුවන්. ඇන්ටික් බඩු එකතු කරන්න පුලුවන්. ඇක්ෂන් ‍ෆිගර්ස් එකතු කරන්න පුලුවන්. කලාත්මක වීදුරු භාණ්ඩ හරි ලී භාණ්ඩ හරි ලෝහ භාණ්ඩ හරි එකතු කරන්න පුලුවන්. මේ විදියේ කල් තියා ගන්න පුලුවන් ඕනෑම දෙයක් එකතු කරන්න පුලුවන්.

මේ එකතු කරන දේවල් කාලයෙන් හෝ පරිසර තත්ත්වයන්ගෙන් හෝ මිනිස්සුන්ගෙන් විනාස වෙන්නේ නැති විදියට තියාගත්තොත්, යම් කාලයක් ගියාට පස්සේ මේවල වටිනාකමත් හිතාගන්න බැරි විදියට වැඩි වෙයි!

 

Cover Image Source – gustotv.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *