කොල්ලොන්ට ටොයිලට් එකේදි ඇතිවෙන ප්‍රශ්න 7ක්

අපේ සීයලා තාත්තලා පත්තර අරගෙන යනවා වගේ, මහා කාරිය කොරන්න ටොයිලට් එකට ගියා​ම අපේ කොල්ලොන්ගෙ අතට ස්මා​ට්ෆෝන් එක තියෙන්න ඕනමයි. යූටියුබ් එකේ බෙල් අයිකන් එක ක්ලික් කරපු චැනල් ටික අලුතෙන් මොනවද දාලා තියෙන්නෙ, පෙම්වතිය සමග උදෑසන සංවාදය, ෆේස්බුකියේ අලුත් ඕපාදූප, පාර්ලිමේන්තු මරාගැනිල්ලේ අලුත්ම තතු, ප්ලේයර් අන්නෝන් බැට්ල්ග්‍රවුන්ඩ් හී ඩේලි රිවෝඩ් එක කලෙක්ට් කිරීම, ඉන්ස්ටග්‍රෑමයේ ක්වීන් ඔෆ් අසායි සොයා යෑම වැනි වූ අටෝරාසියක් දේවල් නිසා දැන් මේ වැඩේට ෆෝන් එක ඕනමයි. එනිසා මේ ටොයිලට් ප්‍රශ්නවලින් බො​හෝමයක් ෆෝන් එකත් එක්ක බැඳී පවතිනවා. එහෙම නොවෙන ඒවත් තියෙනවා.

 

1. අමතක වීම

Image Source – metro.co.uk

වෙන්න තියෙන ලොකුම නස්පැත්තිය තමයි ටොයිලට් එක ඇතුළට ෆෝන් එක ගෙනියන්න බැරි වීම. ඊට අමතරව බැටරි බැස තිබීම, වයිෆයි සිග්නල් හසු නොවීම වැනි ප්‍රශ්නත් සිද්ධ වෙන්න පුළුවන්. සමහරු ඉන්නවා ආයෙත් කලිසම ඇඳගෙන එළියට ඇවිත් ෆෝන් එක අරගෙන ඇතුළට යන. අපි මෙතන නම මෙන්ෂන් නොකළට අපි අඳුරන යාලුවෙක් ෆෝන් එක නැතිවුනාට පස්සෙ අලුත් එකක් ගන්නකං දවස් තුනක් හිර කරගෙන හිටියා. දවස් තුනකට පස්සෙ ෆීලින් ඕසම් ඇට් සොක පූදමින් කියලා ස්ටේටස් අප් කරලා තිබුනා. අන්න ඒ නිසා ෆෝන් එක ගෙනියන්න අමතක වීම සහ කලිසම ගැලෙවුවට පස්සෙ ඒ බව මතක් වීම කියන්නෙ කොල්ලෙක් ජීවිතේ නොපතන දේවල් දෙකක්.

 

2. පොදක් නෑ

Image Source – thethinkingatheist.com

මෙවුව වෙන්නෙ නොදන්න ටොයිලට්වලදි. ඔන්න පිටකොටුවෙ ඇවිද ඇවිද ඉද්දි ඉන්න හිටින්න අමාරු තත්ත්වයක් උදාවෙනව. ටෙලිකොම් එක කිට්ටුව වගේ අතරමැදක හිටියානං දෙලෝ රත්වෙනවා. යනව කියල ගිහිල්ල ගියාට පස්සෙ කලිසමත් නැතිවෙන තැනකට යන්නත් බැහැනෙ. පිළිවෙල තැනකට යන්නත් එපැයි. ඒ හින්දා බැරි අමාරුවෙන් කකුල් තද කරගෙන යනව වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට. ගොඩවෙලා යනව ටොයිලට්. හම්මේ දැනෙන සනී….. කියල පෙයන්න කියන්න වෙන්නෙ නෑ. බිඩේ ෂවර් එකක් නෑ කියල සිහිපත් වෙනව. හප්පටසිරි. කොළ රෝලක් අතට අහුවෙනවා. ඉතිං මොන දෙයියන්ට කියන්නද මහත්තයො ඒ දුක. බර්ගර් කාලා, ඉංග්‍රීසියෙන් කතා කළාට අපේ පස්සට ඔය වෙස්ටනයිස් ක්‍රම හුරු නැහැනෙ. ඉතිං කොළ රෝල් දෙකක් විතර ඉවර කරලා ආයෙ දුවනව වතුර තියෙන හෝටලයක් හොයාගෙන.

 

3. පරාදයි!

Image Source – thenextweb.com

පරාදයි කිවුව​ට ඉතිං මේක දන්නෙ ගේමින් ලෝලියො තමයි. ඔන්න ඉතිං ගේම් එකක් ගහන්න ගන්නව. ප්ලෑන් කරන්නෙ සම්පූර්ණ ටොයිලට් සෙෂන් එක තනි ගේම් එකකට. අනේ ගේම් එක ගහගෙන යන්න හම්බෙන්නෙ නෑ මුලින්ම කොහෙන්ද පාත්වෙන ගෝරිල්ලෙක් අපිට වෙඩි තියලා දානව. තාම ටොයිලට් සෙෂන් එකේ මූලික අදියරේ යන්නෙ. නිකං ඉන්නත් බෑ. ඔන්න ඔහේ ඕන එකක් කියල ආයෙත් ගේම් එක ලෝඩ් කරගෙන දෙවනි අදියරේ පටන් ගන්නව. හප්පටසිරි තත්ත්වය අති සාර්ථකයි. ටොයිලට් සෙෂන් එකත් ඉවරයි. හැබැයි ගේම් එක ඉවරවෙන්නෙ නෑ. මාව එකෙක්වත් මරන්නෙත් නෑ. මේ ඇස් පනාපිට දිවුවත් මුං නෙමෙයි වෙඩි තියන්නෙ. හයියෝ සල්ලි!

 

4. අබ්බගාත

Image Source – youtube.com

අබ්බගාත වීම කියන්නෙ කාටවත්ම සිද්ධ වෙන්න හොඳ දෙයක් නෙමෙයි. ඒත් ඔන්න ෆෝන් එකත් අරගෙන වාඩි වෙන්නෙ යූටියුබ් වීඩියෝ එකක් බලන්න කියල. ඕක බල බල ඉද්දි මතක් වෙනවා පරණ කොමඩි ටෙලියක්. අපි කියමුකො බෝඩිම කියලා. ඔන්න ඉතිං බෝඩිම බල බල ඉද්දි රස වැඩි හින්දා දිගින් දිගට ඇදිලා යනවා. ටොයිලට් සෙෂන් එකත් ඉවරයි. ඒත් බෝඩිම ඉවර නෑ. යාන්තං දැන් ඔෆිස් යන්න පරක්කු වෙනවා නේද කියලා මතක් වුනාම බෝඩිම නවත්තලා බැලුවට නැගිටගන්න බෑ. කකුල් දෙක අසරණයි යාලු. පැය ගාණක් වාඩි වෙලා ඉඳල කකුල් දෙක ගල් වෙලා. හිටගන්න බෑ. කකුල් තියෙනවා තමයි. හැබැයි උස්සන්න බෑ. අතින් අරන් එක කකුලක් උස්සලා පැත්තකින් තිබ්බම හිරි වැටිලා පැයක් විතර රිදෙනවා. අනිත් කකුල උස්සලා තියද්දි කොමෝඩ් එකෙන් වැටෙන්න යනවා. හරි ප්‍රශ්න!

 

5. අඤ්ඤකොරොස්වීම

Image Source – giphy.com

මේකත් කොල්ලෙකුට සිද්ධ වෙන්න පුළුවන් නරකම දෙයක්. ටොයිලට් සෙෂන් එකේ වටිනාම හරිය ක්‍රියාත්මක වීගෙන යද්දි ලයිට් එක පිච්චෙනවා. පිටේ කැරපොත්තෙක් වහනව. ඔලුවට හූනෙක් වැටෙනවා (ඊටපස්සෙ සාස්තර පලාපල හිතන්නත් එපැයි), බෙල්ල ඇවිලෙනවා. අනේ ඉතිං වෙනදාට අතිශය ශෘංගාරාත්මක ලෙසින් එන්ජෝයි කරන ටොයිලට් සෙෂන් එකට කෙළවෙනවා. ඇයි ඉතිං හිතන්න ප්‍රශ්න තියෙනවානෙ.

 

6. වැල

Image Source – youtube.com

මෙවුවනං වනේ වන හතුරෙකුටවත් සිද්ධ වෙන්න හොඳ නැති දේවල්. මේ වැඩේ හොඳටම පත්තුවෙන්න ඉඩ තියෙන්නෙ ඔෆිස් ටොයිලට් එකේ ඉද්දි සිද්ධ වුනොත් තමයි. ෆේස්බුක් ඔබ ඔබ ඉන්න අස්සෙ වට්ස්ඇප් එකේ ඊයෙ රෑ ආපු මෙසේජ් ටික බලනව. හප්පටසිරි! අගමැතිලා දෙන්නගෙන් එක්කෙනෙකුගෙ විශේෂ ප්‍රකාශයක් තිබිලා. මෙන්න යාලුවෙක් එවලා. ප්ලේ කරපු ගමන් අගමැති නෙමෙයි. කෙල්ලෙක් කෑගහන්නෙ. ඇඬෙනවනෙ පිංවත තනි ඇහැට. දැන් ඉතිං එළියෙ ඉන්න උන් හිතං ඉන්නෙ මං ඇතුළෙ ඉඳන් වැල බැලුව කියල. එළියට යන්න ලැජ්ජයි. ගිය වෙලේ ඉඳන් එක එකා හිනා​ වෙන හැටි මැවිලා පේනවා.

 

7. අතේපත්තු

Image Source – youtube.com

මෙවුවත් ඉතිං චූ කේස්. මෙවුවට චූ කේස් කියල කියන්නෙ ඇත්තටමයි. ඔන්න නොසිතූ විරූ ලෙස බිඩේ ෂවර් එක නොදැනිම එබිලා එහායින් ගලවලා තියෙන කලිසම තෙමෙනව. එහෙමත් නැත්තං වොෂ් බේසින් එකට හේත්තු වෙද්දි වතුර ගෑවෙනව. හයියෝ සංසාරෙ එළියට ආපු වෙලේ ඉඳන් හැම එකාම අහන්නෙ මොකෝ බං තාමත් කලිසමේ චූ කරගන්නෙ කියල. නිකංද මහත්තයො මෙවුවට චූ කේස් කියල කිවුවෙ. වනේ වන හතුරෙකුට වෙන්න හොඳ නෑ මෙහෙම දේවල්.

Cover Image Source – youtube.com/ funnyjunk.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *