අවුරුද්දකට වැඩිම නිවාඩු සෙට් වෙන රටවල්

නිවාඩු! මොන තරම් සුන්දර වචනයක් ද! මොන තරම් සුන්දර හැඟීමක් ද! ඒ හැඟීමේ ගිලි ගිලී පීනන්න පුළුවන් රටවල් සෙට් එකක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ලෝකයේ වැඩියෙන්ම මහජන නිවාඩු දිනයන් තියන රටවල් ගැන. මේ සම්බන්ධයෙන් අනුපිළිවෙලක් හොයාගන්න හොඳම තැන වුණේ worldatlas කියන වෙබ් අඩවිය. මේ වගේ ලෝකයේ අනෙක් රටවල් සම්බන්ධයෙන් තතු දැනගන්න හොඳම වෙබ් අඩවියක් ඒක. ඒකට අනුව වැඩියෙන්ම නිවාඩු ආතල් එක ගන්න රටවල් අනුපිළිවෙලින් එන්නේ මෙහෙමයි. මේකට ඉන්දියන් සාගරයේ මුතු ඇටයත් අයිතියි ඕන්.

 

1. ජපානය

Image Source – lonelyplanet.com

ජපානයත් එක්ක හත්වෙනි ස්ථානයේ ලිතුවේනියාව, මැලේසියාව, ආර්ජන්ටිනාව සහ ස්වීඩනය රැඳී ඉන්නවා. ජපානයේ ඉන්නේ කාර්යක්ෂම මිනිස්සුනේ. ඉතින් එයාලට ඇයි අවුරුද්දටම නිවාඩු 15ක්! ජපන්නු වැඩ කරන පැය ගණන අපිට හිතන්න අමාරුයි. එහෙව් එකේ නිවාඩු 15ක් ගත්තට මුකුත් වෙන්නේ නැහැ. අනික සංස්කෘතියට ආදරය කරන ජනතාවක් ඉන්න රටක් විදියට මේ හැම නිවාඩුවකම තියන විවිධත්වය විඳගන්න එක ජපනුන්ට ප්‍රශ්නෙකුත් නෙවෙයි. ජපන් අවුරුද්දේ  ඉස්සෙල්ලාම තියෙන නිවාඩුව තමයි ෂෝවා දිනය (අප්‍රේල් 29). ෂෝවා අධිරාජ්‍යයාගේ උපන්දිනය සිහි කිරීම තමයි මෙදාට කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිහි කරන්නත් දිනයක් එහෙ තියෙනවා ආයුබෝවන්ඩ. එසේ මෙසේ එකක් නෙවෙයි නිවාඩු දිනයක් (මැයි 03). අපි නම් රටක් වශයෙන් ඒක හැමදාමත් සිහි කරනවනේ. පරිසරයට තදින් ආදරය කරන පිරිසක් විදියට හරිත දිනය (මැයි 04), සමුදුරු දිනය (ජූලි මාසයේ තෙවන සඳුදා) සහ කඳු දිනය (අගෝස්තු 11) වගේ නිවාඩු දින කීපයකුත් ලබා දීලා තියනවා. හරිත දිනයේ දී සමහර උද්‍යාන අය කිරීමක් කරන්නේ නැහැ. සමුදුරු දිනයේ දී ඉරට නමස්කාර කරන පුද්ගලයන්ගෙන් ජපානයේ වෙරළවල් වැහෙනවා. මේ දේවලට අමතරව ළමා දිනයක්, වැඩිහිටියන් සැමරීමේ දිනයක්, කම්කරුවන්ට ස්තූතිවන්ත වීමේ දිනයකුත් තියෙනවා. අලුත් අවුරුද්දේ ජනවාරි 01වැනි දා කියන්නෙත් ජප්පෝ ෆුල් ආතල් එකේ නිවාඩු සැපය විඳින දවසක්.

 

2. තායිලන්තය

Image Source – intrepidtravel.com

තායිලන්තයත් එක්ක හයවැනි ස්ථානයේ රැඳෙන්නේ තුර්කියයි පාකිස්තානයයි. අවුරුද්දක් පුරාවට පොදු නිවාඩු 16ක් ම තියනවා. බෞද්ධ රටක් වන තායිලන්තයේ මහා පූජා නමින් දිනයක්  (තෙවන චන්ද්‍ර මාසය) පැවැත්වෙනවා. ඊට අමතරව අපි වෙසක් උත්සවය වශයෙන් සමරන දේ විසාක පූජා (අප්‍රේල් 13-15) යන නාමයෙන් තායිලන්ත වැසියන් සමරනවා. කම්කරු දිනය (මැයි 01) වගේම ජපන්නු වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් බැතියෙන් සිහි කරන්න නිවාඩු දවසක් (දෙසැම්බර් 10) වැටිලා තියනවා. අලුත් අවුරුදු සැමරීමේ දී බටහිර අලුත් අවුරුද්ද (දෙසැම්බර් 31-ජනවාරි 01) සහ තායිලන්ත අලුත් අවුරුද්ද (අප්‍රේල් 13-15) සැමරීම වශයෙන් අලුත් අවුරුද්ද පිළිගන්නා දවස් දෙකක් තියනවා. බටහිර සිද්ධියේ දී පන්සල්වලට ගිහින් මුළු ලෝකයටම අලුත් අවුරුදු උදාව යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තායි අලුත් අවුරුද්ද හෙන ආතල්. එදාට මිනිස්සුන්ට විනෝද වෙන්න පැරේඩ් එහෙමත් තියෙනවා. විශේෂයෙන්ම වතුර එක්ක බැඳෙන දවසක්. එදාට තායිලන්තයේ පාර තොටක යනවා කියන්නේ වතුර පාරක් කන්න පුළුවන් කියන එකයි.

 

3. චීනය

Image Source – carbonbrief.org

චීනයත් එක්ක පස්වැනි ස්ථානයේ ඉන්නේ හොංකොං. පස්ස කැඩුණු කඩි රංචුවක් වගේ වැඩ කරන ජනතාවක් ඉන්න රටක නිවාඩු 17ක් තියෙන්න පුළුවන්. මොකද ඔය 17 වගේ මහා විශාල ගුණයක මිනිස් පැයවලින් ඒ රටේ මිනිස්සු වැඩ කරන නිසා. චීනයේත් ලෝක වාසී හැමෝම සමරන අලුත් අවුරුදු උදාවේ නිවාඩුවක් සෙට් වෙනවා. චීන අලුත් අවුරුද්දටත් ගෙදර තමයි (පළමු චන්ද්‍ර මාසය). සොහොන් පිරිසිදු කිරීමේ උත්සවයක් කියලා එකක් තියනවා. ඒක මළගිය ඇත්තන්ට පින් දෙන්න චීන සංස්කෘතිය හදාගත් දිනයක්. මකර බෝට්ටු දිනය (පස්වන චන්ද්‍ර මාසය) දවස් තුනක් පුරාවට පැවතෙනවා. බෝට්ටු තරඟ රට හැම තැනම. චීන්නු තමන්ගේ රටේ ජාතික දිනය සමරන්න රන් සතිය යන නමින් සතියක් ම වෙන් කරලා තියනවා. රට ඇතුළේ විශාල වශයෙන් සංචාරක කර්මාන්තය ඉහළ යන සතියක් තමයි මේ. ඇයි ඉතින් සතියක ආතල් එක ගන්න රටේ එහා කෙළවරේ ඉඳන් මෙහාට යනකන් පවුල් පිටින් ගමන් බිමන් තමයි.

 

4. කොලොම්බියාව

Image Source – volunteerforever.com

කොලොම්බියාව එක්ක නිවාඩු 18ක හිමිකාරිත්වය පිලිපීනය, ට්‍රිනිඩෑඩ් සහ ටුබෑගෝ දිනාගන්නවා. ලතින් ඇමරිකානු රටක් වන කොලොම්බියාව තමන්ගේ නිවාඩු 18න් 12ක් ම කතෝලික ආගම වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අලුත් අවුරුදු දිනය, කම්කරු දිනය, නිදහස් දිනය වගේ දින කීපයක් ඇරුණාම අනික් හැම දිනයක්ම වගේ ආගමිකත්වය එක්ක බැඳිලා තියනවා. ශාන්ත ජෝසප් දිනය, ශාන්තුවරයන්ගේ දිනය, ශාන්ත පීතර සහ පෝල් වශයෙන් නිවාඩු දෙකකුත් තියෙනවා. ජේසු තුමා සම්බන්ධයෙන් Ascensión del señor සහ Corpus Christi යන නමින් නිවාඩු දවස් දෙකක් තියනවා. මේරි තුමියගේ නාමයට La Asunción යන නමින් නිවාඩු ලැබෙනවා. මේ කතෝලික නිවාඩු සියල්ල පදනම් වෙන්නේ පාස්කු ඉරිදාවට පෙර සහ පසු වශයෙන් දවස් කීයක් තියනවාද කියන දේ මත.

 

5. ඉන්දියාව

Image Source – independent.co.uk

නිවාඩු 21ක් ලබාගෙන තෙවන ස්ථානය හිමි කරගන්නේ ඉන්දියාව සහ කසකස්ථානයයි. ඉන්දියාවේ නිවාඩු අතරින් වැඩිම ප්‍රමාණයක් වෙන් වෙලා තියෙන්නේ හින්දු ආගමික දිනයන් උදෙසායි. නිදහස් දිනය, මහජන දිනය සහ ගාන්ධිතුමන්ගේ උපන්දිනය තමයි ප්‍රධාන නිවාඩු තුන විදියට සැලකෙන්නේ. මහා ශිව රාත්‍රී, හෝලි, හනුමන් ජයන්ති, ගනේෂ් චතුර්ති, දුර්ගා පූජා වගේ හින්දු ආගම සම්බන්ධ නිවාඩු එමටයි. අෂුර දවස ඉස්ලාමික ආගමත් එක්ක සම්බන්ධයි. ජෛන ආගමිකයන්ගේ මහාවීර දිනයත් තියෙනවා. බුද්ධ පූර්ණිම යනුවෙන් හඳුන්වලා ඉන්දියාව සමරන්නේ වෙසක් උත්සවයයි. හුසේන් අලි කියන පාලකයාගේ උපන්දිනය සිහි කරමින් අෂුර දවස සමරන්නේ ඉස්ලාම් භක්තිකයන්. හැම අතින්ම, විශේෂයෙන්ම ජාතීන් අතර විවිධත්වයක් ඇති රටක් විදියට ඒ හැමෝටම නිදහස් දවසක් ලබා දීම රටක් වශයෙන් ලබපු ලොකු ජයග්‍රහණයක්.

 

6. ශ්‍රී ලංකාව

Image Source – intrepidtravel.com

මුතු ඇටයත් මේ ලැයිස්තුවට හොම්බ දාන්නේ දෙවනියට වැඩියෙන්ම නිවාඩු ලබාගන්නා රට විදියටයි. හැම චන්ද්‍ර මාසයකම පෝය දිනයක් ලැබෙනවා. බෞද්ධ පසුබිම විතරක් නෙවෙයි, ලෝකවාසී සියල්ල සමරන හින්දු ආගමේ දීපාවලි, තෛපොංගල් වගේ දවස් නිවාඩු ලබාගෙන සමරනවා. ඒ වගේම තමයි මුස්ලිම් මිත්‍රත්වයට වටලප්පන් නාමයෙන් දෑත් දිගු කරන රාමසාන්, නත්තල් දවස වගේ නිවාඩු ඒ ඒ ආගම්වලට අනුකූලව පැවතෙනවා. කාටත් කරදරයක් නැති මේ අහිංසක දූපත් වැසියෝ අවුරුද්දකට නිවාඩු 25ක් ගන්න එක අඬන්න ඕනි දෙයක් ද හිනා වෙන්න දෙයක් ද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

 

7. කාම්බෝජය

Image Source – intrepidtravel.com

වසරකට නිවාඩු 28ක් අරගෙන ලයිස්තුවේ ඉහළින්ම ඉන්නේ දැන් පුංචි රටක් වන කාම්බෝජය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වගේම ආගමට මුල් තැන දීමෙන් බිහි වුණ නිවාඩු තමයි තියෙන්නේ. කාම්බෝජයේ කැලැන්ඩරය සැකසිලා තියෙන්නේ චන්ද්‍රයාගේ ගමන අනුවයි. කාම්බෝජියාවේ මනුස්ස සංහාරයක් වුණ බව අපි දන්නවා. ඒක සිදු කරපු කෙමාර්ගේ පාලනයෙන් රට මිදුණ දා සිහි කිරීම වස් නිවාඩු ලැබෙනවා. මානව හිමිකම් සම්බන්ධයෙනුත් නිවාඩුවක් දෙන්නේ නිවාඩුත් මානව අයිතිවාසිකමක් කියලා හිතුන නිසා ද දන්නේ නැහැ. සිදුහත් කුමාරයාගේ උපත සිහිපත් කරන ආගමික නිවාඩුවක් තියනවා. දවස් තුනක් වගේ පුරාවට අතීත මුතුන් මිත්තන් සිහිපත් කිරීමේ නිවාඩුවකුත් ලැබෙනවා. කාන්තාවන්ගේ දිනය සම්බන්ධ කරගෙනත් නිවාඩු තමයි ලැබෙන්නේ.

ඇත්තටම රටකට මේ තරම් නිවාඩු අවශ්‍ය ද? එහෙම නම් ඒ ඇයි? එහෙම නැත්නම් ඒත් ඇයි?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *