වයස් පරතරය විවාහයට බාධාවක් කර නොගත්ත ලංකාවේ ප්‍රසිද්ධ චරිත

“මගේ පුංචි රෝස මලේ – මමයි නුඹේ වියපත් බඹරා” මේ සිංදුවෙන් අමරසිරි පීරිස් මහත්තයා කියන්නේ වයසින් වැඩිමහලු පුද්ගලයෙක් ලාබාල තරුණියක් පිළිබඳව ඇති කරගන්න ප්‍රේමයක් ගැන. ඒ තරුණියට ඒ ප්‍රේමය කියාගන්න බැරුව ඒ පුද්ගලයා ලතවෙනවා… මොකද ලංකාවේ ගොඩක් තියෙන්නේ සැමියා සහ බිරිඳ අතර එච්චර පරතරයක් නැති විවාහ. ඒත් අතරින් පතර  දෙන්නා අතර විශාල වයස් පරතර තියෙන විවාහ ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේ විවාහ ගැන සමාජය ඇතුළේ ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. සමහර අවස්ථාවලදී නම් ඒ අවධානය විවාහයට එළඹුණු දෙන්නාගේ පෞද්ගලිකත්වයට බාධාවක් එල්ලවෙන තරමටම දුරදිග යනවා කියලත් කණගාටුවෙන් වුණත් කියන්න ඕන. ඒත් බොහෝ යුවලවල් ඒ වගේ අවස්ථාවලට ආත්මවිශ්වාසයෙන් යුතුව මුහුණ දෙනවා. ටික කාලයක් ගියාට පස්සේ සාමාජයත් ඒ විවාහය තවත් එක සාමාන්‍ය විවාහයක් විදිහට හිතන්න පටන් ගන්නවා. හොඳයි අපි බලමු ලංකාවේ මේ වගේ විවාහ කීපයක් ගැන හොයලා බලලා.

 

1. එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක සහ සිරිමාවෝ රත්වත්තේ

වයස් පරතරය අවුරුදු – 17යි

Image Source – thinkworth.wordpress.com

හොරගොල්ලේ වලව්වේ මහමුදලි තැනගෙ පුතා වුණු සොලමන්ගෙත් මහවලතැන්න රටේ මහත්තයාගේ දුවෙක් වුණු සිරිමාවොගෙත් විවාහය සිද්ධ වෙද්දි ඒ දෙන්නා අතර තිබුණු වයස පරතරය අවුරුදු 17 ක්. සොලමන් පහතරට, සිරිමා උඩරට, සොලමන් උපතින් ඇන්ග්ලිකන් (පස්සේ බුද්ධාගම වැළඳගත්තා) සිරිමාවෝ බෞද්ධ. හැබැයි මේ පරතරයන් කිසිසේත්ම ඒ දෙන්නගේ විවාහයට බාධාවක් වුණේ නෑ. බණ්ඩාරනායක මහත්තයාගේ ඝාතනය සිදුවෙන දවස වෙනකන් ඔවුන් දෙන්නා ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගෙනිච්චා. ඒ වගේම සිරිමාවෝ මැතිනිය තමන්ගේ සැමියාගේ මරණයෙන් පස්සේ ඔහු නිර්මාණය කරපු දේශපාලන පක්ෂයත් රැකගෙන රටටත් නායකත්වය දුන්නා. මේ යුවළගේ දරුවොත් දෙමව්පියන්ගේ අඩි පාරේ ගිහින් ලංකාවේ දේශපාලනයට වැඩි දායකත්වයක් දුන්නා.

 

2. ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා ගුණවර්ධන

වයස් පරතරය – අවුරුදු 15යි

Image Source – films.lk

ඔවුන් දෙදෙනා එක් කෙනෙක් බවට පත් කළේ සිනමාව. ආගම, කුලය, පවුලේ දේශපාලන පසුබිම, භාෂාව වගේ වෙන විවාහවලදි සලකා බැලෙන කිසිම දෙයක්  මේ විවාහයේදී පෑහුනේ නෑ. වයස් පරතරය ගත්තොත් අවුරුදු 16ක්. ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා එතකොට විදේශීය කාන්තාවක් එක්ක තිබ්බ විවාහය බිඳවැටිලා තනිකඩ ජීවිතයකට හුරු වෙමින් හිටියේ. නමුත් සුමිත්‍රා ගුණවර්ධන ලෙස්ටර්ගේ ජීවිතයට ඇවිත් ඒ සියල්ල වෙනස් කළා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ මරණය වෙනකන් ඔහුව ආදර‍යෙන් රැකබලාගත්තේ ඇය විසින්. ලෙස්ටර් මහතාගේ බොහෝ චිත්‍රපටි සඳහා විශාල දායකත්වයක් ඇයගෙන් ලැබුණා වගේම ඇයගේ චිත්‍රපටි සඳහාත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ලොකු ආලෝකයක් සැපයුවා. අපේ කලාත්මක සිනමාව රැකුණේ මේ විවාහය හින්දා කිව්වොත් එක අතකින් වැරදි නෑ.

 

3. තිස්ස අබේසේකර සහ අසංකා මොනරවිල

වයස් පරතරය – අවුරුදු 16ක්

Image Source – fragmenteyes.blogspot.com

තිස්ස අබේසේකර කියන්නේ අපේ රටෙන් බිහිවුණු විශිෂ්ට විද්වතෙක්. එතුමා වැඩිම දායකත්වයක් ලබාදීලා තියෙන්නේ සිනමාවට. “විරාගය” එතුමාගේ විශිෂ්ටතම නිර්මාණය. ඒ වගේම “අයාලයේ ගිය සිතක සටහන්”, “Bringing Tonny Home” වගේ පොතපත ලියපු අද්විතීය ලේඛකයෙක් සහ ජාතික චිත්‍රපටි සංස්ථාවට නව ජීවයක් දුන්න දක්ෂ පරිපාලකවරයෙක්. තිස්ස අබේසේකර මහත්තයාගෙත් පළමු සහ දෙවෙනි විවාහ විවිධ හේතුන් නිසා බිඳ වැටෙනවා. ඒ කාලේදි තිස්සට මුණ ගැහෙනවා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටිවල රඟපාන්න ආපු තරුණියක්ව. ඒ අසංකා මොණරවිල. ඔවුන් අතර විශාල වයස් පරතරයක් තිබුණා. නමුත් අසංකා තිස්සගේ ජීවිතයට යළිත් ආලෝකයක් ගේනවා. ඒ විවාහයෙන් දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. තිස්ස තමන්ගේ පොත්වලදී  අසංකා ගැන කියන්නේ ” මාතෘ භාර්යාවක්” කියලා.

 

4. එදිරිවීර සරච්චන්ද්‍ර සහ ලලිතා ස්වර්ණා පෙරේරා

වයස් පරතරය – අවුරුදු 30යි

Image Source – ft.lk/cmb.ac.lk

ලලිතා සරච්චන්ද්‍රව මුණ ගැහෙද්දි එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයගේ පළමු විවාහයේ දියණියට දරුවොත් ලැබිලා. නමුත් සරච්චන්ද්‍ර මහත්තයාගේ කලාකාමී හිත නැවතෙන්නේ ලලිතා ස්වර්ණා පෙරේරා ගාව. ඊට පස්සේ සරච්චන්ද්‍ර මහත්තයාගේ මරණය දක්වා ජීවිතය පුරාවට හෙවණැල්ලක් වගේ ඉන්නේ ලලිතා. එතුමා තානාපතිවර‍යෙක් විදිහට ප්‍රංශයේ සේවය කරපු කාලය ඇගේ ජීවිතයේ දුෂ්කරම කාලය විදිහට ඇය හඳුන්වන්නේ. ඇය කියන්නේ තානාපති බිරිඳකගේ භූමිකාව නිරූපණය කරන්න සෑහෙන්න අමාරු වුණා කියලා. ඒ විවාහයෙන් ඔවුන්ට දරුවන් තුන් දෙනෙක් ලැබෙනවා. ඔවුනුත් කලා ක්ෂේත්‍රයට විවිධ අයුරින් සම්බන්ධ වෙලා තියෙනවා. ලලිතා තාමත් සරච්චන්ද්‍ර මහත්තයාගේ නිර්මාණ ආරක්ෂා කරගනිමින්, සමහර වෙලාවට ඒ වෙනුවෙන් සටන් කරමින් ඉන්නවා.

 

5. ජයසේකර අපෝන්සු සහ සුජාතා ප්‍රියදර්ශනී

වයස් පරතරය – අවුරුදු 42යි

Image Source – lankatarget.com

පහුගිය දවස්වල ගොසිප් පිටුවල ලැව් ගින්නක් වගේ පැතිරුණු පුවතක් වුණේ 67 හැවිරිදි ජයසේකර අපෝන්සු 25 හැවිරිදි තරුණියක් එක්ක විවාහ වුණා කියන එක. ජයසේකර අපෝන්සු මහත්තයා දක්ෂ නළුවෙක්. “තටු”, “ගිජු” සහ “පාතාලයේ සොල්දාදුවෝ” වගේ නිර්මාණ බිහිවුණේ එතුමා අතින්. කලින් විවාහ කීපයක් බිඳ වැටීම නිසා සිත් තැවුලෙන් හිටපු අවස්ථාවක තමයි අපෝන්සු මහත්තයට සුජාතාගේ ආදරය ලැබෙන්නේ. ඒ ආදරය නිසා තමන්ට ජීවිතය අලුතෙන් පටන් ගන්න පුළුවන් වුණා කියලා තමයි ජයසේකර අපෝන්සු මහත්තයා කියන්නේ.

 

6. වික්ටර් රත්නායක සහ හෂිනි රත්නායක

වයස් පරතරය – අවුරුදු 42යි

Image Source – frontpage.lk

මේ විවාහය තරම් මුලු ලංකාවම කලඹවපු වෙන විවාහයක් පහුගිය දශකේ ඇතුළත් වුණේ නැතුව ඇති. තමන්ගේ පළවෙනි බිරිඳගේ මරණයෙන් පස්සේ සෑහෙන්න කාලයක් වික්ටර් රත්නායක මහත්තයා හුදෙකලා ජීවිතයක් ගෙනිච්චා. ප්‍රසංගයකදි මුණු ගැහුණු හෂිනි ඒ හුදකලාවට තිත තැබුවා. ඒත් වික්ටර් මහත්තයාගේ පළමු විවාහයේ දරුවෝ වගේම සමාජයේ බොහෝ දෙනා ඒ විවාහයට දැඩි විරෝධයක් දැක්වුවා. සමහර පීචං මියුසික් වීඩියෝකාරයෝ ඒ සිද්ධියෙනුත් හම්බ කරන්න හැදුවා. කොහොම වුණත් මේ හැම බාධාවකට කිසිම ගාණක් නැතුව මුහුණ දුන්න ඒ දෙන්නා දැන් පාඩුවේ තමන්ගේ විවාහ ජීවිතය ගෙනියනවා

 

7. පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන

වයස් පරතරය – අවුරුදු 13යි

Image Source – srilankamirror.com

පුබුදු කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. මාෂිගේ පාසල් පැවැත්වුණු උත්සවයක ආරාධිතයා විදිහට පුබුදු ආපු එකෙන් ඇරඹෙන හිතවත්කම අවුරුදු හතරක ආදරයක් බවට පත්වෙලා නතරවෙන්නේ විවාහයකින්. වයස් පරතරය විවාහයට කිසිම බාධාවක් නෙමෙයි කියන එක පුබුදු සහ මාෂිත් ඔප්පු කරලා තියෙනවා. හැබැයි බැලූ බැල්මට මේ දෙන්නා අතර වයස් පරතරය නම් ලොකුවට පේන්නේ නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *