ලෝකේ වටේ යද්දි පාස්පෝට් එකයි, වීසා එකයි, මුදලුයි විතරක් තිබුනාට මදි. රට රටවල නීති රීති ගැනත් යම් දැනුමක් තියෙන එක වටිනවා. අපේ ආසියාතික රටවලට වඩා බටහිර රටවල නීති වෙනස්. නීති විතරක් නෙමෙයි, සමහර රටවල වාහන ඩ්‍රයිව් කරන පැත්ත පවා වෙනස්. ඉතින් මේ ලෝකේ රටවල් සමහරක අරුම පුදුම නීති රීති තියෙනවා. අපි එයින් කිහිපයක් ගැන දැනකියාගමු.
1. සිංගප්පූරුවේ චුයින්ගම් තහනම
සිංගප්පූරුව කියන්නේ අපිට යන්න තියෙන ළඟම රටක්. පෑ තුන හතරකින් අපිට ගුවනින් සිංගප්පූරුව වෙත ළඟාවෙන්නට අවස්ථාව තියෙනවා. යුරෝපීය රටක් වගේ ඉංගිරිසි වලින් වැඩ කරන සිංගප්පූරුවේ නීති රීති සහ පසුබිම සංවර්ධිත රටක් වගේ. ඒ රටේ චුයින්ගම් කන්න නම් තහනම්. මේ තහනම එන්නේ 1992 දී. පොඩි ඉඩක පිහිටා තියෙන සිංගප්පූරුවට කැලි කසල ප්‍රශ්නයක්. ඇලිලා ගැලවෙන්නේ නැති චුයින්ගම් පාරෙ යන අයට වගේම පොදු ප්‍රවාහනයටත් බාධාවක්. චුයින්ගම් තහනම එන්න පෙර චුයින්ගම් ඉවත් කරන්න ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වඩා මුදලක් සිංගප්පූරුවට වියදම් වෙලා තියෙනවා.
2. අරක්කු සහ වල් කතා රැගෙන යෑම – මාලදිවයින
අපිට ආසන්නව පිහිටි ලෝකයේ ඉහළ පෙළේ ධනවතුන් මධුසමය ගත කරන්න යොදාගන්න තැනක් තමයි මාලදිවයින. මාලදිවයිනේ ගුවන් තොටින් ඇතුල්වෙද්දි සෙක්ස් ටෝයිස්, ඇල්කොහොල් බීම වගේම ලිංගිකමය කාරණා ඇතුළත් පත පොත පවා තිබුනොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මාලදිවයින මුස්ලිම් රටක්. සෑම බෑගයක්ම අවුස්සලා මාලදිවයින් එයාපෝට් එකේදි බලන්නේ නැහැ. ඒත් ඉතින් අනවශ්‍ය කරදර දාගන්න එක තේරුමක් නැති නිසා පෝන් මැගසින් හෝ ඩීවීඩී ටිකයි, අරක්කු සහ බියර් වගේ ඒවායි ගෙනියන්න ඉන්නවා නම් ඒව ගෙදර දාලා මාලේ යන එක කෝකටත් හොඳයි.
3. අඩි උස සපත්තු – ග්‍රීසිය
ග්‍රීසිය කියන්නේ පුරාවිද්‍යා ස්මාරක තිබෙන බොහොම පැරණි නගරයක්. මේ නගරයේ තිබෙන පුරාවිද්‍යා ස්මාරක ගැන හිතපු ඒ රටේ බලධාරීන් අපූරු නීතියක් පනවලා තියෙනවා. කාන්තාවන්ට හයි හීල්ස් එහෙම නැත්නම් අඩි උස සපත්තු පාවිච්චි කරන්න ග්‍රීසියෙදි ඉඩක් නැහැ. ග්‍රීසියේ පෞරාණික නටඹුන් ආශ්‍රිතව අඩි උස සපත්තු දැමීම තහනම්.
4. ජර්මනියේ වාහන තෙල් නීතිය
ජර්මනියේ තිබෙන අධිවේගී මාර්ග ජාලය හඳුන්වන්නේ ඔටෝබාන් නමින්. ලංකාවේ වගේ ජර්මනියේ හයිවේ එකේ හයි ස්පීඩ් ලිමිට් එකක් නැහැ. එයාල ඒ වුනාට දැනුවත් කිරීම් කරලා තියෙනවා පැයට කිලෝමීටර 130කට වඩා ධාවනය අනතුරුදායකයි කියලා. ඒත් 130ට වැඩි උනා කියලා පොලීසිය අල්ලලා දඬුවම් කරන්නේ නැහැ. ජර්මන් ඔටෝබාන් නෙට්වර්ක් එකේ තෙල් නැතුව ගිහින් නැවතුනොත් ඒක සලකන්නේ වැරැද්දක් විදියට. තෙල් නැතුව ගිහින් ලොකු කට්ටක් කන්න වෙනවා වගේම, ජර්මනියේ හයිවේ නෙට්වර්ක් එකේදි ලොකු දඩයකට ලක් වෙන්නත් වෙනවා.
5. තායිලන්තයේ මුදල් නීති
තායිලන්තයේ තවමත් රාජ නීතිය යම් තරමකින් තියෙනවා. තායිලන්තයේදී රජතුමාට විරුද්ධව කතාකිරීම ඒ රටේදි සිරදඬුවම් විඳින්නට හේතුවක් වෙනවා. ඒ වගේම තායි වලදී තායි මුදල් නෝට්ටු වල ඉන්නේ රජතුමා හෝ කුමාරයා. ඒ මුදල් නෝට්ටු බිම දමා පෑගීමත් දඬුවම් ලැබිය හැකි දැඩි වැරැද්දක් වෙනවා තායිලන්තයේදී.
6. පාර්ලිමේන්තුවේ මරණයට පත් වීම – එංගලන්තය
අපේ රටේ පාර්ලිමේන්තුවේ නම් ගහ මරා ගැනීම කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. පහුගිය දවස්වලත් අපේ පාර්ලිමේන්තු සභා වාරය වතුර බෝතල්, මිරිස්කුඩු සහ පුටු සටන් වලින් වර්ණවත් වුනා. එංගලන්තයේ පාර්ලිමේන්තුවේ කාටවත් මැරෙන්න තහනම්. මොකද පාර්ලිමේන්තුවේ කවුරුහරි වැරදිලාවත් මැරුණොත් රටේම ශෝක දිනයක් ප්රකාශයට පත් කරන්නට වෙනවා. ඒ නිසා එංගලන්ත පාර්ලිමේන්තුව මැරෙන්න තහනම් කලාපයක් විදියට නම් කරලා තියෙනවා.
7. පෘතුගාලයේ මුත්‍රා නීතිය
මුහුදු වෙරළ බොහොම සුන්දර තැනක් වුනත් තාමත් අපේ රටෙත් සමහර පළාත්වල ජනයා වැසිකිළිය විදියට මුහුද යොදාගන්නවා. එය වෙරළට යන අයට අප්රසන්න අත්දැකීමක්. පෘතුගාලයේදී වෙරළ විතරක් නෙමෙයි, මුහුදේදීත් මුත්‍රා කරන්න තහනම්. ඇත්තටම මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා නම් වාර්තා වෙන්නේ නැහැ. ඒත් ඔන්න මූදේ චූ කරලා අහුවුනොත් පෘතුගාලේ නම් හිරේ යන්න වෙනවා.
8. බාර්සිලෝනාවේ කෙළ ගැසීම
කෙළ ගැසීම කියන්නේ තරමක් අප්රසන්න දෙයක්. දියුණු රටවල නගරවල කෙළ ගහන මිනිස්සු දකින්නට අඩුයි. ඒ වුනාට ඉන්දියාවේ එහෙම නම් කෙළ ගහන මිනිස්සු ඕනි තරම් දකින්න ලැබෙනවා නගර වල. සිංගප්පූරු නගරයෙත් කෙළ ගැසීම ගැන තරමක් තද නීති තියෙනවා. ස්පාඤ්ඤයේ බාර්සිලෝනාවේ මහාමාර්ගයේ කෙළ ගැහුවොත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා.
9. හෙඩ්ලයිට් නැතිව ධාවනය තහනම් ඩෙන්මාර්කය
ඩෙන්මාර්කයේ රෑ දාවල් නැතුව හැම තිස්සේම වාහන යන්නේ හෙඩ් ලයිට් දාගෙන. අපේ රටෙත් යතුරුපැදිකරුවන් හඳුනා ගැනීම සඳහා මෙම හෙඩ් ලයිට් ක්‍රමය ගෙන එන්නට කාලයක් කතා බහ වුනා. වාර්තා වෙන විදියට ඩෙන්මාර්කයේ වාහන ධාවනයේදී හෙඩ් ලයිට් එක ඔන් එකේ තියන් ධාවනය කිරීම අනිවාර්යයයි.
10. දූරියන් ගෙනියන්න බැරි තැන්
දූරියන් කියන්නේ පට්ට ගඳ පළතුරක් සමහර අයට. තවත් අයට ඒක මිහිරි සුවඳක්. කොහොම වුනත් මේ ගඳ දූරියන් මැලේසියාවේ, ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළ වලට ගෙනියන්න තහනම්. ඒ වගේම ටැක්සි සේවා, හෝටල, බස් නැවතුම් ආදී සමහර පොදු ස්ථාන ගණනාවකම මේ දුරියන් ගෙනයෑම තහනම් කරලා තියෙනවා. මැලේසියාවේ, ඉන්දුනීසියාවේ යනවා නම්, දුරියන් කාලා යනවා මිසක තැන තැන ගෙනියන එකනම් නුවණට හුරු නැහැ.
ලංකාව ගත්තොත් පෝයදාට සහ නිවාඩු දවසට බාර් වහලා තියෙන එක විදේශිකයන්ට අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම රට බීම තැන තැන ගෙනයෑමටත් දැඩි නීති රීති තියෙනවා. ලංකාවෙ සිද්ධස්ථාන බලන්න යද්දි විදේශිකයින්ට සංවර ඇඳුම් ඇඳන් යන්නට වෙනවා. ආසියාතික පසුබිම නිසා මෙහි ප්‍රසිද්ධියේ පෙමින් වෙලී සිපගැනීම් වගේ දේවල් එතරම්ම සුදුසු වෙන්නේ නැහැ. ඒ දේවල් ගැන දැනගෙන තමයි ගොඩක් විදේශිකයින් ලංකාවට එන්නේ. රටකට ගියාම ඒ රටේ නීති රීති සහ පොදු සිරිත් ආදියට අපි ගරු කරන්න ඕනා. එතකොට අපිට ඒ රටේ මිනිස්සුත් එක්ක සුහද වෙලා රට තොට බලාගෙන යහතින් ගෙදර එන්නට පුළුවන්කම ලැබෙනවා.
Leave a Reply