ලස්සන හෝ කඩවසම් බව වෘත්තීයමය ජීවිතයේදී කොල්ලෙකුට ඇති කරන ප්‍රශ්න

කෙල්ලෙක් ලස්සනයිනං ඔෆිස් එකේදි හොඳ තැනක් හම්බෙනව කියල කතාවට කිවුවට ලස්සන කෙල්ලො දන්නවා ඒ නිසා තියෙන කට්ට. හැබැයි කවුරුවත් ඔය වැඩේ කොල්ලෙකුගෙ සපත්තු දෙකට බැහැලා හිතන්නෙ නෑ. උදාහරණෙකට කිවුවොත් කඩවසම් ලස්සන කොල්ලෙක් දැකපු ගමන් කට්ටිය කියන්නෙ හප්පා මූට නං යන යන තැන කෙල්ලො සෙට් වෙනවා ඇති කියලනෙ. කොල්ලෙකුගෙ පැත්තෙන් ගත්තොත් ඒක වාසියක් තමයි. හැබැයි වෘත්තීයමය ජීවිතයෙදි ඔය ලස්සන සහ කඩවසම් බව කොල්ලෙකුට වාතයක් වෙන තත්ත්වයකුත් ඇතිවෙන්න පුළුවන්. අපි එහෙම කියන්නෙ ඇයි කියල හිතුනානං ඒ ගැනයි මේ සටහන.

 

1. කැපිල්ල

Image Source – depositphotos.com

කැපිල්ල කොයි ඔෆිස් එකෙත් තියෙනවා. මේ කියන කැපිල්ල විශේෂයෙන්ම සිද්ධ වෙන්නෙ පිරිමි බොස්ලාගෙන්. දැන් ඉතිං ඔය ෂෝයි කියලා හිතාගෙන ඉන්න කොයි බොසුත් කාර්යාලීය ආඥාදායකත්වය තමන්ට ලැබුනට පස්සෙ ඔෆිස් එකේ ගෑණු ළමයි ගැන වැඩි සැළකිලි දක්වන්න ගන්නවා. දැන් ඔන්න ඔහොම වැඩි සැළකිලි දක්ව දක්ව ඉන්න අතරෙ බොසාට පේනව ඔෆිස් එකේ කෙල්ලො හැමෝම එක බඹරෙක් ගාවට නිතර ඇදෙන විත්තිය. ලොක්කා ඒකට මල්වලට දඬුවම් කරන්නෙ නෑ. එයා දඬුවම් කරන්න වැඩිපුරම ඉඩ තියෙන්නෙ බඹරට. අනේ ඉතිං ඔන්න ඕක දැනගෙනයි අපි ලස්සන උනේ නැත්තෙ.

 

2. ඉරිසියාවල්

Image Source – paramountnetwork.com

ඔවු මේ කියන ඒවා රුසියාවටත් ලොකුයි තමයි. ඔෆිස් එකේදි කොල්ලෙකුට කොච්චර ප්‍රශ්න තිබුනත් ඒවා අමතක කරලා ඉන්න පුළුවන් වෙන්නෙ කතාබහ කරලා ෆිට් එකේ වැඩ කරගෙන යන්න, හවසට ප්ලේන්ටියක් ගහන්න, මාසෙ අග අඩියක් ගහන්න යාලුවො සෙට් එකක් ඉන්නවනං තමයි. හැබැයි ඉතිං ඔය කියන යාලුවො ටිකත් මූණට හොරා තමුන්ට ඉරිසියා කරනවානං තත්ත්වෙ ටිකක් භයානකයි නේද? ලස්සන කඩවසම් කොල්ලෙකුට ඒක එහෙම වෙන්න පුළුවන්. ඔෆිස් එකේ හැම කෙල්ලම කැමති මූට, කෙල්ලො ඔක්කොම යන්න දඟලන්නෙ මුගෙ කාර් එකේ වගේ ප්‍රශ්න හිතට නැගෙද්දි නොදැනුවත්වම වුනත් ඉරිසියාකාරකං සිද්ධ වෙන්න පුළුවන්.

 

3. වාත වීම්

Image Source – warrentontrails.org

ලස්සන කොල්ලෙක් වටේ ලවු සීන් එකටම නැතත්, සහෝදර ප්‍රේමය පතාගෙන හරි ගෑණු ළමයි ටොයිං ටොයිං වෙන එක සාමාන්‍ය සිද්ධියක්. හැබැයි ඉතිං කොල්ලෙක් එක්ක කතා කර කර වැඩක් කරනවා වගේ කෙල්ලෙක් එක්ක කතා කර කර වැඩක් කරන එක ලේසි නැහැ. මොකද එයාගෙ සායෙ තියෙන දම්පාට ගැන කතාව ඉවරවෙන්නෙ ලෝකෙ පළවෙනි ලැවැන්ඩර් මලෙන් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා කෙල්ලො වට කරගෙන රස්සාවක් කරන එක මාර වාතයි. වැඩ කරගන්න අමාරුයි. වෙලා ගතවෙනවා වැඩියි. ඒක ඉතිං සෘජුවම වෘත්තිය ජීවිතයට ප්‍රශ්නයක්.

 

4. කටකතා

Image Source – wikihow.com

ඔන්න ඕකත් කොල්ලෙකුගෙ හිත හොඳටම තැලෙන දෙයක්. නිකමට හිතන්න ඔෆිස් එකේ ඉන්නෙ බොසියෙක් කියලා. ඉතිං කොල්ලා කොච්චර හොඳට වැඩ කළත් අවුරුද්දෙ අන්තිමට ඉන්ක්‍රිමන්ට් එක වැඩිවෙච්ච ගමන් කට්ටිය හිතන්නෙ මූව ඇඳට ගන්න බලාගෙන දීපු ඉන්ක්‍රිමන්ට් එකක් කියලා. එහෙමත් නැත්තං මූ ඇඳේදි දිනාගත්තු ඉන්ක්‍රිමන්ට් එකක් කියලා. ඔෆිස් දවසක නිවාඩුවක් අරගෙන එදාටම වෙනිං කෙල්ලෙකුත් නිවාඩු ගියොත් පහුවදාට එද්දි දෙන්නට කටකතාවක් හැදිලා ඉවරයි. කොටිම්ම නිවාඩු දාපු කෙල්ලත් ඒ කතාවට උඩගෙඩි දීලා ඉවරයි.

 

5. මගුල්

Image Source – picfair.com

මගුල් කියලා කිවුවෙ විවාහ මංගලෝත්සව එහෙම නෙමෙයි. මේ කියන්නෙ ඔෆිස් එකේ ප්‍රසන්ටේෂන් මගුල් වගේ දේවල්. ක්ලයන්ට්ලව හම්බෙන්න යවන්නෙ ලස්සන කොල්ලව. චෙයාමන්ට මාල දාන්න යවන්නෙ හැන්ඩ්සම් කොල්ලව. ඇමතිට ඔෆිස් එක ගැන විස්තර කරන්න යවන්නෙත් ලස්සන කොල්ලව. ඔෆිස් එකේ කැලැන්ඩරේට කස්ටමර් කෙනෙක් විදියට ටයි කෝට්  දාලා ඉන්න වෙන්නෙත් ලස්සන කොල්ලට. ඔය වගේ හැම මගුලම ලස්සන කොල්ලට. ඉතිං තමුන්ගෙ මූණටම ඇසිඩ් ගහගන්න හිතෙනව ඔහොම වුනාම.

 

6. බලපෑම්

Image Source – 123rf.com

ගැහැණු බොසියෙක් හිටියොත් ඉතිං අපි කලින් කටකතාවට කියපු බලපෑම ඇත්තටම වෙන්නත් පුළුවන්. අනික පිරිමින්වනං බොරුව දදා රවට්ටගෙන ඉන්න පුළුවන් වුනත් ගෑණුන්ව රවට්ටන්න බැරි විත්තිය කසාද බැඳපු පිරිමි හොඳටම දන්නව ඇතිනෙ. ඉතිං චුට්ටක් විතර නෝටි වුමන් කෙනෙක් බොසී වෙලා හිටියොත් කොල්ලට ඔෆිස් එකට වඩා වැඩ නොදැනුවත්වම පටවන්න එයාට හැකියාව තියෙනවා. ඒ වගේම පිරිමින්ට වඩා නරක විදියට එලව එලවා පලිගැනීමේ හැකියාවත් තියෙන නිසා රස්සාවද ඇඟද කියන තෝරාගැනීම කරන්න වෙන මට්ටමට අසරණ වෙන්න පිරිමින්ට සිද්ධ වෙනවා.

 

7. සමනල් හැඟුමන්

Image Source – hollywoodreporter.com

මේක වෘත්තීයමය ජීවිතයෙදි විතරක් එකක් නෙමෙයි. මේක ලස්සන සහ කඩවසම් කොල්ලෙකුට පාර තොටකදි වුනත් එන්න පුළුවන් නරක යෝජනාවක්. ඒත් ඔෆිස් පොලිටික්ස් ඇතුළෙදි මේක දිරවගන්න අමාරුයි. නිකමට හිතන්න අර මුලින් ඔෆිස් එක පෙන්නන්න ගිය ඇමති හෝ ඔෆිස් එකට දිනාගත යුතුම ක්ලයන්ට් කෙනෙක් සමලිංගික ඇසුරක් ප්‍රිය කරන කෙනෙක් කියලා. එහෙම වුනොත් ඔෆිස් එක සේවකයෙක්ව බිලිදෙන්න දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම වෙලාවක් පස්සට ලෑල්ලක් තියාගෙන දුවලා ඇවිත් වෙනිං රස්සාවක් සොයාගනු මැනවි. ඉතිං හිතන්න පිංවත කොල්ලෙක් ලස්සන වීම කොච්චර කරුමයක්ද?

 

Cover Image Source – lawpracticetoday.org/ twitter.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *