ඩොලරයට සාපේක්ෂව හොඳටම මුදල් බාල්දු වී ඇති රටවල්

“සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි, දෙයියො කොහොම මැව්වද සල්ලි” කිව්වට සල්ලි කියන්නේ දෙයියෝ මවපු දෙයක් නෙමෙයි. සෑම ලංකාවේ සල්ලි කොළයකම නිකුත් කරන අවස්ථාවේ හිටපු මුදල් ඇමතිතුමාගෙත්, මහබැංකු අධිපතිතුමාගෙත් අත්සන් සඳහන් වෙනවා. ඒ අනුව ඒවා මහබැංකුවෙන් නිකුත් කළ මුදල් බව අපි හැමෝම දන්නවා. “මේ ඉස්සර අපි පාන් රාත්තල සත 3ට ගත්තා. කොළඹ ගිහින් ආවේ රුපියල් දෙකට” කියලා අපේ සීයලා කියනවා. ඒ කාලේ සල්ලි වල අගේ වැඩියි.

සරලව කිව්වොත් අපි අද සීනි කිලෝවක් ගන්න රුපියල් සීයක් විතර වියදම් කරන්නට ඕනි. ඒත් මීට අවුරුදු විස්සකට තිහකට විතර ඉස්සර සීනි කිලෝවක මිල රුපියල් 50කටත් අඩුයි. ඒ කියන්නේ අපි බඩුවකට ගෙවන්න ඕනි මුදල් ගාණ එන්න එන්න වැඩිවෙලා. ලංකාවේ වගේම ලෝකේ ගොඩක් රටවල් මුහුණ පාන ගැටළුවක් තමයි සල්ලි වල අගය අඩුවීම. අපි එහෙම සල්ලි වල අගේ අඩුවුණු රටවල් ටිකක් ගැන සොයා බලමු.

 

1. ඉරානයේ රියාල්

Image Source – sputniknews.com

ලංකාවේ උමා ඔය ව්‍යාපෘතියට ඉරානය දායක වෙලා තියෙනවා. ඉරානය කියන්නේ ලෝකෙන් කොන් වුණු රටක්. ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සහ හිතුවක්කාර හැසිරීම නිසා ලෝකෙන් කොන් වෙලා. ඒ නිසා ඉරානයට සම්බාධක වැටිලයි තියෙන්නේ. ඉරානයට රට සල්ලි ඔන්ලයින් හරි වෙන ක්‍රමයකින් හරි යවන්න අමාරුයි. ඉතින් ලංකාවේ වැඩ කළ ඉරාන ජාතිකයින්ගේ මුදල් යවන්න වෙන්නේ ගුවන් තොටුපළ හරහා ඩොලර් වශයෙන්. මෙහෙම ඉරාන ජාතිකයින්ට මුදල් යැවීම ගැන පසුගිය දවස්වල කතාබහත් ඇති වුනා. මේ විදිහට විදේශ රටවලින් නොසලකා හැරීම නිසා ඉරානයේදී එක් අමෙරිකානු ඩොලරයක් ඉරේනියන් රියාල් 42,515ක් පමණ වෙනවා.

 

2. වියට්නාම ඩොන්ග්

Image Source – worthpoint.com

හෝ චී මින් හිටිය කාලේ වියට්නාමය ඇමරිකාව එක්ක යුද්ධයක් තිබුනා. ඒ නිසා ඇතිවුන තත්ත්වයත් එක්ක වියට්නාමය ආර්ථික අර්බුදයකට ලක්වුණා. වියට්නාමයේ දී ඇමරිකානු ඩොලරයක් වියට්නාම් ඩොන්ග් 22,886ක් පමණ මිල වෙනවා.

 

3. ඉන්දුනීසියන් රුපියල්

Image Source – bloomberg.com

ලංකාවේ රුපියලක් ඉන්දුනීසියාවේ රුපියල් 80කට ආසන්න මිලක් වෙනවා. ඉන්දුනීසියාවේදී මිලියනපතියෙක් වෙන්න ලොකු අමාරුවක් නැහැ. අපි මෙහෙන් රුපියල් ලක්ෂයක් අරන් ගියොත් ඒක ඉන්දුනීසියාවෙදි ලක්ෂ 80ක් වෙනවා. ඇමරිකානු ඩොලරයක මිල ඉන්දුනීසියන් රුපියල් 14,300ක්. කොහොම වුනත් ඉන්දුනීසියාවේ ගොඩක් තැන්වල මිල සඳහන් කිරීමේදී අග ඉලක්කම් දෙක කුඩාවට සත වගේ නිරූපණය කරනවා.

 

4. ගිනියානු ෆ්‍රෑන්ක්

Image Source – blog.hmns.org

දැඩි උද්ධමනය නිසාත්, රට පුරා විහිදුණු විවිධ කල්ලි වල අයහපත් ක්‍රියා කලාපය නිසාත් ගිනියාව දුප්පත් රටක් වෙලා. අප්‍රිකානු රට වලින් වැඩිපුරම අගය අඩුවෙන මුදල් ඒකකය විදියට ගිනියානු ෆ්‍රෑන්ක් එක පත් වෙලා තියෙනවා. මේ රට ඇලුමිනියම්, රත්තරන් නිධි තියෙන රටක්. ඒ වුනාට ඒ මොක තිබුනත් ඒවා මුදල් කරගෙන ජනතාවට සෙත සලසන්න හොඳ ක්‍රමයක් නැතිවුනාම රට අයාලේ යනවා. ඇමරිකානු ඩොලරයක් ගිනියානු ෆ්‍රෑන්ක් 9,100ක් විතර වෙනවා.

 

5. ලාඕසයේ කිප්

Image Source – videoblocks.com

ලාඕසය කියන්නේ අග්නිදිග ආසියාතික බෞද්ධ රටක්. ලාඕසයේ සල්ලි එදා පටන්ම වැඩි අගයක් ගත්තේ නැති මුදල් ඒකකයක්. ලාඕසය කෙමෙන් කෙමෙන් සිය මුදල් ඒකකයේ අගය වැඩිකරගෙන යනවා කියලා තමයි මූල්‍ය විශේෂඥයින් කියන්නේ. මේ වෙද්දි ලාඕසයේ ඇමරිකානු ඩොලරයක වටිනාකම ලාඕස කිප් 8,500ක් විතර වෙනවා.

 

6. උස්බෙක් සොම්

Image Source – flickr.com

උස්බෙකිස්ථානයේ දැන් තියෙන සොම් කියන මුදල් ඒකකය 1994 දී හඳුන්වා දුන් නව සොම් වර්ගයක්. කලින් තිබුන සොම් 1000ක් නව සොම් එකක් විදියට කියලා තමයි අලුත් මුදල් ඒකකය හදලා තියෙන්නේ. මධ්‍යම ආසියානු රටක් වන උස්බෙකිස්ථාන් වල ඩොලර් එකක අගය උස්බෙක් සොම් 8,300ක් විතර වෙනවා.

 

7. සියරාලියොන් ලියොන්

Image Source – commons.wikimedia.org

ලියොන් කියන්නේ සියරා ලියොන් වල මුදල් ඒකකය. අප්‍රිකාවේ පිහිටි දුප්පත්ම රටක් තමයි සියරා ලියොන්. ඒඩ්ස් වගේම ඉබෝලා වලිනුත් සියරා ලියෝන් බැටකනවා. ජනතාවගේ දුප්පත්කම නිසාම රටේ සල්ලි වල අගය බොහොම අඩුයි. ඇමරිකානු ඩොලරයක් එහිදී ලියොන් 8,000කටත් වැඩි අගයක් ගන්නවා.

 

8. පැරගුවේ ගුවාරනි

Image Source – youtube.com

දකුණු ඇමරිකාවේ තියෙන දෙවනියට දුප්පත් රට තමයි පැරගුවේ. එහි ඇතිව තිබෙන්නේ බොහොම දරුණු ආර්ථික අර්බුදයක්. දූෂණය, භීෂණය සහ අධ්‍යාපනය නැතිකම පැරගුවේහි දුප්පත්කමට හේතු වෙලා තියෙනවා. පැරගුවේ රටේ බොහෝ පිරිසක් ඉන්නවා රැකියාවක් නැතිව. පැරගුවේ එදා පටන් අපනයනය කරන්නේ කපු සහ සෝයා බෝංචි. ඒත් ඒ ආදායම මදි රටක් දුවන්න. පැරගුවේ වල ඩොලරයක් ගුවාරනි 6000කටත් ආසන්නයි.

 

9. කාම්බෝජයේ රියල්

Image Source – fintechnews.sg

කාම්බෝජය බොහොම දරුණු ඒකාධිපතියෙක් වුණු පොල් පොට් යටතේ තිබුණ රටක්. පොහොසත් ඉතිහාසයකට උරුමකම් කියන කාම්බෝජ ජාතිකයින් අද වනවිට ගෙවන්නේ දුප්පත් ජීවිතයක්. කාම්බෝජයේ අද තිබෙන රියල් ඒකකය හඳුන්වා දුන්නේ 1995දී. ඒ රටේ මුදල් ඒකකය නොවටිනා එකක් නිසා රටේ ගොඩක් තැන්වල විදෙස් මුදල් පාව්චිචිය ඉහළ ගිහින් තියෙනවා. ගොඩක් කාම්බෝජ ජාතිකයින් කාම්බෝජ සල්ලි තිබුණත් ඇමරිකානු ඩොලර් පාවිච්චියට වැඩි කැමැත්තක් දක්වනවා මුදලේ අගය හිටිවනම අඩු වැඩි වන නිසා. මේ වෙද්දි ඩොලරයක් කාම්බෝජ රියල් 4000කටත් වැඩියි.

මුදල් වල අගය අඩුවෙන එක ටිකක් සැර ආර්ථික ගැටලුවක්. එහෙම අගේ අඩු වෙද්දි අපේ රටට රටින් ගේන හැමදේකටම වැඩි මිලක් අපිට ගෙවන්නට වෙනවා. ලංකාවේ ආහාර හැරුනම බොහෝ දේ ගේන්නෙ රටින්. ඉතින් ඒ නිසා ලංකාවේ මුදල් වල අගය අඩු වීම නිසා අපිත් මොකුත්ම නොකළත් ඉබේටම දුප්පත් තත්ත්වෙට පත්වෙනවා. ජනප්‍රිය තීරණ වලින් රජයේ වියදම් වැඩි නොකර රජයේ ආදායම් වැඩිකරන දේශපාලනයක් බිහි වුනොත් අපිට පුලුවන් වෙයි රට යම්තාක් දුරකට ගොඩ දාගන්න. ඒත් රජයෙන් කරන වියදම් ගැනම උදේ හවස කතාකරන අපේ රටේ ආදායම් වැඩිකිරීම ගැන කවදා නම් පාලක පක්ෂය කතා වෙයිද?

Cover Image Source –  therahnuma.com/ thesouthafrican.com

zvr
Your Reaction

Comments