“ඇන්ටි පාරවල්” ගැන හිතන කොල්ලන්ට විශේෂයි!

හිතවත් කොල්ලෝ සහ ඇන්ටිලාගෙන් අවසරයි. අපි අද අරගෙන ආවේ කොල්ලෝ වගේම ඇන්ටිලාත් කතා කරන්න ඇඹරෙන, හැබැයි මේ කාලේ දිහා බලනකොට කතා කළ යුතුම මාතෘකාවයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ලංකාවේ ‘ඇන්ටි පාර’, ‘ඇන්ටා පාර’ වගේ නම් වලින් හැඳින්වෙන්නේ ඒරොප්පේ කූගර් (Cougar) කියලා හැඳින්වෙන සංකල්පයම සූටි සූටි වෙනස්කම් සහිතව බව කියන්න ඕනෑමයි. හැබැයි නමෝ විත්තියෙන්ම කියන්න වුවමනායි ලයි‍ෆි එකේ අපි ඔය ඇන්ටි පාර කියන වචනෙට කොහෙත්ම කැමැත්තක් නැති වග. හැබැයි ඉතින් ඇන්ටි පාර කියන වචනේ සහ ඒ වචනෙන් ගම්‍යමාන වෙන අදහස වැරදි ඇයි කියන එක කියන්නත් ඔය වචනේ පාවිච්චි කරන්ඩ වෙනවනේ. ආන්න ඒ නිසා ලිපියේ මෙතැනින් එහාටත්, මෙතනට එනකලුත් අපි ඇන්ටි පාර කියලා යොදාගෙන තිබීමට සමාව බජනය කරන්ඩැයි සුවහසක් ඇන්ටිලාගෙන් ඉල්ලා සිටින්නත් කැමතියි. එහෙමනම් මේකයි කතන්දරේ!

 

1. මොකද්ද මේ යෙදුමේ තේරුම?

Image Source – youtube.com

මේක කියලා දෙන්නේ තේරුම දන්නෙ නැති බබාලට සහ නොතේරුනා වගේ හොරට ඉන්න හොර බබාලට තමයි. දැන් ඔය කූගර් කියලා පිටදේසක්කාරයෝ කියන්නේ කඩවසම්, තරුණ පිරිමි ළමයි එක්ක සම්බන්ධයක් පවත්වන්න කැමති, එහෙම අයව හොයන ටිකක් වයස්ගත කාන්තාවන්ට. මේක ඉතින් සමහර වෙලාවට දුරදිග යන සම්බන්ධතා වෙන්න පුලුවන්. අපි ඔය ඕනෑ හැටියේ දකින්නේ තරුණ වයසේ ගැටයෝ එක්ක විවාහ වෙන ලෝක ප්‍රසිද්ධ මැදිවයසේ තරු. හැබැයි ඉතින් වැඩිවශයෙන් නම් මේ කූගර් කියන කතන්දරේදී දෙපාර්ශවයම හොයන්නේ ඔය එහෙන් මෙහෙන් නූල් ගැටගැහිලා නැති, ඒ කියන්නේ no strings attached පන්නේ සම්බන්ධතා තමයි. ඒ කිව්වේ ලිංගික සම්බන්ධතා. ඒ කිව්වේ සෙක්ස්.

 

2. ඇන්ටි පාර කියන වචනේ තේරුම මොකද්ද?

Image Source – jamesnews.com

ඇත්තටම මේ යෙදුම පාවිච්චි කරන්නේ තරුණ වයසේ ඉන්න කොල්ලෝ තමයි. ඒ කියන්නේ ඉතින් අවුරුදු දහ අටේ, විස්සේ ඉඳලා තිහ, තිස්පහ වෙනකල් කොල්ලන්ට ඔය ‘ඇන්ටි පාර’ කියන යෙදුම පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි එතනින් එහාට වයසේ ඉන්න පිරිමි උන්දැලා ‘ඇන්ටි පාරවල්’ හොයල වැඩක් නෑ. ඇයි ඉතින් එතකොට උනුත් අංකල්ලා වෙලානේ!

මේ ඇන්ටි පාර කියලා ඔය කියපු වයස් වල ඉන්න කොල්ලෝ වහරන්නේ වයස අවුරුදු තිස් පහේ, හතළිහේ ඉඳලා පණහ, පණස් පහ සහ සමහර වෙලාවට හැට වගේ වයසත් අතර ඉන්න කාන්තාවන්ට තමයි. විශේෂයෙන්ම මෙතනදී වයස කෝක වුනත් කළ එළියට, රූප සොබාවට ඉන්න මැදි වයසේ කාන්තාවකට තමයි මේ වචනේ භාවිතා වෙන්නේ.

 

3. ඇන්ටිලා, නැන්දලා සහ ‘ඇන්ටි පාර’!

Image Source – imlostinwanderlust.wordpress.com

මේන්න මෙතන විග්‍රහ කරන එක පොඩ්ඩක් පුද්ගලානුබද්ධයි. දැන් ඔය අපි උඩින් කියපු වයසේ ඥාතීන් අපි ඕනම කෙනෙක්ට ඉන්නවනේ. ඒ අය නැන්දලා. එතකොට වැඩි කළ එළියක් නැති, තලස්තෑනි වයස පේන විදියට ඉන්න උඩ කියපු වයසේ කාන්තාවෝ ඇන්ටිලා. ඒ අය දිහාත් මේ කියපු තරුණ ළමයි කැත හිතකින් බලන්නෙ නෑ. හැබැයි ඉතින් වයස අවුරුදු තිස් පහෙන්, හතළිහෙන් උඩ වුනාට බොහොම කල එලියට පේන්න ඉන්න, සරාගී රූප සොබාව එහෙම තියෙන ‘ඇන්ටිලා’ තමයි තරුණ කොල්ලන්ගේ ව්‍යවහාරයේ විදියට ‘ඇන්ටි පාර’ නැතිනම් ‘ඇන්ටා පාර’ වෙන්නේ! එතකොට ඒ වගේ කෙනෙක් දිහා බලන්නෙම කොයි විදියටද කියන එක තේරෙනවනේ!

 

4. ඇයි කොල්ලෝ ඇන්ටි පාරකට කැමති?

Image Source – plejmo.com

මේකට මූලිකම හේතුව සරලයි. බොහොම බැරෑරුම්ව, වගකීම් සහගතව සිද්ධ වෙන ආදර සම්බන්ධතාවයකට හරි ලිංගික සම්බන්ධතාවයකට හරි තරුණ වයසේ කොල්ලෝ කැමති වෙන්නේ එහෙමත් එකෙක් තමයි. ඇත්තටම හෝමෝන ක්‍රියාකාරීත්වය අම්මට සිරි වෙලා ඔය ලිංගිකාශාවන් පිබිදෙන්න පටන් ගත්තට පස්සේ වැඩිහරියක් කොල්ලොන්ට වුවමනා වෙන්නේ පොඩි සෙක්ස් ආතල් එකක් ගන්න. පොඩි සෙක්ස් එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න. විශේෂයෙන්ම මේ ආතල් සහ එක්ස්පෙරිමන්ට් ස්ථිරසාර නැතුව තියෙනවා නම්, තමන්ගේ පුද්ගලික ජීවිතේට සම්බන්ධ නොවෙනවා නම් මේ කියන කොල්ලෝ කැමතියි. කොටින්, ගමේ බාසාවෙන් කිවුවොත් ගෙරි මස් කරේ එල්ලාගෙන නොකන්න ඕන කියන එක තමයි මේ උන්දැලාගේ අයිඩියා එක. ඉතින් ගොඩක් වෙලාවට තරුණ කොල්ලෙක් එක්ක සම්බන්ධ වෙන මැදිවියේ කාන්තාවක් කිසිසේත්ම තමන්ගේ සම්බන්ධය ප්‍රසිද්ධ කරගන්න කැමති නෑ. ඒකට ප්‍රධානතම හේතුවක් වෙන්නේ සමාජ අපවාදය. මොකද මේක ලිංගික සම්බන්ධතාවයක් නැතුව ප්‍රේම සම්බන්ධතාවයක් වුනත්, ලංකාවේ සමාජය දෙන්නෙක් අතර වයස් පරතරය දිහා බොහොම බැරෑරුම්ව බලනවා. ඒ වගේම මේ කියන ඇන්ටි පාරක් විවාහක වෙන්න තියෙන ඉඩත් සෑහෙන්න වැඩියි. එතකොට මේක කොහොමටත් රහසිගතව කරන්න උත්සාහ ගන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක සෙක්ස් හොයන කොල්ලෙක්ට ජැක්පොට් එකක්! ඕක තමයි කවුරුත් කතා නොකරන ඇත්තම කතාව.

 

5. වෙන හේතු නැද්ද?

Image Source – naughtyamerica.com

අපොයි තියෙනවා. එක ජනප්‍රිය හේතුවක් තමයි ගොඩක් කූගර් පන්නයේ කාන්තාවෝ, ඒ කිව්වේ ‘ඇන්ටි පාර’ කියන නිර්වචනයට යන කාන්තාවෝ හොයන කොල්ලෝ කැමතියි කාන්තාවකට මැදි වයසේදී එන අපූරු සුන්දරත්වයට. අර කීමටත් කියනවානේ කාන්තාවක් වඩාත් සුන්දර මැදි වයසෙදි කියලා. ඉතින් සම වයසේ කෙල්ලෙක්ගේ තියෙනවාට වඩා පිරිපුන්, කාන්තා සුන්දරත්වයක් මේ කියන විදියේ කොල්ලෝ ‘ඇන්ටි පාරකින් ‘ දකිනවා.

දෙවෙනි ජනප්‍රිය හේතුව තමයි එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ මේ ඇන්ටි පාරවල් වලින් බොහෝ දෙනෙක් විවාහකයි. ලිංගික ජීවිතේ අත්දැකීම් වලින් සෑහෙන්න පිරිපුන්. එතකොට මැදි වයසට ළඟා වෙලත් විවාහ නොවී ඉන්න කාන්තාවක් වුනත් ලිංගික අත්දැකීම් වලින් සහ ජීවන අත්දැකීම් වලින් පිරිපුන් වෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ආරක්ෂිත ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් වුනත් මේ කාන්තාවෝ අත්දැකීමෙන්ම දන්නවා. එතකොට හොඳ ලිංගික තෘප්තියක් ලබාගැනීම සම්බන්ධයෙන් වුනත් මේ මැදි වයසේ කාන්තාවෝ දැනුවත්.

ඒ වගේම මැදි වයසේ ගැහැණියක් ආදරේ කරනකොට වුනත් බොහෝම පරිපූර්ණයි කියලත් සමහරු කියනවා. කොටින් කිවුවොත් පරිණත විදියට ආදරේ කරන්න දන්නවා.

ඔන්න ඕවා තමයි කොල්ලෝ කියන හේතු!

 

6. ඇන්ටි පාරක් එක්ක යාලු වෙන එකේ තියෙන අවුල්!

Image Source – popsugar.com

අපිට ඇත්තටම එන්න වුවමනා වුනේ මෙන්න මෙතැනට.

ගොඩක් වෙලාවට මේ විදියේ මැදි වයසේ කාන්තාවක් සහ තරුණයෙක් අතර සම්බන්ධතාවයක් ඇතිවෙන්නේ ඇයි? ඒ කියන්නේ කාන්තාවගේ පැත්තෙන් බැලුවොත්? එකක් ආසාව වෙනුවෙන් විය හැකියි. දෙවෙනුව ජීවිතේ වෙනසක් බලාපොරොත්තුවෙන් විය හැකියි. තුන්වෙනුව වයස නොසලකා තමන්ගේ හිත ගිහින් විය හැකියි. හරි, එතනට එනකල් ගැටළුවක් නෑ.

හැබැයි මැදි වයසේ විවාහක කාන්තාවක් සහ තරුණයෙක් අතර අනියම් සම්බන්ධතාවයක් ඇති වෙනවා නම්? ඒක අනිවාර්යයෙන්ම ගැටළුවක්. ඒකට මැදි වයසේද, ලාබාල වයසේද කියලා වෙනසක් නෑ. අනියම් සම්බන්ධතාවයන් කියන්නේම ප්‍රශ්න වලට යන පාරක්. සමහර වෙලාවට මේ ප්‍රශ්නයක් කෙළවර වෙන්නේ ජීවිත නැතිවීමකින් වෙන්න පුලුවන්. ඒ කොයික වුනත් ස්වාමියෙක් එක්ක විවාහ ජීවිතේක ඉන්න විවාහක කාන්තාවක් මොහොතක සතුටක් වෙනුවෙන් තරුණයෙක් එක්ක සම්බන්ධ වෙන එක ප්‍රශ්නයක් තමයි.

දෙවෙනුව මේ වගේ සම්බන්ධතා ඔස්සේ බ්ලැක්මේල් කිරීම්, මුදල් ලබාගැනීම් වගේ දේවල් වෙන්න තියෙන වැඩි හැකියාව. ගොඩක් මැදි වයසේ කාන්තාවෝ තමන්ගේ යොවුන් වියේ ප්‍රේමවන්තයන් වෙනුවෙන් අත දිග ඇරලා වියදම් කරනවා. සමහර වෙලාවට තමන් ජීවිත කාලයක් උපයා ගත්තු ධනය පවා මේ විදියට ඉවක් බවක් නැතුව ආදරේ නාමයෙන් වියදම් කරලා ප්‍රශ්න ගොඩක පැටළුණු කාන්තාවෝ ගැන මෑත ඉතිහාසයේ වුනත් උදාහරණ තියෙනවා. සමහර වෙලාවට මේ තරුණ ප්‍රේමවන්තයෝ තමන්ගේ මැදි වියේ පෙම්වතියන්ව බ්ලැක්මේල් කරලා සන්තකේ හූර ගන්න අවස්ථාත් මෑත ඉතිහාසයේ ඕනෑ තරම් දකින්නට ලැබෙනවා.

තුන්වෙනුව මේ වගේ සම්බන්ධතාවයක් හෙළිදරවු වුනොත් සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා.

 

7. එතකොට මේ වගේ සම්බන්ධකම් වැරදිද?

Image Source – mentalhelp.net

මේ තමයි මේ මුලු කතන්දරේම වැදගත් පොයින්ට් එක.

දෙන්නෙක් ඉන්නේ ලිංගික සම්බන්ධතාවයකට නීත්‍යානුකූලව යන්න පුලුවන් වයසක කියලා හිතමු. ඒ කියන්නේ නීතියට අනුව වැඩිහිටියෝ කියලා හිතමු. ආන්න ඒ වගේ වෙලාවක ආදරේට වයස් භේදයක් නෑ. ලිංගිකත්වයට වුනත් වයස් භේදයක් නෑ. හැබැයි ලිංගිකාශාවන් සන්තර්පණය කරගන්න විතරක් පවත්වන සම්බන්ධතාවයක් වුනත් මානව සම්බන්ධතාවයක් කියන එක සිහියේ තියාගන්න ඕන. ගොඩක් වෙලාවට කොල්ලෝ ඇන්ටි පාරවල් හොයන්නේ ලේසියෙන් සෙක්ස් කරන්න පොළඹවා ගන්න, ලේසියෙන් සෙක්ස් කරලා තමන්ගේ ආතල් එක අරගෙන මාරු වෙන්න පුලුවන් කියන අදහස උඩ. හැබැයි නිකමට හිතලා බලන්න ‘ඇන්ටි පාර’ කියන වචනයේම කාන්තාවක් කොයි තරම් තුච්ඡ විදියට ලිංගික භාණ්ඩයක් විදියට හැඟවෙනවද කියන එක. මැදි වියේ ඉන්න කාන්තාවක් තරුණ කොල්ලෙක් එක්ක හාදකමකට එළැඹෙන්නේ තමන්ට මුදුන් පමුණුවා ගන්න බැරිවුණු ලිංගිකාශාවන්ගේ පීඩනය නිසා වෙන්න පුලුවන්. එහෙම නැතිනම් ආදරයක් ලබන්න තියෙන ආසාව නිසා වෙන්න පුලුවන්. මේ කොයි එක වුනත් කොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි, තමන් ගනුදෙනු කරන්නේ තවත් මිනිස් ජීවිතයක් එක්ක බව. හැඟීම්, දැනීම් තියෙන මනුස්ස ප්‍රාණියෙක්. අන්න ඒ නිසා තමන්ට වුවමනා සෙක්ස් විතරක් වුනත්, ඒක බොහොම අවංකව කරන්න ඕන කියන එකයි අපිට කියන්න වුවමනා. තමන් එක්ක අතිශයින්ම කෙටිකාලීන හෝ සම්බන්ධතාවයකට එළඹෙන කෙනෙක්ට තවත් මනුෂ්‍යයෙක් විදියට ගෞරව කළ යුතුයි කියන එකයි අපිට කියන්න වුවමනා.

එතකොට මේ විදියේ සම්බන්ධතාවයන් හොයන මැදි වයසේ කාන්තාවෝත්, තරුණ වයසේ පිරිමිත් සිහියේ තියාගන්න ඕන දේ තමයි තමන්ට ඇත්තටම වුවමනා මොකද්ද කියන එක. තමන්ට වුවමනා තාවකාලික දෙයක් නම්, ඒ බව කියලා පටන් ගන්න එක සුදුසුයි පස්සේ අනෙකාගේ ජීවිත අවුල් නොකර.

දැන් එතකොට ‘ඇන්ටි පාර’ නොකියා වෙන මොකද්ද කියන්නේ? මනුස්සයෙක්, කාන්තාවක්, ආදරේ කරන්න කෙනෙක්, සෙක්ස් කරන්න කෙනෙක්. මෙහෙම පොදු වචන බැරි නම් අනෙකාව ලිංගික භාණ්ඩ විදියට හැඟවුම්කරණය නොවෙන ඕනම වචනයක් කියා ගත්තට අපේ මොකෝ!

 

Cover Image Source – independent.co.uk/ today.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *