අමුතුම සටහන් තබමින් ඝාතනයන් සිදුකළ භයානක දාම මිනීමරුවෝ 7 දෙනෙක්

දාම මිනීමරුවො, එහෙමත් නැත්නම් සීරියල් කිලර්ස්ලා අතරින් වැඩි දෙනෙක් ප්‍රසිද්ධියට කැමති අය. යම්කිසි ඝාතනයක් සිදු කරලා, ඊට පස්සෙ ඒක තමන්ගේ වැඩක්ය කියලා ප්‍රසිද්ධියට පත්කරලා ජනතාව භීතියට පත් කරන්නත්, පොලීසියට ඔච්චම් කරන්නත් ඔවුන් කැමතියි. ඝාතනයක් සිදු කරලා, ඒක තමන්ගේ වැඩක්ය කියලා ප්‍රසිද්ධියට පත් කරන්න මේ අය නොයෙකුත් ක්‍රම භාවිතා කරනවා. මළ සිරුරු මත හෝ ඒ අවට නොයෙකුත් සටහන් තැබීම, මළ සිරුරෙන් යම් යම් ඉන්ද්‍රියයන් වෙන් කිරීම, එකම ආකාරයට මිනීමැරුම් සිදු කිරීම, පොලීසියට නොයෙකුත් පණිවුඩ යැවීම ආදිය ඉන් සමහරක්. මේවාට ඉංග්‍රීසියෙන් කියන්නේ Calling Cards කියලයි. දාම මිනීමරුවෙක් තමන්ගේ අනන්‍යතාවය සටහන් කරන මේ Calling Cards නිසාම සමහර වෙලාවට ඔහුට නීතියේ රැහැනට හසුවෙන්න සිද්ධ වුණු අවස්ථාත් බහුලයි.

මේ කියන්න යන්නේ ඒ විදිහට අමුතුම සටහන් තබමින් තමන්ගේ මිනීමැරුම් සිදුකරපු දාම මිනීමරුවන් 7 දෙනෙක් ගැනයි.

 

1. ජැක් ද රිපර් – මිනීමැරුම් විස්තර කරන ලියුම්

Image Source – historyinorbit.com

අපරාධ ලෝකයේ හමුවන දාම මිනීමරුවන් අතරින් ප්‍රසිද්ධම පුද්ගලයා ජැක් ද රිපර් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒකට එක් හේතුවක් වෙන්නේ ජැක් ද රිපර් කියන්නේ පැරණිම දාම මිනීමරුවෙක් වීම. අනෙක් හේතුව තමයි ජැක් කිසිදාක නීතියේ රැහැනට කොටු නොවීම. 1888 අවුරුද්දේ ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ ගණිකාවන් 5 දෙනෙක් ඝාතනය කරමින් භීෂණය පැතිරූ ජැක් ද රිපර් මිනීමැරුම් සිදු කරපු ආකාරයත් ඉතා අමානුෂීයයි. ගෙල සිඳ දමමින්, ඉන්ද්‍රියයන් විකෘති කරමින් සිදු කරපු මේ අපරාධ වලින් නොනැවතී, ඒ ගැන තැතිගන්වන සුළු විස්තර ඇතුළත් ලියුම් මාධ්‍ය ආයතන වෙත යවන්නටත් ජැක් ද රිපර් කටයුතු කරලා තිබුණා. මුලදී මේ ලියුම් වෙනත් අයවළුන් විසින් එවපු ව්‍යාජ ඒවා කියලා විශ්වාස කළත්, ඒ ලියුම් අතරින් කිහිපයක් සැබෑවටම ජැක් ද රිපර් විසින් එවන ලද ඒවා බවට මෑතකදී කරන ලද පරීක්ෂණ වලින් සනාථ වෙලා තියනවා.

 

2. සෝඩියැක් කිලර් – රහස් කේත පණිවුඩ

Image Source – wunc.org/ usatoday.com

සෝඩියැක් කිලර් කියන්නේ 1960 ගණන් වල ඇමරිකාවේ උතුරු කැලිෆෝනියා ප්‍රදේශයේ මිනීමැරුම් රැසක් සිදුකරපු භයානක දාම මිනීමරුවෙක්. ඔහුත් ජැක් ද රිපර් වගේ කිසිදා නීතියේ රැහැනට හසු නොවුණු අපරාධකාරයෙක්. පාළු තැන්වල පෙම්සුව විඳින්නට යන පෙම්වතුන් තමයි සෝඩියැක්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ. සෝඩියැක් කිලරුත් ජැක් ද රිපර් වගේ තමන්ගේ මිනීමැරුම් සම්බන්ධයෙන් ලිපි ලියා එවීම සිද්ධ කළ තැනැත්තෙක්. හැබැයි සෝඩියැක් එවුවේ ප්‍රහේලිකා වගේ ලියුම්. රාශි චක්‍රයේ සංකේතත් තවත් අභිරහස් කේතත් එකතු කරලා, තමන්ගේ මිනීමැරුම් වල විස්තර ඒ රහස් පණිවුඩ තුළ සඟවපු ලියුම් තමයි සෝඩියැක් පොලිසියටත්, මාධ්‍ය ආයතන වෙතත් යැවුවේ. මේ ලියුම් හැම එකකම අවසානයට අත්සන හැටියට වෘත්තයක් මැද කුරුස සලකුණක් සටහන් කරලා තිබුණා. සෝඩියැක් විසින් එවපු මේ ලියුම් වල තිබුණු සමහර රහස් පණිවුඩ තේරුම් ගන්න පොලීසියට හැකි වුණත්, අදටත් විසඳාගන්න නොහැකි රහස් කේත කිහිපයකුත් ඒ ලියුම් වල සටහන් වෙලා තියනවා.

 

3. ඩෙනිස් රේඩර් – BTK සලකුණ

Image Source – foxnews.com

ඩෙනිස් රේඩර් කියන්නේ යහපත් විවාහ ජීවිතයක් ගත කරමින්, පල්ලියේ සමාජ වල නිල තළ දරමින්, බැලූ බැල්මට බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක්. මතුපිටින් එහෙම වුණත් ඩෙනිස් රේඩර්ට බොහොම බිහිසුණු රහසිගත ජීවිතයකුත් තිබුණා. ඒ ජීවිතය ඔහු ගතකළේ දාම මිනීමරුවෙක් හැටියටයි. ඇමරිකාවේ ජනතාව අතර ඩෙනිස් රේඩර් ජනප්‍රිය වෙන්නේ BTK මිනීමරුවා නමිනුයි. එයට හේතුව තමන්ගේ මිනීමැරුම් ගැන විස්තර සහිතව BTK අත්සනින් යුතුව කවි සහ ලියුම් යවන්නටත්, මළසිරුරු සමහරක BTK අකුරු සටහන් කරන්නටත් මොහු කටයුතු කිරීමයි. මේ අකුරු තුනෙන් සංකේතවත් වුණේ ඩෙනිස් රේඩර් විසින් තමන්ගේ මිනීමැරුම් සිදු කරපු පිළිවෙලයි. ඝාතනයට ලක්වන පුද්ගලයාව බැඳදමා (Bind) , වධදීමෙන් (Torture) අනතුරුව තමයි ඩෙනිස් රේඩර් විසින් මිනීමැරුම (Kill) සිද්ධ කරන්නේ. මිනීමැරුම සිද්ධ කළාට පස්සේ ඔහු BTK අකුරු මළසිරුරේ සටහන් කරන්නේ කාන්තා සිරුරක් සිහිගැන්වෙන ආකාරයටයි (B අකුර කාන්තා පියයුරු හැටියට සහ K අකුර කකුල් ලෙස පෙනෙන පරිදි) කොහොම වෙතත් ඩෙනිස් රේඩර් නොහොත් BTK මිනීමරුවාගේ කෙරුම් වල අවසානය සනිටුහන් වෙන්න හේතු වෙන්නෙත් ඔහුගේ මේ BTK පණිවුඩයයි. රේඩර් විසින් එවන ලද BTK අකුරු සටහන් කළ ලිපියක් අඩංගු ෆ්ලොපි ඩිස්කයක් හරහා ඔහුව කොටු කරගන්නට පොලිසිය සමත්වෙනවා. මේ වන විට ඩෙනිස් රේඩර් අවුරුදු 175ක සිර දඬුවමක් විඳිමිනුයි සිටින්නේ.

 

4. රිචඩ් රමීරෙස් – තොල් ආලේපන වලින් පස්කොන් තරුවක් ඇඳීම

Image Source – didyouknowfacts.com

නයිට් ස්ටෝකර් නමිනුයි මේ දාම ඝාතකයා ප්‍රසිද්ධියට පත්වෙන්නෙ. රිචඩ් රමීරෙස් දාම ඝාතනයන් වගේම සොරකම් වලටත් සම්බන්ධ තැනැත්තෙක්. 1984-85 කාල වකවානුවේදී රමීරෙස් විසින් මිනීමැරුම් 14ක් සිදු කරනවා. ඔහුගේ ඝාතනයන්ට මූලික වශයෙන්ම ඉලක්ක වුණේ රාත්‍රියට නිවසේ නිදාගෙන ඉන්න යුවළවල් සහ කාන්තාවනුයි. වෙඩි තැබීමෙන්, පිහි ඇනුම් වලින් සහ පහරදීම් වලින් මිනීමැරුම් සිදුකරන රමීරෙස් මළ සිරුරු වලට පවා නොයෙක් ආකාරයේ හානි සිද්ධ කරන්න පෙළඹුන තැනැත්තෙක්. ඒ වගේම ඝාතනයට පෙර කාන්තාවන්ව ලිංගික හිරිහැර වලටත් ලක් කිරීම ඔහු විසින් සිදු කරනු ලැබුවා. මේ ඝාතන තමන්ගේ වැඩක්ය කියලා ප්‍රදර්ශනය කරන්නට රමීරෙස් යොදාගත්තේ පස්කොන් තරුවක සලකුණක්. මේ සලකුණ ඔහු අඳින්නේ ඝාතනයට ලක්වුණු කාන්තාවන්ගේ තොල් ආලේපන යොදාගෙනයි. මළ සිරුර මත වගේම අවට බිත්ති වලත් මේ පස්කොන් තරුව ඔහු අඳිනවා. රමීරෙස් සාතන්ව අදහන්නෙක් වීම තමයි මේ සලකුණ යොදන්නට හේතුව වෙන්න.

කෙසේ වෙතත් 1985 වර්ෂයේදි රමීරෙස් පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. මරණ දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරමින් සිටියදී 2013 වර්ෂයේදී පිළිකාවකින් ඔහු මරණයට පත්වනවා.

 

5. කීත් හන්ටර් – සතුටු මුහුණ

Image Source – pinterest.co.uk /movieworldasp.blogspot.com

කීත් හන්ටර් කියන්නේ වෘත්තියෙන් ට්‍රක් රථ රියදුරෙක්. කුඩා කාලයේ පටන්ම විකෘති මානසික ස්වභාවයක් පෙන්නුම් කරපු හන්ටර් ගෙල සිරකර දැමීමෙන් සතුන් මරන්නට පුරුදු වී සිටි තැනැත්තෙක්. පසු කලෙකදී ඔහුගේ දාම ඝාතනයන් සිදු කරන්නට ඔහු යොදාගන්නේත් ගෙල සිරකිරීමේ ක්‍රමවේදයයි. කීත් හන්ටර් විසින් සිදුකර තිබෙන මිනීමැරුම් ගණන 8ක් කියලයි කියන්නේ. මේ ගණන සමහර විට සිය ගණනක් තරම් වැඩි අගයක් වන්නට පුළුවන් බවටත් මතයක් තියනවා. තමන්ගේ ඝාතන ගොදුර හැටියට කාන්තාවන්වම තෝරාගත් කීත් හන්ටර්, ඒ මිනීමැරුම් සඳහා ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ මිනීමැරුම් ගැන සඳහන් කරමින් සිනහසෙන මුහුණක් සහිත සටහනක් ඔහු වරක් පොදු වැසිකිළියක සටහන් කරනවා. නමුත් කවුරුත් එය ගණන් ගන්නේ නැහැ. ඒ අනුව තවත් පියවරක් ඉදිරියට යමින් කීත් හන්ටර් තමන්ගේ මිනීමැරුම් ගැන විස්තර මාධ්‍ය ආයතන වෙත යවන්නට පටන් ගන්නවා. එසේ යවන ලද ලිපි සියල්ල සිනහ මුහුණක සළකුණක් සහිතවයි ඔහු යවන්නේ. මෙසේ කිරීමෙන් හන්ටර්ට තමන් බලාපොරොත්තු වූ ජනප්‍රියතාවය ලැබෙනවා. හැපී ෆේස් කිලර් නමින් නමකුත් ඔහුට පට බැඳෙනවා. නමුත් ඒ සමගම ඔහු වටා පොලිස් දැළක්ද ගෙතෙනවා. අවසානයේදී 1995 වර්ෂයේදී හන්ටර් අත්අඩංගුවට පත්වෙන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හිමිකර ගනිමින්.

 

6. චාල්ස් ඕල්බ්‍රයිට් – ඇස් ඉවත් කිරීම

Image Source – texasmonthly.com

තමන්ගේ මිනීමැරුමක් බවට සලකුණක් තැබීම වගේම, මිනීමැරුම සිහිපත් කරන්නට සිහිවටනයක් හැටියට මළසිරුරකින් යම්කිසි ඉන්ද්‍රියයක් වෙන්කරගෙන ළඟ තබාගැනීම සමහර දාම මිනීමරුවන්ගේ ලක්ෂණයක්. ටෙක්සාස් අයිබෝල් කිලර් නමින් හඳුන්වපු චාල්ස් ඕල්බ්‍රයිටුත් ඒ ගණයට අයිති වෙන මිනීමරුවෙක්. චාල්ස් ඕල්බ්‍රයිට් විසින් කාන්තාවන් තුන් දෙනෙක් මැරූ බවට පැවසෙනවා. කෙසේ වෙතත් ඔහුට එරෙහිව චෝදනා ගොණු වෙන්නේ එක් මිනීමැරුමක් සඳහා පමණයි. 1990 සහ 1991 වර්ෂවලදී අභිරහස් අන්දමින් මරාදැමුණු කාන්තා මළසිරුරු තුනක් ටෙක්සාස් පොලීසිය විසින් සොයාගනු ලබනවා. නිරුවත් කර මරාදමා තිබූ මේ මළසිරුරු වැඩිදුර පරික්ෂා කිරීමේදී ඒවායේ ඇස් ඉවත්කර ඇති බව ඔවුන්ට දක්නට ලැබෙනවා (මිනීමරුවා විසින් ඇස් පිය වසා තිබෙන නිසා මුලදී බැලූ බැල්මට මේ වග පේන්නේ නැහැ). මේ මිනීමැරුම් සම්බන්ධ හෝඩුවාවන් ඔස්සේ හඹායන පොලීසිය 1991 වසරේදීම චාල්ස් ඕල්බ්‍රයිට්ව කොටු කරගන්න සමත් වෙනවා.

 

7. බියර් මෑන් – මළ සිරුරු අසළ බියර් කෑන් සහ බෝතල තැබීම

Image Source – commons.wikimedia.org

මේ දාම මිනීමරුවාව හමුවෙන්නේ අපේ අසල්වැසි රට වෙන ඉන්දියාවෙන්. 2006 සහ 2007 අවුරුදු වලදී ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයෙන් එක සමාන ආකාරයට සිදුකරන ලද මිනීමැරුම් 7ක් වාර්තා වෙනවා. ඝාතනයට ලක් වූ සියලු දෙනාම පිරිමින් වූ අතර ඝාතනයට පෙර ඒ අය ලිංගික සබඳතා පැවතා ඇති බවටත් දැන ගන්නට ලැබෙනවා. ඒත් සමගම මේ මළසිරුරු අතරින් සමහරක් අසළ තිබී හිස් බියර් කෑන් සහ බෝතල් හමුවෙනවා. එනිසා මේ මිනීමැරුම් සිදුකරනු ලබන පුද්ගලයාව බියර් මෑන් නමින් හැඳින්වෙන්නත් පටන් ගැනෙනවා. ඇසින් දුටු සාක්ෂියක් මගින් මේ මිනීමරුවා හැටියට රවීන්ද්‍ර කන්ට්‍රෝලේ නම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගැනෙනවා. කන්ට්‍රෝලේ විසින් මේ මිනීමැරුම් කළ බවට පාපොච්ඡාරණය කළ බවටත්, ඔහු විසින් මරා දමන්නට පෙර ඝාතනයට ලක්වූවන්ට බියර් පොවන ලද බවටත් මාධ්‍ය හරහා වැඩිදුර කරුණු අනාවරණය වනවා. ඉහත කී මිනීමැරුම් සඳහා කන්ට්‍රෝලෙට මරණීය දණ්ඩනය නියම වුවත්, පසුව සාක්ෂි දුර්වල නිසාවෙන් ඔහු නිදහස ලබනවා.

රවීන්ද්‍ර කන්ට්‍රෝලෙ සැබෑවමට බියර් මෑන් මිනීමරුවාද? නැතිනම් බියර් මෑන් නමින් මිනීමැරූ දාම ඝාතකයා තාමත් නිදැල්ලේද යන්න අදටත් අභිරහසක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *