ආශ්‍රයට ගැහැණු මිනිස්සු කුලියට දෙන චීන ඩේටින් සේවාවන්

චීන්නු හපන්නු කියන්නේ අදක ඊයෙක ඉඳන් නෙමෙයි. අපි සෑහෙන කාලෙක ඉඳලා දන්න විදියට චීනය කියන්නේ ලෝකෙ ජනගහනය වැඩිම රට. මෑත කාලේ ගතහොත් ලොව බලගතුම රටවල් කිහිපයෙන් එකක් තමයි චීනය. මේ චීනය මුහුණ දෙන එක් ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ එක්තරා පිරිසකට තමුන්ගේ සහකරුවන් සොයාගැනීමට තියෙන අපහසුව. චීන ජනතාවගේ නිල නොවන වාර්තා අනුව චීනයේ ගැහැණුන් සියයකට පිරිමින් 118ක් ඉන්නවා. ඉතින් චීනේ මේ අරුම පුදුම සහකාරයින් සොයා යෑමේ තත්ත්වය ගැන තමයි අපි සොයාබලන්නට හිතුවේ…

 

1. චීනේ සහකාරියන් නැති ගැටළුව

Image Source – forbes.com

චීනයේ ජනගහන ලේඛන අනුව ජනගහනයෙන් පිරිමි මිලියන දෙසීයකට අධික ප්‍රමාණයකට ගැහැණු සොයාගන්නට බැරිවෙලා තියෙනවා. නාගරීකරණයත් එක්ක චීනයේ ගම්මාන වල හිටිය යුවතියන් නගර වලට ඇවිල්ලා. ගම්වල තනිවුණු තරුණයින්ට ගමට කැමති ගැහැණු ළමුන් සොයාගැනීම ගැටළුවක් වෙලා. සමහර ගම්මාන වල ගොවිතැන් කටයුතු කරගෙන ජීවත් වෙන පිරිමි වයස අවුරුදු තිහ පසුවී සිය ජීවිතයේ සහකාරියක සොයාගැනීමේ අදහස අතෑරදාලා බොහොම අප්සට් ජීවන රටාවකට හුරු වෙලා. සහකාරියක සොයා යෑමේදී සහකාරියන් බලාපොරොත්තු වෙන මිල මුදල්, අධ්‍යාපනය, යාන වාහන, සහ සමාජ තත්ත්වය ගැමි තරුණයින්ට නැහැ. ඒ නිසා ඔවුන් සිය දෙමාපියන් බලා කියාගෙන, සතා සීපාවා බලාකියාගෙන ජීවිතේ දුක සේ ගත කරනවා.

 

2. පිරිමි වැඩි වුනේ ඇයි?

Image Source – youtube.com

චීනය කාලයක් තිස්සේ ජනගහනය පාලනයට එක් පවුලට එක් දරුවෙක් සංකල්පය භාවිතා කළා. එහිදී එදා පටන්ම උපදින දරුවා පිරිමි ළමයෙක් නම් ඔහුව ඇතිදැඩි කරන්න දෙමාපියන් වැඩිපුර කැමති වුනා. එහිදී ස්කෑන් කරලා කලින් දරුවා කවුද කියලා හොයාගත්තම ඇතැම් ගැමියන් ගැහැණු කළල ගබ්සා කළා. එකම දරුවා පිරිමි කරගන්නට බොහෝ පිරිසක් සූදානම් වූ නිසා චීනයේ ඇතැම් ගම්බද පළාත්වල බොහෝ ගෑණු පිරිමි ප්‍රමාණ වල අසමානතා ඇතිවෙලා තියෙනවා.

 

3. තරුණ තරුණියන්ට සහකරුවන්, සහකාරියන් සොයන දෙමාපියෝ

Image Source – clb.org.hk

අපේ රට, ඉන්දියාව වගේ චීනයේදීත් පවුල් බැඳීමට වැඩි තැනක් ලැබෙනවා. ඒ නිසා චීන දෙමාපියන් සහ නෑයින් සිය අඩු වයස් දරුවාට සහකරුවෙකු සොයාදෙන්නට මහන්සි ගන්නවා. එම කාර්යයේදී චීනයේ ෂැන්හයි, බීජින්, ෂෙන් සෙන් වැනි නගරවලදී උද්‍යාන වල මංගල කපු පොළ ආදී තැන් තියෙනවා. එතැනට යන දෙමාපියන් තමුන්ගේ දුවට පුතාට සුදුසු මනාලිය හෝ මනාලයා සොයාගන්නට වෙහෙසෙනවා. ඔවුන් ඒ පොළේ සිටින කපුවන් වැනි පුද්ගලයින්ට තමුන්ගේ පුතාගේ වයස, උගත්කම, ඇති වස්තුව, දේපළ, රැකියාව වැනි දේ ගැන කියනවා. ඒ වගේම හොයන කෙනාගෙත් විස්තර කියනවා. ඇතැම් විටක මේ ඇත්තම මනාලිය චීනයෙත් නැහැ. ඒත් වැඩිහිටියන් තමුන්ගේ ඊළඟ පරම්පරාව පවුල් කිරීමේ සටන ලේසියෙන් අත අරින්නේ නම් නැහැ.

 

4. ගමට පෙන්වන බොරු සහකාරියෝ

Image Source – bustle.com

චීනයේදී ගම් වලින් නගරයට පැමිණි බොහෝ දෙනා යළිත් ගමට යන්නේ වර්ෂයකට දෙතුන් වතාවක් පමණයි. එසේ ගමට ගිය පසු හතර අතින් එන නෑයින් අසන කසාද සහ සහකරුවන් පිළිබඳ ප්‍රශ්න වල නිමක් නැහැ. ඒ නිසා ඇතැම් මුදල් තියෙන චීන ජාතිකයින් ගැහැණු ළමයකු කුලියට ගෙන ගෙදර යන්නට පටන් අරගෙන තියෙනවා. එහිදී යම් ආයතන වෙතින් යම් මුදලක් ගෙවා යුවතියක තෝරාගන්නවා. ඉන් පසු ඒ ගෙවපු මුදලට හරියන්න රංගනයක් ඒ යුවතිය දක්වනවා. එතකොට ඒ යුවතියට පෙම්වතිය විදියට හෝ බිරිය විදියට රඟපාන්න වෙනවා.

 

5. අරුම පුදුම ඩේටින් සයිට්ස්

Image Source – bustle.com

ලොව ජනප්‍රියම ටින්ඩර් අඩවිය රට රටවල ක්‍රියාත්මක වන ආකාරය වෙනස්. ටින්ඩර්ම නොවුනත් ටින්ඩර් හා සමාන සහකරුවන් සොයා යන ඇප්ස් බටහිර සහ ආසියානු රටවල වේගයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. එහිදී බටහිර නම් කෙලින්ම ඇසට පෙන්වන රූපය, වයස වගේ මූලික කාරණා කිහිපයකින් පසු එකිනෙකා හා හමු වී, කතා බස් කොට සම්බන්ධකම් පටන් ගන්නවා. ඒත් චීනයේදී ටිකක් වැඩේ සංකීර්ණයි. මුල් හමු වීම තුළින් එකිනෙකාගේ වත්කම් සොයාබැලීම, දෙමාපිය පරම්පරා ගැන අදහස් හුවමාරු කරගැනීම වගේ කසාදය මුුලික කරගත් යම් යම් හෙට්ටු කිරීම් චීනයේ ඔන්ලයින් ඩේටින් වලදී පවා වැඩියි.

 

6. පෙම්වතියක් සොයාගන්නා හැටි කියාදීම

Image Source – uschnews.com

පෙම්වතියන්, සහකරුවන් සොයන අයට හොඳ අවකාශයක් ලබා දීම සහ පෙම් කිරීමට උපදෙස් දීම චීනයේදී හොඳ ව්‍යාපාරයක්. ඔවුන් හොඳ සහකරුවෙක් සොයා දීමෙන් නොනැවතී, සම්බන්ධතාවයක් පවත්වාගන්නා හැටි, ප්‍රේම කරන හැටි, එකිනෙකා හඳුනාගන්නා හැටි ආදී දේ ගැන උපදෙස් ලබා දෙනවා. මේ උපදේශන කටයුතු සිදුවන්නේ නිකම්ම නෙමෙයි, ඒ සඳහා සැළකිය යුතු මුදලක් ගෙවන්නට වෙනවා. ඇතැම් තැනක ගැහැණු, පිරිමින් එකතු කිරීමට ක්‍රීඩා කටයුතු, නැටුම් ගැයුම්, සෙල්ලම්, උත්සව ආදිය පවත්වන්නත් ඩේටින් සඳහා උපදෙස් දෙන අය පසුබට වෙන්නේ නැහැ.

 

7. ගැහැණුන් අතුරුදන් වීම සහ විකිණීම

Image Source – thediplomat.com

ගැහැණුන් අතුරුදන් වීම වැනි දෙයක් තුළ කාන්තාවට හිංසා කරනවාටත් වඩා වෙනමම වූ අරමුණු චීනයේ දී ක්‍රියාත්මක වෙනවා. එහිදී ඇතැම් ගම්බද පළාත්වල සිය ස්ත්‍රීන් සඟවා තබා ගැනීමට යම් තරමක ධනවත් චීන ජාතිකයින්ට ලොකු වැඩ කොටසක් කරන්න වෙලා තියෙනවා. ගැහැණු සාපේක්ෂව අඩු නිසා කසාද බැඳ සිටියත් ඇය නැවත ඩැහැගෙන යෑම මෙන්ම නැවත විකිණීමත් චීනයෙන් වාර්තා වෙලා තියෙනවා.

 

8. චීන්නු යාන්ත්‍රික වීම සහ සම්බන්ධතා ප්‍රතික්ෂේප කිරීම

Image Source – clb.org.hk

පෙර සඳහන් කළාක් මෙන් චීනයේදී නිසි කල විවාහ වෙන්න නම් යම්කිසි සමාජ තත්ත්වයක් අවශ්‍ය වෙනවා. මිල මුදල්, යාන වාහන, ගේ දොර වගේ දේවල් ලබාගන්නට එකපාර බැහැ. හැමදෙනාටම ඒ වගේ සම්පත් ලැබෙන්නෙත් නැහැ. ඇතැම් දුර බැහැර ගම් වල සිට පැමිණෙන චීන තරුණයන්ට තරුණියන්ගේ සිත ගන්නට තරම් විශාල මුදලක් ඉතිරි කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා චීනයේ පිරිමින් සඳහා පුම්බන රබර් ගැහැණු නිපදවීමත් වැඩිවෙලා. විවිධ ක්‍රම වලට ලිංගික සුව සොයායෑමටත්, සහකාරියන් නොමැතිව ජීවත් වීමටත් ඇතැම් පිරිමි අය හිත හදාගෙනත් ඉවරයි.

සංවර්ධනය කියන්නේ සමාජයක් විදියට දියුණු තත්ත්වයකට පත් වීම. ඒත් දැඩි පාලනයකින් මිරිකිලා ඉන්න චීන ජාතිකයින් යන්ත්‍ර වල කොටස් වගේ වෙලා. ඔවුන් ගේ ජීවිතයට සහකාරියක ලබාගැනීමත් දැඩි අභියෝගයක් වෙලා. බිල්ඩින් සැදුනාට, ඉක්මන් ප්‍රවාහන ක්‍රම දියුණු වුනාට, විනෝද වැඩ කී සීයක් ආවාට සැබැවින්ම නාගරික වැසියන් හැමෝම සතුටින් නැහැ. පවුල් ජීවිතයකට ඇතුළත් වෙන්නට නැතිව දෙමාපියන් තෝරාදෙන තෙක් සිටින, විවිධ ඇප් හරහා ක්‍රම හරහා සහකරුවන්, සහකාරියන් සොයන චීන ජාතිකයින් කියන්නේ ඇත්තටම අසරණ ජීවීන් පිරිසක්.

Cover Image Source – thenextweb.com/ economist.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *