දානයක් දෙන ගෙදරක වෙන්න පුළුවන් ඇබැද්දි 7ක්

බෞද්ධයො ඉන්න ගෙදරක දානයක් දෙන එක සාමාන්‍ය සිද්ධියක්. සාමාන්‍යයෙන් අවුරුදු පතා නැතත් මිය ගිය ඥාතීන් සිහිපත් කරලා දානයක් දෙන්න මිනිස්සු පෙළඹිලා ඉන්නවා. හැබැයි ඔන්න ඔය දානෙදි ඒ දානය පිලියෙල කරන මිනිස්සුන්ට එහෙමත් නැත්තං නිවැසියන්ට සිද්ධ වෙන ඇබැද්දි ටිකක් තියෙනවා. ඒ ටිකට විසඳුමක් හොයාගන්න විදියක් අමාරු වෙන්නෙ අපේ අය මේ දේවල්වලට හුරුවෙලා ඉන්න නිසායි. කොහොමින් කොහොම වුනත් බොහෝමයක් ගෙවල් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන නිසාමයි අපි මේ සටහන ලියුවෙත්.

 

1. පිඟන් කෝප්ප

Image Source – pinterest.com

දාන ගෙදරකදි පිඟන් කෝප්ප බිඳෙන එක වළක්වගන්න හරිම අමාරුයි. ඒකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි දේ හදිස්සිය. හාමුදුරුවොන්ට අරක බෙදන්න, මේක බෙදන්න හිත හිත හාංකවිස්සියක් නැතුව එහෙ මෙහෙ යන මිනිස්සු අතින් පිඟන් කෝප්ප බිඳෙන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ගෙ බොරු හදිස්සිය නිසාත් ඕක සිද්ධ වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි පොඩි වුන්. ළමයින්ගේ අතින් අතෑරිලා පිඟන් කෝප්ප බිඳෙනවා වගේම ළමයි දුවනකොට හැප්පිලාත් ඔය ඇබැද්දි වෙන්න පුළුවන්. ඇබැද්දි කොහොම වෙතත් පාඩුව විඳින්න වෙන්නෙ නං ගෙදර උන්දැලට තමයි.

 

2. හොරකම

Image Source – 123rf.com

මේකනං ඉතිං සිහිපත් කරන වාරයක් පාසා කේන්තියක් හිතට එන නරක සිද්ධියක්. ඒ තමයි ගෙදර තියෙන බඩු මුට්ටු හොරකම. ගෙදර මිනිස්සුන්ගෙ සල්ලි, ෆෝන් වගේම දානේ ගෙදරට ඇවිත් නැවතිලා වැඩ කරන මිනිස්සුන්ගෙත් වටිනා කියන දේවල් හිත් පිත් නැති විදියට හොරකම් කිරීම තවත් නරක තත්ත්වයක්. ඕකෙ අනිත් සිද්ධිය පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු, ගෙදර මිනිස්සු කාලයක් තිස්සෙ එකතු කරපු වටින පොත් වගේ බොහොමයක් දේවල් මේ විදියට අන්තරස්දාන වීම. ඉතිං ඒ දේවල් සල්ලිවලින් මිල කරන්න බැරි නිසාම ඒවයෙන් හිතට ඇතිවෙන දුක වැඩියි. ඒ නිසාම බොහෝ වෙලාවට දානයක් දීපු එකේ හිතේ සතුටත් මේ නිසාම නැති වෙනවා.

 

3. දාන කෑම

Image Source – charanti.blogspot.com

දානෙකට ආරාධනා කරන මිනිස්සු ප්‍රමාණයක් ගැන ගණනේ එකතුවක් ඕනම දානෙ ගෙදරක නිවැසියෙකුට තියෙනවා. උදාහරණයකට 150කට ආරාධනා කළොත් අඩුම තරමේ 175 දෙනෙකුටවත් කෑම සකසන එක තමයි පුරුද්ද. ඒ වැඩිපුර 25ක් සකසන්නෙ යාචක ප්‍රජාවට, ගැබිනි මාතාවන්ට වගේම දාන ගෙදරට සහභාගි වෙන්න නොහැකි වෙච්ච වැඩිහිටි ප්‍රජාවට කෑම එකක් දෙන්න තියෙන උවමනාවටයි. කොහොමින් කොහොම වුනත් මේ තත්ත්වෙට ප්‍රශ්නයක් වෙන්නෙ එන හැමෝම අවශ්‍යතාවයක් නැතුවත් බත් ඔතාගෙන යන සීන් එක නිසායි. ඒ වගේම කට්ටියට බෙදාගන්න යද්දි හිතට ඇති වෙන්නෙත් නැහැනෙ. දානයක් කියන්නෙ බෙදන්න හදන එකක් තමයි, නමුත් ලංකාවෙ ගොඩක් මිනිස්සු දානයකට මානයකට මුදල් ඉතිරිකරගන්නෙත් බොහොම දුක් මහන්සියෙන්නෙ.

 

4. සෙටමෝල්

Image Source – youtube.com

ඉස්සර පාටියකට සෙට් වෙන මානසිකත්වයෙන් දැන් දානෙකට සෙට් වීම සාමාන්‍ය තත්ත්වයක්. කට්ටිය එන්නෙම යාළුවො නෑදෑයො සෙට් වෙන්න, කෑම ටිකක් කාලා හොඳට හිනා වෙලා හවසට අඩියක් ගහලා යන්න බලාගෙන. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය වුනාට ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කොටින්ම කාලීන ධර්ම දේශනා කරන හාමුදුරු කෙනෙක්නං මේ ගැන ධර්ම දේශනාවෙදිත් කොහොම කිවුවත් අපේ අයියලා නොබී ඉන්නෙ නෑ. බිවුවත් කමක් නෑ සමහරු හාමුදුරුවො යන්නත් කලින්ම ගෙදර පිටිපස්සෙයි, ඩිකිය අස්සෙයි සෙට් වීම හාමුදුරුවොන්ගෙ ඇහැ ගැටෙන එක තමයි අවුල.

 

5. ආයෙ ආයෙත්

Image Source – npr.org

මේ කරදරය සිද්ධ වෙන්නෙ මළ ගෙදරක් අවසාන වෙලා හත්දවසේ දානෙකදි හරි තුන්මාසෙ දානෙකදි හරි තමයි. සාමාන්‍යයෙන් කට්ටිය තමුන්ගෙ හෘදයාංගම බව පෙන්නන්න හදන්නෙ අඬලා, දොඩලා, වැළපිලා. එහෙමයි කියලා ඒ අයත් දැනගන්න උවමනායි මිය ගිය මනුස්සයට වැඩියෙන්ම ළඟ මිනිස්සුන්​ගෙ හිතට දුක වැඩි විත්තිය. ඒ නිසා ආයෙ ආයෙත් ඒ දුක ඉස්මතු නොවෙන්න ඉන්න එක වටිනවා. මේ අයගෙ මේ බොරු ඇඬිල්ලෙන් වෙන්නෙ මේ දුක ආයෙ ආයෙත් උඩ ගහන එක. එක මනුස්සයෙකුගෙ බොරු දුකක් හින්දා තවත් මනුස්සයෙක් ඇත්තටම හිතින් වැළපෙන එකේ අවුල තාම මේ අය තේරුම් ගන්නෙ නෑ.

 

6. බොරුව

Image Source – pmdnews.lk

දැන් ඔය දානෙ ගෙදරට එන හාමුදුරුවො මිය ගිය මනුස්සයා ගැන යම් තරමක ගුණ කියනවනෙ. බොහෝමයක් හාමුදුරුවරු මේ පුද්ගලයින්ව ඇත්තටම දැනගෙන ධර්ම දේශනාව කළත් ඇතැම් හාමුදුරුවරුන්ට එහෙම පැහැදිලි මතකයක් නෑ. හැබැයි ඒ මොහොතේ හැටියට යම් ගුණ කථනයක් කරන එක සාමාන්‍ය සිද්ධියක් නිසා හාමුදුරුවො කියන දේවල් ගෙදර කට්ටියට බලපෑමක් ඇති කරවන්න වගේම ඇවිල්ල ඉන්න කට්ටියට විහිළුවක් වෙන්නත් පුළුවන්. උදාහරණෙකට අර ප්‍රකට දේශපාලකයාගෙ කතාව දක්වතෑකි. උපතින්ම කතා කරන්න බැරි මනුස්සයෙකුගෙ මළ ගෙදරට ඇවිත් “මගේ ඡන්ද රැස්වීම් වලදි ඉදිරියෙන්ම ඉඳගෙන කෑ ගහපු මේ පුද්ගලයව මට අමතක නෑ” කිවුවම කට්ටිය මූණට මූණ බලාගත්තලු. ඒ වගේ අවස්ථා විරල නෑ.

 

7. සතුටු හිතෙන ඇබැද්දි

Image Source – fooditforward.com

මේකනං සතුටු හිතෙන ඇබැද්දියක්. දානෙ ගෙදරකට එනකොට කට්ටිය නොයෙක් දේ අරගෙන එන එක සාමාන්‍ය සිද්ධියක්. ඔය අරගෙන එන දේවල් අතරෙ ඉස්සර බහුල වුනේ සීනි, තේ කොළ, බිස්කට් වගේ දේවල් වුනාට දැන් නං වැඩිපුරම අරගෙන එන්නෙ ෆ්‍රිජ් එකෙන් තියන්න ඕන තෑගි. ඒ කියන්නෙ ඉතිං බහුලවම අයිස්ක්‍රීම්. දැන් ඔය අයිස්ක්‍රීම් කන්ද කඩවල්වලට විකුණන්නත් බැරි නිසා ඕක ඉවර වෙන්නෙ ගෙදර මිනිස්සු ඉවක් බවක් නැතුව අයිස්ක්‍රීම් ගිලලා ෂුගර් තත්ත්වය වැඩි කරගෙන ලෙඩ්ඩු බවට පත්වීමෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *