අන්තර්ජාලයේ ව්‍යාප්තියත් එක්ක ලෝකයේ ඉවුම් පිහුම් ලෝලීන්ට නම් උදාවෙලා තියෙන්නේ හොඳ කාලයක්. ගූග්ල් සෙවුමක් හරහා ඉතාම පහසුවෙන් ලෝකයේ ඕනෑම ආහාර සංස්කෘතියකට අයිති කෑම වට්ටෝරුවක් හොයාගන්නටත්, අවශ්‍ය නම් වීඩියෝ මගින් හදන හැටි පියවරෙන් පියවර නරඹලා ඉගෙනගන්නටත් අපිට අවස්ථාව උදාවෙලා තියනවා. ඒ නිසා ඉවුම් පිහුම් වැඩ තවත් පහසු වෙලා සහ ආහාර වල විවිධත්වය වැඩි වෙලා කියල කියන්න පුළුවන්.
හැබැයි මේ මොන කෑම වට්ටෝරු තිබ්බත්, සමහර සුවිශේෂී කෑම ජාති තියෙනවා කෙනෙක්ට එහෙම ලේසියෙන් හදන්න අමාරු. මේ කියන කෑම ජාති හදන්න ගිහින් ලෝකයේ ප්‍රසිද්ධ චෙෆ්ලා පවා වැඩේ අනාගත්ත අවස්ථා වාර්තා වෙලා තියනවා.
මේ කියන්න යන්නේ ඒ විදිහේ ලේසියෙන් පර්ෆෙක්ට්වට හදන්න අමාරු කෑම වර්ග 7ක් ගැන…
1. සුෆ්ලේ (Soufflé)
සුෆ්ලේ කියන්නේ ප්‍රංශයෙන් ලෝකයට දායාද වුණු කෑමක්. පැණි රසට අතුරුපසක් හැටියට වගේම සේවරි රසයටත් හදාගන්න සුෆ්ලේ ප්‍රධාන වශයෙන්ම බිත්තර යොදාගෙන හදන කෑමක්. වෙන වෙනම බීට් කරගන්නා ලද බිත්තර සුදු මද සහ කහ මද වලට බටර්, පිටි සහ වෙනත් රසකාරක යොදලා හදාගන්නා ලද මිශ්‍රණය බේක් කිරීමෙන් තමයි සුෆ්ලේ එකක් බිහි වෙන්නේ. සුෆ්ලේ එකේ විශේෂත්වය තමයි බේක් වෙද්දි ෆ්ලෆී ගතියට පිපිලා, පිම්බුණ, මෘදු ස්වභාවයක් ගන්න එක. හැබැයි ඒ විදිහට සුෆ්ලේ එකක් හදද්දි වරදින්න තැන් ගොඩක් සෙට් වෙනවා. බිත්තර හරි හැටි බීට් නොවුණොත් සුෆ්ලේ එක බේක් වෙද්දි හරියට පිපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සුෆ්ලේ එක මගදිම පිපිලා, කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ වගේම හරි ගාණට බේක් වෙන්නත් ඕනෙ. බේක් කරලා වැඩි වේලාවක් යන්න කළින් පිළිගැන්වුවේ නැත්නම් එතකොටත් සුෆ්ලේ එකේ හැඩයට හානි වෙන්න පුළුවන්. සරළ පියවර කීපෙකින් හදාගන්න පුළුවන් කෑමක් වුණාට පොඩි වැරැද්දක් නිසා ලොකුවට අවුල් වෙන්න පුළුවන් කෑමක් මේක.
2. මෝල් සෝස් (Mole Sauce)
මෙක්සිකානුවන්ට අනන්‍ය වුණු රජ කෑමක් හැටියට මේ මෝල් සෝස් එක හඳුන්වන්න පුළුවන්. මේ නමින් සෝස් වර්ග කීපයක්ම තියනවා. ඒ අතරිනුත් අමාරුම සෝස් වර්ගය හදන එක ලොකුම ගේමක්. මස් වර්ග එක්ක ආහාරයට ගන්න තමයි මේ සැර සෝස් එක හදන්නෙ. මෝල් සෝස් එකට සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය 30කටත් වැඩිය ඕනෑ වෙනවා. රෙසිපියක් හැටියට ලිවුවොත් හදන්න පියවර 10ක් වත් යනවා. මේකත් එක දවසකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, දවස් ගාණක් යනවා. වියළි මිරිස් වර්ගම කීපයක්, කුළුබඩු වර්ග සහ ඇට වර්ග රැසක් එක්ක චොකලටුත් මේ සෝස් එක සඳහා භාවිතාවට ගන්නවා. මේ අමුද්‍රව්‍ය බැදගෙන, අඹරලා කුඩු බවට පත් කරගෙන, එය මස් තැම්බූ ජලය එක්ක මිශ්‍ර කරලා හැඳිගාමින් හින්දගන්නට සෑහෙන කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා. නියම රසයත් රැකගෙන, මේ කාර්යය නිම කරන එක ඉතින් හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.
3. බේක්ඩ් ඇලස්කා (Baked Alaska)
ඇහැටත් ප්‍රිය උපදවන සුළු ඉතාම රසවත් අතුරුපසක් වෙන බේක්ඩ් ඇලස්කා හදනවා කියන්නෙ නිකන් දැළි පිහියෙන් කිරි කනවා වගේ අවදානම් වැඩක්. පුළුස්සන ලද මෙරින්ජ් නැමැති කුකීස් තට්ටුවකින් වටවුණු මේ බේක්ඩ් ඇලස්කා අතුරුපසේ මැද තියෙන්නෙ අයිස්ක්‍රීම් තට්ටුවක්. මේ අයිස් ක්‍රීම් තට්ටුව වටේට මෙරින්ජ් මිශ්‍රණය තවරගෙන, ඊට පස්සේ ඒක බේක් කරන්නට හෝ ගින්දර වලින් පුළුස්සන්න සිද්ධ වෙනවා. එතනදී තමයි ගුරුන්ටත් වැඩ වරදින්නෙ. මොකද බේක්ඩ් ඇලස්කා එක සාර්ථකව හැදෙන්න නම් වටේ මෙරින්ජ් තට්ටුව නියම පදමට බේක් වෙලා තියෙන්නත්, මැද අයිස් ක්‍රීම් තට්ටුව දිය නොවී ඝණව තියෙන්නත් අනිවාර්යයි. පොඩ්ඩක් වැඩේ ගැස්සුනොත් දිය වෙච්ච අයිස් ක්‍රීම් එක්ක කර වෙච්ච මෙරින්ජ් තට්ටුවක් තමයි ඉතිරි වෙන්නෙ. හැබැයි ඉතින් අමාරුවෙන් හරි නියම පදමට ගොඩ දා ගත්තොත් රස ආයෙ විස්තර කරන්න ඕනෙ නැති තාලේ සුපිරි අතුරුපසක් මේක.
4. ටර්ඩකන් (Turducken)
අමුතුම නමක් තියෙන අමුතුම විදිහේ කෑමක් තමයි මේක. මාංශ ලෝලීන්ගේ හීනයක් හැබෑ වීමක් කියලා කිවුවත් වැරදි නෑ මේ ඩිෂ් එක. කළුකුම් මස් (Turkey), තාර මස් (Duck) සහ කුකුළු මස් (Chicken) කියන තුනේ මුල් සහ අග අකුරු එකතුවෙන් (Tur+Duck+En) තමයි මේ කෑමේ නම නිර්මාණය වෙලා තියෙන්නේ. මේක හදන්නේ කළුකුමෙක්ගේ ඇතුළට තාරාවෙක්ව ඇතුළු කරලා ඒ මැදට කුකුළු මස් පිරවුමක් දාලයි. එහෙම හදන මේ මස් ලේයර් තුනකින් සමන්විත ආහාරය බේක් කරගනු ලබනවා. හැබැයි කියන්න එහෙම ලේසි වුණාට මේක හදන්න එහෙම ලේසි නැහැ. මස් තේරීමේ ඉඳන්ම තියෙන්නේ භාරදූර කාර්යයක්. එකිනෙකාට ගැලපෙන ශරීර වලින් යුතු තාරාවුන් සහ කළුකුම් තමයි තෝරාගන්න ඕනෙ මේ ආහාරය සඳහා. නැත්නම් බේක් කරද්දි මස් එක පිපිරිලා අවලස්සන වෙන්න ඉඩ තියනවලු. ඒ වගේම මේ මස් වර්ග තුනම හරි ගාණට පිසෙන විදිහට කාලවේලාව සහ සීසනින් සකස් කරලා හදන්නත් ඕනෙලු. එක මස් වර්ගයක් හෝ හරි හැටි පිසුණේ නැත්නම් ඉතින් ප්‍රතිඵලය මස් නෙමෙයි දෙල්!
5. බීෆ් වෙලින්ටන් (Beef Wellington)
ඔන්න තවත් ලොකු ලොක්කෝ දණ ගැස්සෙන විදිහේ කෑම වර්ගයක්. බොහෝ විට නත්තල් සමයේ වැඩිපුර හැදෙන මේ බීෆ් වෙලින්ටන් සඳහා යොදාගන්නේ හරකාගේ ඉන ප්‍රදේශයෙන් ලබාගන්නා මස්. මේ මස් වලින් සාදාගන්නා ස්ටීක් එකක් හතු එක්ක එකතු කරලා, පේස්ට්‍රි ෂීට් එකකින් ඔතලා බේක් කිරීමෙන් තමයි බීෆ් වෙලින්ටන් හදාගන්නෙ. හැබැයි වැඩේ ලේසි නම් නෑ. බීෆ් වෙලින්ටන් වලට ගන්න හරකාගේ ඉන ප්‍රදේශයේ මස් කොටස නිවැරදිම තත්ත්වයට පිසගන්න එක ලොකු ගේමක්. ඒ වගේම සාර්ථක බීෆ් වෙලින්ටන් එකක මේ මස් කොටස තෙතමනය සහිතව හොඳින් පිසිලා තියෙන්න ඕනෙ. ඒ එක්කම වටේ තියෙන පෆ් පේස්ට්‍රි ලේයරයත් හොඳින් ක්‍රිස්පිව තිබිය යුතුයි. මේ දෙකෙන් එකක් හරි අවුල් වුණා කියන්නේ වැඩේ හබක්.
6. කොන්සොමේ (Consommé)
කොන්සොමේ කියන්නේ ක්ලියර් සුප් එකක්. සාමාන්‍යයෙන් සුප් එකක් කියන්නේ හදන්න එච්චර ගේමක් නැති ආහාරයක් උනත් කොන්සොමේ අනිත් සුප් වලට වඩා වෙනස්. ඒක බොහොම ඉවසීමෙන් යුතුව, කාලය අරන් හදන්න ඕනෙ සුප් ජාතියක්. මස් වර්ග, කැරට්, ලීක්ස්, ළූණු, තක්කාලි සහ බිත්තර පාවිච්චි කරලා තමයි මේ සුප් එක හදන්නේ. මේ සුප් එකේ අවසාන ප්‍රතිඵලය තීරණය කරන්න වැදගත්ම දායකත්වයක් දෙන්නේ ඒකට එකතු කරන බිත්තර සුදුමදයයි. උෂ්ණත්වය අවශ්‍ය පමණට තියා ගනිමින්, සෙමින් හැඳි ගාමින් මේ සුප් එක හින්දවගන්න ඕනෙ. එක්තරා අවස්ථාවකදි මේ සුප් එකට යොදල තියන බිත්තර සුදු මද සහ අනිත් එළවළු වර්ග එකට කැටි ගැහෙන්නට පටන් ගන්නවා. ඊට පස්සෙත් නොනවත්වා හැඳි ගාමින්, උෂ්ණත්වය පාලනය කරමින් අවශ්‍ය පදමට එනකන් මේ සුප් එක හින්දවාගෙන, පෙරා ගත යුතු වෙනවා. බොහොම කාලයක් වැයවෙන, දැඩි ඉවසීමෙන් සහ අවධානයෙන් හදන්න ඕනෙ සුප් එකක් මේක.
7. බියර්නේස් සෝස් (Béarnaise Sauce)
බියර්නේස් සෝස් ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ මාංශමය ආහාර එක්ක මුසු කරගෙන කෑමටයි. මේක ප්‍රංශ සෝස් එකක්. ගී, බිත්තර, විනාකිරි, ළූණු සහ කුළුබඩු වර්ග එකතු කරලා හදන මේ සෝස් එක හදන්නත් ඉවසීම කියන අමුද්‍රව්‍යය සෑහෙන අවශ්‍ය වෙනවා. ඉතාම අඩු ගින්දරේ හිමිහිට පිසෙන්නට දෙන්න ඕනෙ සෝස් එකක් තමයි මේ බියර්නේස් සෝස් එක. මොකද හදිස්සියේවත් උෂ්ණත්වය පොඩ්ඩක් හරි වැඩිපුර ඉහළ ගියොත් මේ සෝස් එකට යොදන බිත්තර කැටි ගැහිලා ස්ක්‍රැම්බල් එකක් බවට පත්වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් සෝස් එකම අහක දාන්න තමයි සිද්ධ වෙන්නෙ. ඒ නිසා බොහොම ඉවසීම සහිත කෝකියෙක්ට තමයි මේ කෑම රෙසිපිය ගොඩදාගන්න හැකියාවක් තියෙන්නෙ.
Cover Image Source – entertainingwithbeth.com/ turducken.com
Leave a Reply