පාර්ලිමේන්තුවේ අපූරු නෑදෑකම්

ලෝකය පුරාම පවුල් දේශපාලනය කියන දේ පැතිරිලා තියෙනවා. සමහරු මේක දකුණු ආසියාතික රටවල පමණක් දකින්න තියෙන තත්ත්වයක් කිව්වට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලැයිස්තුව බැලුවොත් ඒ අදහස වැරදියි කියලා වැටහේවි. ඒ වගේම කැනඩාවේ වර්තමාන අගමැතිවරයාගේ පියාත් එරට හිටපු අගමැතිවරයෙක්. නමුත් දකුණු ආසියාතික සහ අප්‍රිකානු කලාපවල මේ ස්වභාවය වැඩියි කියලා නම් අපිට පිළිගන්න වෙනවා. ඉන්දියාවේ අගමැති ධුරයට කොංග්‍රසය හැම තිස්සෙම වගේ හොයලා තියෙන්නේ ගාන්ධි කෙනෙක්ව. බංග්ලාදේශයේ ගත්තත් පාකිස්ථානයේ ගත්තත් වැඩි වෙනසක් නෑ. ලංකාවේ ගත්තොත් විජයානන්ද දහනායක, ආර්. ප්‍රේමදාස සහ ඩී.බී විජේතුංග හැරුණම අනිත් සියලු දෙනාම පාහේ මොකක් හරි දේශපාලන පවුලක සමාජිකයෙක්. මේ සිමීත දේශපාලන පවුල් කීපයක් අතර බලය හුවමාරු වීම නිසා අපූරු නෑදෑ සම්බන්ධකම් ගොඩ නැගිලා තියෙනවා. මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ අහන්න ලැබුණු අපූරු නෑදෑකම් කීපයක් ගැන.

 

1. රනිලුයි මහින්දයි නෑදෑයෝද?

Image Source – youtube.com

මේ දවස්වල ෆේස්බුක් එකේ කතාවක් යනවා ශිරන්ති රාජපක්ෂ මැතිනිය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතිවරියක් කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ නෑදෑයෝ කියලා. ෆේස්බුක් එකේ තියෙන සේරම විශ්වාස කරන්න එපා කියලා ඩී. එස් සේනානායක මහත්තයත් කියලා තියෙනවා කියලා ඔය ෆේස්බුක් එකේම තියෙනවා (සමහරු කියන විදිහට එහෙම කියලා තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා). ඇත්තම කතාව එහෙම ඥාතීත්වයක් වික්‍රමසිංහ මහත්තයයි රාජපක්ෂ මහත්තයයි අතර නෑ. හැබැයි හද්ද දුර නෑදෑකමක් නම් තියෙනවලු. ඒ ගැන කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයෙක් වුණු සෑම් විජේසිංහ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පියාගේ වැඩිමහල් සහෝදරයා වුණු ඩී. එම් රාජපක්ෂ මහත්තයාගේ බිරිඳගේ සහෝදරයෙක් විවාහ වෙලා තියෙන්නේ ජේ.ආර් ජයවර්ධන මහත්තයගේ සහෝදරියක් එක්ක. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජේ. ආර් ජයවර්ධන මහත්තයාගේ බෑනා නිසා කැමති කෙනෙක්‍ට ඔන්න ඔය විදිහට රාජපක්ෂවරු සහ වික්‍රමසිංහවරු අතර නෑදෑකමක් ගොඩ දාන්න පුළුවන්.

 

2. ජේ. ආරුයි බණ්ඩාරනායකලයි නෑදෑයෝද?

Image Source – srimalfernando.wordpress.com

මෙන්න මේ ප්‍රශ්නෙට කලින් ප්‍රශ්නෙට වගේ වටේ යන නෑදෑකමක් නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සහෝදරයෙක් වුණු සීවලී රත්වත්තේ මහත්තයට දූවරු දෙදෙනෙක් ඉන්නවා. ඒ අතරින් වැඩිමල්ම දියණිය වුණු ලක්මිණි විවාහ වෙන්නේ උපාලි සමූහ ව්‍යාපාරයේ අධිපති වුණු උපාලි විජේවර්ධන මහත්තයා එක්ක. උපාලි විජේවර්ධන මහත්තයා ජේ. ආර් ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ කියන දෙන්නගෙම ළඟම ඥාතියෙක්. ඇතැම් අය කියන විදිහට තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට උපාලි විජේවර්ධන මහත්තයා ගෙන එන්නට ජේ.ආර් ජයවර්ධන මහත්තයට ඕන කමක් තිබ්බලු. ඒකට සිරිමාවෝ මැතිනියත් කැමැත්තෙන් හිටියා කියලත් කියනවා. උපාලි විජේවර්ධන මහත්තයාගේ මරණයත් එක්ක මේ සැලසුම් විනාශ වෙනවා. ඒ වගේම පස්සේ කාලෙක ලක්මිණි විජේවර්ධන මහත්මිය වෙනත් විවාහයක් සිදු කරගන්නවා.

 

3. වසන්ත සේනානායක ඩී.එස් ගෙ කවුද?

Image Source – newsin.asia/ en.wikipedia.org

මේ දවස්වල වසන්ත සේනානායක මන්ත්‍රීවරයා පක්ෂ මාරු කරන වේගය අනුව ඔහුට ඩී.එස්. සේනානායක එක්ක තියෙන නෑදෑකම ගැන හාස්‍යජනක අදහස් ෆේස්බුක් එකේ හුවමාරු වෙනවා. ඒ නිසා  අපි හිතුවා වසන්ත සේනානායකගේ පවුල් සම්බන්ධකම් ගැන ලියන්නත්. ශ්‍රී ලංකාවේ ජාතියේ පියා විදිහට ඩී. එස් සේනානායක මහතා විවාහ වෙන්නේ මොලී දුනුවිල මැතිනිය සමග. ඒ විවාහයෙන් ලැබෙන එක් දරුවෙක් වන්නේ පසු කලෙක ලංකාවේ අගමැති ධුරයට පත්වෙන ඩඩ්ලි සේනානායක. අනිත් කෙනා රොබට් සේනානායක. රොබට් සේනානායකගේ එක පුතෙක් වන්නේ රුක්මන් සේනානායක. ඔහු විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවා. රොබට් සේනානායකගේ තවත් දරුවෙක් වන්නේ රංජිත් සේනානායකයි. ඔහු වසන්ත සේනානායකගේ පියාණන් වෙනවා. මේ විදිහට බලද්දි වසන්ත සේනානායක ඩී. එස් සේනානායකගේ මී මුණුපුරෙක් වෙනවා.

 

4. පාර්ලිමේන්තුවේ මාමණ්ඩියි බෑනයි

Image Source – colombogazette.com

පසුගිය දවස්වල කරු ජයසූරිය මහත්තයට පාර්ලිමේන්තුවේදි ආණ්ඩු පක්ෂයෙන් විරෝධතා එල්ල වෙද්දි ඒ වලට එක්සත් ජාතික පක්ෂයේ සිට දැඩි විරෝධයක් දක්වපු මන්ත්‍රීවරයෙක් වන්නේ නවීන් දිසානායක. නවීන් දිසානායක මහත්තයගේ මේ විරෝධතාවයට බැඳීමකුත් බලපෑවා. ඒ තමයි කරු ජයසූරිය මහතා ඔහුගේ මාමණ්ඩිය වීම. නවීන් දිසානායක මහත්තයා විවාහ වෙලා ඉන්නේ කරු ජයසූරිය මහත්තයගේ බාල දියණිය වන ලංකා ජයසූරිය සමග.

 

5. පාර්ලිමේන්තු ආපු නැන්දම්මයි බෑනයි

Image Source – wikipedia.org

මේ කියන්න යන නෑදෑකම වර්තමාන පාර්ලිමේන්තුවට අදාළ නෑදෑකමක් නම් නෙමෙයි. ලංකාවේ විවිධ අවස්ථාවල එකම පාර්ලිමේන්තුවෙ මාමණ්ඩිලා සහ බෑනලා වාඩි වෙලා තියෙනවා. ඒත් මේ දක්වා පාර්ලිමේන්තුව නැන්දම්මා සහ බෑනා කෙනෙක් නියෝජනය කරලා තියෙන්නේ එකම එක අවස්ථාවයි. ඒ 1956 දී, විමලා විජේවර්ධන මහත්මිය කැලණිය ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වෙනකොට ඇයගේ දියණිය වුණු රුක්මණි විජේවර්ධන මහත්මියගේ සැමියා වුණු සී. ආර් බෙලිගම්මන මහතා මාවනැල්ල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඒත් මේ දෙදෙනාටම බණ්ඩාරනායක ඝාතන ක්‍රමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට පසුව චෝදනා එල්ල වුණා

 

6. පාර්ලිමේන්තු ආපු නෑනලා දෙන්නා

Image Source – dbsjeyaraj.com/lfredratwattefamily.lk

මේ නෑදෑකමත් අපේ පාර්ලිමේන්තුව ඇතුළේ දුර්ලභයි. මේ එක නෑනා කෙනෙක් ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරවත් ප්‍රසිද්ධියට පත් වුණු කෙනෙක්. ඒ තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. එතුමියගේ සහෝදරයා වුණු ක්ලිෆර්ඩ් රත්වත්තේ මහතා බලංගොඩ ආසනය ජයග්‍රහණය කළත්, ඡන්ද පෙත්සමක් නිසා ධුරය අහිමි වෙනවා. ඒ නිසා පැවැත්වෙන අතුරු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ එතුමාගේ බිරිඳ වුණු මල්ලිකා රත්වත්තේ මහත්මිය. මේ නිසා ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුව නියෝජනය කළ එකම නෑනලා දෙන්නා බවට පත්වෙනවා.

 

7. මවුකුසේ සිටිමින් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරයා

Image Source – iwa-network.org

වරක් දිනේෂ් ගුණවර්ධන මහත්තයාට ප්‍රතිපක්ෂයෙන් එල්ල කරපු වාග් ප්‍රහාරයකට එතුමා උත්තර දෙන්නේ ඔබතුමාලා අද ඊයේ පාර්ලිමේන්තුවට ආවට මම මවුකුසේ ඉද්දිත් පාර්ලිමේන්තුවට ආවා කියලා. මේ කතාව විහිළුවක් වගේ පෙනුනට ඇත්ත කතාවක්. හේතුව වෙන්නේ එතුමාගේ පියා වුණු පිලිප් ගුණවර්ධන සහ මව වුණු කුසුමා ගුණවර්ධන යන දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබීම. දිනේෂ් ගුණවර්ධන මහතා ඉපදුණු 1949 වෙනකොට එතුමාගේ මව වන කුසුමා ගුණවර්ධන මහත්මිය අවිස්සාවේල්ල මන්ත්‍රීවරිය ලෙස කටයුතු කරමින් හිටියා.

 

8. මාමණ්ඩිය සහ ලේලිය

ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලබාගත්ත දෙන්නෙක්. මේ දෙන්නා ඥාතීත්වය අතින් මාමණ්ඩි සහ ලේලිය වනවා. හැබැයි දෙන්නා අතර ඒ තරම් හොඳ සම්බන්ධතාවයක් තියෙනවද කියලා සැක හිතෙන්නේ “මන්ත්‍රී ලේලිය බොරු කරන බව ඇමති මාමා කියයි“, “පවිත‍්‍රා ලේලිය ජෝං මාමාගේ රෙදි සියල්ල එකවර ගලවා දමයි” වගේ ප්‍රවෘත්ති නිතර මාධ්‍ය වල පළ වන නිසයි.

 

මේ වගේ ඔබ දන්න  අපේ පාර්ලිමේන්තුවේ එදා ඉඳන් අද දක්වා දකින්නට ලැබුණු අපූරු නෑදෑකම් මොනවද කියලා දන්නවා නම් Comment එකක් දාගෙනම යන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *