කලකට පෙර විද්වතුන් යැයි නම්ලත් කිහිප දෙනෙක් පෙනී සිටි රූපවාහිනියේ රාත්‍රියේ ගිය සාකච්ඡාමය වැඩසටහනක් තිබුණා. එම වැඩසටහන විශ්ව විද්‍යාලයක් වැනි අධ්‍යාපනය බෙදන තැනක්ය, ඒ නිසා ඒ සාකච්ඡා හරි වටිනවාය කියලා ඒ වැඩසටහන මෙහෙයවූ නිවේදකයා සහ නාලිකාව ඒ කාලේ පැවසුවා. ඇත්තටම යම්කිසි දැනුමක් ඇති කිහිපදෙනෙක් ඔවුන්ගේ දැනුම අනුව යම් යම් නිර්මාණශීලී අදහස් දැක්වීම වැදගත්. ඒත් තාරකා විද්‍යාඥයින් පවුල් ජීවිතය ගැන කියා දීම, සිංහල මහාචාර්යවරුන් ලෝකය බිහිවීම ගැන කතා කිරීම වැනි දේවල් එතරම්ම වැදගැම්මකට ඇති දේවල් ලෙස සලකන්න අමාරුයි. විශ්ව විද්‍යාලය කියන්නේ පරණ දැනුම අලුත්කරගැනීම වගේම දැනුම උත්පාදනය කරන, අලුතින් සිතන, දැනුම ගැටෙන, විවාද ඇතිවෙන සක්‍රීය තැනක්. ඉතිං ෆේස්බුක් ලෝකය ජනප්‍රිය වීමත් එක්කත් අලුත් විදියේ පිරිසක් අදහස් දක්වන්නට ආවා. අපි ඒ විද්වතුන් ගැන ටිකක් සොයාබලමු.
1. ආර්ථික ඔස්තාද්ලා
ආර්ථිකය කියන්නේ ජීවිතයට බලපාන ප්‍රබල දෙයක්. වෙනිසියුලාව කියන රට ගතහොත් තෙල් තිබෙන, කලකදී බොහොම දියුණු රටක් වුනා. ඒ රටේ ආර්ථිකය හරියට පවත්වාගෙන යන්නට ඒ රජය සමත් වුනේ නැහැ. ඉතින් ඒ රටේ මිනිස්සුන්ට අවසානේ කන්න බොන්න පවා නැතිවුනා. දැනට මිලියන ගාණක් මිනිස්සු වෙනිසියුලාව හැරයනවා රටේ ඉඳලා කරන්න දෙයක් නැති නිසා. ආර්ථිකය එහෙව් වැදගත් දෙයක් වුනත් අපේ ෆේස්බුක් විද්වතුන්ගේ ආර්ථික දැක්මවල් වල දිග පළල ඔවුන්ගේ ෆේස්බුක් වෝලයේ අනෙක් පෝස්ට් කිහිපයක් බැලීමෙන් හොඳටම දැකගන්න පුලුවන්කම ලැබෙනවා. ඔහු කැමති දේශපාලන පක්ෂයක් සිටීනම් ඒ අය ගන්නා ලද ණය රට දියුණුව කරා ගෙනයන මහානුභාවසම්පන්න ණය බවත්, විරුද්ධ පක්ෂය කිසිම වැදගත්කමකට නැති වැඩවලට ණය ගත් බවත් අපේ බහුතර ආර්ථික ඔස්තාද්ලාගේ අදහස් වල ගෙඩිපිටින්ම තියෙනවා.
2. නිරාගමික වවුලන්
වවුලන් දවල්ට වඩා රෑටයි ඇක්ටිව්. දවල් කාලයේ ඔවුන් ගස්වල හෝ ගුහාවල එල්ලීගෙන සිටිනවා. මේ වගේ පවුලේ කටයුතු, පුද්ගලික කටයුතු වලදී ආගමික දේවල එල්ලී සිටියත් ෆේස්බුක් එකේදි වෙනස් වූ අලුත්ම නිරාගමික පිරිසක් ඇතිවෙලා තියෙනවා. ඔවුන් ලංකාවේ සියලුම ප්‍රශ්නවල මූලිකම දේ විදියට දකින්නේ ආගම. බල්ලා ගැන ලියන්නට ගොස් මැක්කාගෙන් අවසාන කළා සේ රටේ තියෙන තරමක් ප්‍රශ්නවලට මුල ආගම බවත්, ආගමිකයින් බවත් කියන්නට ඔවුන් පසුබට වන්නේ නැහැ. එසේම සෑම සියලු ආගමික චාරිත්‍ර වලට අමු අමුවේ පහර දෙමින්, විටෙක සංස්කෘතියටද පහර දෙමින් කුමක්දෝ නිරාගමික දෙයක් සොයායන්නට ඔවුන් උත්සාහ කරනවා. ඇතැම් නිරාගමිකයින් ආගමිකයින්ටත් වඩා පොතපත කියවලා ආගමිකයින්ටත් පාඩම් උගන්වන්න යනවා.
3. පාරිසරික විද්වතුන්
ලංකාවේ පරිසරය කිව්වොත් විල්පත්තුව ගැන නොකියාම බැහැ. ඒත් ඈත විල්පත්තුවට මෙහා ඔයාල ඉන්න ගම්පළාත, නගරය තුළ පාරිසරික ප්‍රශ්න කොච්චර තියෙනවද? අමතක කරන්න හොඳ නැහැ කොළඹ කුණු කන්දක් කඩන් වැටිලා පිරිසක් මිය ගියේ ස්වාභාවික ව්‍යසනයකින් නෙමෙයි. එය මෑන්මේඩ් ඩිසාස්ටර් එහෙම නැත්නම් මිනිසුන් විසින් ඇතිකළ ව්‍යසනයක්. ඒවාත් අයිති වෙන්නේ පරිසර ගැටළුවලට. එහෙත් පරිසරය කිව්ව ගමන් විල්පත්තුව, බදියුදීන් සහ අනෙක් ජාතීන් සම්බන්ධ පරිසර ගැටළු සමහර අයට මීටර් වෙනවා. ඉතින් මේ පරිසරය රකින්න ෆේස්බුක් යෝදයින්ගෙන් සේවයක් නොවනවාම නොවෙයි. එහෙත් සමස්ථ පරිසරයටම බලපාන විශාල ප්‍රශ්න නැතිව, තැන තැන වන සිද්ධි පමණක් පරිසරය ලෙස දැකීම මෙම ෆේස්බුක් පරිසර වියතුන්ගේ ලොකු දුර්වලකමක්.
4. ආත්තම්මාගෙන් උපදෙස්
සාම්ප්‍රදායික මතිමතාන්තර වල හොඳත් තියෙනවා, නරකත් තියෙනවා. මේ වගේ සාම්ප්‍රදායික පැරණි මත හිසේ තියාගෙන උපදෙස් දෙන කාන්තා චරිත කාන්තා ගෲප් වලදි නිතර හමු වෙනවා. ඔවුන් අලුත උපන් බිලිඳාට උපදෙස් සහ පවුල් ජීවිත ගැනත් උපදෙස් දෙනවා. සමහර දැනුම් තේරුම් ඇති උදවිය දෙන උපදෙස් නම් ජීවිතයට බොහොම වටිනවා. ඒත් සමහර අය යල්පැනගිය මති මතාන්තර, ඇදහිලි විශ්වාස කරගෙන ඒවා නැවත වලෙන් ගොඩගන්නත් උත්සාහ කරනවා.
5. දේශපාලන සක්විතිලා
පසුගිය කාලයේ ඇතිවුන දේශපාලන කලබල වෙලාව මේ ෆේස්බුක් දේශපාලන යෝදයින්ගේ රෙදි ගැලවුණු අවස්ථාවක් වුනා. ඔවුන් පළකළ අනාවැකි අමු අමුවේම බොරු වුනා. දේශපාලන පක්ෂ වල ගිලී, ඒවායෙන් විසික් කරන මස්කටු බුදින මොවුන් ඒ ලැබෙන දේට හරියන්න දවසට සිංහල අකුරු සෙට් කිහිපයක් ෆේස්බුක් වෙත මුදාහරිනවා. එක අතකින් ඒවත් මහ පාපතර ජීවිත. ලොක්කන් මේ සොක්කන්ට කිසිත් නොදන්වා යූ ටර්න් ගහද්දි මොවුන්ට විවිධ ආකාරයේ සබන් කෑලි යොදාගෙන ලොක්කන්ව හෝදන්න සිද්ධ වෙනවා.
6. අහවල් ගුරුගෙන් මෙන්න විසඳුම්
ඈත අප්‍රිකාවේ හිටියත් මී හරකුන්ගේ අං තට්ටුවල අඩුවක් පාඩුවක් නැහැ. ඒ වගේ ලංකාවේ උදවියත් රට ගියා කියලා මෙහෙදි කරපු ගොන්කම නම් අඩුපාඩුවක් නැතිව කරනවා. වශී ගුරුකම්, අනවින, කොඩිවිණ, සෙත් ශාන්ති, ආශිර්වාද, කේන්දර, නිවාස තැනීමේ වාස්තු විද්‍යා, හස්ත ශාස්ත්‍ර, ෆෙන්ෂුයි, හක්ගෙඩි, නූල්, සුර ආදී විශාල පරාසයක නොපෙනෙන බලවේග, ට්‍රික්ස් රැසක් ෆේස්බුක් වලත් ජනප්‍රියයි. ඒ දේවල් වලට ජනප්‍රිය සක්විති රජවරුන් වගේ ඔන්ලයින් කැරැක්ටර් කිහිපයකුත් තියෙනවා. එයාලත් සිය සේවාවන් විදෙස්ගත ලාංකිකයින්ට සපයලා ෆේස්බුක් අවකාශයෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා.
7. ආදර කයියන්
කයියන් ලෙස ඉස්සර ගම් වල කයිවාරු කෙලින්නන් හැඳින්වූවා. එහෙත් වර්තමානයේ ෆේස්බුක් කයියන් යනු ෆේස්බුක් අවකාශයේ කවි ලියන්නන්. ඔවුන් කවි ලිවීම මගින් සැලකිය යුතු පිරිසක් එකතු කරගන්න සමත් වෙලා තියෙනවා. මේ කවි ගෲප් වල ගොඩක් වෙලාවට අජිත් මුතුකුමාරණගේ සිංදුවල ලිරික්ස් වගේ සරල ප්‍රේම අඳෝනා තියෙනවා. ඒවාගේ එන කමෙන්ට් වලත් ඒවා තියෙනවා. ආදරය කරපු, කරන සහ ආදරයක් නැතත් නිකම්ම වැළපෙන්න ආස අය ඒ ආදර කයියන්ට සෙට් වෙලා ඔවුන් සමග කල්ගතකරනවා. මේ සමහර කයියෝ ලේසි පහසු නැහැ. ඔවුන් ඒ කවි මගින් විශේෂ පහසුකම් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.
ෆේස්බුක් කියන්නේ ඇමරිකාවේ මාක්ට අයිති වෙළඳපොලක්. ඒ වෙළඳපොල තුළ එයට යන අයට සතුටු වෙන්න හේතු තියෙනවා. හරියට ගමේ ඉස්සර තිබුන කානිවල් එක සහ සල්පිල වගේ. විනෝද වෙන අයට විනෝදයත්, බඩු විකුණන අයට බඩු විකුණ ගන්නත් කානිවල් එකේදි, සල්පිලේදි පුලුවන්. ඒ වගේ ෆේස්බුක් අවකාශය තුළ විශාල පිරිසකට තමුන්ගේ වේදිකාව හදාගන්න හැකි වෙලා තියෙනවා. මීඩියා මගින් වීරයින් බිහිකළ යුගය පහුවෙලා, වෙනමම යූ ටියුබ්, එෆ් බී, ට්විටර් තරු නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන්ට අපි කැමති වුවත් අකමැති වුවත් සයිබර් යෝධයින් වන ඔවුනුත් අප සමාජයේ එක්තරා බහුතරයක් නියෝජනය කරන බලවතුන් පිරිසක් වෙලා අවසානයි.
Leave a Reply