වැදගත් පෙනුමක බිස්නස් කාඩ් එකක් හදාගන්න ටිප්ස් 9ක්

බිස්නස් කාඩ් එකක් මොකටද? සරලයි. බිස්නස් කාඩ් එකක් වුවමනා වෙන්නේ තමන් ගැන හැඳින්වීමක් ලබාදෙන්න. එතනදී බොහෝ විට වැදගත් වෙන්නේ තමන් කියන පුද්ගලයාටත් වඩා තමන් කියන වෘත්තිකයාව. එතකොට මේ බිස්නස් කාඩ් එක කියන පොඩි කාඩ්බෝඩ් කෑල්ල ඇතුළේ වෘත්තිකයෙක් විදියට තමන් ගැන හැඳින්වීමක්, සම්බන්ධ කර ගැනීමේ තොරතුරු විතරක් නෙවෙයි, හොඳ හැඟීමකුත් තිබිය යුතුමයි. දැන් ඔ‍ෆිස් එකෙන්ම ගහලා දෙන බිස්නස් කාඩ් වලදී නම් මේ කිසිම දෙයක් ගැන වදවෙන්න ඕන නෑ. එතනදී තියෙන ටෙම්ප්ලේට් එකට තමන්ගේ නම සහ තනතුර වැටෙනවා, එච්චරයි. හැබැයි තමන්ගේ පුද්ගලික බිස්නස් කාඩ් එකකදී එහෙම බෑ. ඔය විදියට බලනකොට බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්නේ කොහොමද? ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. මොනවද විස්තර?

Image Source – templatetrain.com

මේක තමයි බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරන්න පටන් ගන්න කලින්ම හිතන්න වුවමනා වෙන්නේ. බිස්නස් කාඩ් එක ඇතුළේ තියෙන්න ඕන විස්තර මොනවද කියන එක. සරලයි. තමන් කවුද? තමන් මොනවද කරන්නේ? තමන්ව සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔන්න ඔය ප්‍රධාන කාරණා තුනෙන් පටන් ගමු. මුලින් නම සඳහන් වෙන්න ඕන. හැබැයි මේ අයිඩෙන්ටි කාඩ් එකේ තියෙන සම්පූර්ණ වාසගම් සහිත නම නෙවෙයි. තමන්ගේ වෘත්තිය ලෝකයේ පාවිච්චි කරන නම. ඒක නිකම් ලෝරිස් ජයමාන්න වගේ මුල් නම සහ වාසගම විතරක් නම් වඩා යෝග්‍යයි. ඊළඟට තමන් මොනවද කරන්නේ කියන එක දැමීම හෝ නොදැමීම තමන්ගේ වැඩක්. හැබැයි වෘත්තිකයෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ රක්ෂාව හෝ තනතුර හෝ සඳහන් කරනවා. නමට ඉස්සරහින් තමන්ගේ ඇකඩමික සුදුසුකම්, උපාධි එහෙම දාන්න ඕන නම් ඒවාත් දාන එක හොඳයි.

 

2. කොන්ටැක්ට් ඩීටේල්ස්

Image Source – digitalprintingireland.ie

මේක වෙනම කතා කළ යුතු දෙයක්. තමන්ව සම්බන්ධ කරගැනීමේ විස්තර දාන තැනදී තමයි බිස්නස් කාඩ් එකක් හදන ගොඩක් අය පැටලෙන්නේ. මුලින්ම තීරණය කරන්න ඕන මේ බිස්නස් කාඩ් එක පුද්ගලිකයිද එහෙම නැතිනම් තමන් ‍රැකියාව කරන ස්ථානය නියෝජනය කරනවාද කියන එක. ‍රැකියා ස්ථානය නියෝජනය කරනවා නම් අනිවාර්යයෙන්ම ‍රැකියා ස්ථානයේ ලිපිනය සහ/හෝ දුරකථන අංක, ඊමේල් ලිපින සඳහන් කරන්න වෙනවා.

අපි කියමු මේ බිස්නස් කාඩ් එක ‍රැකියා ස්ථානය නියෝජනය කරන්නේ නැහැයි කියලා. මෙතනදී යම් ‍තෝරාගැනීමක් කරන්න වෙනවා මොන විදියේ විස්තරද ඇතුළත් කරන්නේ කියලා. කෙනෙක් දාන්න පුලුවන් තමන්ගේ දුරකථන අංක, ඊමේල් ලිපින සහ පුද්ගලික ලිපිනය. තවත් කෙනෙක් දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය විතරක් දාන්න පුලුවන්. කෙනෙක් ඕනෑ නම් ඊමේල් ලිපිනය විතරක් තියන්නත් පුලුවන්. තමන්ට වෙබ් අඩවියක්, බ්ලොග් අඩවියක් එහෙම තියෙනවා නම් ඒවාත් සඳහන් කරන්න පුලුවන්. දැන් සමහරු එක්කෝ තමන්ගේ LinkedIn ප්‍රොෆයිල් එක නැතිනම් facebook ප්‍රොෆයිල් එක එහෙමත් බිස්නස් කාඩ් එකේ දානවා. හැබැයි අපි හිතන්නේ බිස්නස් කාඩ් එකකට ඇතුළත් කරන්න වඩාත් යෝග්‍ය වෙන්නේ LinkedIn ප්‍රොෆයිල් එක කියලා තමයි.

 

3. පොටෝ කෑල්ලකුත් දාමුද?

Image Source – justprinting.co.uk

ඉස්සර නම් ගොඩක් වෙලාවට ෆොටෝ එකක් තියෙන බිස්නස් කාඩ් එකක් දකින්න ලැබුණා. හැබැයි ඉතින් බිස්නස් කාඩ් එකකට ෆොටෝ එකක් මොකටද? කෙනෙක්ගේ මූණ බලලා වැඩ බාර දෙන්නෙ නැහැනේ. ඕනෑ නම් ඔය මොඩ්ල් කෙනෙක්ට වගේ තමන්ගේ ෆොටෝ එක බිස්නස් කාඩ් එකට දාගන්න පුලුවන්. එතනින් එහාට නම් ෆොටෝ එකක් බිස්නස් කාඩ් එකට යෙදීමෙන් ඒකේ තත්ත්වය උසස් වෙනවා කියලා හිතන්න අමාරුයි.

 

4. සයිස් එක වැදගත්!

Image Source – ibidukikije.com

බිස්නස් කාඩ් ගත්තහම අපිට ගොඩක් හුරු පුරුදු සයිස් එක තමයි අඟල් 3.5 X 2 කියන්නේ. හැබැයි යුරෝපීය සම්මතයේදී මේක අඟල් 3.34 X 2.16 ක් වගේ වෙනවා. මේ සම්මත ප්‍රමාණය. හැබැයි දැන් කාලේ තවත් බිස්නස් කාඩ් සයිස් තියෙනවා. සිහින් දිග පෙනුමක් තියෙන බිස්නස් කාඩ් සයිස් තියෙනවා. ඉතින් මේ බිස්නස් කාඩ් සයිස් එකක් තමන්ට ‍තෝරගන්න පුලුවන්. හැබැයි කවදාවත් තමන්ට හිතෙන හිතෙන ප්‍රමාණෙට බිස්නස් කාඩ් හදාගන්න යන්න එපා. මොකද බිස්නස් කාඩ් හෝල්ඩර් එකක් වුනත් හදලා තියෙන්නේ සම්මත ප්‍රමාණයේ කාඩ් රඳවාගන්න.

කාඩ් එකේ සයිස් එක ගැන හිතුවට පස්සේ කාඩ් එක තියෙන්න ඕන තිරස් අතටද, සිරස් අතටද කියලාත් හිතලා බලන්න ඕන. සාමාන්‍යයෙන් බිස්නස් කාඩ් එකක් තියෙන්නේ දිග අතට, ඒ කියන්නේ ලෑන්ඩ්ස්කේප් විදියට. හැබැයි වුවමනා නම් උස් අතට, ඒ කිව්වේ පෝට්‍රේට් විදියට වුනත් ඩිසයින් කරගන්න පුලුවන්. මෙතනදීත් ඇත්තටම වැදගත් වෙන්නේ තමන්ට යොදන්න අවශ්‍ය කරන තොරතුරු තමයි.

 

5. ලෝගෝ එකක් දාමුද?

Image Source – madeinpaint.com

තමන්ගේ බිස්නස් කාඩ් එකක් ගහන ගොඩක් අය ඒකට විවිධාකාරයේ ලෝගෝ යොදාගන්නවා. සමහරුන්ට එක ලෝගෝ එකක් කියලා දෙයක් නෑ. අන්න ඒක හරියන්නෙ නෑ. තමන්ටම කියලා සුවිශේෂී ලෝගෝ එකක් නැතිනම්, තමන්ට අනන්‍ය වෙන යම් කිසි සංකේතයක් යොදාගන්නත් පුලුවන්. හැබැයි ඒක තව දවසකදී වෙනස් වෙන්නේ නැහැයි කියලා තමන්ට ෂුවර් එකක් තියෙන්න ඕන. එහෙම නැතිනම් ඔය ලෝගෝ අනං මනං නැතුව කාඩ් එක ඩිසයින් කළත් කිසිම අවුලක් නෑ.

 

6. ඩිසයින් එක

Image Source – horizoneyesgraphics.com

දැන් ඔය විස්තර ඔක්කොම තියෙනවා කියන්නේ කාඩ් එකේ ඩිසයින් එකෙන් සියේට පනහක් හරි කියන එක. හැබැයි වැඩේ ඉවර නෑ. බිස්නස් කාඩ් එක ඩිසයින් කරගන්න ඊළඟ පියවර තමයි හරි බෝඩ් එකක් ‍තෝරගන්න එක. ඒ කියන්නේ බිස්නස් කාඩ් ප්‍රින්ට් වෙන්නේ නිකම් සුදු හාඩ්බෝඩ් එකේ විතරක් නෙවෙයිනේ. බිස්නස් කාඩ් ගහන ප්‍රින්ටින් ආයතනයකට ගිහින් බැලුවොත් දැකගන්න පුලුවන් ඒ අය ගාව විවිධාකාරයේ පාටින්, නොයෙක් ජාතියේ බෝඩ් තියෙනවා. සමහර බෝඩ් රළුයි, සමහර බෝඩ් බොහොම මටසිලි‍ටුයි. ඉතින් තමන්ට සෙට් වෙන බෝඩ් එකක් ‍තෝරාගන්න එකෙන් කාඩ් එකේ ඩිසයින් එක වෙනස් වෙනවා.

දැන් බෝඩ් එකත් ‍තෝරාගත්තා නම්, කාඩ් එකට එන්න ඕන මොනවද කියලත් දන්නවා නම් දැන් තියෙන්නේ ඩිසයින් එක. දැන් ඒක ලොකු අමාරුවක් නෑ. ඇත්තටම තියෙන්නේ අර කාඩ් එකේ එන්න ඕන විස්තර ටික ක්‍රියේටිව් විදියට ප්ලේස් කරන එක, බෝඩර්ස් එහෙම ඕනෑ නම් ඒවා දාන එක වගේ කතන්දර ටිකක් තමයි.

 

7. කාඩ් එකේ ඝනකම සහ කාඩ් එකේ කොන්

Image Source – letterpress.co.uk

මෙන්න මේ කාරණාව ඇත්තටම වැදගත් වෙන්නේ කාඩ් එකේ ඩිසයින් එකටත් කලින්. ඒ තමයි තමන් ‍තෝරගන්න බෝඩ් එකේ ඝනකම. මේවා මනින්නේ gsm වලින්. සාමාන්‍යයෙන් හොඳ ප්‍රොෆෙෂනල් පෙනුමක් තියෙන, වැදගත් කමක් දැනෙන බිස්නස් කාඩ් එකකට 300gsm, 340gsm වගේ ඝනකමක්වත් තියෙන්න ඕන. හැබැයි මේ ඝනකම බෝඩ් එකෙන් බෝඩ් එකට වෙනස්. ඒ නිසා බෝඩ් එක ‍තෝරාගන්නකොටම මේ කාඩ් එකේ ඝනකම ගැනත් හිතන්න ඕන.

ඊළඟට කාඩ් එකේ කොන් තියෙන විදියටම උල්ව තියෙනවද, එහෙම නැතිනම් කොන් වක්‍ර වෙන විදියට කට් කරනවාද කියන එකත් තීරණය කරන්න ඕන. මේක ඇත්තටම තීරණය වෙන්නේත් ඩිසයින් එක අනුව. මොකද මේ කොන් උල්ව හෝ වක්‍රව තිබීම ලස්සන හෝ කැත වෙන්නේ ඩිසයින් එක අනුව. හැබැයි බිස්නස් කාඩ් එකේ කොන් වක්‍ර කරන්න වැඩිපුර ගාණක් යනවා.

 

8. බිස්නස් කාඩ් ගහන්න තැන්

Image Source – moo.com/ facebook.com

දැන් ඔය ඔක්කොම කරන්න කලින් හිතන්න ඕන දෙයක් තියෙනවා. කාට කියලද ප්‍රින්ට් කරගන්නේ? ගොඩක් වෙලාවට ඕනම ටවුන් එකක ප්‍රින්ටින්ග් වැඩ කරන තැනක් දෙකක් තියෙනවනේ. හැබැයි ඒ හැම තැනකම වැඩ කොලිටියි කියලා හිතන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි බිස්නස් කාඩ් එක ප්‍රින්ට් කරගන්න තමන්ට වුවමනා තැනකට ගියාට පස්සේ ඒ අය කලින් කරපු බිස්නස් කාඩ් සාම්පල් ටිකක් ඉල්ලගෙන බලන එක. එතකොට වැඩේ කොලිටිය ගැන අදහසක් ගන්න පුලුවන්.

තව ගෙදරම ඉඳලා බිස්නස් කාඩ් ප්‍රින්ට් කරගන්න පුලුවන් සේවාවන් එහෙමත් තියෙනවා. මේ විදියේ ඉන්ටර්නැෂනල් බිස්නස් කාඩ් ප්‍රින්ටින් සේවාවක් තමයි https://www.moo.com/us/ කියන්නේ. ගණන් ටිකක් වැඩියි. හැබැයි සුපර් කොලිටි බිස්නස් කාඩ් සෙට් එකක් ප්‍රින්ට් කරලා ගෙදරටම එවනවා. ඕනෑ නම් කලින් සාම්පල් පැක් එකක් නොමිලේ ගෙන්න ගන්නත් පුලුවන්.

ඒ වගේම ලංකාවේ බිස්නස් එකක් වෙන Anim8 එකත් දැන් ඔන්ලයින් බිස්නස් කාඩ් ප්‍රින්ටින් සර්විස් එක දෙනවා. මේ අයගේ http://www.anim8.lk වෙබ් අඩවියට ගිහින් බිස්නස් කාඩ් ප්‍රින්ටින් ඔප්ෂන් එක ‍තෝරගෙන, අවශ්‍ය බෝඩ් එකත් ‍තෝරලා දීලා, ඩිසයින් එකත් අප්ලෝඩ් කරලා වැඩේ සරලව කරගන්න පුලුවන්.

හැබැයි ප්‍රින්ටර්ස්ලා ගාවට ගිහින් වැඩේ කරගන්න තරමට තමන්ට ‍තෝරාගැනීම් වැඩියෙන් තියෙනවා!

 

9. එක ඩිසයින් එකක්, එක බිස්නස් කාඩ් එකක්

අන්තිමටත් කියන්න දෙයක් තියෙනවා. සමහරු බිස්නස් කාඩ් ගහන ගහන සැරේට අලුතින් එක එක ලෝගෝ, එක එක ඉමේජස් දාලා ඩිසයින් කරනවා. ආන්න ඒක තේරුමක් නැති වැඩක්. බිස්නස් කාඩ් එකක් කියන්නේ තමන්ගේ අනන්‍යතාවය පැහැදිලි කරන දෙයක්. අන්න ඒ නිසා මුලින් වෙලාව අරගෙන තමන්ට විතරක් විශේෂ වුණු බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරන්න. ඒකට කොයි තරම් කාලය ගත්තත් කමක් නෑ. හිතට හරියන බිස්නස් කාඩ් එක නිර්මාණය වෙනකල්ම ඉවසිලිමත් වෙන්න. ආන්න ඊට පස්සේ ප්‍රින්ට් කරලා සාම්පල් එකක් බලන්න. සාම්පල් එකත් හිතට හරි නම් දැන් බිස්නස් කාඩ් ටික ප්‍රින්ට් කරන්න. සාමාන්‍යයෙන් අඩුම කාඩ් සීයක්වත් ප්‍රින්ට් කරන්න වෙනවා. හැබැයි බිස්නස් කාඩ් සාමාන්‍යයෙන් සෑහෙන්න දෙන්න වෙනවා නම් පන්සීයක්වත් ගහන එක ලාබයි. ප්‍රින්ට් කරන කාඩ් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න එක කාඩ් එකකට වැටෙන කොස්ට් එක අතිශයින්ම පහළ යනවා.

දැන් ආයෙමත් බිස්නස් කාඩ් ඩිසයින් එක වෙනස් කරන්න යන්න එපා පුලුවන් තාක් කාලයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *