දේශපාලනය සම්බන්ධයෙන් මිනිස්සුන්ගෙ මතය මොකක් විය යුතුයිද? සැබවින්ම එය පක්ෂයකට හෝ ප්‍රදේශයකට ලැදි නොවී සැබවින්ම රටේ සුබසිද්ධිය වෙනුවෙන්ම ගන්න තීරණයක් විය යුතුමයි. ඒත් මෙහෙ එහෙමද? නෑනෙ සාන්ත. වෙන කොයි රටක එහෙම වුනත් මේ රටේ එහෙම නෑ. අපේ විල මැද බංගලාව ඇතුළෙ ඉන්න 225 දෙනා හදන්නෙ බඩ වඩාගන්න විතරයි. ඒකට විතරයි රණ්ඩු කරන්නෙ. අනිත් වෙලාවට යාළුවො. හැබැයි විලෙන් මෙගොඩ ඉන්න කෝටි 20ක ජනතා සනුහරේම රණ්ඩු කරන්නෙ අර 225 ගොඩදාන්න. ඒ අය වෙනුවෙන් මෙයාලා රණ්ඩු කරනවා. හැබැයි මේ අය වෙනුවෙන් එයාලා රණ්ඩු කරන්නෙ නෑ. දෙගොල්ලොම කරන්නෙ තමුන්ට අදාළ වැඩේ නෙමෙයි. කොහොමින් කොහොමහරි මේ කතාව ලියන්නෙ විල මැද බංගලාවෙන් මෙහා ඉන්න අපේ උදවිය විල මැද බංගලාවෙ ඉන්න තමුන් පක්ෂපාත අයට සුදු හුණු ගාන්න පොයින්ට්ස් හොයාගන්නෙ කොහොමද කියලයි.
1. හොරකං කළත් සංවර්ධනේ කළානෙ
ඔන්න පොයින්ට් එක. දැන් මේ විදියෙ සෙට් එකක් තෝරලා විල මැද බංගලාවට යවන්නෙ මේ රට සංවර්ධනය කරන්න සහ තියෙන රෝලෙන් ඇද ගෙන යන්නනෙ. එතකොට තියෙන රෝලෙන් ඇදගෙන යන අතරෙ අමාරුවෙන් තියෙන රටකින් තවත් හොරකං කරාම රට තවත් අගාධෙට යන්නෙ නැද්ද? ඉතිං එහෙම අගාධෙට යද්දි අනේ ඉතිං මොකක් නැතත් සංවර්ධනේ වුනානෙ කියල සතුටු වෙන්න ඕනෙද? නැහැ නේද? හැබැයි අපේ අයියලා එහෙම සතුටු නොවී ඉන්නවද? නැහැනෙ… නැහැනෙ. එයාලා තමුන් කැමති කෙනා කරන ඕනම පුංචි හොඳ දේකින් සතුටු වෙනවා. ඕනම ලොකු වැරැද්දක් පොඩියට ගන්නෙ. විරුද්ධ පාර්ශවේ දිහා බලන්නෙ අනිත් විදියට.
2. වැඩක් නැතත් කරපු ප්‍රොජෙක්ට් තියෙනවනෙ
මෙයාලා හරි ආසයි පිළිම වලට, සෙල් ලිපිවලට, තොරන්වලට වගේ දේවල්වලට. එයාලට ඕන හුස්ම ගන්න ඔක්සිජන් ටිකක් නෙමෙයි. දකින දකින තැන ඔක්සිජන් ටැංකි ටිකක් එල්ලලා තිබ්බනං ඇති. අන්න ඒ විදියට එයාලා ඕනම බිල්ඩිමකින්, මුල්ගලකින්, සමරු ඵලකෙකින් සතුටට පත්වෙනවා. ඒ මදිවට සතුටට පත්වෙලා නිකං ඉන්නෙ නෑ. අනිත් පැත්තෙ ඈයොන්ගෙ සමරු ඵලක බල බල හිනාවෙනවා. දෙයියනේ කියලා මේ රටේ හිටපු නායකයො කිසිම එකෙක් රට වෙනුවෙන් වැඩිපුරම කළේ විණ කරන එක නිසා දෙපැත්තෙම අයට අනිකාට බනින්න ඕනතරං හේතු තියෙනවා.
3. මොක වුනත් සද්දෙට කතා කරනව
හෙණ ගැහුවත් කමක් නැහැනෙ අපේ උන්දලට කට පණ තියෙනවානං. බණ අහන්න යන්නෙත් දෙපැත්ත කැපෙන කතා කියන, ගෑණුන්ට විහිළු කරන, වඩේ බදින හැටි, බ්‍රෙසියර් අඳින හැටි කියන හාමුදුරුවො ගාවට. ටියුෂන් යන්න ආසා ඩබල් මීනිං කතා කියන, හැම බැච් එකකම කෙල්ලෙක් සෙට් කරගන්න, කෝට් දාන සර් කෙනෙක් ගාවට. ඒ වගේම තමයි දේශපාලකයොත්. විරුද්ධ පාර්ශවේට ප්‍රසිද්ධියෙ අඩෝ කිවුවම, ඒ අයගෙ පෞද්ගලික දේවල් දුර්වලකං විදියට ප්‍රසිද්ධියෙ හුවාදැක්වුවාම, අපි මේ කියන වහල් ඡන්ද දායකයොන්ට හෙණ සතුටුයි. ඒ අය අත්පුඩි ගහන්නෙ රටේ ණය ගෙවනව කිවුවට වඩා අනිත් පැත්තෙ දේශපාලන සාමාජිකයොන්ගෙ අවුලක් කිවුවමයි.
4. පිට රටට නැවෙන්නෙ නෑ
අපේ අය කෙලින්ම තමුන් කැමති කෙනා කියන දේ විශ්වාස කරන්නයි හුරු වෙලා තියෙන්නෙ. එයා කිවුවොත් අපි කිසිම විදෙස් රටක් කියන විදියට නැවෙන්නෙ නෑ කියල අම්බෝ… අපේ ලොක්කා තමයි රජා කියල උඩ පයිනව හෝ ගාලා. හැබැයි තෙල් නැවක් සතියක් නැතිවුනාම පිස්සු බල්ලො වගේ මහා පාරෙ උලාකාපු ජනතාවත් එතන ඉන්නව. ඉතිං තේරෙනවද අපිට පිටරටට නැවෙන්න වෙන විත්තිය. අපි එක්සත් ජාතීන්ගේ ඇතුළුව තවත් බොහෝමයක් ආයතන සහ රටවල් එක්ක ගිවිසුම් ගහලා තියෙනවා. ඒ මිනිස්සු අපේ දුකේදි පිහිට වෙන්නෙ ඒ නිසායි. විදෙස් රාජ්‍යයන් කියන විදියට අපි කරන්නෙ නෑ කිවුවම අත්පුඩි ගැහුනා නම් ඒ අතින් දැන් කනට ගහගන්න.
5. උන්ට මෙවුව නෑ
ලංකාව පාලනය කරපු හෝ කරන්න උත්සාහ කරපු ඕනම දේශපාලන පක්ෂයක් වැරදි කරලා තියෙන නිසා කොහොමත් ඒ දේවල් අල්ලගන්න විත්තිය අපි කිවුවනෙ. මේ ඒකෙ අන්තයට යෑම. ඒ තමයි ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලික කාරණාවලට පහර ගැසීම. ලිංගිකත්වය ප්‍රශ්න කිරීම, ආදර සම්බන්ධතා, දරුවන් බිහිකිරීම වගේ දේවල් උඩ අනෙකා පාගන්න මේ අය පෙළඹිලා ඉන්නවා. ඒකෙන් කිසිසේත්ම තමුන්ගෙ කෙනාට සුදු හුණු නොගෑවුනත්, දේශපාලන කතාව වෙනිං පැත්තකට හරවන්න මේ දේට පුළුවන් වෙනවා.
6. සෙනග
බොහෝමයක් කට්ටිය මගේ මතය කොච්චර වැරදි වුනත් ඒක ගොඩ දාන්න මහා සෙනගක් ඉන්න බව කියලා සතුටු වෙනවා. මේ සෙනග ගේන්නෙ බස්වලින් අද්දලා විත්තියත්, ඒ විදියට එන අයට ලැබෙන වරප්‍රසාද ගැනත් හොඳටම දැන දැන වුනත් මිනිස්සු සෙනග දැකලා සතුටු වෙනවා. ඒ මදිවට ඒ සතුටට අනිත් පැත්තෙ සෙනග ගනින්නත් යනවා. මහා සෙනගක් ඉන්න පින්තූර අරගෙන කොටු ගහලා, පරිප්පු ඇට දාලා සෙනග ගාණ මැනපු කාලෙකුත් තිබුනා. බොහෝමයක් දෙනා සෙනග දැක්කම ඇන්දෙනවා කියල දන්න නිසාමද කොහෙද අපේ පොලිටික්කොත් මොනා නැතත් සෙනග ගේන්නනං සැදී පැහැදී ඉන්නවා.
7. පක්ෂයට හිතවාදී මාධ්‍ය පමණක් ෆලෝ කිරීම
මේක තමන්ගෙම හිත රවට්ටගන්න කරන ගේමක්. දැන් ඔය විවිධ වූ මාධ්‍ය විවිධ පැතිවලට විකිණිලානෙ ඉන්නෙ. ඒ අය නිවුස් ගහන්නෙ ඒ අයට ඕන ටික විතරයි. අන්න ඒ නිසා තමුන්ගෙ හිතත් මේ නරක දේශපාලන මත වලින් අවුල් නොවෙන විදියට ඒ ඒ පක්ෂයට ලැදි අය අහන දකින පුවත් මුලාශ්‍ර වෙනස් කරගන්නවා. එතකොට කවදාවත් විරුද්ධ පාර්ශවේ හොඳයි කියල හිතෙන්නෙම නෑ, හිතත් රැවටෙනවා. අපිත් සතුටෙන්.
Leave a Reply