චයිනීස් රෝල්ස් රස 5කින් ගෙදරදීම හදාගමු

චයිනීස් රෝල්ස් කියන්නෙ වෙලාවක් කලාවක් නැතුව ලොකු පොඩි කවුරුත් කන්න ආස කෑමක්. චයිනීස් රෝල්ස් කිව්වට චීනෙ තියෙන්නෙ ලංකාවෙ අපි කන වර්ශන් එකේ රෝල්ස් නම් නෙවෙයි. කොහෙන් කොහොම ආවත් උණු උණුවෙ තෙල් පාට ක්‍රිස්පි රෝල් එකක් කන කොට දැනෙන සන්තෝසෙ නම් කඩෙන් ගන්න තෙල් පෙඟිච්ච හංකඩ රෝල් එකකින් ගන්න බෑ. අන්න ඒ හින්දා රෝල්ස් හදන්න නොදන්න අයට සහ හැමදාම සැමන් පිරවුම විතරක්ම දාල රෝල්ස් කන අයට වෙනස්ම විදියට රෝල්ස් හදන්න රෙසිපි ටිකක් අපි ගේන්න හිතුව. එක පාරක් හදල රහ දැනුනොත් ආයෙ කඩෙන් නම් කන එකක් නෑ.

 

රෝල් කරන්න කලින් පෑන් කේක් එක

Image Source – thepioneerwoman.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිටි කප් 2
  2. බිත්තර 1
  3. කහ ටිකක්
  4. ලුණු රස අනුව

 

  • පොල් පැණි දාල හදන පෑන් කේක් වලට හදන රොටියට වඩා මේ මිශ්‍රණය පෝඩ්ඩක් දියාරු වෙන්න ඕන. රෝල් එක බැටර් එකක දවටල බදින නිසා හුඟක් ඝණකමට රොටිය හදන්න ගන්නෙ නෑ.
  • සේරම දේවල් එකට එකතු කරල අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන් පිටි කැට නොහිටින්න බ්ලෙන්ඩ් කරගන්න. නන්ස්ටික් පෑන් එකක තුනියට රොටිය දාගෙන එක පැත්තක් විතරක් පුළුස්සගන්න. දෙපැත්තම දාන්න ඕන නෑ. මිශ්‍රණය සෙට් වෙන ගාණට පිළිස්සුනාම ඇති. රන් වන් පාට වෙනකම් ලිපේ තියන්න එපා, රෝල් එකේ සොෆ්ට් ගතිය නැති වෙනව.

 

1. ටින් මාළු සහ අල පිරවුම

Image Source – recipetineats.com

දන්න අය වගේම නොදන්න අයත් ඉන්න නිසා මුලින්ම සාමාන්‍ය පිරවුම හදල බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොඩි මාළු ටින් 1
  2. අල මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි 3
  3. බී ළූණු ගෙඩි 3
  4. තලාගත් ඉඟුරු, සුදුළූණු
  5. රස අනුව ලුණු
  6. කෑලි මිරිස්
  7. චොප් කරගත් අමු මිරිස්
  8. අමු පහේ චුට්ටක්
  9. ගම්මිරිස් කුඩු රස අනුව
  10. සිහින්ව කපාගත් ලීක්ස් කොළ පාට කොටසින්
  • අල තම්බා පොඩි කර තබාගන්න. ළූණු ටික චොප් කරගන්න. ළූණු වලට ලුණු, අමු පහේ, ගම්මිරිස්, කෑලි මිරිස් සහ අමු මිරිස් එක් කර අනාගන්න. තෙල් ටිකක් රත් වෙන්නට හැර එයට ඉඟුරු, සුදුළූණු එක් කර තෙම්පරාදු කරගන්න. සුදුළූණු කරවෙන්න නොදී එයටම ළූණු මිශ්‍රණය එක් කරගන්න.
  • ළූණු මැලවෙන විට කටු ඉවත් කර පොඩි කරගත් සැමන් එක් කර මිශ්‍ර කරගෙන විනාඩි දෙක තුනක් පිස ගන්න. පසුව ලීක්ස් එක් කර මිශ්‍ර කරගන්න. අවසානයට පොඩි කරගත් අල ටික එක් කර හොඳින් කලවම් කරගන්න.

 

2. චීසි ප්‍රෝන්ස් රෝල්ස්

Image Source – recipetineats.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොතු ඉවත් කර පිරිසිදු කරගත් ඉස්සන් 250g
  2. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
  3. මොසරැල්ලා චීස් කප් 2
  4. චීස් වෙජස් 5
  5. චොප් කරගත් ළූණු
  6. චොප් කරගත් අමු මිරිස්
  7. තලාගත් ඉඟුරු, සුදුළූණු
  8. සිහින්ව කපාගත් ළූණු කොළ ටිකක්
  9. චොප් කරගත් කැරට්
  10. රස අනුව ලුණු
  11. ගම්මිරිස් කුඩු
  • තෙල් ටිකක් රත් වෙන්න හැර එයට ඉඟුරු, සුදුළූණු, ළූණු සහ අමු මිරිස් එක් කරගන්න. එයට රස අනුව ලුණු දමා පොඩියට කපාගත් ඉස්සන් ටික එක් කර ගන්න.
  • ඉස්සන්ගේ පැහැය වෙනස් වෙනකොටම කැරට් එක් කර ගන්න. විනාඩි දෙක තුනක් ලිප තබා ලිපෙන් ඉවත් කරගන්න. එයට ගම්මිරිස්, චීස් වෙජස්, ළූණු කොළ සහ අල එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • රෝල් එක ඔතන විට ෆිලින් එක උඩට මොසරැල්ලා චීස් තබා ඔතාගන්න.

 

3. ශ්‍රී ලංකන් මට්න් රෝල්ස්

Image Source – bookmycomfort.wordpress.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අඹරාගත් එළු මස් 250g (බීෆ් හෝ පෝක් ගන්නත් පුළුවන්)
  2. තම්බා කෑලි හිටින්න පොඩි කරගත් අල ගෙඩි 2
  3. චොප් කරගත් බී ළූණු ගෙඩි 2
  4. බැදපු තුනපහ කුඩු තේ හැඳි 1
  5. මිරිස් කුඩු සැර අනුව
  6. ගම්මිරිස් කුඩු සැර අනුව
  7. සිහින්ව ලියාගත් කරපිංචා
  8. චොප් කරගත් අමු මිරිස්
  9. රස අනුව ලුණු
  10. චොප් කරගත් තක්කාලි ගෙඩියක්
  11. තලාගත් ඉඟුරු, සුදු ළූණු
  • මස් වලට බැදපු පහේ, ලුණු සහ ගම්මිරිස් එක් කර හොඳින් අනා පසෙකින් තබා ගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න හැර එයට ඉඟුරු, සුදු ළූණු සහ කරපිංචා එක් කර තෙම්පරාදු කර එයට ළූණු සහ මිරිස් කුඩු එක් කර කලවම් කරගන්න. එයටම චොප් කරගත් තක්කාලි සහ අමු මිරිස් එක් කර තක්කාලි සහ ළූණු මැලවෙන තුරු පිසගන්න. මස් මිශ්‍රණය එක් කර කලවම් කර අඩුම ගින්දරේ වසා තබන්න.
  • විනාඩි දෙක තුනකට පසු යන්තම් වතුර ටිකක් මෙයට ඉස ගන්න. මස් ටික පිසී වතුර ගතිය හිඳුණු පසු ලිපෙන් ඉවත් කර අල ටික මිශ්‍ර කරගන්න.

 

4. මශ්රූම් ඇන්ඩ් ස්ප්‍රවුට්ස් වෙජි රෝල්ස්

Image Source – steamykitchen.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කපාගත් බට්න් මශ්රූම් හෝ සාමාන්‍ය හතු කප් 2
  2. සිහින්ව කපාගත් ළූණු ගෙඩි 2
  3. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
  4. චොප් කරගත් අමු මිරිස්
  5. රස අනුව ලුණු
  6. ගම්මිරිස් කුඩු
  7. සැර අනුව මිරිස් කුඩු
  8. පැල මුං කප් 1\4
  9. ගරම් මසාලා තේ හැඳි 1\2
  10. තලාගත් සුදුළූණු
  • තෙල් ටිකක් රත් වෙන්න හැර එයට ළූණු සහ සුදුළූණු එක් කර තෙම්පරාදු කරගන්න. එයට ලුණු, අමු මිරිස්, මිරිස්, ගම්මිරිස් සමඟ පැල මුං ටික එක් කර කලවම් කරගන්න. මද වේලාවක් තෙම්පරාදු කරගෙන එයටම හතු ටිකද එක් කරගන්න.
  • ගරම් මසාලා එක් කර වතුර ස්වල්පයක් උඩින් ඉසගෙන අඩු ගින්දරේ පියනකින් වසා පැල මුං සහ හතු පිසෙන තුරු විටින් විට කලවම් කරමින් පිසගන්න. අවසානයට අල ටික එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.

 

5. චිකන් ඇන්ඩ් චීස් රෝල්ස්

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තම්බා කැබලි කඩා ගත් චිකන් කප් 2
  2. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
  3. චොප් කරගත් බී ළූණු ගෙඩි 2
  4. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් කප් 1
  5. චීස් වෙජස් 4
  6. තම්බාගත් ග්‍රීන් පීස් කප් 1\4
  7. චොප් කරගත් කැරට් කප් 1\4
  8. චොප් කරගත් අමු මිරිස්
  9. තලාගත් සුදුළූණු බික් 3
  10. ලුණු
  11. ගම්මිරිස්
  • තෙල් ටිකක් රත් වෙන්න හැර එයට සුදුළූණු සහ අමු මිරිස් එක් කර තෙම්පරාදු කරගන්න. එයටම කැරට් සහ ළූණු එක් කර එයටම ග්‍රීන් පීස් ටිකද එක් කර ගෙන ටික වෙලාවක් තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු ගම්මිරිස් එක් කරගන්න.
  • චිකන් ටික තෙම්පරාදුවට එක් කර මිශ්‍ර කරගෙන අල සහ චීස් වෙජස් ටිකත් දමා හොඳින් කලවම් කරගන්න.
  • රෝල් එක ඔතන විට ෆිලින් එක උඩින් මොසරැල්ලා චීස් තබා ඔතාගන්න.

 

රෝල් එක ඔතමු

Image Source – epicurious.com

  • ෆිලින් එක පෑන් කේක් එකේ කෙළවරකින් දිග අතට දාගන්න. දෙපැත්තෙන් මුලින්ම නවල ඊට පස්සෙ රෝල් කරගන්න. උණුවෙන්ම කළහම නැවුම් පාර අලවන්න බිත්තර සාරු ඕන නෑ. ඒත් ඇලවෙනව මදි වගේ නම් බිත්තර සාරු ටිකක් ගාල අලවගන්න.
  • හදාගත්තු රෝල් එක බිත්තර සාරු හෝ කට්ලට් වලට හදාගන්නව වගේ බැටර් එකක දාල පාන් කුඩු තවරල බැදගන්න.
  • රෝල්ස් බදිනකොට ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. තෙල් හොඳින් රත් උනාම ගින්දර මධ්‍යම ප්‍රමාණයට චුට්ටක් අඩුවෙන් තියාගන්න. රන්වන් පැහැයට ලස්සනට රෝල්ස් හදාගන්න නම් ගින්දර පාලනය වැදගත්.

 

Cover Image Source – taste.com.au

Leave a Reply

Your email address will not be published. Required fields are marked *