කොල්ලෙක්ට ඇඳුම් පැළඳුම් ගාණට මැච් කරගන්න උපදෙස්

එක කාලයක් තිබ්බා අපිට කොල්ලෝ හැටියට තිබුණු එකම ෆැෂන් සෙන්ස් එක වුනේ පට්ට ගහපු ඩෙනිමයි, අතට මුලින්ම අහුවෙන සහ නාහෙට අවුලක් නැති ටී ෂර්ට් එකයි, දොරකඩ තියෙන බාටා දෙකයි. ඉන් පස්සේ කාලයක් එනවා කොල්ලෝ හැටියට ෆැෂන් ගැන හිතෙන්න පටන් ගන්න. හැමදාමත් ඩෙනිමයි ටී එකයි බාටා දෙකයි පිටින් යන්න බෑනේ බ්‍රෝ. හැබැයි දැන් සමහර කොල්ලෝ ඉන්නවා ඉපදෙනකොටම ෆැෂන් සෙන්ස් එක අරගෙන තමයි එන්නේ. උන් පුංචි කාලේ පැම්පර්ස් ඇඳලා ඉන්නෙත් ස්ටයිල් එකට. හැබැයි ඉතින් ඔය ස්ටැයිල් දන්නෙ නැති අපි වගේ කොල්ලන්ට ඉතින් මේ වගේ ආටිකල් එකක පිහිට තමයි. එහෙමනම් පටන් ගමු!

 

1. තනි පාටින්

Image Source – releighlimited.com

මේක කලාතුරකින් දකින්න ලැබෙන ෆැෂන් එකක්. සරලවම කියනවා නම් කලිසමත්, ෂර්ට් එක නැතිනම් ටී ෂර්ට් එකත් එකම පාටකින් ‍තෝරගන්න එක තමයි මේ ස්ටයිල් එකේ අරමුණ. හැබැයි ටී ෂර්ට් ගන්නවා නම් ප්ලේන් පාටක ටී ෂර්ට් වෙන්න ඕන. ඒ වගේම මේ ස්ටයිල් එකට ගැලපෙන්නේ අඳුරු වර්ණ. කළු හෝ තද නිල් වගේ පාටක් සුපර්. මෙතනදී හැබැයි පැළඳුම් ‍තෝරගන්නකොටත් මේ පාටට ගැලපෙන්න ‍තෝරගන්න වගබලා ගන්න ඕන. ඒ කියන්නේ තද නිල් හෝ කළු වර්ණයෙන් ඇඳුම ‍තෝරගත්තොත් ඒකට ගැලපෙන්නේ ඒ වගේම අඳුරු තද පාටක පැළඳුම්. ඒ කියන්නේ ඔරලෝසුව, බෙල්ට් එක සහ සපත්තු. මේ වගේ කිට් එකකට දුඹුරු පාට සපත්තු හොඳයි.

හැබැයි අළු පාට හෝ වඩා ලා පාටකින් මේ ස්ටයිල් එකට ඇඳුම් මැච් කරනවා නම් කළු හෝ අළු පාට පැළඳුම් අවුලක් නෑ.

 

2. එකම වර්ණයේ ලා සහ තද පැහැයන්

Image Source – express.com

මේ කියන්නේ එකම පාටකින්, හැබැයි ෂේඩ්ස් දෙකකින් ඇඳුම් මැච් කරගන්න එකට තමයි. උදාහරණයක් විදියට කිවුවොත් තද නිල් ඩෙනිමක් ඇන්දොත් ඒකට ලා නිල් ෂර්ට් එකක් අඳින එක මේ ස්ටයිල් එකට හරියනවා. ඇත්තටම මේ ස්ටයිල් එකට අනුව ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ නිල් පාට, කළු පාට හා අළු පාට තමයි. ඇත්තටම මේ විදියේ සංයෝගයක් ඕනම මනුස්සයෙක්ට බොහොම වැදගත් පෙනුමක් ලබාදෙනවා. විශේෂයෙන්ම තද අළු සහ ලා අළු පාටින් ඇඳුම් මැච් කරගන්න පුලුවන් නම් ඒකෙන් බොහොම නවීන පෙනුමක් ලැබෙනවා කියන්න පුලුවන්.

හැබැයි එකක්, එකම පාටක ෂේඩ්ස් දෙකක් වුනත් මැච් නොවෙන්න පුලුවන්. අන්න ඒ නිසා ඒ ගැලපීම බොහොම පරිස්සමෙන් ‍තෝරගන්න ඕන.

මේ ස්ටයිල් එකටත් ඕන නම් තමන් ‍තෝරගන්න පාටේම තද පාට සපත්තු, බෙල්ට්, සන්ග්ලාසස්, ඔරලෝසු පාවිච්චි කරන්න පුලුවන්. නැතිනම් දුඹුරු හෝ කළු පාට පැළඳුම් වලට යන්න පුලුවන්.

 

3. උදාසීන වර්ණ කලිසමයි, පාට කමිසයයි

Image Source – myntra.com

වඩාත් කැෂුවල් දවසකට, කැෂුවල් පෙනුමක් ගන්න මේ ක්‍රමය හොඳයි. ඔය ක්‍රීම් පාට කොට්න් කලිසම් තියෙන්නේ. ආන්න ඒ වගේ ඩල් ක්‍රීම් හෝ ඩල් බේජ් හෝ ඩල් අළු පාට කොට්න් කලිසමකට තද පාටක ෂර්ට් එකක් අඳින්න පුලුවන්. හැබැයි මේ ෂර්ට් එක කැෂුවල් පෙනුමක් තියෙන එකක් වෙන තරමට හොඳයි. ඒ වගේම දීප්තිමත් වර්ණ වලට යන්නෙ නැතුව ඔය තද නිල්, ඔලිව් පාට එතකොට බර්ගන්ඩි වගේ පාටකින් තමයි ෂර්ට් එක ‍තෝරගන්න ඕන. මේ වගේ ඇඳුම් සංයෝගයකට දුඹුරු වර්ණයෙන් වගේ පැළඳුම් ‍තෝරාගන්න පුලුවන්.

 

4. පාට කලිසමයි, උදාසීන වර්ණ කමිසයයි

Image Source – express.com

දැකලා තියෙනවද ජේම්ස් බොන්ඩ් ගොල්ෆ් කෝට් එකට යනකොට අඳින බේජ් කලිසම සහ සුදු පෝලෝ ෂර්ට් එක? ඒකෙන් මාරම වැදගත්, ඒත් ස්පෝටි ලුක් එකක් එනවා. අන්න ඒ ලුක් එක බොහොම පහසුවෙන් ලබාගන්න පුලුවන් පාට කලිසමකින් සහ සුදු හෝ අළු හෝ බේජ් හෝ ක්‍රීම් පාට වගේ ලා පැහැයක ෂර්ට් එකකින්. විවේකී දිනයක ස්මාට් කැෂුවල් වගේම කැෂුවල් ඇඳුමකට මේ විදියට පාට මැච් කරගන්න පුලුවන්. හැබැයි මේ කිට් එකට පාට ‍තෝරගන්නකොට කළු පාටට වඩා නිල් හෝ ඔලිව් කොළ වගේ පාටක් තමයි වඩාත් ගැලපෙන්නේ. ඒකට ගැලපෙන්න උඩින් කිවුව විදියේ ලා පාටක ෂර්ට් එකක් ‍තෝරාගන්න පුලුවන්. හැබැයි මේ පාට දෙක එකකට එකක් ඉස්මතු වෙන වර්ණ නොවෙන්න ඕන. ඒකයි අර උදාසීන වර්ණ කියලා කියන පාට මේ සුසංයෝගයට ගැලපෙන්නේ.

මේ විදියේ ස්ටයිල් එකකට ඇත්තටම ලා පාටක සපත්තු දෙකක් අවුලක් නෑ. ඕනෑ නම් දුඹුරු පාටත් කමක් නෑ. කළු පාට නම් හරියන එකක් නෑ. අනෙක් පළඳනා වුනත් වඩා ලා පාටකින් හෝ සරල අළු හෝ දුඹුරු පාටකින් ‍තෝරාගන්න එක තමයි වඩා ගැලපෙන්නේ.

 

5. සුදු පාටට තැන

Image Source – venroy.com.au

සුදු අඳින්න කිවුව සැණෙන් ඕනම කෙනෙක්ට මතක් වෙන්නේ එක්කෝ ජාතික ඇඳුම, එහෙම නැතිනම් අර මන්ත්‍රීලගේ බොඩිගාර්ඩ්ලා අඳින වවුල් සූට් එක කියහන්කෝ. හැබැයි අපි කියන්නේ ඔය දෙකම නෙවෙයි. දැකලා තියෙනවද සුදු පාට මතුවුණු ලා නිල් පාට ඩෙනිම් කලිසම්? ආන්න ඒ විදියේ ඩෙනිමකට සුදු කුර්තා ෂර්ට් එකක් ඇන්දට පස්සේ කොහොම තියේවිද? මේ ස්ටයිල් එක හොඳයි නිදහස් දවසක කැෂුවල් පෙනුමකට.

එහෙම නැතිනම් මේ සුදු පෙනුම තවත් ඉස්සරහට අරගෙන යන්න පුලුවන්. කොහොමද සුදු පාට කපු ලිහිල් කලිසමකට සුදු පාට ටොප් එකක් ඇන්දහම? හැබැයි ඒකෙන් නම් එන්නේ බොහොම සාමකාමී, නිස්කලංක පෙනුමක්. ඒක ගෙදර ඉන්න, කොහේ හරි ගිහින් විවේකීව ඉන්න මොහොතක අඳින්න ගැලපෙනවා මිසක් ගමනට බිමනට ඒ තරම් ගැලපෙන්නේ නෑ.

කොහොම වුනත් මේ ස්ටයිල් එකේදී කලිසම පුලුවන් තරම් ලා පාටක් වෙන්න ඕන. නැතිනම් සුදු පෙනුම කැපිලා පේන්නේ නෑ. මේකට යොදාගන්න සපත්තුත් ඒ විදියේම ලා පාටක් ගන්න එක හොඳයි. සැන්ඩ්ල්ස් වගේ දානවා නම් දුඹුරු කමක් නෑ.

 

6. කළුපාටට තැන

Image Source – limeroad.com

මෙහෙම කිවුව ගමන් මතක් වෙන්නේ කළු ඩෙනිමකට ඇඳපු කළු ෂර්ට් එකක් නේද? නැහැ. මෙතනදී අපි කියන්නේ අළු පාට හෝ දුඹුරු පාට හෝ ලා නිල් පාට කලිසමකට ඇඳපු තද කළු ෂර්ට් එකක්. ට්‍රිප් එකකට එහෙම යන්න මේ කිට් එක මරු. බොහොම ට්‍රෙන්ඩි පෙනුමක් මේ කිට් එකෙන් ලැබෙනවා. හැබැයි අවශ්‍ය නම් ටිකක් තද පාට කලිසමක් එක්ක තද කළු ෂර්ට් එකක් මැච් කරගත්තොත් වඩාත් ෆෝමල් ලුක් එකක් එනවා.

මේ ඇඳුමට පළඳින්න ඕන පාවහන්, බඳ පටිය, ඔරලෝසු, බෑන්ඩ්, සන්ග්ලාසස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එක්කෝ කළු. එහෙමත් නැතිනම් කළු පාටට හුරු අළු පාට.

 

7. ඩොට් සහ චෙක්

Image Source – myntra.com

පාට මැච් කරන්න එක්ස්පර්ට් වුනාට පස්සේ යමු ඊළඟ ලෙවල් එකට. ඒ තමයි විවිධ පැටර්න් තියෙන ෂර්ට්. මෙතනදී අපි කියන්නේ තිත් වැ‍ටුණු, කො‍ටු වැ‍ටුණු සහ ඉරි වැ‍ටුණු ඩිසයින් ගැන මිසක් හවායි වල ඉඳලා ආපු විදියේ මල් සහ පොල් ගස් ඩිසයින් තියෙන ෂර්ට් ගැන නෙවෙයි. හැබැයි මෙතනදීත් උඩ විදියට පාට මැච් කරගන්න පුලුවන්. පරිස්සම් වෙන්න ඕන තැන තමයි මේ පැටර්න් වලින් ඒ මැචින්ග් ස්ටයිල් එකට සිද්ධ වෙන වෙනස. උදාහරණයක් විදියට කිවුවොත් තිත් වැ‍ටුණු ෂර්ට් එකක තිත් සුදු පාටින් සහ ෂර්ට් එක තද පාටින් තිබුණොත් ඒ තිත් ඉලිප්පිලා පේන්න උත්සාහ කරනවා. එතකොට ලා පාට කලිසමක් වුනත් තද පාට කලිසමක් වුනත් අවුලක් නෑ. හැබැයි උදාසීන වර්ණයක් වෙන්න ඕන. එතකොට චෙක් ෂර්ට් උඩින් කියපු ඕනෑම ස්ටයිල් එකක් එක්ක ගැලපෙනවා. හැබැයි ඉරි ෂර්ට් අඳිනකොට තමන්ගේ ශරීරයේ හැඩය ගැන දෙපාරක් හිතන්න වෙනවා. ඒ කියන්නේ මහත නම් දිගට තියන උස් ඉරි. කෙට්‍ටු නම් පැත්තට තියෙන හරස් ඉරි.

 

Cover Image Source – lifestylebyps.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *