සරච්චන්ද්‍ර මහත්තයා ගැනයි එතුමාගේ නිර්මාණ ගැනයි කියවෙන කටකතා ඇත්තද?

මහාචාර්ය සරච්චන්ද්‍ර ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය විප්ලවීකරණයට ලක් කරපු යුග පුරුෂයෙක්. ඒ නිසාම එතුමාව බොහෝ දෙනෙක් දෙවියෙක් ලෙස සලකනවා. තවත් අතළොස්සක පිරිසක් යකෙක් විදිහට සලකනවා. මේ නිසාම එතුමා සහ එතුමාගේ නිර්මාණ ගැන විවිධ ඕපදූප කතා ගොඩ නැගිලා තියෙනවා. මෑත කාලෙක ෆේස්බුක් අවකාශයේ කියවුණු කතාවක් තමයි මනමේ නාට්‍යය නිර්මාණය කළේ එතුමාගේ පළමු බිරිඳ දාලා ගියාම සහ සිංහබාහු ලියන්න හේතුවුණේ දුවෙක් පැනලා  යාමයි, දෙවන බිරිඳ පුතාවත් අරගෙන ගෙදර දාලා ගියාමයි කියලා. සරච්චන්ද්‍ර මහත්තයාගේ පවුල ජීවිතයේ විවිධ හැලහැප්පීම් විවිධ අවස්ථාවල වෙලා තියෙනවා. ඒත් ඒවා නිර්මාණ සඳහා හේතුවුණා කියන කතාව අතේ පැලවෙන බොරුවක්. ඒ වගේම මේ හිතලු ලියන අය සරච්චන්ද්‍ර මහත්තයාගේ පවුලේ සාමාජිකයන් ගැනවත් හරියට දන්නේ නෑ කියලා තේරෙනවා. ඒ නිසා අපි හිතුවා සරච්චන්ද්‍ර මහත්තයාගේ පවුලේ සමාජිකයන් පිළිබඳව සහ ඔවුන් සරච්චන්ද්‍ර මහත්තයාගේ නිර්මාණවලට සම්බන්ධ වුණු ආකාරය ගැන කතා කරන්න.

 

1. අයිලින් සරච්චන්ද්‍ර

Image Source – youtube.com

ඇය විවාහයට කලින් අයිලින් බෙලත්, විවාහයෙන් පස්සේ අයිලින් සරච්චන්ද්‍ර, සරච්චන්ද්‍ර මහත්තයාට අයිරා. ඔව් ඇය තමයි සරච්චන්ද්‍ර මහත්තයාගේ පළවෙනි බිරිඳ. ඇයව මුණ ගැහුණු හැටි ගැන සරච්චන්ද්‍ර මහත්තයා තමන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වුණු “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” වලදි කියන්නේ මෙහෙමයි. “ඈ කෙරෙහි මගේ සිත ඇදී ගියේ කිසියම් විවිධ ප්‍රසංගයකදී ඇගේ ගායනය අසාය. ඈ ද මගේ ආධුනික සිතාර් වාදනය අසා, එම තූර්ය භාණ්ඩයේ අපූර්වත්වය නිසා උපන් කුතුහලයෙන් මා කෙරෙහි පැහැදී සිටියා සේ දැනුණි.” ඒ දෙන්නා යුනිවර්සිටි කොලීජියේදී මුණ ගැහිලා 1939 දී විවාහ වෙනවා. ශාන්ති නිකේතනයට වැඩිදුර අධ්‍යාපනයට යනවා. නැවත ලංකාවට ඇවිත් සරච්චන්ද්‍ර මහත්තයා පේරාදෙණි සරසවියට එද්දි ඇයත් ඔහු සමග ඇවිත් පේරදෙණි සරසවියේ නාට්‍යවලට සම්බන්ධ වෙනවා.1956 දී සරච්චන්ද්‍ර මහත්තයා මනමේ නාට්‍යය නිර්මාණය කරද්දි අයිලින් සරච්චන්ද්‍ර මහත්මිය ඒ නාට්‍යයේ ඇඳුම් නිර්මාණ කරන්න සිරි ගුණසිංහ මහත්තයාට සහය වෙනවා. ඉතින් ඔය කට කතාවල කියවෙනවා වගේ පළමු බිරිඳ වෙන් වුණාට පස්සේ මනමේ නාට්‍යය රචනා කළා නම් ඇය ඒ නාට්‍යයට සහයෝගය දෙන්නේ කොහොමද කියන එක ගැන මේ ලිපිය කියවන ඔබටම හිතලා නිගමනයකට එන්න පුළුවන්. ඒත් මනමේ නාට්‍යය නිෂ්පාදනය කරලා අවුරුදු තුනක් ගත වෙද්දි ඔවුන් දෙදෙනාගේ විවාහය බිඳ වැටෙනවා. සරච්චන්ද්‍ර මහත්තයා ඒ විවාහය බිඳ වැටීම ගැන කම්පාවෙන් මෙහෙම ලියනවා “එය මගේ වරදින් සිදූ වූවක් යැයි සමහරු කීහ. සමහරු මගේ බිරිඳගේ වරද දැක්වූහ. එහෙත් මෙවැනි අවස්ථා බෙහෙවින් සංකීර්ණය. ඒවා සරල විග්‍රහවලට හසු නොවේ. කාගේ වරද දැයි සොයන්නේ එබඳු සරල විග්‍රහයකින් තත්ත්වය වටහා ගත හැකැයි සිතන්නවුන් විසිනි. එය කාගේවත් වරදක් නොවන්නට පුළුවන. අනික් අතට දෙදෙනාගේම වරද විය හැකිය. අවුරුදු විස්සක් මුළුල්ලේ පැවතුණු විවාහ බන්ධනයක් බිඳීම එසේ මෙසේ දෙයක් නොවේ”

 

2. නන්දිතා මානෙල් සරච්චන්ද්‍ර (මිහිරිපැන්න)

Image Source – wcnews.lk

සරච්චන්ද්‍ර මහතාගේ පළමු දියණිය උපත ලබන්නේ 1940දී. අයිලින් සහ සරච්චන්ද්‍ර යුවළ ඇයට ලබාදෙන නම “නන්දිතා මානෙල්” අද වෙනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ දරුවන්ව විශ්වවිද්‍යාල පරීක්ෂණවලින් සමත් කරවන්න විවිධ උපක්‍රම යොදනවා කියලා කටකතා පැතිරෙනවා. ඒත් නන්දිතා පළමු වර උපාධි පරීක්ෂණය අසමත්වීම විශ්වවිද්‍යාලය තුළම දැඩි ආන්දෝලනයකට ලක්වෙනවා. මේ සිදුවීමෙන් පෙනෙන්නේ සරච්චන්ද්‍ර මහතා තමන්ගේ බලය දරුවන් වෙනුවෙන්වත් අවභාවිතා නොකළ කෙනෙක් කියලා. නන්දිතා මුද්‍රා නාට්‍ය ශිල්පී බැසිල් මිහිරිපැන්න සමග සරච්චන්ද්‍ර මහතාගේ ආශිර්වාදය යටතේ විවාහ වෙනවා. ඇයගේ පුතුන් වන දේශප්‍රිය සහ රනන්ජයත් කලාවට සම්බන්ධව සිටියා. දේශප්‍රිය මීට වසර කීපයකට කලින් මියගියා. නන්දිතා සරච්චන්ද්‍ර (මිහිරිපැන්න) මහත්මියත් පසුගිය අගෝස්තුවේ ජීවිතයට ආයුබෝවන් කීවේ නිහඬ ජීවිතයක් ගත කරමින්.

 

3. සුනේත්‍රා සරච්චන්ද්‍ර

Image Source – youtube.com

සරච්චන්ද්‍ර මහතාගේ දෙවෙනි දියණිය වන සුනේත්‍රා සරච්චන්ද්‍ර, පවුලේ ජනප්‍රියම සාමාජිකාවක්. 1949 ඉපදුණු ඇය වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍යය තුළ විවිධ චරිත නිරූපණය කළා. විශේෂයෙන් අපි කුඩා කාලේ බලපු දූදරුවෝ නාට්‍යයේ ඇය සිදු කළ රඟපෑම මතක හිටින රඟපෑමක්. ඒත් ඇය සංගීත අධ්‍යක්ෂණයට දක්ෂ බව බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඒ වගේම ඇය ගායිකාවක්. “අමාන්තය” ඇය විසින් සංගීත අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටිය. ඇය වසන්තයේ දවසක් චිත්‍රපටිය වෙනුවෙන් අමරදේවයන් සමග “හීන් සැරේ ඔබ ආවා” ගීතය ගායනා කළා. ඇය පළමු වරට විවාහ වෙන්නේ ධම්ම ජාගොඩ සමග. ඔවුන් දෙදෙනාට ලැබුණු දියණිය නිපුණිකා ජාගොඩ. ඇය අමාන්තය චිත්‍රපටිය වෙනුවෙන් සිදු කළ ගායනයට හොඳම ගායිකාව ලෙස සරසවි චිත්‍රපට සම්මාන උලෙළින් සම්මාන ලබනවා. නමුත් ඉන් වසර කීපයක් ගතවන්නටත් පෙර අකාලයේ ජීවිතයෙන් සමුගන්නවා. මේ වෙනකොට සුනේත්‍රා සරච්චන්ද්‍ර ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගොස් සිටිනවා. ඇතැම් අය කියන්නේ සුනේත්‍රා, මහාචාර්ය සරච්චන්ද්‍ර අනුමත නොකළ විවාහයකට ඇතුළු වුණු නිසා සිංහබාහු රචනා කළා කියලා. ඒත් සිංහබාහු වේදිකාගත වෙන්නේ 1961 දී. ඒ වෙද්දී සුනේත්‍රට අවුරුදු 12යි. .මේ කටකතා හදන අය නොදන්න අනිත් කතාව තමයි සිංහබාහු නාට්‍යයේ පෙළ සරච්චන්ද්‍ර මහතා පිරිනමන්නේ කාටද කියලා. ඒ සුනේත්‍රාට, ලස්සන කවි දෙකකින්.

ගොදුරු නොවී පෙර සේ පස් ඉඳුරන්ට

රූ සඳ ගඳ ඈ අරමුණු ඇති අවට

මගෙන් මෙමුළු ලොව ඈතට යන කලට

නුඹ ළං වෙයි දින දින මා හදවතට

 

ඈත් වෙතොත් මාගෙන් සැම දේ එවිට

දුකක් නැතිව යා හැකි නොවැ පරලොවට

නුඹත් දුරුව ගිය කල නියමය ලෙසට

දමා යන්ට බැරි කිසිවක් නැත මෙමට.

 

4. ලලිතා සරච්චන්ද්‍ර

Image Source – cmb.ac.lk

ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය මහාචාර්ය සරච්චන්ද්‍ර මහතාගේ දෙවෙනි බිරිඳ. 1965 දී ලලිතා ස්වර්ණා පෙරේරා මෙනෙවිය සරච්චන්ද්‍ර මහතාගේ අතිනත ගනිද්දි ඇය සහ ඔහු අතර පරතරය අවුරුදු 20ක්. නමුත් ඇය කියන විදිහට ඔහු සහ ඇය අතර ගැලපීම කලාවට ලැදිබව විතරයි කියන එක. ඒ වගේම දෙදෙනාම දෙදෙනා තේරුම් ගැනීමට බොහෝ උත්සාහ කළ බවත් ඇය කියනවා. සරච්චන්ද්‍ර මහතාගේ අවසාන කාලයේ මවක් වගේ සියලු රැකබලාගැනීම් සිදු කරන්නේ ඇය. මේ වනවිටත් ඇය සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යය මතු පරපුරට ආරක්ෂා කර ගැනීමේ  අරගලයේ යෙදී ඉන්නවා. සමහරු කියන විදිහට සිංහබාහු ලියන්න හේතුවුණේ ලලිතා සමග විවාහ ජීවිතයේ වුණු ගැටුම් වෙන්න බැරි ලලිතා සහ සරච්චන්ද්‍ර විවාහ වෙන්නෙම සිංහබාහු නිර්මාණය කරලා අවුරුදු හතරකට පස්සේ වීම නිසයි.

 

5. කිසාගෝතමී සරච්චන්ද්‍ර

Image Source – youtube.com

ලලිතා සහ සරච්චන්ද්‍ර යුවළගේ පළමු දියණිය ඇයයි. ඇය ඉපදෙන්නේ 1966 දී. ඒ වෙනකොට සරච්චන්ද්‍ර යුවළ කල් ගත කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇය මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරනවා වගේම කලා කටයුතුවලත් විවිධ අයුරින් නිරත වෙනවා. කාලයක් සරච්චන්ද්‍ර මහතාගේ සියලු නාට්‍යවල වැඩ කටයුතු සම්බන්ධීකරණය සිදු කරනු ලැබුවේ ඇය විසින්මයි.

 

6. යසෝදරා සරච්චන්ද්‍ර

Image Source – youtube.com

ඔබට හෝ ගානා පොකුණ චිත්‍රපටිය මතක ඇති. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න දායක වෙන්නේ අඹු සැමි යුවළක්. ඒ යසෝදරා සරච්චන්ද්‍ර සහ ඇගේ සැමියා වන කුසුම්සිරි ලියනාරච්චි. යසෝදරා ඉපදෙන්නේ 1971 පේරාදෙණියේදී. තමන්ගේ පියාගේ කලා කටයුතුවලට විවිධ අයුරින් සහයෝගය ලබා දීපු යසෝදරා, වරෙක මනමේ බිසවගේ සහ සිංහ සීවලී චරිතත් නිරූපණය කළා. මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ පදිංචි යසෝදරා දරු දෙදෙනෙකුගේ මවක්.

 

7. රන්සි දීපංකර සරච්චන්ද්‍ර

Image Source – youtube.com

ලලිතා සහ සරච්චන්ද්‍ර යුවළගේ බාලම දරුවා සහ එකම පුතා වන්නේ රන්සි. රන්සි ඉපදෙන්නේ හවායි හිදී. ඒ  පර්යේෂණ කටයුතු සඳහා සරච්චන්ද්‍ර මහතා හවායිවල අධ්‍යයන කටයුතුවල යෙදී සිටි කාලයේදී. මේ වෙනකොට රන්සි තමන්ගේ අධ්‍යාපන කටයුතු ඕස්ට්‍රේලියාවේ වෙසෙමින් සිදු කරනවා, සරච්චන්ද්‍ර මහත්තයා තමන්ගේ පුතාට දැඩිව ආදරය කරනවා. ඒ නිසාම පසු මුද්‍රණවලදී සුනේත්‍රාට ලියපු පිදුම වෙනස් කරනවා. (සමහරු මීට වඩා වෙනස් අදහසක් පළ කරනවා)

ලොවේ පුතුන් හා සසඳන විට මෙමට

සම වන පුතෙකු ඔබ හා නොපෙනේ ඇසට

කලගුණ පිරී යයි එ විගස මා හදට

ඔබ ගෙනවිත් මා හට දුන් ඔබ මවට

 

තම පියතුම හැරදා ගිය සිහබා මෙන්

මා හැරදා නොම යනු ඇත මගේ පුතුන්

පුත ඔබ ගියත් මම එන්නෙමි ඔබ සොයමින්

මා ළය නොරිදන්න සැරයෙන් සිහබා මෙන්

 

Cover Image Source – sarachchandra.org

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *