කාන්තා පිරිමි කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් විලාසිතා වලට ප්‍රිය කරනවා. එයිනුත් කාන්තාවන් ටිකක් වැඩිපුර මේ කාරණය ගැන සැළකිලිමත් වෙනවා. හිසකෙස්, සම, ඇහි බැම, නිය වගේ අවයව ගැනත්, ආලේපන වර්ග, ඇඳුම්, අත්බෑග්, සපත්තු, සුවඳ විලවුන්, ඔවුන් සිටින තත්ත්වය (ගර්භනීබව, කුඩා දරුවන් සිටින මවක්නම්), ආභරණ වල විලාසිතා වගේම ශරීරයේ හැඩය ගැනත් කාන්තාවන් බොහොම උනන්දු වෙනවා. ලයිෆි අපි මේ ලිපියෙන් අරන් එන්නේ මේ කාන්තා විලාසිතාවන් වැරදීම නිසා හෝ නොගැළපීම නිසා කාන්තාවන්ට මුහුණපාන්න වෙන අකරතැබ්බ ගැනයි.
1. හිසකෙස්වලට
හිසකෙස් විලාසිතා මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා වගේම ඕනෑම රූපලාවණ්‍යාගාරයකින් කොණ්ඩ මෝස්‌තර, වර්ණ ගැන්වීම, හිසකේ කැපීම වගේ තමන්ට අවශ්‍ය හිසකේ විලාසිතාවක් පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. සමහර රූපලාවණ්‍යාගාරවල හිසකෙස් දිගු කිරීමේ (Hair extension) පහසුකමුත් තියෙනවා. තමන්ගේ පෙනුමට, පැහැයට වගේම වයසටත් ගැළපෙන ම විලාසිතාව හඳුනාගන්න නම් ඒ ගැන නිවැරදි පළපුරුද්දක් තියෙන රූපලාවණ්‍යවේදිනියකගෙන් උපදෙස් ගැනීම තමයි වඩාත්ම සුදුසු වන්නේ.
සමහර කාන්තාවන් නොදැනුවත්කම නිසාම තමන්ගේ හිසකෙස්වල ස්වභාවයට (රැලි සහිත, සෘජු, අවුල් සහිත හෝ ගැටගැසුණු), වයසට, ශරීර වර්ණයට, නිරතවෙන රැකියාවට, නොගැළපෙන වර්ණ හිසකෙස්වල ආලේප කරගන්නවා. එහෙමත් නැත්නම් මේ දේවල්වලට නොගැළපෙන විදියට හිසකෙස් කපාගන්නවා. සමහර රූපලාවණ්‍ය ශිල්පිනියන් අතිනුත් මෙවැනි අතපසුවීම් වෙන අතරේ සමහර යුවතියන් අන්තර්ජාලයෙන් දකින වීඩියෝ දර්ශනවල අඩංගු විලාසිතාවල ආකාරයට තමන් විසින්ම හිසකේ කපාගන්න උත්සහ කරලා අමාරුවේ වැටෙනවා. ඒ වගේම හිසකෙස් සැකසීමේදී විශාල වශයෙන් පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය නිසා අධික ලෙස හිසකෙස් ගැලවී යාමටත්, හිස්හොරි තත්ත්වයන් ඇති වීමටත් හැකියාව තියෙනවා. හිසකෙස් සකස් කිරිමෙන් පසු රූපලාවණ්‍ය ශිල්පියා විසින් දෙන උපදෙස් හරි හැටි නොපිලිපැදීම හේතුවෙනුත් මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා. සමහර පුහුණුවන රූපලාවණ්‍ය ශිල්පිනියන් තමන්ගේ විභාග වලදී නොමිලේ සිදු කර දෙන හිසකෙස් සැකසීම් වැරදීම් නැවත මුල් තත්ත්වයට පත්වෙන්න මාස 7-8ක් පමණ ගතවෙනවා. එනිසා නොමිලේ කරලා දෙන පළියට විශ්වාසයක් නැතිනම් එහෙම දේකට ඉදිරිපත් නොවෙන එකයි හොඳ.
2. සමට
මිනිස් ශරීරයේ ඇති විශාලම අවයවය වන සමට රූපලාවණ්‍ය සත්කාර කිරීමේදී විශාල සැළකිල්ලකින් ඒ දෙය සිදු කිරීමෙන් ගැටළු බොහොමයක් වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. සමහර අවස්ථාවන්වලදී නිවසේදී භාවිතා කරන ස්වභාවික ද්‍රව්‍ය පවා ඇතැම් අයට අසාත්මිකතා ඇති කරන්නට හැකියාව තියෙනවා. සමට භාවිත කරන ක්‍රීම් වර්ග, සම පැහැපත් වෙන්න/ සුදු වෙන්න වෙළඳපොළේ ඇති හරි හැටි නමක් හෝ නැති ආලේපන වර්ග සමට අසාත්මික වෙන්නත් අතුරු ප්‍රතිඵල ඇතිකරවන්නත් ඉඩ තියෙනවා. සමේ ස්වභාවයට නොගැලපෙන ෆේස් වොෂ්/ සබන් වර්ග නිසා ඇතිවෙන බිබිළි සහ කුරුලෑ සඳහා වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගන්න සිදුවන අවස්ථා ඇතිවෙනවා.
3. ආලේපන සහ සුවඳ විලවුන් හේතුවෙන්
ඕනෑම කාන්තාවක්/ යුවතියක් තමන්ගේ සමට විවිධ ආලේපන වර්ග ගල්වනවා වගේම මේ ආලේපන නිසා නොහිතන විදියේ කරදරවල පැටලෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රධාන වශයෙන්ම සමේ ස්වභාවික වර්ණයට නොගැලපෙන තොල් සහ නිය ආලේපනත් ෆවුන්ඩේෂන් වැනි ආලේපනත් නිසා පවත්නා සුන්දරත්වය පවා නැති වීමට ඇති ඉඩකඩ වැඩියි. ගුණාත්මකභාවයෙන් අඩු ආලේපන භාවිතය නිසා තොල්, නිය සහ සම අඳුරු පැහැ වෙන්නත් අසාත්මික වෙන්නත් ඉඩ තියෙනවා. විශේෂයෙන්ම බැර ලෝහ අධික ආලේපන නිසා මේ දේ පහසුවෙන්ම සිදුවෙනවා. ඒ වගේම නොදැනුවත්කම නිසාම අධික සැර සුවඳින් යුතු සුවඳ විලවුන් වර්ග භාවිතා කිරීමත් කාන්තාවකගේ සුන්දරත්වය වැඩි වෙන්න හේතුවක් නම් වෙන්නේ නෑ.
4. ඇස් සහ ඇහිබැමිවලට
තමන්ගේ මුහුණේ හැඩයට ගැලපෙන හැඩයට ඇහි බැම සකසාගන්නවා වෙනුවට ඇතැම් කාන්තාවන් ඇහි බැම සම්පූර්ණයෙන් ගලවා ඇහි බැම අඳින පැන්සලකින් අවශ්‍ය හැඩයට අඳින්න පුරුදු වෙලා ඉන්නවා. උෂ්ණ කාලගුණයක් පවතින සමකය ආසන්න අපි වගේ රටකදී එළිමහනේ ගත කරන අවස්ථාවක මේවා දියවීමට ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ගුණාත්මක බැවින් අඩු ඇස් ආලේපන දියවීම නිසා අවලස්සන පෙනුමක් ගෙනදෙනවා. වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතා කරන අක්ෂි කාච, කණ්ණාඩි සහ අව්කණ්ණාඩි නිසා ඇසේ පෙනුමට පවා හානි වීමටත්, අනතුරු සිදුවීමටත් ඉඩ තියෙනවා.
5. ඇඳුම් සහ අත්බෑග් හේතුවෙන්
විලාසිතාවලදී ප්‍රධානම තැනක් ගන්නේ ඇඳුම් විලාසිතා කීවොත් නිවැරදියි. හැබැයි කාලෙන් කාලෙට එන සියලුම විලාසිතා අනුගමනය කිරීම නම් එතරම් සුදුසු දෙයක් නෙවෙයි. තමන්ට හොඳින්ම ගැලපෙන ඇඳුම් සහ අත්බෑග් විලාසිතා අනුගමනය කිරීමෙන් හොඳ පෙනුමක් ලබාගන්න පුළුවන්කම තියෙනවා. බාල තත්ත්වයේ ඇඳුම් සහ අත්බෑග් නොසිතන අවස්ථාවලදී කැඩී බිඳී යාමට ඇති ඉඩකඩ වැඩි නිසා වැඩි මුදලක් වියදම් කර එකිනෙකට ගලපන්න පුළුවන් ඇඳුම් සහ අත්බෑග කිපයක් පමණක් භාවිතා කිරීමෙන් අපහසුතාවයන්ගෙන් මිදෙන්න පුළුවන් වෙනවා. ශරීරයට අපහසු රෙදිවලින් මැසූ සහ අපහසු විලාසිතාවලින් සැරසීමෙනුත් ඇතැම් යුවතියන් අකරතැබ්බ වලට පත්වෙනවා. ඒ වගේම අවස්ථාවට සහ ශරීරයෙහි හැඩයට නොගැලපෙන විලාසිතා නිසාත් අනවශ්‍ය කැපී පෙනීමකට ලක්වෙනවා. ලෝකයේ ප්‍රකට සන්නාමයන් භාවිතාකර ගුණාත්මක බවින් අඩු අමුද්‍රව්‍යවලින් (ලෙදර් වලට සමාන සහ කෘත්‍රීම වර්ණක) නිපදවා ඇති බාල නිෂ්පාදන දහඩිය හා ප්‍රතික්‍රියා කිරීමෙන් ශරීරයට අසාත්මික වෙන්න පවා ඉඩ තියෙනවා.
6. සපත්තු නිසා
අඩිය උස කාන්තා සපත්තු වර්ග දීර්ඝකාලීනව භාවිතය නිසා උකුල, වළලුකර ආශ්‍රිත ආබාධ අත්වෙන්න ඉඩ ඇති බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. බාල වර්ගවල සපත්තු නිසා තුවාල, ආසාදන ඇතිවෙන්නත් කකුලේ දිගට වවා ඇති නියපොතු ගැලවී යන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇඳුම් විලාසිතාවටත්, අවස්ථාවටත් නොගැලපෙන සපත්තු භාවිතය ශරීරයට අපහසුතාවන් ගෙන දෙනවා.
7. ආභරණ හේතුවෙන්
වටිනාකමින් අඩු බව හොඳින්ම පෙනෙන ප්ලාස්ටික් අභරණ, පලඳින්නාට හොඳ පෙනුමක් ගෙන දෙන්නේ නෑ. ප්‍රමාණයෙන් විශාල සහ දිග ආභරණවලින් අනතුරු සිදුවෙන්නත්, අපහසුතාවයක් ඇතිවෙන්නත් පුළුවන්කම තියෙනවා. වටිනාකමින් වැඩි විශාල රන් අභරණ හෝ ඒවාට සමාන ඉමිටේෂන් අභරණ පැලඳීම නිසා සොරුන්ගේ අවධානයට පවා ලක්වෙනවා. අභරණ තෝරා ගැනීමේදීත් අවස්ථාවට වගේම ඇඳුම් විලාසිතාවටත් ගැලපෙන විදියට තෝරා නොගත්තොත් අන් අය අතර අනවශ්‍ය කැපී පෙනීමකට ලක් වෙනවා.
Leave a Reply